Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර දුක පවතින හේතු ඉවත් කිරීම

සත්වයාගේ භවගාමීත්වය පිළිබඳ නිසියාකාරව පෙන්වාදෙන නිර්මල දහම, පටිච්චසමුප්පාද ධර්මය යි. මේ පිළිබඳ නිවැරැදි දැකීමක් නොමැතිකම නිසාම අපි අනන්ත කාලයක් ඉපදෙමින් මැරෙමින් සසර සැරි සරන්නෙමු. බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් අතර ප්‍රධාන වන්නේ ද පටිච්ච සමුප්පාද ධර්මය යි.

බුද්ධ කාලීන භාරත සමාජය, සත්වයාගේ සසර පැවැත්ම පිළිබඳ නොයෙක් මතවාදී අදහස් මතු වූ යුගයක් විය. ඒ අතර, ආත්මවාද, නිර්මාණවාද, ශාස්වතවාද , උච්ඡේදවාද, අධිච්ච සමුප්පන්නවාද, නියති සංගතිවාද, ආරම්භවාද, සත්කාරයවාද, සත්කාරණවාද, අනේකාන්තවාද හා කර්මවාදී සංකල්ප මූලික විය. මෙවන් විවිධ ආගමික මතවාද සහිත සමාජයක් තුළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සිදු විය. චිත්ත චෛතසිකවල (සිත හා සිතිවිලි) ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන සත්වයාගේ සංසාරික පැවැත්ම පිළිබඳ විග්‍රහ කරන බුදුදහම සෙසු අන්තවාදී ආගම් හා දර්ශන යටපත් කරමින් නව චින්තනයක් පුබුදු වීමට මුල් විය. ඒ හේතුකොට ගෙන බොහෝ විද්වතුන් හා දාර්ශනිකයන් බුදුරජාණන් වහන්සේ වටා පෙළගැසෙන්නට විය. එනිසා බුදු දහම පිළිබඳ ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු වූ බව සඳහන් කළ යුතුªය. පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය කර්මය හා පුනර්භවය, ත්‍රිලක්ෂණය ආදී වශයෙන් ලෝකයේ හා සත්වයා පිළිබඳ යථා ස්වභාවය විග්‍රහ වන දහම් කාරණා බුදුදහම තුළින් ඉදිරිපත් වීම ඊට හේතුව විය.

මෙහිදී පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම වෙත අප අවධානය මුලින්ම යොමු විය යුතු ය. මෙහි ප්‍රතිජානාත්මක (ඇත යන අර්ථය) හා ප්‍රතිෂේධාත්මක (නැත යන අර්ථය) අනුව, සිද්ධාන්ත දෙකක් දක්නට ලැබේ.

ඉමස්මිං සති ඉදං හොති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
මෙය ඇති කල්හි මෙය වේ
මෙය ඉපදීමෙන් මෙය උපදී

ඉහතින් දැක්වූයේ ප්‍රතිජානනාත්මක (ඇත යන අර්ථය) ඇතුළත් හේතුඵල සිද්ධාන්තය යි. එහි ප්‍රතිෂේධාත්මක (නැත යන අර්ථය) ඇතුළත් හේතුඵල සිද්ධාන්තය ලෙස

ඉමස්මිං අසති ඉදං න හොති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති

යන්න සඳහන් කළ හැකිය.

එහි අර්ථය වනුයේ

මෙය නැති කල්හි මෙය නොවෙයි
මෙය නැති කිරීමෙන්
මෙය නැති වෙයි.

මෙම සිද්ධාන්ත තුළින් අපට මනාව පැහැදිලි වන්නේ යම් හේතුවක් පදනම් කරගෙන එහි ප්‍රතිඵලයක් ඇතිවන හා පවතින බවත් හේතුව නොමැති කළ එම ප්‍රතිඵලය ද නොපවතින හා නිරුද්ධවන බවත්ය. මෙය නිදර්ශනයකින් විමසා බලමු. අප ජරාවට හා ව්‍යාධියට පත්වන්නේ අපට උපතක් තිබුණු හෙයිනි. ඉපදීම හේතුව නම්, එහි ඵලය ජරා, ව්‍යාධියට හා මරණයට පත්වීම යි. ඉපදීම නම් වූ හේතුව නොමැති නම්, ජරා ව්‍යාධි නම් වූ ඵලය ද ඇති නොවන බව පැහැදිලි වෙයි.

