Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ කර්මය නම් චේතනාවයි බුද්ධ ධර්මයෙහි සඳහන් වන කර්ම විභාගය පිළිබඳ සරලව පැහැදිලි කරන්න.

පිළිතුර - කර්මය යන වචනයෙහි සරල අර්ථය නම් ක්‍රියාව යන්න ය. සිතා මතා කරන ඕනෑම කායික වාචසික හෝ මානසික ක්‍රියාවක් කර්ම ලෙස හැඳින්විය හැකි ය.

කය, සිත, වචන තුන් දොරින් කෙරෙන ක්‍රියාවන්ට මේ සියල්ල අයත් වේ. ‘චේතනා’ හෙවත් සිතිවිලි මූලික ව තිදොරින් කැරෙන ක්‍රියා සියල්ල මූලික බෙදීමක් වශයෙන් කුසල හා අකුසල (පින් පව්) චේතනා යනුවෙන් වෙන් කොට හඳුනාගත හැකි ය.

අචේතනික (ඉබේ සිදුවන) හා අසංවේදී ක්‍රියා වාච්‍ය අර්ථයෙන් ක්‍රියා වුවද ඵලදායි (විපාක ලබාදෙන) සම්පූර්ණ කර්ම ගණයට ඒවා නොගැනෙයි. කර්මයක් නිර්මාණය විය හැකි මූලික අංගය වූ චේතනාව එහි නොමැති බැවිනි.

කර්මයක් සිදුවීමේදී වඩාත් ම මූලික සහ වැදගත් වන්නේ් සිතයි.

(මනී පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා) අපේ වචන හා ක්‍රියා බොහෝ විට ඒ මොහොතේ ඇති සිතිවිලිවලින් වර්ණවත් වෙයි. සිත නොහික්මුණ විට කිලිටි වූ සිතින් ( පදුට්ඨෙන චෙතසා) කරන කායික ක්‍රියා ද නොහික්මුණු ක්‍රියා වේ. වචනයෙන් සිදුවන කතාව ද නොහික්මුණු කතා ය. (භාසති වා කරෝතිවා) සිත හික්මුණු විට (පසන්නෙන චෙතසා) ගත ද හික්මෙයි. වචන ද හික්මෙයි.

ප්‍රශ්නය - කර්ම විපාකය නම් කර්මයෙහි ප්‍රතික්‍රියාව ය. චේතනාව පූර්වගාමී වන අතර විපාකය පශ්චාද්ගාමි වෙයි. කර්මයෙහි අන්තර්ගාමී සාධකය ක්‍රියාවයි. බෞද්ධ කර්මය පිළිබඳ ව විද්වත් විවරණයකි මේ. පැහැදිලි සරල විවරණයක් කරන්න.

පිළිතුර - බෞද්ධ කර්මය පිළිබඳ මූල ධර්මයෙහි ප්‍රධාන පරම අභිප්‍රාය (අරමුණ) නම් තමා සකස්කර ගනු ලබන්නේ තමා විසින්ම ය යන කරුණ පැහැදිලි කිරීමයි. බුද්ධ වචනයට අනුව (ම. නි. චූලකම්ම විභංග සූත්‍ර)

කම්මස්සකා මානව සත්තා කම්ම දායාද කම්ම යොනි කම්ම බන්ධූ කම්ම පටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණිතායාති.

තමා තමා ගේ ක්‍රියාවන් ම දායාද වශයෙන් ලබන්නේය. කර්මය යෝනි (ප්‍රකෘතිය) කොට ඇත්තෝ ය. කර්මය සත්වයන් ගේ් එකම ඥාතියා ය. කර්මය ම ඔවුහු එක ම පිහිට කොට ඇත්තේ් ය. සත්ත්වයන් ගේ උස් පහත්කම් ඇති කරන්නේ් කර්මය යි.

මෙම බුද්ධ වචනයට අනුව තැනෙන්නා වූ සන්දර්භය නම් තමා ම කරන කර්මයෝ තමා ගේ ම ඥාතිහු වෙති. තමන් විසින් කරනු ලබන ක්‍රියා කර්ම වේ. තමා කරන්නේ හොඳ ක්‍රියාවක් ද නරක ක්‍රියාවක් ද තමා ම එයට හිමිකරුවා අයිතිකරුවා වෙයි. දැන් සිටින අප, අප විසින් සිතන ලද්දා වූ ක්‍රියාවල ප්‍රතිඵලයකි. අපගේ හැඩගැසීම සිදුවන්නේ අපේ සිතිවිලි මත ය. ඉතා කටියෙන් කියතොත් අප සෑදී ඇත්තේ අපේ සිතිවිලි වලිනි. දූෂිත වූ මනසකින් (පදූට්ඨෙන චෙතසා) යමක් කියන්නේද? කරන්නේද? දුක තමා පසුපස ම එයි. ගැල උසුලන ගවයා පසුපස ගැල් රෝදය එන්නාක් මෙනි. ප්‍රසන්න වූ මනසකින් යමක් කියන්නේ ද එයින් ජනිත වන්නා වූ සුවය තමා පසුපස එන්නේ තමා අත්නොහැර එන්නා වූ තමාගේ සෙවණැල්ල මෙනි.

