සමාව ගැනීමෙන් පමණක්
වරදෙන් නිදහස් විය හැකි ද?
විශ්‍රාමික ගුරු උපදේශක
ඒ.එම්. පේ‍්‍රමරත්න
මල් පහන්, ගිලන්පස, ආහාර ආදියෙන් පවත්වනු ලබන බුද්ධ පූජාවන්ගෙන් පසුව
කියන පූජා හා වන්දනා ගාථා අගදී බෞද්ධ සැදැහැවතුන් විසින් නොවරදවාම
තෙරුවන් ක්ෂමා කර ගැනීමක් කෙරෙන බව අපි කවුරුත් දනිමු. ‘කායේන වාචා
චිත්තේන’ යන්නෙන් ඇරැඹෙන එම ගාථා තුනෙන් ප්‍රකාශ කැරෙන්නේ අපගේ
ප්‍රමාදයකින් කය, වචනය, සිත යන තිදොරින් ත්‍රිවිධ රත්නය කෙරෙහි යම්
වරදක් සිදුවූයේ නම් ඒ වරදට සමාව ලැබේවා යන්නයි. මෙය බෞද්ධ වන්දනා
සම්ප්‍රදාය තුළ දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට ආ එකකි. එම ප්‍රකාශය
ඉදිරියටත් තව බොහෝ කාලයක් කෙරෙනු ඇත. එසේ සමාව අපේක්ෂා කෙරෙන, අප අතින්
වූ වැරැදි මොනවාදැයි නොදන්නා වුවත්, කිසියම් වරදක් වූයේ නම් එයින්
නිදහස් වූයේ යැයි විශ්වාස කිරීමෙන් ලබන මානසික නිදහසක් හෝ සැනසීමක් එම
ගාථාවන්හි අරුත දන්නා කෙනෙකුට නොලැබෙනවා යැයි කිව නොහැකි ය. නමුත් වැඩි
දෙනෙක් අතින් කෙරෙන්නේ සාම්ප්‍රදායික ප්‍රකාශයක් යැයි කීම අසත්‍යයක්
නොවේ.
කළ වරදකට සමාව අයැදීම, ගෞරව සම්ප්‍රයුක්ත වූ අනතිමානී සදාචාර ධර්මයකි.
සාමාන්‍ය ජීවිතයේ බොහෝ අවස්ථාවල දී ශිෂ්ට සම්පන්න වාචසික ක්‍රියාවක්
ලෙස අප අතින් එය සිදු කැරේ. එක් අතකින් එය, කළ වරද පිළිගැනීමේ ගුණය
දක්වයි. එසේ කිරීමෙන් එම වරද නැවත නොකිරීම සඳහා පශ්චාත් ශික්ෂණයක්ද ඇති
විය හැකි ය. එය වරද කළ තැනැත්තාට ලැබෙන යහපත් වාසියකි. එසේ වන්නේ කළ
වරද කුමක්දැයි දන්නා විට පමණකි. තෙරුවන් ක්ෂමා කර ගැනීම සඳහා කියනු ලබන
ගාථා, අප අතින් වූ වැරැදි පිළිබඳ දැනුවත් බවක් නැතිව කියන බැවින්
කිසියම් පශ්චාත් ශික්ෂණයක් ඇතිවේ යැයි නිශ්චිත නිගමනයකට බැසිය නොහැකි
යැයි සිතමි.
ප්‍රමාදය යනු පමා වීමයි. එය නොසැලකිලිමත් භාවයේ හෝ සතිමත් නොවීමේ
ප්‍රතිඵලයකි. බුදුරජාණන් වහන්සේගේ අවසාන අවවාදය වූයේ ද ‘අප්පමාදේන
සම්පාදේථ’ යන්න යි. ප්‍රමාදය නිසා සිත, කය, වචනය යන තිදොරින්ම වැරැදි
සිදුවිය හැකි වීම, පෘථග්ජන ස්වභාවය යි. දැනුවත්ව හා නොදැනුවත්ව යන
දෙයාකාරයෙන්ම වැරැදි සිදුවිය හැකියි. ප්‍රමාද දෝෂ අයත් වන්නේ
නොදැනුවත්ව සිදු කැරෙන වැරැදි වලට ය. එයට ප්‍රධාන හේතුව සතිමත් බවින්
තොර වීමයි. මේ දෙයාකාරයම සිත ප්‍රධාන කොට සිදු වෙයි. මෙහි, නොදැනුවත්ව
කෙරෙන වැරැදි ලෙස දැක්වූයේ වරදක් බව නොදැන සිතින් සිතා කරනු ලබන වැරැදි
ක්‍රියා ය.
