බෞද්ධ ස්තූප කලාවේ විකාශය
දර්ශනපති
ප්‍රභාත් ගමගේ
බෞද්ධ ශිෂ්ටාචාරයේ අතිවිශිෂ්ට වාස්තු විද්‍යා නිර්මාණයක් ලෙස සැළකිය
හැකි බෞද්ධ ස්තූපය දාගැබ, වෙහෙර, සෑය, චෛත්‍යය, චේතිය ආදී විවිධ නාම
වලින් හැඳින්වේ. ධාතූන් වහන්සේ තැන්පත්කර ඇති ගර්භය යන සිංහලාර්ථයෙන්
දාගැබ ලෙසින් විග්‍රහ කෙරේ. සකු බසින් ‘ධාතු’ යන වචනය සහ ‘ගර්භ’ යන වචන
දෙකේ සංයුතියෙන් ‘ධාතු ගර්භය’ දාගැබ වී ඇත.
සාමාන්‍ය බෞද්ධ ජනතාව ස්තූපය හඳුන්වන්නේ ‘වෙහෙර’ යන නමිනි. ආරාම හෝ
පන්සල යන අර්ථය ගෙනදෙන විහාර යන වචනයෙන් වෙහෙර යන්න සෑදී ඇත. මේ නිසා
ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන හැඳින්වීමට වෙහෙර යන නම භාවිත වන බව පෙනේ.
කොටවෙහෙර, කිරි වෙහෙර ඊට නිදසුන් ය.
ස්තූපයේ ප්‍රභවය කෙසේ සිදුවන්නට ඇත්ද යන්න සැළකීමේ දී එය ඇතැම්විට බුදු
දහමටත් වඩා පැරැණි විය හැකි බව පෙනේ. ආනන්ද කුමාරස්වාමි මේ සම්බන්ධයෙන්
අදහස් දක්වන්නේ ස්තූපයේ ප්‍රභවය සැකයට භාජනය වී ඇති බවකි. ඔහු එසේ
පවසන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන ගෞතම චේතිය ‘උදේනි චේතිය’,
චාපාල චේතිය’ බුද්ධ කාලය වනවිටත් පැවැති චෛත්‍යයන් වූ නිසා ය.
අතීතයේ භාරතය ස්තූපයක් ගොඩනංවන ලද්දේ බෞද්ධයන් පමණක්ම විසින් නොවේ.
සතුන් අදහන පිරිස් ඒවාගේම ජෛන ආගම් අදහන පිරිස් විසින් ස්තූප ගොඩනංවා
ඊට අදාළ වැඳුම් පිදුම් සිදුකර ඇත. මෙම ස්තූප එදා භාරතයේ මළවුන් දවා එම
භෂ්මාවශේෂ හෝ මෘත ශරීර තැන්පත්කර ස්මාරක ලෙසින් ද සළකා ක්‍රියා කර ඇත.
බුද්ධ කාලයට පෙර මිසරයේ රාජකීයයන් ගේ මෘත ශරීර තැන්පත් කොට තනන ලද
පිරමිඩ එබඳු ස්මාරක වේ.
උතුරු ඉන්දියාවේ බුදුන් වහන්සේගේ උත්පත්තියට ප්‍රථම සක්විති රජවරුන්ගේ
මෘත ශරීරය තැන්පත් කිරීම සඳහා ප්‍රථම වරට මෙම ස්තූප නිර්මාණය වූ බවත්,
එම ස්මාරක මහා පරිනිර්වාණ සූත්‍රය අනුව ස්තූප ලෙස සැළකිය හැකි බවත්,
මහාචාර්ය පරණවිතානයෝ සඳහන් කරති. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ
97 ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුද්ධ, ප්‍රත්‍යෙක බුද්ධ, අරහත්ත,
චක්‍රවර්ති, මහාරාජ යන සතර කොට්ඨාසයට අයත් පුද්ගලයන්ගේ ධාතූන්
තැන්පත්කර ස්තූප තනවා ඔවුනට ගෞරව පුද සත්කාර කිරීම සුදුසු බවයි.
