Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

නේපාලයේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ප්‍රථම අගමැති පුෂ්ප කමල් ප්‍රචණ්ඩ මහතා ඇතුළු අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් හැට දෙනකු ගෙන් යුත් දූත පිරිසක් පසුගිය දා නවදිල්ලි නුවරට පැමිණියහ. ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, යන මහත්ම මහත්මීවරු හමුවීමෙන් අනතුරුව එම දූත පිරිස බරණැස ඉසිපතන මිගදායට පැමිණ මහසඟරුවන හමු වී ආශිර්වාද ලබා ගත්හ. ඉන්දීය විදේශ අමාත්‍යංශය ඉන්දීය මහාබෝධි සමාගමේ සාරානාත් මධ්‍යස්ථානය, උත්තර ප්‍රදේශ රජයේ බරණැස පරිපාලනය සමග ඒකාබද්ධව සංවිධානය කරන ලද එම උත්සවයේදී ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරාධිපති ඉන්දීය මහබෝධි සමාගමේ නියෝජ්‍ය මහ ලේකම් ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් ඇතුළු සඟරුවන විසින් නේපාලයේ අධිකරණ ව්‍යවස්ථාගත පාර්ලිමේන්තු කටයුතුª අමාත්‍ය බෙබි ප්‍රසාද් ගුරුන්, කෘෂිකර්ම අමාත්‍ය ජේ. පී. ගුප්තා යන මහත්වරු ඇතුළු පිරිසට සෙත් පැතූ අවස්ථාව

ප්‍රංසයේ ජේතවන මහා විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය ඉකුත්දා එම විහාරාධිපති ප්‍රංසයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ප්‍රංස, වියට්නාම්, කාම්බෝජ, චීන, ලාඕස්, බුරුම, හා ශ්‍රී ලංකා යන රටවලට අයත් බෞද්ධ ගිහිපැවිදි විශාල පිරිසක් එම පින්කමට සහභාගි වූහ. පැරිස් බෞද්ධ විහාරාධිපති කෝංගස්දෙණියේ ආනන්ද හිමි, ප්‍රංසයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමි, නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වීරපාන ජිනරතන හිමි, මාපලගම ජිනානන්ද හිමි, තලංගල්ලේ සුමංගල හිමියන් ඇතුළු බුරුම, වියට්නාම්, කාම්බෝජ ජාතික හිමිවරුන් කිහිප නමක් ද සහභාගි වූ එම කඨින පූජෝත්සවයේදී මහා සංඝරත්නය පිණ්ඩපාත පෙරහරේ වැඩසිටි අවස්ථාව.

අන්දුගොඩ පුරාණ විහාරය, අලගොඩ පුරාණ විහාරය හා දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමත්‍රයාධිපති අන්දුගොඩ හේමාලංකාර හා ඇල්ලලගොඩ නන්දරතන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් කුල දරුවන් දෙදෙනකු සසුන් ගතකිරීමේ පුණ්‍ය මහෝත්සවයක් පසුගිය දා කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමයේදී පැවැත්විණි. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් එහිදී නව සාමණේර හිමිවරුන් දෙනමට පැවිදි නාම ලබාදුන් අවස්ථාව. වනවාසල පුරාණ විහාරාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක කොටුවිල විමලකිත්ති නාහිමි යන් ඇතුළු මහ සඟරුවන ද මෙහි වෙති.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.