මේ කවර වරදක් උදෙසා හෝ සමාව අයැදීම පිළිබඳ බුදු දහම මගින් කවර පැහැදිලි
කිරීමක් කෙරේ ද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. ඇතැම් ආගම්වල
මෙන් පව් සමා කිරීමේ පිළිවෙතක්, බුදු දහමෙහි නිර්දේශ නො කැරේ. එමෙන්ම
පව්කාරයාට ගල් ගැසීමේ පිළිවෙතක් ද එහි නැත. සිත ප්‍රධාන කොට කෙරෙන
යහපත් හෝ අයහපත් ක්‍රියා, කර්ම සංඛ්‍යාත බැවින් ඒවාට විපාක
ප්‍රතික්‍රියාවක් ද ඇත. අප අතින් කැරෙන වැරැදිවලට සමාව අයැදූ පමණින් එම
විපාකවලින් නිදහස් විය නොහැකි බව බුදු සමය නිර්දේශ කරයි. සාමාන්‍ය
සමාජය විසින් ගර්හාවට ලක්කරනු ලබන්නේ වරද නොව වරදකරු ය. බුදුරජාණන්
වහන්සේ ගර්හාවට ලක් කළේ වරදකරු නොව වරද ය.
භික්ෂූන් උදෙසා දේශිත ප්‍රාතිමෝක්ෂ විනය ශික්ෂාවෙහි, උන්වහන්සේගේ
සිව්පස පරිහරණය දායක සම්බන්ධතා, සෞඛ්‍යය, යාම් ඊම් ඉඳුම් හිටුම් ආදි
විවිධ චර්යා සම්බන්ධයෙන් සිදුවන වැරැදි (ඇවැත්) පිළිබඳ බොහෝ ශික්ෂාපද
පනවා ඇත. ඒවායින් සංස්ථාවක් වශයෙන් භික්ෂු ගෞරවයට කැළලක් විය හැකි
(ආභිසමාචාරික) බොහොමයක් ආපත්ති, සඟ ගණ, වෙත ආපත්‍යාරෝචනයෙන්, අබ්භාන
කර්මයෙන් හෝ නිස්සජ්ජනය කිරීමෙන් වරදෙන් නිදහස් වී පාරිශුද්ධිය ලබාගත
හැකි බව දැක්වේ. එහිදීත් කෙරෙන්නේ වරදට සමාව අයැදීම නොව, වරද
ප්‍රකාශකොට එය පිළිගෙන නැවත සංවරයෙහි පිහිටීම යි. එහෙත් ප්‍රාණඝාතාදී
හෝ පාරාජිකාමය හෝ සාවද්‍ය ක්‍රියාවල විපාකයෙන් එසේ නිදහස් විය නොහැකි
ය.
වරදකරුට නිවැරැදි වීම සඳහා පමණක් නොව එහි විපාකයෙන්ද මිදීමේ විශිෂ්ට
ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. රහතන් වහන්සේ යනු මුල
අනන්ත සංසාර ගමනේදී කරන ලද අනන්ත කර්මයන්ගේ විපාක සියල්ල විඳ අවසන් කළ
උතුමෝ නොවෙත්. සමාව අයැදීමෙන් පමණක් පුද්ගලයාට වරදෙන් නිදහස් විය
නොහැකි බව එම ක්‍රමවේදය තුළ දක්නට ඇති සුවිශේෂ ලක්ෂණයකි. මෙම ක්‍රමවේදය
බුදු දහමෙහි ආයති සංවරය ලෙස හැඳින් වේ. සියලු බොදුනුවන් විසින් මේ
පිළිවෙත දැන සිටීම ඉතා වැදගත් වනබව පෙනේ.පෙර කළ වරදින් මිදුණත්, ඒවා
යළි සිහිපත් වනවිට, ඒවායේ විපාක පිළිබඳ දැනුවත් වනවිට, බොහෝ දෙනා ඉමහත්
සන්තාපයට හා පසුතැවීමට පත්වෙත්. එය පසුතැවීම වනාහි කුක්කුච්ච නීවරණය
නම් වූ නිවන් මඟ අවුරන ක්ලේශ ධර්මයක් ලෙස දහමෙහි දැක්වේ. කුමන යහපත්
පිළිවෙතක් අනුගමනය කළත් කෙනකු කළ වරදට විපාක ලැබීම ඒකාන්තයෙන්ම වන්නේ ය
යනුවෙන් හා එම විපාකයෙන් මිනිසාට කෙසේවත් නිදහස් විය නොහැකි වන්නේ ය
යනුවෙන් එකල තිබූ නිගන්ඨ දර්ශනය මිථ්‍යා දෘෂ්ටියක් ලෙස බුදුරජාණන්
වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක. සිදු කැරුණු වැරැදි හඳුනාගෙන ඒවා නිවැරැදි
කර ගැනීම උන්වහන්සේ ඉතා අගය කළ සේක. ඒ හැකියාව මනුෂ්‍යයාට පමණක් ඇති
එකකි.