ස්තූප හෙවත් දාගැබ් නිර්මාණය සංකල්පමය වශයෙන් උතුරු ඉන්දියාවේ සිට
පැතිර ගිය බව නොරහසකි. ඉන්දියාවේ සාංචි හා භාර්හුත් වලින් ස්තූපයන්ගේ
පැමිණීම සම්බන්ධ වැදගත්ම සාධකයයි. මෙම ස්තූප ආදර්ශයට ගෙන ලංකාවේ දාගැබ්
නිර්මාණය ආරම්භ කෙරුණු නමුත් ඊට වඩා ස්වාධීන මුහුණුවරකින් ලංකාව තුළ
සංවර්ධනය හා විකාශය වන්නට විය.
බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ වෙත වැඳුම් පිදුම් කිරීමට
බෞද්ධයන් දක්වන්නේ අභිරුචියකි. එම නිසා ජීවමාන ස්වරූපයකින් යුතුව
බුදුන් වහන්සේ සිතේ තැන්පත් කර බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුක්තව
දාගැබ්වන්දනය සිදුකිරීම බෞද්ධයන්ගේ සිරිතක් වී ඇත.
මහින්දාගමනයත් සමග පසුකලක ලංකාවේ දාගැබ් ඉදිවන්නට වූ බව ඇතමුත් සඳහන්
කළද එය පිළිගත නොහැක්කේ බුද්ධ කාලයේදීම ලංකාවේ දාගැබ් ඉදිවූ බවට
සාක්‍ෂි ලැබී ඇති බැවිනි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනින් පසු සමන්
දෙවිඳුන් වෙත ලබා දුන් කේශ ධාතූන් වහන්සේ නිදන්කර මහියංගන දාගැබ
ප්‍රථමයෙන් ඉදිකර ඇති බව මහාවංශය දක්වයි. (පරි. 1 පෙළ 33 – 9 )පූජාවලිය
දක්වන්නේ ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ තිරියාය ගිරිහඬු සෑ නම් ස්තූපය
ප්‍රථම ද්වේවාචික උපාසකයන් වූ තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන් හට
ලබාදුන් කේශ ධාතූන් නිදන් කර ඉදිකර ඇති බවයි. මෙම ස්ථානයෙන් ලැබී ඇති
සංස්කෘත ශිලා ලේඛනයකද මේ පිළිබඳව සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙයින්
පැහැදිලි වන්නේ මහින්දාගමනය සිදුවන්නට පෙරාතුව සිටම ලංකාවේ ස්තූප ඇරඹී
ඇති බවකි.
ස්තූප මහින්දාගමනයට පෙර ඇරඹුණද එය ස්තූප කලාවක් වශයෙන් සංවර්ධනය හා
විකාශය ශීඝ්‍රයෙන් සිදුවන්නේ මහින්දාගමනයට පසුවය. මහින්දාගමනයත් සමඟ
බුදුදහම ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ ඉදි වූ ප්‍රථම දාගැබ වශයෙන්
සැළකෙන්නේ ථූපාරාම දාගැබයි. ලංකාවේ ඉදි වූ ප්‍රථම ස්තූපය වූ නිසා එය
විශේෂිත නාමයකින් හැඳින්වීමක් නොකොට ථූප - ආරාමය “ථූපාරාමය” වශයෙන්
හඳුන්වා ඇත.
දේවානම් පියතිස්ස රජතුමන් විසින් ථූපාරාමය ඉදිකිරීමෙන් පසුව උත්තිය රජු
විසින් මිහිඳු හිමියන්ගේ ධාතූන් වහන්සේ නිදන්කර ස්ථූප කිහිපයක්ම ඉදිකරන
ලද බවත්, ඉන් එක් ස්තූපයක් අම්බස්තල දාගැබ ලෙසින් මිහින්තලාවේ කරවා ඇති
බවත්, විද්වත් මතයයි. මෙම අම්බස්තල දැගැබෙහි ථූපාරාමයේ නිර්මාණාත්මක
ලක්‍ෂණ රැසක් දැකගත හැකි වූවත් පසුකාලීනව ඒවා ප්‍රතිසංස්කරණවලට
ලක්වීමත් සමඟම එහි මුල් ආකෘතියේ කිසියම් වෙනස්වීමක් සිදුවී ඇති බව
සඳහන් කළ යුතු ය.
