Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුගතියට - නිවනට මග කියන පිළිවෙත

පංචහි භික්ඛවෙ ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ එවං සග්ගේ කතමෙහි පංචහි පාණාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝහෝති. සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති, ඉමෙහි ඛෝ භික්ඛවේ පංචහිධම්මෙහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ එවං සග්ගේ.

මිනිසකු වශයෙන් මිහිමත ජීවත්වන විට කළ යුතු පෞද්ගලික හා පොදු කාර්ය අපමණ පැවැතිය ද ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ හොඳින් ජීවත්වීමටය. එය තීරණය වන්නේ තමා උපන් පරිසරයෙහි පවත්වා මානව ධර්ම අනුගමනය කොට ක්‍රියාත්මක කිරීමෙනි. යුගයෙන් යුගයට ජීවන අවශ්‍යතා ආශා වෙනස් වීමත් ඒ සඳහා යාන්ති‍්‍රකව ක්‍රියා කිරීමත් නිසා මිනිසාගේ ගුණාත්මක භාවය අමතකවීම ස්වාභාවික ය. එවිට පන්සිල්, භාෂාවේ වචනවලට සීමා වන අතර එයින් දක්වන ප්‍රතිපත්ති ධර්මය කි‍්‍රයාත්මක කිරීමට වඩා ජීවන අවශ්‍යතා සම්පාදනයට කාලය ශ්‍රමය ධනය හා මනස මිඩංගු වේ. එයින් ඇතිවන අනිසි දුක්ඛදායක ප්‍රතිඵලවලට සමස්ථ සමාජයටම මුහුණ පෑමට සිදු වෙයි.

‘මහණෙනි ප්‍රණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, සුරාපානය යන පස් පවින් තොරව පන්සිල් ආරක්ෂා කරන්නා, මරණින් මතු සුගතියෙහි වහා උපදින්නේ යැයි සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කළ සේක.

මානව ධර්මය ආරක්ෂා කිරීමට සත්ව අවිහිංසාව පදනම් වන වග සෑම ආගමකින්ම තහවුරු කැරේ. මිනිසකු සත්වයකුට අවම වේදනාවක් හෝ දෙන්නේ නම් ඊට පොළඹවන ජීවන දැක්ම ආගම වහාම ශිෂ්ට සමාජයෙන් බැහැර කළ යුතු වේ. ශබ්දයකින් හෝ වචනයකින් හෝ ක්‍රියා මාත්‍රයෙන් හෝ අන්‍යෝන්‍ය ගැටුම් ඇතිතරන ආගමික පිළිවෙත් මානව පරපුරේ ප්‍රගතියට බාධක වන්නේ්ය.

අපට ආගමක් අවශ්‍ය වන්නේ ඉසට මහා කලු ගලක් ගත්තා සේ තමනුත් පිරිහී සෙසු අයත් පිරිහීමට ඇදගෙන යන්නට නොව සරල හැඟීමෙන් මානසික විවෘතභාවය ඇතිකරගෙන අන්‍යීන්‍ය වශයෙන් සුහදශීලීව ප්‍රසන්නව ජීවත්වීමට හා මරණින් මතු යහපත් තත්ත්වයකට යෑමට ය. මිහිපිට කිසිම මිනිසකුට එකලාව මොහොතක් හෝ ජීවත් විය නොහැකි ය. අපමණ සත්වයන් අතර ජීවත් වන මනුෂ්‍යයා මහ පොළොවේ සම්පත් බෙදා වෙන් කර ගැනීම තරම් අමනකමක් තවත් නැත. තනිව උපදින සමාජගතව ජීවත්වන, එහෙත් යළි හුදකලාව මියයන මිනිසා සමාජගත වූ පවත්නා සම්පතින් බිංදු මාත්‍රයක් හෝ අයත් කර ගැනීමට උත්සහ කිරීම මානව ධර්ම අනුවද ආගමික දාර්ශනික ඉගැන්වීම අනුව හාස්‍යජනක අනර්ථකාරී ක්‍රියාවකි.

මිනිසා පෙරට වඩා සිය දහස් වර සිතාමතා මිහිමත සම්පත් පොදුවේ පරිහරණය නොකොට, ආත්මාර්ථකාමී හැඟීමෙන්, මමායනයෙන් ඒවා පරිහරණය කරන්නේ්නම් ආගම් දර්ශන මානව ධර්ම ආදී මෙතෙක් මිනිසා ආරක්ෂා කරගෙන ආ සාරධර්ම අභිබවා එකිනෙකා භයානක අවි ආයුධ අතට ගෙන ශක්තිය ඇති මිනිසුන් පමණක් ඉතිරිවන තුරු සටන්කොට එයිනුත් නොනැවතී, අන්තිම මිනිසා හා සත්ත්වයාද මිහි මතින් තුරන් වන තුරු ඒ භයානක ප්‍රවණතාව ක්‍රියාත්මක වන්නේ ය.

