UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැපත සලසන මඟ

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

පුඤ්ඤං චෙ පුරිසො කයිරා
කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡනන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයො

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

බුදුබණ ඇසීම මෙලොව දියුණුව, පරලොව සුගතිය කෙළවර අමා මහ නිවන ක්‍ෂාත් ක්‍ෂාත් කරවන මංගල ධර්මයක් බව මහා මංගල සූත්‍රයේදී ශාන්ති නායකයන්වහන්සේ දේශනා කළහ. ‘කාලේන ධම්ම සවණං - ඒතං මංගල මුත්තමං’ යන මංගල සූත්‍රයේ එන ගාථා පාඨයෙන් ඒ බව පැහැදිලි වෙනව. බුදුබණ පද ඇසීමෙන් ලැබෙන පිනෙන් දෙලොව ජයගෙන අමා මහ නිවණින් සැනසීම ප්‍රාර්ථනා කරමු.

මාතෘකා ගාථාවෙහි ‘පුඤ්ඤං’ යැයි සඳහන් වේ. එයින් අර්ථවත් වන්නේ පින්ය. පින් නම් සිත් සතන්හි හට ගැනෙන රාග, ද්වේශ, මෝහ යන මේ අකුසල ධර්මවලින් මුදා ගෙන දන්, සිල්, භාවනා යන මෙයින් වැඩුණු පිවිතුරු සිතිවිලි ඇතිකර ගැනීමයි. පින්කම් කිරීම්, කරවීම් සඳහා මදව හෝ කය වචන වෙහෙසවා නම් සිත හා සංතෝසයෙන් අනුමෝදන් වේ නම් ඒ සුළු පිනකැයි විපාක නැතැයි කුඩා පිනකට වුවත් අවමන් නොකොට යුතුය. පහත්කොට නොසිතිය යුතුය. සුළු සුළු වශයෙන් වුවත් කෙරෙන පින්කම් දියුණුවට පැමිණි සමූහයක් බවට පත් වේ. කාය සුචරිතාදී කුසල කර්ම ක්‍රමයෙන් දියුණුකර ගත යුතුය. දස මහා කුසල් නම් දන්දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම සම්‍යක්දෘෂ්ටික බව දැඩිකිරීම, යන ඒවාය.

කැමැත්ත දියුණු කිරීම, පින්කමක් කළ ඒ කුසලය කෙරෙහි සිහිඑළවා කම්පල සැලකීම් වශයෙන් ආශාව තෙගුණ කොට දියුණුකර ගැනීම් ‘ඡන්දං කයිරාථ’ යනුවෙන් කියැවේ. ‘පුඤ්ඤස්ස උච්චයෝ සුඛෝ...’ කුසලයාගේ රැස්වීම, සැපය යළි යළි සිදු කළ කුසල් සමූහ වශයෙන් රැස්වීම දෙලොව යසසින් සැපතින් වැඩුමටද කෙළවර නිවන් සුව ලැබුමෙන් දුක්දුරු කර ගැනීමටද හේතු සාධක වේ.

