UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොවුතුරා බුද්ධ රාජ්‍යය ලද ලොව අසමසම පුදබිම

මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වූද පහළ වන්නාවූද සියලු බුදුරජාණන් වහන්සේට අවේණික වූ ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ ඉදිරිපිට වජ්‍රසමාධියට සමවැදුණු සේක්.

ගෞතම තථාගතයන් වහන්සේද සව¢ඥතාඤාණය ලැබුයේ මේ පූජනීය ස්ථානයේදීය. බෝධි මණ්ඩලය යි ද කියනු ලබන මේ ස්ථානය පොළොව කම්පාවනවිට නොසෙල් වී තිබෙන බවත් බුදු සසුන අවසන්වන විට මෙය පසින් හා දූවිලියෙන් වැසී නොපෙනී යන බවත් සුවිශේෂ සිද්ධියක් වන්නේ ය.

වජ්‍රාසනයට උඩින් සෙවණ දුන් ඒ අසිරිමත් බෝධීන්වහන්සේ පිප්පිලි වෘක්ෂ රාජයන්මය. බුදුරදුන් දවස අඩි සියගණනක් උස් වූ මෙය අනතුරුවලට භාජනයවීමෙන් දැන් අඩි 40, 50 ක් පමණ උසැත්තේ ය. සම්බෝධිය අවබෝධ කළ බැවින් මෙයට බෝධි වෘක්ෂයයි ව්‍යවහාර කෙරේ. පොත්ත මද කසාවන් සුදු පැහැයෙන් යුක්තවන අතර රිකිළි හා කොළ තද කොළ පැහැයෙන් යුක්ත වෙයි. ශීතෝෂ්ණ සෘතු වලදී කොළනොයිදී තිබෙන නමුත් බුදුරදුන් පිරිනිවි දිනයේදී සියලු පත්‍ර ගිලිහී වැටෙති. නොබෝ දිනකින්ම නැවත අලුත් පත්‍රයෙන් වැසීයන බැව් හියුංසියෑං නම් චීන භික්ෂුන් වහන්සේ විස්තර කරති.

චතුරාර්ය සත්‍යාවබෝධය

වජ්‍ර හා සමාන දෘඩතර අධිෂ්ඨානයකින් යුක්තව බෝමැඩ වැඩ බෝසතාණන් වහන්සේ පසුදින අළුයම වන විට ශ්‍රී සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේක.

ඒ බව බරණැස ඉසිපතානාරාමයේදී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි පස්වග තවුසන්ට දේශනාකළ වදාළ ධම්මචක්‍ර පවත්තන සූත්‍රය ප්‍රථම දෙසුම, දෙවන අවස්ථාවේ භික්ෂූන්වහන්සේට අරිය පරියේසන (පාසාරාසි) සූත්‍රය, තෙවන අවස්ථාවේ මහා සච්චක නම් බමුණු පඬිවරයාට මහා සච්චක සූත්‍රය දේශනා කිරීමෙන් සනාථ වේ.

මේ හැම අවස්ථාවකදීම පැහැදිලි කර ඇත්තේ චතුරාර්ය සත්‍ය ය අවබෝධයෙන් බුදුබව ලැබූ බවය. එකම ධර්මය ක්‍රම කීපයකට දේශනාකර ඇත. ඒවායේ වචන පමණක් වෙනස් වේ. අර්ථ වශයෙන් සියල්ල එක හා සමානය.

බරණැස ඉසිපතන දේශනයේදී, ‘ත්‍රිපටිවට්ට ද්වාදසාකාර’ ක්‍රමය අනුගමනය කර ඇත. එක එක සත්‍යයක පරිවර්තන අවස්ථා තුනකි. ආකාර වශයෙන් සියල්ල දොළසකි. එය මෙසේ දැක්විය හැකිය.

සච්ච ඤාණ කිච්ච ඤාණ කෘත ඤාණ

1. මේ දුක්ඛ සත්‍යයයි 2. එය දැන ගත යුතුය 3. මම එය දැක ගතිමි 4. මේ සමුදය සත්‍යයයි 5. එය දුරුකළ යුතුය 6. මම එය දුරු කළෙමි 7. මේ නිරෝධ සත්‍යයයි 8. එය අවබෝධ කළ යුතුය 9. මම එය අවබෝධ කළෙමි 10. මේ මාර්ග සත්‍යය යි 11. එය වැඩිය යුතුයි 12. මම එය වඩා අවසන් කළෙමි

දම්සක් පැවතුම් සුතුරේ සඳහන් එක සත්‍යයක් පිළිබඳ වූ සත්‍යය කෘත්‍යය කෘත ඥාණයන් සම්පූර්ණ වෙනවාත් සමගම චතුරාර්ය සත්‍යය අවබෝධ වූවා වේ. එක එක සත්‍යය පිළිබඳව වෙන වෙනම කටයුතු කිරීමක් නැත.