යස්ස පාපං කතං කම්මං
කුසලේන පීථියති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝච චන්දිමා
යනුවෙන් දැක්වෙන පරිදි යමෙක් කළ පව (වරද) ඔහුගේම කුසලයෙන් වැසේ ද, හේ
වළාකුළෙන් බැහැර වූ සඳ මෙන් බබළන්නේ ය. (ධම්ම පදය - ලෝක වග්ග 7) යමෙක්
මූලින් පමා වී පසුව නොපමා වී ක්‍රියා කරන්නේ්නම් ඔහු ද ඉහත අයුරින්ම
බබළන බව එහිම සය වැනි ගාථාවෙන් දක්වයි. කළ වරද නිසා සිදු විය හැකි පසු
ප්‍රතිඵලය අක්‍රීය කළ හැකි බව හා එය කළ හැකි වන්නේ සමාව ගෙන නිකම්
සිටීමෙන් පමණක් නොව, වරද පිළිගෙන නිවැරැදි කරගෙන විනය ශික්ෂාවෙහි
පිහිටා කුසල ධර්ම වැඩීමෙන් බව යන කාරණා එයින් පැහැදිලි වෙයි.
දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයෙහි එන පුවතක් මගින්ද මේ කාරණය සනාථ වෙයි.
දෙව්දත් තෙරුන්ගේ සාහසික මෙහෙයැවීමෙන් මුළා වී නොමග ගොස් තම පියා ඝාතනය
කළ අජාසත් රජු, පසුව එහි බරපතලකම තේරුම් ගැනීමෙන් බලවත් චිත්ත පීඩාවට
පත් වූයෙන්, එයින් මිදීමේ ක්‍රමයක් උදෙසා බුදුරදුන් ගේ පිහිට ලබා
ගැනීමට ඔහුට අවශ්‍ය විය. මහ වෙදැදුරු ජීවක සමග ගොස් බුදුරදුන් හමු වූ
එම රජු, පියා මැරීම නිසා තමා ඉමහත් චිත්ත පීඩාවට පත් වී සිටින බවත්,
තමන් මුළා වී කළ වරද දැන මින් පසු කිසිවිටකත් එවැනි වරදක නොබැඳෙනු
පිණිස තමන් කළ වරද වරදක් ලෙස පිළිගන්නා සේක්වායි ඉල්ලා සිටියේ ය. එහි
දී තථාගතයාණන් වහන්සේ, ඒකාන්තයෙන්ම රජු වරදකරු වී ඇති බවත්, එය වරද
වශයෙන් දැක පිළිගෙන ධර්ම විනයෙහි (ආයති සංවරයෙහි) මනාව පිහිටන්නේ නම්
තමන් වහන්සේ එය පිළිගන්නා බවත් වදාළහ. එහිදී
‘වුද්ධිහේසා මහාරාජ, අරියස්ස විනයේ යෝ අච්චයං අච්චයතෝ දිස්වා, යථා
ධම්මං පටිකරෝති ආයතිං සංවරං ආපජ්ජති’ (මහරජ, තමා කළ වරද වරද වශයෙන් දැක
ධාර්මික වූ ආර්ය විනයෙහි, ආයති සංවරයෙහි පිහිටා පිළියම් යොදන්නේ නම්,
වෘද්ධියක්ම වේ) යැයි වදාළහ. මේ අනුව ද පෙනී යන්නේ කෙනෙක් කළ වරද
හඳුනාගෙන තිබීම අවශ්‍ය බවත්, එම වරද නැවත නොකිරීම සඳහා එය වැසී යන
පරිදි ආර්ය විනයානුකූල ආයති සංවරයෙහි පිහිටිය යුතු බව ය.