ක්‍රි.පූ. දෙවන සියවසට අයත් බ්‍රාහ්මීය අක්‍ෂර වලින් යුත් සෙල්ලිපියකට
අනුව එම ස්ථානයේ මිහිඳු මහරහතන් වහන්සේගේ සහ ඉත්තිය තෙරුන්ගේ ධාතූන්
වහන්සේ නිදන් කොට දාගැබක් හෙවත් ස්තූපයක් ඉදිකර තිබුණු බව විශ්වාස
කිරීමට හැකි ය. එය හැඳින්වෙන්නේද මිහිඳු හිමියන්ගේ හා උත්තිය හිමියන්ගේ
දාගැබ් ලෙසය.
මීට අමතරව මෙකී ස්තූප දෙකට පසුව මාගම රාජධානිය මුල්කරගෙන රුහුණේ ඉදිකරන
ලද තිස්සමහාරාම ස්ථුපය ප්‍රධාන කොට සඳගිරිය හා යටාල ස්තූපයන් මුල්
කාලයේ ඉදිකරන ලද දාගැබ් ලෙස සැළකිය හැකි ය. රුහුණට අමතරව නැගෙනහිර
පළාතේ පිහිටුවා ඇති සේරුවාවිල දාගැබද පැරැණිම ස්ථුපයකි. රුහුණෙන් බිහි
වූ දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරන ලද මිරිසවැටි ස්තූපය හා රුවන්වැලි
මහා ස්තූපය ඉදි කිරීමෙන් පසුව අනුරාධපුර රාජධානිය තුළ විශාල දාගැබ්
ඉදිවීම හා ස්තූප සඳහා විවිධ අංග එකතුවන්නට වූ බව මෙහිලා සඳහන් කළ යුතු
ය.
ස්තූප ඉදිකිරීමේ මූලික සංකල්පය ඉන්දියාවෙන් මෙරටට පැමිණි බවත්, එය ඒ
ආකාරයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක නොවූ බවත් යට සඳහන් කර ඇත. ස්තූපයක දැකිය
හැකි මාළක, පේසා වළලු, ධාතු ගර්භය, සතරදිග සෝපාන පංති, ප්‍රදක්ෂිණා පථය
ආදියද ඇතුළුව හර්මිකාව, යූපය, චක්‍රය, තොරණ ආදී ලක්‍ෂණද, හර්නුක් ආදී
ස්ථූප වලට ආවේණික ලක්‍ෂණ වූවද, සිංහල ස්තූප කලාව සංවර්ධනය වීමත් සමඟ
මෙම ලක්‍ෂණ වලින් සමහරක් ක්‍රමක්‍රමයෙන් වෙනස් වූ බව පෙනේ. උදාරහණයක්
ලෙස දාගැබේ උපරිභාගය බෙහෙවින් විකාශනය වී ගොස් ඇත. ඉහත සඳහන් කරන්නට
යෙදුණු ලක්‍ෂණවලින් යුත් ස්තූපයක් ගොඩනැංවීමේ දී කිසියම් පිළිගත්
ක්‍රමයක් අනුගමනය කිරීමට පැරැණි වාස්තු ශිල්පියා උත්සුක වී ඇත.
ථූපාරාමය හා රුවන්මැලි සෑය ගොඩනැඟීම පිළිබඳ මූලික තොරතුරු මහාවංශය හා
ථුපවංශයේ සඳහන් වේ. දෙවන පෑතිස් රජු ථූපාරාමය ඉදිකළේ බුදුන් වහන්සේගේ
දකුණු අකු ධාතූන් වහන්සේ වඩමවා ගෙන ආ හස්තියා තවදුරටත් ඉදිරියට නොගොස්
නතර වූ ස්ථානයේ ය. ඒ මිහිඳු මා හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි ය.