ප්‍රශ්නය - බුද්ධ දේශනාවට අනුව සත්වයා යනු රූප හා නාම ධර්මයන් ගේ සංයුතියක්, සංතතියක් (පරපුරක්) වශයෙන් හඳුන්වා ඇත. ධර්මානුකූ®ල පැහැදිලි කරන්න.

පිළිතුර - යථාහි අංග රාසිම්භා හොති සද්දො රථො ඉති - එවං ඛන්ධාසු ධාතුයො හොති සත්තොති සම්මුති (මෙම පාලි නිකාය ගත තොරතුරු වලට අනුව කොටස් (අංග) රැසක සංයුතිය (එකතුව) රථය යන සම්මතය පිළිගැනේ ද එමෙන් ස්කන්ධ ධාතු ආයතන සමූහයේ සංයුතිය හෝ සංතතිය, වශයෙන් සම්මතයක් (පිළිගැනීමක්) ධර්මයට අනුව පිළිගෙන ඇත.

රූප හා අරූප (නාම) ධර්මයන්ගේ සංයුතිය පිළිබඳ සත්වයා යන සම්මතයක (පිළිගැනීමක) පිහිටි අපට රූප ධර්මවලින් වර්ණ රූපය පමණක් අපේ ඇසට පෙනේ. එහෙත් අරූප ධර්ම අපේ ඇසට නොපෙනේ. අරූප ධර්ම රූපයෙන් වියෝ (වෙන්වීම) වූ විට අභාවය (මරණය) සිදුවේ. එවිට (අරූප ධර්ම වෙන්වීම නිසා) රූපයට තවදුරටත් ක්‍රියා කළ නොහැකි ය. යාම ඊම ඉඳීම සිටීම නිදීම ආදී ඉරියවු පැවැත්ම කළ නොහැකි ය. මේ නිසා අප විසින් ඒකමතික තීරණයක් වෙතට අවබෝධය යොමුකළ යුතු ය. මෙසේ අරූප ධර්ම හෙවත් නාම ධර්මයන්ගේ මූලිකත්වයෙන් රූප - අරූප ධර්ම සංයෝගයෙන් (එක්වීමෙන්) සත්වයා ගේ ඇතිවීමත්, පැවැත්මත් සිදුවන අතර, රූප අරූප ධර්මයන් ගේ් වියෝගයෙන් (වෙන්වීමෙන්) සත්වයා ගේ පැවැත්ම නතරවීමත් අභාවය (මරණය) සිදුවීමත් හැර ආත්මය යැයි ගත යුතු (මරණයෙන් පසු) ශරීරය අත්හැර දමා අනෙක් තැනක පිළිසිඳ ගන්නා නොපෙනෙන අද්භූ®ත ජනක ඵලයක් නැත.

ප්‍රශ්නය - චාරිකා වරණය බුද්ධ චරිතයෙහි දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයකි. නිදසුන් මගින් පන්සාළිස් වසක චාරිකා පිළිවෙත පැහැදිලි කරන්න.

පිළිතුර - වස්සාන සෘතුව ආරාමගතව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ ඉතිරි කාල පරිච්ඡේදය චාරිකා සඳහා යොදා ගනිති. ගම්, නියම්ගම්, ජනපද, රාජධානි වශයෙන් සැරිසරන උන්වහන්සේ භාරතයේ මධ්‍යම දේශය නමින් හැඳින්වෙන විශාල ප්‍රදේශය විෂය කොට ගත්බව සූත්‍රයන්හි සඳහන් නිදාන පාඨ වලින් පැහැදිලි වෙයි. උන්වහන්සේ අත්දැකීම් අනුව චාරිකා ක්‍රම දෙකක් ඇති බවත් එකක් ආදීනව සහිත වන අතර අනික ආනිශංස දායක බවත් පෙන්වා දුන්හ. මෙයින් බහුල වශයෙන් අනතුරු ආදීනව බහුල ව දක්නට ලැබෙන බව මෙසේ වදාළහ.

‘මහණෙනි අනියම් දීඝ චාරිකා  වෙහි
ආදීනව පහක් වෙයි.

නොඇසු දහම් නොඅසයි
ඇසූ දහම් පිරිසුදු නොවෙයි
ඇසූ කිසිවක් විශාරද නොවෙයි
දැඩි රෝග ඇති නොවෙති.