දුක් දුරුකර නිවන දැකීම සඳහා නුවණැත්තෝ සිවුසස් දහම් හා අරි අටඟි මග නැමති පිළිවෙත මැනවින් රකින, වඩන පුරන තැනැත්තා කෙලෙස් මැඩීමෙන් හා නැසීමෙන් මඟඵල නුවණ පිරිසුදු වීමෙන් සිව්සස් දහම් අවබෝධ කිරීමද නිවන් පසක් කිරීමද කරන්නේ්ය. සිව්සස් දහම් අවබෝධ කිරීමද නිවන් පසක් කිරීමට මේ අරි අටඟි මඟ හැර අන් මඟක් නැත. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංගයන් අට දෙනාගේ් සමුදාය වූ ලෝකෝත්තර මධ්‍යම ප්‍රතිපත්තිය යි. එහි සිවුසස් පිළිවිඳිනු පිණිස පිළිපන් යෝගාවචරයාහට නිවන් අරමුණු කොට උපදනා සෝවාන් ආදී මාර්ග චිත්තයන්හි යෙදෙන සතිස්වැදෑරුම් චෛතසික ධර්මයන් අතුරෙන් අවිද්‍යානුශය මුලිනුපුටා හැර චතුරාර්ය සත්‍ය දර්ශනය කරන ප්‍රඥා චෛතසිකය සම්‍යග් දෘෂ්ටියයි ද කාම සංකල්පාදී මිථ්‍යා සංකල්පයන් මුලිනුපුටා හැර සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත වූ චිත්තය නිවන් අරමුණට නගාලන විතර්ක චෛතසිකය සම්‍යක් සංකල්පය යැයි ද මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීවයන් මුලිනුපුටා හැර ඔවුන්ගෙන් වැළකීම් වශයෙන් උපදනා විරති චෛතසිකය සම්‍යග්වාචා සම්‍යක් කර්මාන්තය, සම්‍යග් ආජීව යයිද කුසීතබව මුලිනුපුටා හැර නිවන් අරමුණෙහි සිත තහවුරු (සූස්ථර) කරණ වීර්ය චෛතසික සම්‍යක් ව්‍යායාමයයි ද මිත්‍යාස්මෘති මුලිනුපුටා හැර නිවන් අරමුණ විස්මෘති (මතකනැති) වෙන්නට නොදෙන ස්මෘති චෛතසිකය සම්‍යක් ස්මෘතිය යි ද මිථ්‍යා සමාධී මුලිනුපුටා හැර නිවන් අරමුණෙහි මනා සේ සිත පිහිටුවාලන ඒකාග්‍රතා චෛතසිකය සම්‍යක් සමාධියයි ද දත යුතුයි. නිවනට ගමන් කළ යුතු වූ එකම මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එහෙයින් මිථ්‍යාදෘෂ්ටි ආදී අෂ්ටවිධ මිථ්‍යාමාර්ගයන් ප්‍රහීණ කරන්නාවූද නිවන් අරමුණු කොට චතුස්සත්‍ය දර්ශනය කරන්නා වූද ආර්ය අෂ්ඨාංගික මාර්ගය සියලු මාර්ගයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ද ඉතා උතුම් ද වේ.

වාග්සත්‍යය, සංවෘතිසත්‍යය, දෘෂ්ටි සත්‍යය, පරමාර්ථ සත්‍යයයි. සත්‍යයෝ නානාවිධයහ. එහි වාග් සත්‍යය නම් සත්‍ය වචනයයි. නිබොරු බසයි. සංවෘතිසත්‍ය නම් ‘බ්‍රාහ්මණෝ ඛන්තියෝ’ යන ආදී ප්‍රඥප්තියයි. (යමකට හෝ යමෙකුට සම්මත කරගත් නාමයයි) දෘෂ්ටි සත්‍යය නම් තමන් සිතින් ගත් මිථ්‍යා ලබ්ධිය ම සැබව. ඉන් බැහැර වූයේ සත්‍යයෙන් තොරය යන දෘෂ්ටිය යි. පරමාර්ථ සත්‍යය නම් ස්කන්ධ ධාතු ආයතනාදී ක්‍රමයෙන් වදාළ දේශනාවයි. මෙකී තාක් සියලු සත්‍යයන් අතුරෙහි දුක්ඛ, සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා යන ආර්ය සත්‍ය සතර ශ්‍රේෂ්ඨ වේ. කවර අර්ථයකින්ද යත් පිරිසිඳ දත යුතුය. ප්‍රහීණ කටයුතුය. ප්‍රත්‍යක්ෂ කටයුතුය. වැඩිය යුතුය. එකවිට ප්‍රතිවේද කටයුතුය යන ආදී අර්ථයෙනි.

විරාග ධර්මය නම් නිර්වාණයයි. හේ ප්‍රත්‍ය ධර්මයන් විසින් පිළිවෙල නොකරන ලද හෙයින් හා සුඛ වේදනා මාත්‍රයක් නොවූ සදාකාලික අවේදයිත සුඛයෙන් යුක්ත හෙයින් ශ්‍රේෂ්ඨය අපාද, චතුප්පාද බහුප්පාදා දි හැම සතුන්ටම ද්විපාද වූ දිව්‍ය මනුෂ්‍යයෝ ශ්‍රේෂ්ඨ වෙත්. පසැස් ඇති සර්වඥයන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ බැවින් ආපද ද්වීපාද චතුප්පාද බහුප්පාදා දී හැම සත්ත්වයන්ටම ශ්‍රේෂ්ඨ වන සේක.

පසැස් නම් , මසැස, දිවඇස, පැණ ඇස, බුදුඇස, සමතැස යන මේවාය. එහි මසැස නම් චතුරංග ඇඳීරියෙහිත්, යොදුනක් ඝන විදුරුගල් පවා විනිවිද දක්නට හැකි පස්පැහැ දිස්න පියවි ඇසයි. දිව ඇස නම් චුත්වන්නවූ ද , උපදින්නා වූද, සත්වයන් දක්නා හෙයින් චූතූපපනායයි කියන ලද දිබ්බචක්ඛු ඥානයයි. පැණ ඇස නම්, කාලත්‍රය විෂය වූ සව¢ධර්මයන් දක්වා නුවණයි. බුදු ඇස නම්, දශ සහශ්‍රී ලෝක ධාතුවෙහි අල්ප රජස්කාදී සත්වයන් දක්නා නුවණයි. එනම් ආශයානුශය ඥානයයි. සමතැස නම් සව¢ඥතා ඤාණයයි. ඒ ඤාණයට ගෝචර නොවන දැයෙක් නැත.