අරිය පරියේසන සූත්‍රය

මෙම සූත්‍රය දේශනා කර වදාළේ භික්ෂූන් වහන්සේලාටය. එහි දැක්වෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක සංකිලේස යන මේවා දුක්ඛ සත්‍යයටම අයත් වේ. මින් එක ධර්මයක ආදීනව දැනීමෙන් ඇතිවන අවබෝධයම චතු සත්‍යය අවබෝධයම වේ. එය පහත විස්තරයෙන් පැහැදිලි කරගත හැකිය.

1. මම ජාති ධර්මයෙන් යුක්තව සිට එහි ආදීනව දැන ජාතියක් ඉපදීමක් නැති නිවන අවබෝධ කෙළෙමි.

2. මම ජරා ධර්මයෙන් යුක්තව සිට එහි ආදීනව දැන ජරාවක් නැති නිවන අවබෝධ කෙළෙමි.

3. මම ව්‍යාධි ධර්මයෙන් යුක්තව සිට එහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිවන අවබෝධ කෙළෙමි.

4. මම මරණ ධර්මයෙන් යුක්තව සිට එහි ආදීනව දැන මරණයක් නැති නිවන අවබෝධ කෙළෙමි.

5. මම ශෝක ධර්මයෙන් යුක්තව සිට එහි ආදීනව දැන ශෝකයක් නැති නිවන අවබෝධ කෙළෙමි.

6. මම සංකිලේස (කෙළෙස් කිළුටු) ධර්මයෙන් යුක්තව සිට එහි ආදීනව දැන කෙළෙස් කිළුටුවලින් තොර නිවන අවබෝධ කෙළෙමි.

ප්‍රථම දම්සක් පැවතුම් සූතුරේත් අරිය පරියේසන සූත්‍රරේත් ධ්‍යාන නොදක්වා ඉතිරි කොටස් පමණක් දක්වා ඇත. එයින් ධ්‍යාන අනවශ්‍ය බවක් නොපැවසේ. සත්‍යාවබෝධය ධ්‍යාන ආධාරයෙන්ම සිදුවන්නකි. හැම මාර්ගයකදීම සප්ත විශුද්ධි නමැති පිරිසුදු හත සම්පූර්ණ විය යුතුය.

සප්ත විශුද්ධිය

1. සීල විශුද්ධි - සීලය නිසා ඇතිවන පිරිසුදුතාවයයි.

2. චිත්ත විශුද්ධි - ධ්‍යාන මගින් කෙළෙස් යටපත් කිරීමෙන් පිරිසුදු වීමයි.

3. දිට්ඨි විශුද්ධි - නාම රූප ධර්මයන්ගේ යථාස්වරූපය දැකීමෙන් පිරිසුදුවීමයි. (මෙහිදී ආත්ම දෘෂ්ටිය දුරුවේ. ආර්ය මාර්ගයට නියත වශයෙන්ම බැස ගැනීම සිදුවන්නේ මෙහිදීය)

4. කංඛා විහරණ විශුද්ධි - නාම රූප ධර්මයන්ගේ හේතු දැනීමෙන් ඇතිවන පිරිසුදුතාවයයි. (මෙහිදී කර්ම ආදී ප්‍රත්‍යයන් පිළිබඳව ඇතිවන දැනුම නිසා අතීත , වර්තමාන, අනාගත භාවයන් පිළිබඳ සැකය දුරුවේ)

5. මග්ගා මග්ග ඤාණ - දස්සන විශුද්ධි - භාවනානුයෝගි යෝගාවචරයාට ධ්‍යාන ආදිය නිසා ඇතිවන ආලෝකය පී‍්‍රතිය සැහැල්ලුබව ආදි උපක්ලේශ ධර්මය නැතිකර ගැනීමෙන් ඇතිවන පිරිසුදුතාවයි.