අභය වැව සිඳී ගොස් තිබුණෙන් එහි මඩ ගෙනැවිත් මිහිඳු හිමියන්ගේ උපදෙස්
පරිදි වී ගොඩක් ලෙසට ගොඩ ගසා (ධාන්‍යාකාර) චෛත්‍යය ගොඩනංවන ලද බව සිංහල
ථූපවංශය සඳහන් කරයි. මෙම ථූපාරාම මුල් ස්තූපය ඇත් බඳකට වඩා උස් නොවූ
බවත්, ස්තූපයේ පාදම කරවා ඇත්තේ දණක් පමණ උසට බවත්, එහි වැඩිදුරටත්
සඳහන් ය.
මිහිඳු මා හිමියන්ගේ පෙන්වා දීමකට අනුව දෙවනපෑතිස් රජු විසින් මහාථූපය
පිහිටුවන ස්ථානය ශිලාස්ථම්භයක් පිහිටුවා නිශ්චය කරන ලදුව එම ස්ථානයේ
පසුව දුටුගැමුණු රජු විසින් චෛත්‍ය කර්මාන්ත අරඹන ලදී. චෛත්‍යයේ දැනට
ඇත් පවුර දක්වා වූ භූමිය රියන් හතක් ගැඹුරට හාරා පස් ඉවත් කොට විශාල
වටගල් එහි පතුලේ අතුරවා ඇතුන් ලවා පාගවා තද කරන ලද බවත්, ඉන්පසු එම ගල්
තට්ටුව මත හුණු හා බොරළු තට්ටුවක් ද අතුරා පසුව එම බොරළු තට්ටුව මත
කුරුන්දි පාෂාණ නම් වූ ගල් තට්ටුවක් අතුරන ලද බවත් දැක්වේ. පසුව එම ගල්
තට්ටුව මත යකඩ දැල්ද, ඒ මත සුවඳ මඩද අතුරා ඒ මත තිරුවාණ ගල් තට්ටුවක්ද,
ඒ මත දැවාණ නම් ගල් තට්ටුවක්ද යොදවන ලද බවත්, ඒ හැම තට්ටුවකටම නවනීත
නම් සිනිඳු මැටි වර්ගයක් බදාම වශයෙන් යොදා භාවිත කළ බවත් ආදී වශයෙන්
යොදන ලද බවත්, අනතුරුව ඒ මත තට්ටු වශයෙන් රසදියෙන් නිම කරන ලද තඹ තහඩු,
ඒ මත තලතෙලින් අනා සාදිලිංගම් තැවරූ තහඩු අඟල් අට හා හතර වශයෙන් ඝනකමට
අතුරන ලද බවත්, මේ ආකාරයෙන් රියන් හතක් පොළොව යට සිට බිම් මට්ටම තෙක්
එහි පාදම සකසන ලද බවත්, මහාවංශය තවදුරටත් සඳහන් කරයි. මෙයින් අපට ගම්‍ය
වන්නේ රුවන්වැලි සෑය නමැති ස්තූපය ගොඩනැංවීමේ දී රියන් හතක් යටට හාරා
විධිමත් තාක්‍ෂණයකට අනුව විවිධ කොටස් වර්ග යොදා පුරවා ඉතාම ශක්තිමත්
ආකාරයකට එහි පාදම සකස් කර ඇති බවයි.
දුටුගැමුණු රජුගේ මෙම විශාලතම නිර්මාණය වූ රුවන්මැලි ස්ථුපයේ විෂ්කම්භය
අඩි 298 ක් වන අතර උස අඩි 300 ක් වේ. දුටුගැමුණු රජතුමාගේ සධාතුක
යෂ්ටිය නිදන් කොට තැනවූ මිරිසවැටි ස්තූපයේ විෂ්කම්භය අඩි 168 කි. උස
අඩි 200 කි. මෙම ස්තූපය ගජබා රජු විසින් දෙවන වරට විශාල කොට බඳවා ඇත.