මෙහිදී, ඉතා වැදගත් වන්නේ, කළ වරද - වරදක් ලෙස පිළිගැනීම යි.
බුදුරජාණන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි වැඩ සිටින කල්හි,
උන්වහන්සේ වෙත එළැඹි නිගණ්ඨනාථපුත්ත ශ්‍රාවක අසිබන්ධක ගාමිණීට දේශනා
කරන ලද සංඛධම්ම සූත්‍රයෙන්ද (සං. නි. ගාමිණි සංයුක්තය) ආයති සංවරයෙන්
පෙර කළ වරද වැසිය හැකි බවද දැක්වෙයි. පූර්වයෙහි තමන් විසින් බොහෝ
සෙයින් කරන ලද ප්‍රාණඝාතාදී අකුසල නිසා ඒකාන්තයෙන්ම අපාගත වන්නේ ය හා
කිසිම නිදහසක් නොලබන්නේ්ය යන දෘෂ්ටියෙහි පිහිටා සිටීම ම අපාගත වීමට
හේතුවක් බවත්, ඒ වැරැදි කෙරෙහි පසුතැවෙමින් සිටියාට එයින් නිදහස
නොලැබෙන බවත් එහි දේශිත අතර, එම වරදෙන් වැළකී ධර්ම ශික්ෂාවෙහි පිහිටා
මනා නුවණින් යුතුව ඉදිරියේදී ක්‍රියා කරන්නේ නම් ඒ පාප කර්ම (වැරැදි)
ප්‍රහාණය වී ඒවා ඉක්මවා යන්නේ්යැ යි වදාරා ඇත.
(ඒව මේතස්ස පාපස්ස කම්මස්ස පහානං හෝති, සමතික්කමෝ හෝති) මේ අනුව ද
පැහැදිලි වන්නේ, වරදට සමාව අයැදීමෙන් පමණක් වරදෙන් නිදහස් විය නොහැකි
බව හා එම වරද නැවත නොකර එයින් වැළකී සිටීමෙන් පමණක් නොනැවතී ආයත
සංවරයෙහි පිහිටා ධර්ම විනයට අනුව කුසල ක්‍රියාවල අප්‍රමාද වීමෙන් දස
අකුසල කර්ම විපාක පවසා ඉක්මවා ගොස් ප්‍රහාණය කළ හැකි බව යි. අංගුලිමාල
කථා පුවත මෙයට කදිම උදාහරණයකි. ආයති සංවරය ප්‍රධාන වශයෙන් අංග පහකින්
යුක්ත වන බව පෙනේ.
1. වරද වරදක් බව වටහා ගැනීම
2. වරදක් බව පිළිගැනීම
3. තමාට වැඩි ගුණ දහමින් යුත් අයෙකුට වරද පවසා එය නැවත නොකිරීමේ ස්ථිර
අධිෂ්ඨානය
4. එය නැවත නොකිරීමේ ප්‍රතිපදාව (සීලය)
5. එය වසන ධර්මනුධර්ම ප්‍රතිපදාවේ අප්‍රමාදව විසීම යනු එම අංග පහයි.
ආනන්තර්ය මහා සාවද්‍ය පාප කර්ම හැරුණු විට, අනෙකුත් අකුසල විපාක බලවේග
ඊට ඉහළ කුසල විපාක බලවේග මගින්, විපාක දීමේ අවස්ථා නැතිවන පරිදි
ප්‍රහාරණය කළ හැකි බව දැක්වෙන මෙම ධර්මතාව, බුදු දහමෙහි ප්‍රකාශ වන
අනන්‍ය දර්ශනයකි. මේ අනුව බුදු දහම කොතරම් සමාජවාදී ප්‍රගතිශීලී හා
සහනශීලී දහමක්ද යන්න පැහැදිලි ය. වැරැදි නමැති වළාකුළෙන් වැසී
සිටින්නවුන්ට එයින් මිදී සඳක් සේ බැබලිය හැකි බව පෙන්වා දෙන බුදුරජාණන්
වහන්සේ අසරණ සරණ වූ සේක. තමා විසින්ම තමාගේ් විශුද්ධිය උදාකරගත යුතු බව
උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළ සේක. ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් ලබන
ප්‍රයෝග සම්පත්තිය අන් සියලු සම්පත්ති අභිබවා යන්නේය. එම ප්‍රතිපදාවෙහි
නොයෙදී, මුළු ජීවිත කාලය තුළම තෙරුවනින් සමාව අයැද සිටියත් සංසාර
විමුක්තිය සඳහා එයින් අපට ලැබෙන ඵලය කුමක් ද?