ලොවුතුරු බුදුරජාණන්වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය විස්තර සහිතව දීඝ නිකායේ මහා වග්ගයේ මහා නිදාන සූත්‍රයෙහි විග්‍රහ කර ඇත. මෙමගින් අප අපේක්ෂා කරන්නේ මහා නිදාන සූත්‍රයෙහි අන්තර්ගත දහම් කරුණු ඉදිරිපත් කරමින් පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීම යි. මෙම ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ, කුරු ජනපදයේ ‘කල්මාෂදම්‍ය’ නම් නියම්ගමේදී ය.

දිනක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැඳ එකත් පසෙක සිට මෙසේ ප්‍රකාශයක් කළහ.

‘අච්ඡරියං භන්තෙ, අබ්භූතං භන්තෙ, යාව ගම්භීරෝ චායං භන්තේ, පටිච්ච සමුප්පාදො ගම්භීරවභාසොච, අථ ච පන මෙ උත්තානකුත්තානකො විය ඛායතීති’

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ පටිච්ච සමුප්පාද ධර්මය කොතරම් ගැඹුරු ද කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද යනු ආශ්චර්ය ය. අද්භූත ය. එසේ වුව ද මට එය ප්‍රකට වූවාක් මෙන්, මනාව ප්‍රකට වූවාක් මෙන්වැට හේ යැයි කීහ.

එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ දේශනා කළහ.

‘මා හෙවං ආනන්ද අවච, මා හෙවං ආනන්ද, අවච, ගම්භීරො චායං ආනන්ද පටිච්ච සමුප්පාදො ගම්භීරභාසොච, එතස්ස ආනන්ද, ධම්මස්ස අනනුබොධා අප්පටිවෙධා ඒවමයං පජාතන්තා කුලකජාතා ගුළාගුණ්ඩිකජාතා මුඤ්ජබබ්ජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති’

‘ආනන්දය එසේ නොකියන්න. ආනන්ද එසේ නොකියන්න. ආනන්දය මේ ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය ගැඹුරු ද වෙයි. ගැඹුරු පෙනුම් ඇත්තේ ද වෙයි. ආනන්දය, මේ ධර්මය අවබෝධ නොකරීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන් මෙසේ මේ සත්ව සමූහයා (පෙහෙර) හූ කැටියක් මෙන් අවුල් වූවා, කැඳලූ පෙහෙර හූමෙන් ගැට ගැසුණි. නොහොත් කිරිලි කසල්ලක් බඳු වූවා මුදුනත බබුස්තණ සේ අවුල් වූවා, සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශ වී පතිත වීම් ඇති අපාය ද සසර ද ඉක්ම නොයයි.’ මෙම පාඨයට අනුව බුදුරජාණන් වහන්සේ ඉතා සරලව පෙන්වා දෙන්නේ මේ ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය අවබෝධ නොකිරීම නිසා සත්ව සමූහයා පැටලුණු නූල් බෝලයක් මෙන්ද කුරුලු කුඩුවක් මෙන්ද නපුරු ගති ඇතිව අවුල් තත්ත්වයට පත්වන බවයි. එහෙමන්ම පඤ්චකාම සම්පත්වලට වහල් වී පුනර්භවය සඳහා කර්ම රැස්කර අපායවල ද ඉපදෙමින් සසරින් එතෙර නොවන බවයි.

මහා නිදාන සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ ඉන්පසු සත්ත්වයාගේ සංසාර චක්‍රය පිළිබඳ පිළිවෙළින් දේශනා කර ඇත. ව්‍යාවහාරයේදී පටිච්ච සමුප්පාදයේ අංග පිළිවෙළින් අවිද්‍යාව පදනම් කරගෙන විග්‍රහ කළද බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයෙහි කරුණු දේශනා කර ඇත්තේ, සත්ත්වයාගේ ජරා මරණ ස්වභාවයේ සිට ය. අත්ථි ඉදප්පච්චයා ජරා මරණන්ති ඉති පුට්ඨෙන සතා ආනන්ද අත්ථිතිස්ස වචනීයං, කිම්පච්චයා ජරාමරණන්ති ඉති චෙවරදය්‍ය, ජාති පච්චයා ජරා මරණන්ති, ඉච්චස්ස වචනීයං’

‘ආනන්ද මේ යම් ප්‍රත්‍යයෙකින් ජරා මරණ වේ නම්, එසේ වූ ප්‍රත්‍යයෙක් ඇත්දැයි විචාරන ලද්දාහු විසින්, ඇතැයි ඔහුට කිය යුතු, කිමෙක ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ දැයි මෙසේ විචාරන්නේ නම්, ජාති ප්‍රත්‍යයෙන් (ඉපදීම නිසා) ජරා මරණ වේ යැයි මෙසේ ඔහුට කිව යුතු’