‘අදත්තාදානය’ සමාජය තුළ බහුල වන්නේ සම්පත් පරිහරණය පිළිබඳ සම තුලිතභාවයක් නැති නිසා ය. තනිව උපන් මිනිසා ශිෂ්ට සම්පන්න සමාජ ධර්මතා ඉක්මවා සම්පත් ඒකරාශි කරගෙන ධනය ශක්තිය කරගෙන, අවි ආයුධ පරිහරණය කරමින් විවෘත සමාජයෙන් වෙන්වීම මනුෂ්‍යත්වයෙන් පහතට වැටීමේ අසුභ ලකුණකි. ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ඇති නැති පරතරය හෙට සමාජමය පිළිලයක්වී එයින් නඩුහබ කලකෝලාහල මිනීමැරුම් වැඩි වී හිරගෙවල් පිරී ඉතිරී යෑම සංවර්ධනයට, සමාජයේ පැවැත්මට කොතරම් බාධාවක් ද?

බුදුරදුන් විසින් පෙන්වා වදාළ අදින්නාදාන පටිවිරතා ශීලය ක්‍රියාත්මක කරන පුද්ගලයා ස්ථානය, සංස්ථාපනය සොයා ගැනීමට නම් යළිත් බුදුරදුන් දිවමන් කාලයට නෙත්සිත් යොමු කළ යුතු වන්නේය. හොරකම, වංචාව, කෂ්ඨකම, අල්ලස යන පහත් ක්‍රියා විවිධ සූක්ෂම ක්‍රම හා විධි මාර්ගයෙන් ක්‍රියාත්මක වන වග සමාජය දෙස සුපරීක්ෂාවෙන් බලන විට පැහැදිලි වෙයි. ආගම, පදවිය, බලය උපයෝගි කරගෙන කරන සොරකම්, මැරකම් වංචා කපටිකම්, නීතියෙන් දේශනයෙන්නම් කෙදිනවත් නවත්වන්නට නොහැකි බව ඉතා පැහැදිලි ය. එමෙන්ම ඒවා හොර හිතින් කළත් හොකරම් බව තහවුරු කිරීමේ ක්‍රමයක් නොමැත.

භෞතික සම්පත් සම සේ පරිහරණය කිරීමේ ආනිශංසද, අදත්තාදානයේ ආදීනව ද ශාස්ත්‍රීය ලෙස සමාජ විද්‍යාත්මක ලෙස පහදා දීමෙන් සමාජයට උසස් සේවාවක් සිදුකළ යුතු කාලය පැමිණ ඇත.

පරදාර සේවනය වූ කලී දිට්ඨධම්මවේදනීය වශයෙන් සමාජයෙන් අපකීර්තියට පත්වන රාජ දණ්ඩයෙන් වධ වේදනා ලැබෙන මරණින් මතු සතර අපායේ උපදවන අධම ක්‍රියාවකි. මහත් අකුසලයකි. ඉඳුරන්ට වශී කෘතවීමෙන් තමාගේ ධනය, බලය, බුද්ධිය පවා පිරිහෙළන මෙම කාම මිථ්‍යාචාර උන්මාදයෙන් මත්වන සත්වයාට පැමිණෙන නොයෙක් ව්‍යසන පිළිබඳ සිහිබුද්ධයෙන් නිරීක්ෂණය කරන්නා එම අකුසලයෙන් මිදී පන්සිල් ආරක්ෂා කර සුගති සංඛ්‍යාත දේව මානුෂ්‍යාදී සැප සම්පත් භුක්ති විඳින්නේ ය.

අනඳ මහ තෙරුන් වහන්සේ පෙර කල්පලක්‍ෂයක් පෙරුම් දම් පුරමින් සසර සැරිසරන කල පර ස්ත්‍රී සමාගමයකින් නරකයෙහි පැසී යළි මිනිස් ලොව ඉපද තුදුස් අත්බැවෙක ස්ත්‍රීව උපන් බව, චරිත කතාවල දැක්වෙයි. එබැවින් සත්පුරුෂයන් මෙම සාපරාධී අකුසල ක්‍රියාව දුරින්ම දුරු කළ යුතු වන්නේ ය.

කාමෙසු මිච්ඡාචාරො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො නිරය සංවත්තනිකො හොති. තිරච්ඡානයොනි සංවත්තනිකො හොති. පෙත්තිවිසය සංවත්තිනිකො හොති. යො සබ්බලහුසො කාමෙසු මිච්ඡාචාරස්ස විපාකො මනුස්ස භූ®තස්ස සපත්ත වෙර සංවත්තිනිකොහොතීති.

ආදි නයින් කාම මිථ්‍යාචාර පාප ක්‍රියාවේ භයානක ප්‍රතිවිපාක බුදුරජාණන්වහන්සේ විවිධ දේශනාවලින් පෙන්වා වදාළ සේක. භෞතික සම්පත් පරිහරණය සම්බන්ධ තහවුරු වූ තුලනාත්මක ජාත්‍යන්තර ව්‍යවස්ථාපනයක් නොමැති බැවින් ධනය, බලය ක්‍රමයෙන් උන්මාදය දක්වා උත්සන්න වීමෙන් හොරකම වංචාව දුරාචාරය, යුද්ධය ජනතා ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධී බවට පත්වී ඇත. මේ දුර්භාග්‍යය තත්ත්වයෙන් මිදෙන්නට නම් පංච ශීල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුය.