වළගම්බා රජ සමය ස්තූප නිර්මාණය පිළිබඳව වැදගත් අවධියක් ලෙස සැළකිය හැකි
ය. අභයගිරිය ස්තූපය එතුමාගේ නිර්මාණයකි. දෙවරක් මෙම ස්තූපය විශාල කරන
ලද අතර දැනට එහි විෂ්කම්භය අඩි 245 ක් බවත්, උස අඩි 300 ක් බවත් සඳහන්
කරයි. තවද, මහාසේන රජු විසින් ඉදිකරන ලද ජේ්තවන දාගැබ ස්තූප විකාශයේ
සුවිශේෂි මංසන්ධියක් ලෙස සැළකිය හැකි ය. වංශකතාවලට අනුව ජේතවන දාගැබේ
උස එක්සිය සැට රියනකි. එනම් අඩි 400 කි. (හාරසියයකි) විෂ්කම්භය අඩි 372
කි. මෙම සුවිසල් නිර්මාණය සම්පූර්ණයෙන්ම ගඩොල් භාවිත කොට ඉදිකර ඇත.
පස්වන හා දහවන සියවස් අතර වූ කාලයේ විශාලත්වයෙන් වැඩි ස්තූප ඉදි
නොවුණි. ඊට හේතුව නම් අභ්‍යන්තර අවුල් වියවුල් හා පරසතුරු උවදුරු ය.
එමෙන්ම මහායානික බලපෑමද බොහෝ දුරට සිදුවීම තවත් හේතුවක් විය.
මහායානිකයන් ධාතු වන්දනයට වඩා ප්‍රතිමා වන්දනයට නැඹුරු වීම නිසා ස්තූප
ඉදිවීම් යම් තරමකට හෝ අඩාල විය. තනන ලද කුඩා ස්තූප වලද සර්වඥ ධාතු
තැන්පත් කරනු වෙනුවට මහායාන ග්‍රන්ථවලින් උපුටා ගත් යම් යම් ධර්මපාඨ
නිදන් කරවන ලදී. එකොළොස්වන සියවස වන විට ලක්දිව සොළී ආක්‍රමණයට
නතුවීමෙන් පසු ස්තූපවල නිදන් කරන ලද අගනා වස්තු පැහැර ගැනීම සඳහා ස්තූප
බිඳ දැමීම සිදුවිය. පළමුවන විජයබාහු රජු සිංහල රාජ්‍යය යළි ස්ථාපිත
කිරීමත් සමඟ සොළීන් විසින් වනසන ලද ස්තූප ඇතුළු වෙහෙර විහාර යළි
ප්‍රතිසංස්කරණය කිරීමට ක්‍රියා කළේ ය. පළමුවන පරාක්‍රමබාහු රාජ්‍යත්වයට
පත්වීමෙන් පසුද සොළීන් විසින් හා විවිධ ආක්‍රමණිකයන් විසින් විනාශ
කරන්නට යෙදුණු ස්තූප රාශියක් ප්‍රතිසංස්කරණයට භාජනය කැරිණි.
ලක්දිව මෙලෙස විකාශය වෙමින් ආ ස්තූපය එහි ආකෘතිය අනුව අංග කිහිපයකින්
සමන්විත වන බව අපි දනිමු. ස්තූපයේ පාදම ඉදිකිරීමෙන් පසු එහි පේසා වළලු
බොහෝවිට ගඩොලින් ඉදිකරන ලද අතර ඇතැම් අවස්ථාවල ඒ සඳහා ගල් උපයෝගී කර
ගැනිණි. පේසාවළලු වල නිර්මාණාත්මක අර්ථය වන්නේ ස්තූපය දිගුකලක් පැවතීම
හා එහි ශක්තිය ස්තූපයට ලබා දීමයි. රුවන්මැලි සෑ මහාථූපයේ පේසා වළලු නව
වාරයක්ම පොළොවේ ගිලී යන්නට සැලැස්වූවේ ස්තූපයට දැඩි ශක්තියක්
ලබාදීමටයි. දාගැබ් සඳහා සම්ප්‍රදායානුකූලව පේසා තුනක් ඉදිකරනු ලැබූවද
ඇතැම්විට එය වෙනස් වූ අවස්ථා ද දක්නට ඇත. උදාහරණයක් ලෙස කතරගම
කිරිවෙහෙර ඇත්තේ එක් පේසාවක් පමණි. පොළොන්නරුව වටදාගේ දාගැබේ ඇත්තේ
පේසා වළලු දෙකක් පමණි.