මෙහි දී බුදුරජාණන් වහන්සේ සත්ත්වයා නිරන්තරයෙන් මුහුණපාන ජරා මරණ ස්වභාවය පිළිබඳ පෙන්වා දෙන අතර ජරා මරණ වලට සත්ත්වයා මුහුණ පාන්නේ ජාතිය හෙවත් ඉපදීම නම් වූ හේතුව පදනම් කරගෙන බව දේශනා කර ඇත. ඉපදීමට හේතුව පිළිබඳ විමසා බැලීමේදී එය භවය නිසා සිදුවන බව පැහැදිලි වෙයි. භවයට හේතුව වන්නේ උපාදානය යි. උපාදානය යනු ‘මමය මාගේ ය’ ආදී වශයෙන් සිතන ආත්ම දෘෂ්ටිය නිසා ඇති වන දැඩිව ගැනීමයි. බුදුරජාණන් වහන්සේ උපාදානය ප්‍රධාන වශයෙන් ප්‍රභේද හතරකට දක්වා ඇත.

1. කාම උපාදාන

2. දිට්ඨි උපාදාන

3. සීලබ්බත උපාදාන

4. අත්තවාද උපාදාන යනුවෙනි

මෙහි දී කාම උපාදාන යන්නෙන් අදහස් කැරෙන්නේ කාම ලෝකවල (දිව්‍ය ලෝක සය, මනුස්ස ලෝකය හා සතර අපාය) ජීවත්වන සත්ත්වයා පඤ්චේන්ද්‍රියන්ට ගෝචරවන රූප ශබ්දා දී අරමුණු පිනවමින් ‘මමය, මාගේය’ වශයෙන් ඒවා ග්‍රහණය කර ගැනීම යි. ‘දිට්ඨි උපාදාන’ යනු නිවන ලැබීම අරමුණු කොට නොගත් මතවාද පිළිගැනීම යි. වැරැදි මතවාද හෝ මනස දියුණු කරගත් පුද්ගලයන්ගේ විවිධ දර්ශන දැඩිව පිළිගැනීම, දිට්ඨි උපාදානයට අයත් වෙයි. ‘සීලබ්බත උපාදානය’ යනු මිථ්‍යා ව්‍රත අනුගමනය කිරීම හා පරම්පරාගතව පැමිණෙන නිසාම නොයෙක් පුද පූජා සිරිත් විරිත් ආදිය කෙරෙහි බැඳීම් ඇතිකර ගැනීම යි. බුද්ධ කාලීන භාරත සමාජය තුළ අනුගමනය කැරුණු අජව්‍රත, ගෝ ව්‍රත, සුන්‍ය ව්‍රත ආදී වැරැදි ව්‍රත අනුගමනය කිරීමද, අයත් වන්නේ සිලබ්බත උපාදානයට යි. ‘මට ආත්මයක් ඇත.’ ‘සදාකාලිකව නොවෙනස් වන ලෝකයක් ඇතැයි’ ආදි ලෙස දැඩිව විවිධ දෘෂ්ටි ග්‍රහනය කිරීමත්, සතර මහා භූත කොටස්වලින් නිර්මාණය වූ ශරීරකාය ඇතුළු පංචස්කන්ධය මගේ් යැයි දැඩිව ග්‍රහණය කිරීමත්, අත්තවාද උපාදානය ලෙස හැඳින්වෙයි. මෙසේ උපාදානය නිසා, සත්ත්වයාට අනන්ත කාලයක් සසර ඉපදෙමින් මැරෙමින් දුක් විඳිමින් දිවි ගෙවන්නට සිදුවෙයි.