යම් ගෘහවාසී කෙනකුට මුසාවාදයෙහි පැකිලීමක් බියක් නැතිනම්, ඔහු තුළ ගුණගරුක බවක් නැත්තේ ම ය. සසුන්වන් මහණහට මුසාවාදයෙහි ලැජ්ජා පැකිලීම් නැත්තේ ද එකී මහණහුගේ ශ්‍රමණකමක් නැත්තේ්ම ය.

පස්සසි නො තවං රාහුල ඉමං උදකධානං රික්තං තුච්ඡන්ති. ඒවං භන්තෙ. ඒවං රික්තං තුච්ඡං ඛො රාහුල තෙසං සාමඤඤං යෙසං න

ර්‍ථ>මෙසේ අප බුදුරජාණන්වහන්සේ රාහුල හාමුදුරුවන්ට ඉතා සරල උපමාවක් වන ජල භාජනය උපමා කර බොරු බස් දොඩන්නාගේ අභ්‍යන්තරයේ අල්ප මාත්‍ර වූද ගුණයක් ඉතිරි නොවන බව, දේශනා කළ සේක. ජල භාජනය මුනින් අතට හරවා කොතරම් ජලය වත්කරන නමුත් එහි ඇතුළත හිස් බව පවතිනවා මෙන්ම බොරුකාරයාගේ සන්තානයද යහගුණ ජලයෙන් හිස් වන්නේ්ය. එමෙන්ම මුසාවෙන් අනුන් මුලා කොට ජීවත් වන්නා කිසිම සමාජයකට යෝග්‍ය නොවන්නේ්ය. කලක් ලැජ්ජා බිය, සංකා නැතිව මුසාවාදයෙන් දිවි ගෙවන්නාට, දිට්ඨිධම්ම වේදනීය වශයෙන් ඇතිවන දුක් කරදර අපමණ ය.

දීනො විගන්‍ධ වද නො ච ජළො අපඤ්ඤෙ
මූගො සදාභවති අප්පියදස්ස නොච
පප්පෝති දුක්ඛමතුලංච මනුස්ස භූ®තො
වාචං මුසා භණති යොහි අපඤ්ඤසත්තෝ

ආදී නයින් පැනෙන පරිදි දීනකම ගොළු කම, මෝඩකම, අප්‍රසන්නකම ආදී විපාක ඇති වන්නේ් මුසාවාද අකුසලය නිසා ය.

අනුන් මුලා නොවන අනුනට අප්‍රසන්න නොවන, හිංසා පීඩා වේදනා ඇති නොවන අර්ථවත් මෘදු සත්‍ය වූ වදන් කියන්නා ගරු බුහුමනට ලක් වන්නේය.

මානසික දුබලතා සහ ශාරීරික ලෙඩරෝග ඇති කරන්නා වූ සුරා පානය, හලාහල විෂ මෙන් අත්හළ යුත්තේ්ය. විශේෂයෙන් මත්පැනට ලොල් වූවහුගේ චිත්ත සන්තානය තුළ සමාජය සමඟ වෛරය අපේක්ෂා භංගත්වය අනවබෝධය යන දුබලතා ඇති වෙයි.

පිපාසයට ලුණු දිය පානය කරන්නා සේ තව තවත් ආතතිය අසහනය වර්ධනය වී ජීවත්ව සිටින්නේ්නම් දීර්ඝ කාලීන ලෙඩ රෝගාදි ව්‍යසනයන් ට ගොදුරු වන පිළිවෙතකි මත් වන දෑ භාවිතය. මෙලොව ජීවිතය පරිහානියට පමුණුවන සුගති ගමනට බාධා කරන උපනුපන් ආත්මවල ජාති ජරාදී විවිධ ව්‍යසන වලට ලක් කරන සුරා පානය, සියලු දුශ්චරිතවල ආකරයකි.

මෙවැනි භයානක ප්‍රතිඵල ඇතිකරන සුරාපානය, නුවණින් සිතාමතා බැහැර කළ යුතු ය. මෙසේ පංච දුෂ්චරිත වලින් වෙන්වී පන්සිල් සමාදන්ව ගෙදරක සෑම දෙනම නිත්‍ය පංචශීලය ආරක්ෂා කරන්නේ්නම් එම ගෙදර සියල්ලෝ දෙවියන්ගෙන් සහ ජනතාව ප්‍රධාන පරිසරයෙන් ආරක්ෂාව ලබති. එමෙන්ම මරණින් මතු සුගතිගාමී වෙති. සසර දුක් කෙළවර කොට ඇති උතුම් අමා මහ නිවන් සම්පත් ලැබීමට ද හේතු වෙයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.