මෙම පේසා වළලු තුන් මහල් පේසා ලෙසද හඳුන්වන්නේ ස්තූපයක වැඩි වශයෙන්
පේසා වළලු තුනක් තිබීම හේතුවෙනි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන්
ප්‍රකාශ කරන්නේ මෙම තුන්මහල් පේසාවෙන් ඉහළම පේසාව මල් පිදීම සඳහා මල්
ආසනයක් හැටියට භාවිත කර ඇති බවයි. මෙම පේසා වළලු තුනෙන් ඉහළම පේසාවට
අඩි කිහිපයකට ඉහළින් ධාතු නිදන් කරන ගර්භය ඉදි කෙරේ. එහි මධ්‍යයේ ධාතූ
ගර්භය ඉදි කෙරේ. එය ස්තූපයේ ඉතා වැදගත් වූ පූජනීය වූ ස්තූපාංගයයි. ධාතු
ගර්භයේ සැකැස්ම පිළිබඳ කරුණු සඳහන් කිරීමේ දී තෝපාවැව දාගැබේ කළ කැණීම්
වලදී මතු වූ සාධක වැදගත් කොට සැළකිය හැකි ය. එහිදී ධාතු ගර්භ 6 ක්
මතුවී ඇති අතර එහි විශාලම ගර්භය මුදුනේ පිහිටා ඇත. මෙම ගර්භය මධ්‍යයේ
අඩි 1 අඟල් 8 ක් උසැති මහා මේරු ගලක් පිහිටා තිබිණ. ඒ මත කුඩා දාගැබක
ආකාරයෙන් තනන ලද කුඩා රන් කරඬුවක් විය.
රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ අට රියනක් ඝනකම, දිග, පළල අසූ රියන් වූ,
මේද වර්ණ පාෂාණ හයක් විය. ඉන් එකක් පතුළට සිටින සේ අතුරා තවත් හතරක්
බිත්ති හතරට සිටින සේ සිටුවා අනෙක් පුවරුව එහි පියන සඳහා යොදන ලද බව
මහාවංශය සඳහන් කරයි. පුරා විද්‍යා කැණීම් වලින්ද ඒ බව තහවුරු වී ඇත. එය
තනි ධාතු ගර්භයක් ලෙස සැළකිය නොහැකි අතර කිසියම් ආකාරයක සංකීර්ණයක් ලෙස
සැළකිය හැක. ක්‍රමානුකූල ආකාරයට ඉදිකරන ලද ධාතු ගර්භ ලෙස දැදිගම සූතිඝර
දාගැබේ සහ මිහින්තලේ කණ්ඨක චේතියේ ධාතු ගර්භ සැළකිය හැකි බව එහි කළ
පුරාවිද්‍යා කැණීම් සනාථ කරවයි. මේ අනුව අපට ප්‍රකාශ කළ හැක්කේ ධාතු
ගර්භ ඉදිකිරීම ඇරඹී ඇත්තේ පොළොව මට්ටමේ සිට බවයි. ඒ සමගම ධාතු නිදන් කළ
ගර්භය පිහිටියේ මුදුන් පේසාව මත වන බවද විශේෂයෙන් සැළකිය යුත්තකි.
මීළඟට ස්තූපයක තවත් අංගයක් ලෙස සැළකෙන මහා මේරුව පිළිබඳව අවධානය යොමු
කළ යුතුව තිබේ. මහාමේරුව නමින් හඳුන්වන්නේ ධාතු ගර්භය මධ්‍යයේ තැන්පත්
කර ඇති හතරැස් ගල් වැටයි. එය හතරැස් දිගටි හැඩයෙන් යුක්ත ගල්
කුට්ටියකි. මහාමේරුවට යටින් ‘යන්ත්‍ර ගල’ ලෙසින් හඳුන්වන හතරැස් නොවූ
හාරා සකස් කරන ලද ගල් පුවරුවකි. එම යන්ත්‍රගලේ සකසා ඇති හතරැස් ආකාරයේ
වළවල් වල ධාතු හෝ මංගල වස්තු තැන්පත් කර ඇති බව සැළකේ. අනතුරුව යන්ත්‍ර
ගල තවත් ගල් පුවරුවකින් වසා ඒ මත මහාමේරුව තැන්පත් කර ඇත.