සියලු සසර දුක් කෙළවර වනුයේ නිවන් ලැබීමෙනි. දුක් හා එහි කිසිත් ගැටීමක් නැත්තේය. දුක් නැති කිරීමෙහි මාර්ගය, අෂ්ඨාංගික මාර්ගයයි. එහෙයින් එහි පිළිපැද දුක් කෙළවර කර වූ යයි වදාළ සේක.

ඉහත මාතෘකා ගාථාව දේශනා කිරීමට හේතු සාධක වූයේ පිනක් කළොත් සුබපල ගෙන දෙන බව මුල්කරගෙන ය. රජගහනුවර පුළිලලෙණ මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ වැඩ වාසය කරන සමයෙහි උන්වහන්සේ සමවතට සමවැදී සත් දවසකින් සමවතින් නැගී යහපත සැලසිය යුත්තන් බැලූ සේක. එවේලෙහි එක් දිළිඳු තැනැත්තියක් හැල් හේනට ගොස් හැල් කරල් නෙලා ගෙනැවිත් විළඳ බඳී. ඈ සැදැහැ ඇත්තියකි.

තෙරහු ඇත්තේ ඒ පැල්පත දොරකඩ වැඩ සිටි සේක. ඒ දිළිඳු තැනැත්තී කිසි දිනක උදා නොවූ සැපතක් ළඟා වී යයි සිතා පිරිසුදු සැදැහැයෙන් විළඳ පුදා සොම්නස් විය. එදාම නයෙකු විසින් දෂ්ඨ කරන ලද ඒ තැනැත්තී මියගොස් ඒ පින් බෙලෙන් තව්තිසා දෙව්ලොව උපන්නීය.

ඒ දෙවඟන ඒ විසල් සම්පත ලැබුමට කළ කුසලය පිරික්සා බලා මිනිස් ලොව දිළිඳුව සිට පිදු විළඳ දානයෙහි අනුහසින් ලැබූ සම්පතකැයි තුටුපහටු වූහ. තමාට කුළුණින් සෙත සැලසූ මහාකාශ්‍යප මහතෙරුන් කෙරෙහි මෙත් සිත දැඩිව වැඩුණේ්ය. ඒ දෙවඟන දවසක් අලුයම පුළිලලෙනට පැමිණ වෙහෙර වත කෙරේ. මල් නෙලා තැබීම් කොට යන්නීය.

තෙරහු දවසක අලුයම මළුව හමදිනා කල යතුරු සිදුරෙන් ගෙතුළට වන් එළිය දැක මඳක් දොර හැර හමදනේ කවුදැයි ඇසූහ. ඔබ වහන්සේට උවැසිව සිට විළඳ පුදා දෙව් සැපතට පැමිණි ලාජා දෙව් දූ යයි කීවත් පිළිවෙත් තබා මෙවක් පටන් මේ පෙදෙසටවත් නොවන්න’ යැයි ගමන තහනම් කළහ.

ඒ දොම්නස් සෝ දුකින් තැවෙන දෙවඟන දුටු බුදුරජාණන් වහන්සේ රැස්කඳ විහිදුවා ඉදිරියේ වැඩ සිටියේ ‘යමෙක් පින්කමක් කරන්නේ නම් එය යළි යළි කළ යුතු බව හා එහි කැමැත්ත ඇතිකර ගත යුතු බවද පින් රැස්වීම සැපයට හේතු වන බවද වදාරා ඒ දෙවඟන සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක.

ධම්මපදයට අයත් මෙම ගාථා ධර්මයෙහි සරළ තේරුම හා නිදාන කථාව පිළිබඳව මනා සිහි නුවණින් යුතුව සිහිපත් කොට පින් රැස්කර ගැනීම සැපයට හේතු වන බවද අවබෝධ කරගෙන, අකුසලයන් කෙරෙන් සිත් මුදාගෙන සසර ගමන කෙළවර කොට ලබන උතුම් අමාමහ නිවනින් සැනසිල්ල ලබන්නට උත්සාහ කරමු.

තෙරුවන් සරණයි!

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
 

මී ළඟ පෝය නොවැම්බර් 12 වනදා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]