මිතුරෝ ඇති නොවෙති
අවස්ථානූරූපී දෙවන චාරිකා

ක්‍රමයෙන් ආනිසංස පහකි
නොඇසූ දහම් අසයි
ඇසූ දහම් පිරිසුදු වෙයි
ඇසූ දෙයින් විශාරද වෙයි
දැඩි රෝග පීඩා ඇති නොවෙයි
මිතුරෝ ඇති වෙති

(අං.නි. දාතිය චාරිත සූත්‍ර)

යහපත් ප්‍රතිඵල ලබා දීමෙන් අප අවස්ථානුරූපී චාරිකාව තමන්ටත්, අනුන්ටත් අධ්‍යාත්මික බාහිර වශයෙන් වැදගත් වෙයි. මෙසේ හෙයින් තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ පටන් පරිනිර්වාණය දක්වා ම චාරිකාවෙහි යෙදීමට සුදුසු අවස්ථා තෝරා ගෙන චාරිකා කළහ.

ප්‍රශ්නය - ධම්මපදය ධර්ම ග්‍රන්ථයේ පි‍්‍රය වර්ගයේ නවවැනි ගාථා ධර්මය යි මේ.

සීල දස්සන සම්පන්නං
ධම්මට්ඨං සච්චවෙදිනං
අත්තනො කම්ම කුම්බානං
තං ජනො කුරුතෙ පියං

මෙහි සරල අදහස පැහැදිලි කොට, පුද්ගල ජනපි‍්‍රයත්වය සඳහා එක්තැන් විය යුතු මිනිස් ගුණ දහම් පිළිබඳ බෞද්ධ මතය අගය කරන්න.

පිළිතුර - සීලාචාර බව
නැණ නුවණ ඇති බව
සත්‍යගරුක බව
ධාර්මික බව

තම වගකීම හරියාකාර ව ඉටු කරන සුළු බව

ශීල , දස්සන, සම්පන්න යන පදයෙන් සඳහන් වන්නේ ශීලාචාර බව හා නැණ නුවණින් යුතු බව නිසා පුද්ගල ජීවිතය අන්‍යයන් අතර කොතෙක් දුරට ඇගැයුමට ලක්වෙනවා ද යන්න ය. අඳ බාල ලෙස අශිලාචාර බවින් ජන සමාජය තුළ හැසිරීම සාමාජික පැවැත්මට අහිතකර බව මෙයින් පැහැදිලි වෙයි.

‘ධම්මට්ඨං සච්චවෙදිනං’ ජනපි‍්‍රයතාවය සඳහා හේතු වන තවත් සාධක දෙකකි. ධාර්මික බව හා සත්‍යවාදිත්වය පුද්ගල දිවිපෙවෙත මෙන් ම පොදු සමාජයට අත්‍යවශ්‍ය වූවකි. සාධාරණ බව හා අවංක බව, ඒවා ජනපි‍්‍රයභාවය සඳහා බෙහෙවින් ම බලපාන ගුණාංග ‘අත්තනො කම්ම කුම්බානං’ තමා සතු වගකීම හඳුනාගෙන එය නිසි ලෙස ඉටු කිරීම, විශ්වාසනීයත්වය නිසා ජනපි‍්‍රයවීමට හේතු වෙයි.

ප්‍රශ්නය - අත්ථසාද්වාර ජාතක කථාවෙහි එන ගාථා ධර්මයකි මේ.

ආරෝග්‍ය මච්ඡෙ පරමංච ලාභං
සීලංච වුද්ධානුමතං සුතංච
ධම්මානු වතතීච අලින තාච
අත්ථස්ස ද්වාරා ජලෙතෙ

මෙහි සඳහන් පුද්ගල දියුණුවේ

දොරටු හය වෙන් කොට දක්වන්න.

මෙහි සඳහන් බුද්ධානු මතය හා ධම්මානු වත්තී - දොරටු පැහැදිලි කරන්න.

පිළිතුර - ආරෝග්‍යා හෙවත් සෞඛ්‍යය, ශීලය, වෘද්ධානුමතය, බහුශ්‍රැත බව හෙවත් උගත්කම, අධ්‍යාපනය , ධර්මානු වර්තීවීම, අලීනතාව හෙවත් නොහැකුලුණු බව, අනලස් බව වෘද්ධානු මතය

බුදුදහමට අනුව වෘද්ධයා නම් වයසින් වැඩිහිටියා නොවේ.

බාලයාත්, තරුණයාත්, වැඩිහිටියාත්, මහල්ලාත් යන මේ කවරකු වුවත් වෘද්ධයකු විය හැකි ය. දැනුම හා හැසිරීම අනුව ඥාන වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ ඈ ලෙසින් වෘද්ධ යැයි පිළිගත හැකි ය. මෙවැන්නන්ගේ අදහස් උපදෙස් නැතිව දියුණුව කරා යෑමට කවරකුටවත් නොහැකි ය.

ධර්මානුකූ®ල පැවැත්ම ධාර්මික බව නමින් බුද දහම අවධාරණය කරන්නේ ‘ධම්මා නුවත්තී’ නම් ගුණයයි. අහිංසාව හා මෛත්‍රීයට පටහැනි නොවී කටයුතු කරයි නම්, එය ධර්මානුකූල පැවැත්ම ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.