6. පටිපදා ඤාණදස්සන විශුද්ධි - නව මහා විදර්ශණ ඤාණයන් පහළ කර ගැනීමයි.

7. ඤාණ දස්සන විශුද්ධි - සතර මාර්ග ඤාණයන් නිසා ඇතිවන පිරිසුදුතාවයයි. ඤාණ දස්සන විශුද්ධි ලාභියාට නිවන ප්‍රත්‍යක්ෂ වේ. එහෙත් නිවන ඤාණ දස්සන විශුද්ධියේ ප්‍රතිඵලයක් නොවේ. මෙම සප්ත විශුද්ධියම එකිනෙකට ප්‍රත්‍යයවීමයි. කෙසේවතුදු රථවිනීත සුත්ත, විශුද්ධි මග්ග ආදී ග්‍රන්ථවල මෙය දීර්ඝලෙස විස්තර ඇත.

බෝසතාණන් වහන්සේගේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි බුදුවීමට පෙරදීම සම්පූර්ණ වී තිබුණි. උන්වහන්සේට අවශ්‍ය වූයේ සෙසු විසුද්ධි පහ සම්පූර්ණ කිරීමකි. පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගැනීමෙන් එතුමාගේ දිට්ධි විශුද්ධිය සම්පූර්ණ විය. චතුප්පාත ඤාණය උපදවා ගැනීමෙන් කංඛාවිතරණ විසුද්ධිය සම්පූර්ණ විය. ආසවක්ඛය ඤාණයේදී සෙසු විසුද්ධීන් සම්පූර්ණ විය. බුදුවීමේ පුවත සවිස්තරවන්නේ මහා සච්චක සූත්‍රයේ ය.

සම්මා සම්බුද්ධත්වය ලැබීම

ඉහත කී විශුද්ධීන් මගින් විතක්ක - විචාර දෙකින් යුක්තව ;සාම්නස් දොම්නස් දෙකින් මිශ්‍රව පළමු ධ්‍යානයටද එය පහව සමාධි සුවයෙන් ද්විතීය ධ්‍යානයටද, මධ්‍යස්ථ වූ සිහිය හා පී‍්‍රතිය නිසා තෘතිය ධ්‍යානයට ද සුබ - අසුබ අතහැර උපේක්ෂාවෙන් වූ සිව්වන ධ්‍යානයටද බුදුන් වහන්සේ පත්වූ සේක.

පෙර විසූ කඳපිළිවෙල (පෙර අත්බැව්) සිහිකිරීමෙන් රාත්‍රියෙහි ප්‍රථම යාමයද, කර්මයට අනුරූපව සත්ත්වයන් මැරෙනු - උපදිනු බව හා කය- වචනය - සිත යහපත් සත්වයන් පින් රැස්කොට මරණින් පසු සුගතිගාමි වන සැටි දෙවන යාමයද දුක - දුකට හේතුව , දුක නැතිකිරීම , දුක නැතිකිරීමේ මාර්ගය යථාකාරයෙන් අවබෝධවීම තෙවන යාමයද ඉකුත්වීමෙන් අනතුරුව ත්‍රිවිද්‍යාව (පුබ්බේ නිවෙසානුස්සති චූතූපපාත හා ආසවක්ඛය යන ත්‍රිවිධ ඤාණ) පහළ විය.) (මහා සච්චක සූත්‍රය) චතුසත්‍යය අවබෝධ කළ බැවින් තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ යයි කියනු ලැබේ.

බුදුබව ලැබීමෙන් පසුව පටිච්චසමුප්පාදය මෙනෙහි කළ බව මෙසේ පැහැදිලි වෙයි. ‘එසමයෙහි බුදුරජාණන් වහන්සේ බුදුබවට පත්ව නෙරඤජරා නදී තීරයෙහි බෝධිවෘක්ෂ මූලයෙහි නිවන් සැප විඳිමින් නොනැගිට සත්දිනක් බෝධිපල්ලංකයෙහි වැඩසිටි සේක. අනතුරුව පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. අවිජ්ජා පච්චයා සංඛාරා යනාදී ක්‍රමයෙන්...’