මෙහි සඳහන් ධර්මානුධර්ම ප්‍රතිපදාව කුමක් ද? එය මුලුමනින්ම ආර්ය
අෂ්ටාංගික මාර්ගාංග තුළ ආවරණය වන්නකි. බෞද්ධ ධර්ම ප්‍රතිපදාව වනාහි
තෙරුවන් සරණ යෑමෙන් පටන් ගෙන ශ්‍රද්ධාව හරහා ප්‍රඥාවට විහිදෙන එකකි.
ආර්ය අෂ්ටාංගික මාර්ගාංග යනු අපගේ සාමාන්‍ය ලෞකික ජීවතයෙන් පරිබාහිර වූ
එයින් නික්ම ගොස් අනුගමනය කළ යුතු වූ සුවිශේෂි දුෂ්කර මඟක් ය යන තැති
ගන්වන සුළු ආකල්පයෙන් අප බැහැර විය යුතු යැයි සිතමි. එය අපගේ ජීවිත
චක්‍රය තුළ ම වූ සංස්කරණ වෘද්ධියකි.
නිවනට එළඹෙන බුද්ධ කාරක (පාරමී) ධර්ම සියල්ලම ලෞකික ජීවිතය තුළම වැඩිය
යුතු ධර්ම වෙත්. නිර්වාණ ප්‍රාප්තියට පත් තැනැත්තාට අමුතුවෙන් වැඩිය
යුතු බුද්ධ කාරක ධර්මයක් හෝ අනුගමනය කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයක්
නැත. උදාරණයක් හැටියට ප්‍රාණඝාතය ගතහොත්, එයින් වැළකී සිටීම චාරිත්‍ර
සීලයක් වෙයි. නමුත් එපමණකින් ඔහු විපාක පක්ෂයෙන් මිදුණේ් නොවේ.
ඉන්පසු ඔහු මෛත්‍රී විහරණයෙන් යුතුව, කරුණා මුදිතා විහරණයෙන් යුතුව
කල්‍යාණ මිත්‍ර සේවනය ලබමින් තම සීලයේ අෂ්ටාංග පාරිශුද්ධ භාවය
රැකගනිමින් වාසය කරන විට ඔහු තුළ අවිහිංසා අව්‍යාපාද නෙක්ඛම්ම සංකප්ප
වැඩේ. ප්‍රාණ ඝාතයෙහි යෙදෙන පුද්ගලයා තුළ ඇතිවන්නේ විහිංසා සහ ව්‍යාපාද
සංකල්පනා ය. ඒවා කිසි උත්සාහයකින් තොරව ඇතිවන්නේ ය. නමුත් අවිහිංසා,
අව්‍යාපාද සංකල්ප උත්සාහයෙන් හා වීර්යයෙන් වඩාගත යුතු ඒවා වෙත්. මේ
අනුව ආයති සංවරයෙහි පිහිටා වරදින් මිදීමේ ප්‍රතිපදාව පිළිබඳ ප්‍රමාණවත්
අදහසක් අපට ඇති කර ගත හැකි ය. මෙහිදී වරදට සමාව අයැදීම නිෂ්ඵල
ක්‍රියාවක් ලෙස හෝ මුලාවෙන් කරන ක්‍රියාවක් යැයි කෙහෙත්ම අදහස් නොකැරේ.
මුලින් ම සඳහන් කළාක් මෙන් එය සදාචාර සම්පන්න වූද, අනතිමානී භාවය
ප්‍රකට කරන්නා වූ ද ලෝක චාරිත්‍ර ධර්මයකි. නමුත් එපමණකින් ම අප
ප්‍රාර්ථනා කරන පාරීශුද්ධිය ප්‍රාප්ත කරගත හැකි බව නොපෙනෙයි.
|