Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විශේෂ කාර්ය බළකායේ 24 වන සංවත්සරය වෙනුවෙන්

ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් අබියස පින්කම් පැවැති දා

සැම වසරකම සැප්තැම්බර් 1 වන දින විශේෂ කාර්ය බළකායේ රණවිරු සැමරුම් දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පැවැත් වූ 24 වන ගුණානුස්මරණ පින්කම පසුගිය දා (01) වැනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සහ රුවන්මැලි චෛත්‍යරාජයාණන් අභියස දී පින්කම් රාශියක් පැවැත්විණි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී කේ.එම්. එල්. සරත්චන්ද්‍ර ( නියෝජ්‍ය පොලිස්පති) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) මහින්ද බාලසූරිය, යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ කලාප නිලධාරී (වව්නියා) පොලිස් අධිකාරි විමලසේන වීරසිංහ - පොලිස් අධිකාරී (ප්‍රභූ ආරක්ෂක) රෝහාන් සිල්වා, පොලිස් අධිකාරී (ප්‍රවාහන) බී.ඩී. චන්ද්‍රසිරි, සහකාර පොලිස් අධිකාරී (වව්නියා) අසිත රණසූරිය යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහ නායකත්වය යටතේ සහ විශේෂ කාර්ය බලකායේ කඳවුරුවල අණදෙන සියලු නිලධාරීන් සහ දෙමාපියන් දූදරුවන්, බිරින්දෑවරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම පින්කම් මාලාව සිදු කැරිණි. වන්නි භාර නියෝජ්‍ය පොලිස්පති වන්නිනායක, සහකාර පොලිස් අධිකාරි රෝහණ ලියනගේ, හිටපු පොලිස් අධිකාරී ඩබ්ලිව්. කේ. සිරිසේන යන මහත්වරුන් එදින ආරාධිතයින් ලෙස සහභාගි වූහ.

සැප්තැම්බර් 1 වන දින අලුයම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත කිරිපිඬු දානය පිළිගැන්වීමෙන් එම ආගමික උත්සවය ආරම්භ කැරිණි. අනතුරුව මල් පෙරහර පවත්වා ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජෝපහාර පවත්වන ලදී.

ජය ශ්‍රී මහා බෝසමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව පෙරහරින් රුනන්මැලි චෛත්‍යරාජයාණන් වෙත ගමන්කර මල්, පහන් පුදා අධිෂ්ඨාන පූජාව රුවන්මැලි මහ සෑ මළුවේ සිට සිදුකරනු ලැබීය. අනතුරුව දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි. රුවන්වැලි චෛත්‍යරාමාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝ නායක පල්ලේගම හේමරතන නාහිමි, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ් පඤ්ඤානන්ද නාහිමි, මිරිසවැටිය චෛත්‍යරාමාධිපති ඊතලවැටුණුවැව ඤාණතිලක හිමි, ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රළපනාවේ ධම්මජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට සහභාගි වූහ.

විශේෂ කාර්ය බළකායේ රාජකාරී කරමින් සිටියදී රටේ හෙට දිනය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට පින් පැමිණවීම සිදුකරන ලද්දේ පැමිණ සිටි සියලු දෙනාගේ සහභාගිත්වයෙනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.