උපාදානය ඇතිවන්නේ තෘෂ්ණාව පදනම් කරගෙන යි. එනම් ආශාව, කැමැත්ත, රාගය, ලෝභය, පේ‍්‍රමය ආදී වශයෙන් විස්තර වන තෘෂ්ණාවයි. පෘථග්ජන සත්ත්වයා නිරන්තරයෙන් පඤ්චකාම වස්තුන් කෙරෙහි ආශාව ඇලීම ඇතිකර ගනියි. සත්ත්වයා ඉන්ද්‍රිය වලට ලැබෙන අරමුණු පිළිබඳ සීමාවකට නොපැමිණ තව තවත් අරමුණු හඹා යෑමට ද පුරුදුව සිටියි. එහෙයින් තෘෂ්ණාව දිනෙන් දින වර්ධනය වෙනවා මිස එය අඩුවීමක් දක්නට නොලැබෙයි. තෘෂ්ණාව, ප්‍රභේද වශයෙන් කොටස් තුනකි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙනි. බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයෙහි ආනන්ද හිමියන්ට, තෘෂ්ණාවට හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ, වේදනාව යි. ‘වේදනාව‘ යනු වින්දනය කිරීම යි. පංචේන්ද්‍රියයන්ට ලැබෙන අරමුණු මඟින් ලෞකික සුවයක් වින්දනය කරන විට අපි එය ‘සැප’ යැයි ව්‍යවහාර කරමු. දුක් සහගත දෙයක්, අකමැති දෙයක් වින්දනය කිරීමට ලැබෙන විට එය ‘දුක් වේදනා’ යන්නෙන් ව්‍යවහාර කැරෙයි. අපට වින්දන ලැබෙන්නේ ‘ඵස්ස’ හෙවත් ස්පර්ශය හේතුවෙනි. මෙහි දී ස්පර්ශය ලෙස පෙන්වා දෙන්නේ පංචේන්ද්‍රිය, වලට ලැබෙන අරමුණු සිත මූලික කරගෙන ස්පර්ශ වීමයි. අපේ ඇසට රූප අරමුණක් ලැබුණ විට, රූපයක් ලෙස සිත, එය ස්පර්ශ කරයි. එසේම කනින් ශබ්ද අසන විටද සිත මූලික කරගෙන ශබ්ද ස්පර්ශය ලබයි. වින්දනය කිරීමේදී ඒවා සුඛ සහගත ද දුක් සහගත ද යන්න තීරණය කරනු ලැබේ. ඒ ඒ ඉන්ද්‍රිය තුළින් ලබන ස්පර්ශ සැකෙවින් මෙසේ දැක්විය හැකිය.

1. චක්ඛු සම්ඵස්ස

2. සෝත සම්ඵස්ස

3. ඝාණ සම්ඵස්ස

4. ජිව්හා සම්ඵස්ස

5. කාය සම්ඵස්ස

6. මනෝ සම්ඵස්ස වශයෙනි.

බුදුරජාණන් වහන්සේ ස්පර්ශයට හේතුව වශයෙන් දේශනා කරන ලද්දේ ආයතන සය යි. එනම් ඉහතින් සඳහන් කළ ආකාරයට චක්ඛු, සෝතා දී ආයතනය. මෙම ආයතන සයට ලැබෙන අරමුණු සියල්ල ස්පර්ශය සිදුවන බවද සඳහන් කළ යුතුය. ආයතන සයේ පැවැත්මට යෝග්‍ය වන්නේ පඤ්චස්කන්ධය යි. නාම රූප වශයෙන් බෙදා දක්වන්නේ්ද මෙම පඤ්චස්කන්ධය යි.

රූප - රූප කොටස්

වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ - නාම කොටස්

මෙයින් රූප කොටසට අයත්වන්නේ සතරමහා භූත ධර්මවලින් (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) සැදුම්ලත් ශරීරය යි.

එනම් අභිධර්මයේ සඳහන් වන රූප 28 යි. වේදනා තුළින් වින්දනයත් සංඥා තුළින් වින්දනය කරනු ලබන දේ යහපත් හෝ අයහපත් ලෙස තීරණය කිරිමත් සංඛාර තුළින් යහපත් හෝ අයහපත් ලෙස ඇතිකර ගන්නා වූ චෛතසික හෙවත් සිතිවිලිත් විග්‍රහ කරනු ලැබේ. මෙම සංඛාර කොටසට අභිධර්මයේ චෛතසික කාණ්ඩයේ ඇතුළත් වේදනා හා සංඥා , චෛතසික දෙක හැර සෙසු චෛතසික පනහම අයත් වෙයි. විඤ්ඤාණ යනු සිතිවිලි පදනම් කරගෙන ඇති කරගත්තා වූ සිතයි.