‘හර්මිකාව‘ ද ස්තූපයක වැදගත් අංගයක් විය.ඉන්දියාවේ සාංචි හා භාර්හූත්
දාගැබ්වල ස්වරූපය ආදර්ශයට ගනිමින් මුල් යුගයේ ස්තූපවල හතරැස් කොටුව මත
සිටුවන ලද විශාල ගල් ටැම් දෙකක් ලෙසින් හර්මිකාව සම්බන්ධ වී තිබිණි.
මෙම ගල් ටැම් දෙකින් එකක් අටපට්ටම්වන අතර මදය වටකුරු ස්වභාවයෙන් යුක්ත
විය. මෙම ගල් ටැම් බුබ්බුලාකාර ගර්භය මධ්‍යයේ වූ ධාතු ගර්භයේ උඩ වියන
මත සිට කේන්ද්‍රියව ඉහළ නැගුණක් වන අතර එය හැඳින්වූයේ යූපස්ථම්භය
ලෙසිනි. ඊට පසෙකින් හර්මිකාව මත සිටුවා ඇති තවත් ගල් ටැඹක් මුදුනේ
ශිලාමය ඡත්‍රයක් හෝ ඡත්‍ර කිහිපයක් විය. මේ ආකාරයෙන් නිමවන ලද සුවිශාල
ටැම් හා ඡත්‍රයක් පහළට ඇද වැටී තිබෙන බව අභයගිරිය ‘ජේතවන ස්තූප වල
පමණක් නොව ක්‍රි.පූ. 2 සියවසේ ඉදිකෙරුණු රුහුණේ පිහිටි යටාල, සඳගිරිය,
කසාගල නයිගල ආදී ස්තූප පරීක්‍ෂා කිරීමේ දී දැක ගත හැකි ය.
ස්තූපයේ ඡත්‍රය සවිකර තිබුණු ගල් කුලුණ හැඳින් වූයේ, ‘වේධිය’ නමිනි.
ගලින් කරන ලද වෘත්තාකාර ඡත්‍රවල මැද සිදුරක් තනා මෙම වේධිය සවිකර ඇත.
ඉන්දියාවේ සාංචි ස්තූපයේ එලෙස එක පිට එක කුඩාවන සේ පිහිටුවන ලද
ඡත්‍රගල් තුනක් දක්නට ඇත. ඡත්‍ර කිහිපයක් උපයෝගී කර ගැනීමෙන්
ඡත්‍රාවලියක් ගොඩනැඟී ඇත. මෙම ඡත්‍රාවලියේ ක්‍රමයෙන් කොත් කැරැල්ල
දක්වා විකාශනය වූ බව මහාචාර්ය පරණවිතානයෝ සඳහන් කරති. එක පිට එක කුඩාවන
සේ තිබුණු ශිලාමය ඡත්‍ර කිහිපය පසු කලෙක එක් රැස් වීමෙන් කොත් කැරැල්ල
බිහිවී ඇති බවද සළකනු ලැබේ. ක්‍රි.ව. දෙවන සියවස තරමට අයත් ඇතැම් ධාතු
කරඬු වල මෙසේ බුබ්බුලාකාරය මත සිටුවන ලද යෂ්ටියක කේතුකාකාර කොත්
කැරැල්ල දැකිය හැකිබවත්, මිහින්තලය, රුවන්මැලි සෑය ආදී ස්තූපවලින්
මෙලෙස වූ ධාතු කරඬු ලැබී ඇති බවත් පරණවිතාන මහතා සඳහන් කරයි. කාලයත්
සමඟ විකාශනය වී පැමිණි ස්තූප අදි ප්‍රධාන අංග වශයෙන් හැඳින්වෙන්නේ
පේසා වළලු, ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත ආදී
වශයෙනි. |