සැරියුත් මහරහතන්වහන්සේ මහා හත්ථිපදෝපම සූත්‍රයේදී මෙසේ වදාරති. ‘පොළොව මතුපිට හැසිරෙන්නාවූ පා සහිත සතුන්ගේ පාදයෝ වෙත්ද, ඒ සියලුම පාදයෝ ඇත් පාදෙයහි ඇතුළත්වීමට පැමිණෙති. ඇත් පාදය මහත් බැවිනි. එපරිද්දෙන්ම යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ල චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් වෙති යනුවෙනි. මෙසේ හෙයින් ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුද්ධගයා බෝමැඩ වජ්‍රාසනාරූඩව චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමෙන් සම්මා සම්බුදු වූ සේක. පෘථිවියේ නාභිය වූ මෙහි මැවුණු මේ වජ්‍රමයාසනය පියවර සියයක් පමණ වටැත්තේය. මහා භද්‍රකල්පයෙහි පහළ වූද, පහළවන්නා වූද, දහසක් බුදුවරු මෙහි වැඩ හිඳ වජ්‍ර සමාධියට සම වැදුණාහ. සමවදින්නාහ.

ධර්මපාලතුමාගේ අධිෂ්ඨානය

වර්ෂ 1891.10.22 දින ප්‍රථම වරට පිවිස බුද්ධගයා පූජනීය ස්ථානය ඉදිරිපිට සිටීමෙන් එතුමා බලවත් සොම්නසින් ඉපිලී ගියේය. එහෙත් මෙම පූජනීය ස්ථානයට සිදු වී තිබෙන තැති ගත්වනසුළු තත්ත්වය දැකීමෙන් හදවත කම්පා විය. පහත සඳහන් අර්ථයෙන් එය ;මානවට පැහැදිලිවේද?

වජිරාසනය මත අනගාරික ධර්මපාලතුමාගේ නළල තබනවාත් සමඟම ක්ෂණික ස්පන්දනයක් ඇති වූ අතර සිත තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති වූ බවත් මෙහි නතර වී පූජනීය ස්ථානය රැක ගැනීමට පෙළඹුන බවත් එතුමා පවසා ඇත. සාක්‍යසිංහ මුනින්ද්‍රයන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට උපකාර වූ බෝධීන්වහන්සේ වැඩසිටින ස්ථානයට සමාන කළ හැකි අතිපූජනීය කිසිවක් කොතැනකවත් ලෝකයේ නොමැති බැව් වැටහිනියයිද කියා තිබේ.

හද කම්පාවටත් බුද්ධාලම්බන පී‍්‍රතියටත්, පත්වීමෙන් ‘බුද්ධගයාව බේරාගනිව්’ යන අහිංසක සටන එතුමා බෞද්ධ ලෝකයා හමුවේ තැබීය.

බුදුරජාණන්වහන්සේ මාරසේනා පරාජය කොට සම්‍යක් සම්බෝධියට පත්වූ සේක. (මේ රුක උපකාර කරගෙනය. බෝධීන් වහන්සේට සැදැහැයෙන් පුද සත්කාර කරන්නා සකළ දුක් නිවාරණය කෙරෙමින් බුදුරජාණන් වහන්සේටම වඳිනු වන්නේය) යන අර්ථයෙන්, බුද්ධඝෝෂ හිමි බුද්ධගයාවේ බෝධිධ්‍රැමරාජයාණන්ට නමස්කාර කළේ මෙසේය.

බොධිං නිස්සාය සම්බුද්ධො,
සම්බුද්ධො ද්විපදුත්තවො
බෝධි පත්තොච සො හොන්ති,
මාරසේනස්ස මද්දනා
යො බොධිං අරහං කත්වා
පූජාය අභිපූජයී
සොච බුද්ධං විය පූජෙති
සබ්බ දුක්ඛ පමුඤචසො’
බුදුබව ලැබූ මහා බෝධිය වැඳීම පිළිබඳ ගාථාව එහි මෙසේ සඳහන් වේ.

යස්මිං නි සජ්ජ වජිරාසන බන්ධනේන
ජෙත්වා සවාසන කිලේස බලං
මුණින්දෝ
සම්බෝධි ඤාණ මම ගම්ම විහාසි
සම්මා
තං බෝධි චේතිය මහං සිරසා නමාමි
බුද්ධගයා මහා විහාර වන්දනා
ගාථාව මෙසේය.

තිලෝක නාථො දීපදුත්ත මො සො - යස්මිං විජේසි සකිලෙසමාරං
රාජෙන සොකෙන සුසජ්ජිතංතං - වන්දා මහං බුද්ධගයා විහාරං.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]