මින් අනතුරුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට පඤ්චස්කන්ධයට ප්‍රත්‍යවීම් වශයෙන් පෙන්වා දෙන්නේ, විඤ්ඤාණය යි. මෙහිදී විඤ්ඤාණය ලෙස අර්ථවත් කරනු ලබන්නේ සත්වයාගේ චුති සිතින් අනතුරුව ශරීර කුඩුව ඉවත දමා පුනර්භවයට හැඩගස්වා ගත් ප්‍රතිසන්ධි සිතයි. එය කුසල් හා අකුසල් වලින් යුක්ත විඤ්ඤාණමය ශක්ති ය යි. විඤ්ඤාණයට බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යය ලෙස පෙන්වා දෙනු ලබන්නේ සංස්කාර ධර්ම ය. මෙහිදී සංඛාර ධර්ම වශයෙන් ගැනෙන්නේ, සංසාර චක්‍රය පිළිබඳ හේතුඵල දහම පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම හෙවත් අවිද්‍යාව පදනම් කරගෙන රැස් කරගන්නා කුසල් හා අකුසල් ධර්මය. අවිද්‍යාව පදනම් කරගෙන සත්ත්වයා කුසල් රැස් කළ ද එය නිවන සඳහා හේතු පාදක නොවේ. මෙසේ අවිද්‍යාව හේතුකොටගෙන අනන්ත කාලයක් සත්ත්වයා ඉපදෙමින් මැරෙමින් පුනර්භවයට හේතුවන කර්ම රැස් කරයි.

මෙසේ මේ උතුම් නිර්මල දහම පිළිබඳ අපට අවබෝධයක් නොමැතිකම නිසාම අපි නිරන්තරයෙන් තෘෂ්ණාව, මසුරුබව, උඬගු බව ආදී අයහපත් චෛතසික වර්ධනය කර ගනිමින් දිවි ගෙවන්නෙමු. එහි ප්‍රතිවිපාක වශයෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මහා නිදාන සූත්‍රයෙහි මෙසේ දේශනා කර ඇත.

තදානන්ද ඉමිනාපෙතං පරියායෙන වේදිතබ්බං යථා ආරක්ඛාධිකරණං දණ්ඩාදාන- සත්ථාදාන, කලහ , විග්ගහ, විවාද, තුවන්තුවං , පෙසිඤ්ඤ- මුසාවාද අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, ආරක්ඛොචහි ආනන්ද නා භවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හීචි, සබ්බසො ආරක්ඛෙ අසති ආරක්ඛ නිරෝධා අපිනු ඛො දණ්ඩාදාන, සත්ථාදාන, කලහ, විග්ගහ, විවාද, තුවන්තුවං, පෙසුඤ්ඤ, මුසාවාදා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවෙය්‍යුන්ති

‘නො හෙතං භනේත’

ආනන්දය,යමක් ආරක්ෂා කිරීම සඳහා දඬුමුඟුරු ආදිය දරාගෙන අවි ආයුධ දරාගෙන කලහ විවාද මුසාබැණුම් ආදී නොයෙක් අකුසල් දහම් යම් විදියකින් පහළ වේද එය මේ කාරණාවෙන් දැනගත යුතු ය. ආනන්දය, යමක් ආරක්ෂා කිරීමට නැත්ද දඬුමුගුරු ආදිය දරාගෙන නැත්ද අවි ආයුධ වලින් තොර වේද එවිට කලහ විවාද කේලාම් මුසා බැණුම් නොයෙක් අකුසල් ධර්ම පහළ වෙත්ද?

‘ස්වාමීනි එය නොවන්නේ ය’

මේ සියලු දහම් කාරණා තුළින් අපට මනාව පැහැදිලි වන්නේ යම් වූ හේතුවක් නිසා එහි ඵලයක් ද ඇති බවයි. අද විසමකාරී සමාජය තුළ දිනෙන් දින වර්ධනය වන මිනීමැරුම්, මංකොල්ලකෑම් ආදී අයහපත් ක්‍රියා සිදුවන්නේ මේ උතුම් ධර්ම පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා ය.

බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පවතින මේ කාලය තුළ ඉන් ඵල ප්‍රයෝජන ලබන්නෝ අල්ප පිරිසකි. ;බාහෝ දෙනා ධර්මය ශ්‍රවණය කළද පින්කම් කළද ප්‍රායෝගික වශයෙන් ගුණ ධර්ම පෝෂණය කර ගැනීමක් දක්නට නොලැබේ. එමනිසා ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ් උතුම් ශ්‍රී සද්ධර්මය විමසා බැලිය යුතුය.

එතුළින් මෙලොව පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වන අයුරින් ජීවිතය හැඩගස්වා ගත යුතුය. එපමණක් ද නොවේ, අයහපත් මාර්ගයේ ගමන් කරන්නවුන්ටද නිවැරැදි මාර්ගය අප පෙන්වා දිය යුතු ය. එය සාරධර්මයන්ගෙන් පිරි සමාජයක් බිහි කිරීමට උපකාර වෙයි. මේ සියලු කාරණා මනාව අවබෝධ කරගනිමින්, ඉපදෙමින්, මැරෙමින් යන මේ සසර සැඩ පහරින් එතෙර වීමට අපි උත්සුක වෙමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.