මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි
ශාස්ත්‍රපති
රත්නපාල වික්‍රමසිංහ
උප සභාපති, ශාසන සේවක සමිතිය මහරගම.
අග්ගමහා පණ්ඩිත පඤ්ඤාසීහ මඩිහේ මහ නාහිමිපාණන් වහන්සේ අපේ සියවසේ
සසුනඹරේ පහළ වූ පුන් සඳ සේ හැඳින්විය හැකිය. උන්වහන්සේ අපවත් වී
2008.09.08 වන දිනට වසර 05 ක් සපිරේ
“දුල්ලභෝ පුරිසාජඤ්ඤො,
න සෝ සම්බත්ථ ජායති,
යත්ථ සෝ ජායතී ධීරො,
තං තුලං සුඛ මේධතී,” (ධම්ම පදය 193)
“ශ්‍රේෂ්ඨ වූ ආජානේය පුරුෂයන් දුර්ලභ ය. එබඳු පුද්ගලයෝ ලොවැ හැම තැනෙකම
නූපදති. එවැනි අය ජන කණ්ඩායම් තුළ උපදින සේක් නම් ඒ ජන කණ්ඩායම සුවයට
පැමිණෙන්නේ ය.”.
මඩ්හේ පඤ්ඤාසීහ මහ නා හිමිපාණෝ බුදුපියාණන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ දේශනය
සැබෑ කළ උතුමෙකු වශයෙන් නම් කළ හැකි බව සමස්ත ලෝකයම පිළිගනී. බෞද්ධ
ජනතාවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධ අබෞද්ධ සියලු දෙනාමත්
ශාසනික, ජාතික, සාමාජීය වශයෙන් අති විශිෂ්ට පරම පවිත්‍ර ඵලදායී සේවාවක්
කළ නා හිමියන්ගේ අමිල ගුණ සමුදායෙන් බිඳක් යළි යළිත් සිහිපත් කළයුතුය.
එය, අප විසින් කළ යුතු මහඟු උපහාරයකි. අභිනන්දන පූජෝපහාරයකි.
මඩිහේ මහනාහිමියන්ගේ මෙම ගුණ සමුදායේ සුවඳ දිනෙන් දින දසත පැතිරීම විනා
කිසිවිටෙක අඩුවක් නම් එහි නොවන්නේ ය. උන්වහන්සේ පිළිබඳව වටිනා
පර්යේෂණාත්මක ග්‍රන්ථ එකක් නොව සිය ගණනක් විවිධ පැතිකඩ ඔස්සේ ලිවිය
හැකි තරම් ය. මානව දයාවෙන් පිරී ගිය කරුණාභරිත හද පත්ලෙන් නැගෙන
ආකර්ෂණීය මඳ සිනාව, කුළුණු බර දෑස, පින්බර මුහුණ හා ශීල ශික්‍ෂාවෙන්
සංවර වූ ශාන්ත පැවැත්ම, උත්තරීතර ස්වභාවය, පින්වත් බව, නැණවත් බව,
ගුණවත් බව, සිල්වත් බව, ව්‍යක්ත බව, විනීත බව, විශාරද බව, ධර්ම විනයධර
බව, බහුශ්‍රැත බව, ධම්මානුධම්ම පටිපන්න බව අදී සකලවිධ සංඝ ගුණයන්ගෙන්ම
අප නාමිහිපාණෝ පරිපූර්ණ වූහ. සිව් බඹ විහරණයෙන් පරිපූර්ණ වූ බෝසත්
ගුණැති නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සමස්ත බෞද්ධ ලෝකයට කිසි
ලෙසකින්වත් පිරිමැසිය නොහැකි බලවත් පාඩුවකි.
තුරුණු වියේ සිටම භික්‍ෂූත්වයේ උරුමය හා වගකීම හරිහැටි තේරුම් ගත්
නාහිමිපාණන් වහන්සේ රට, දැය හා සමය වෙනුවෙන් හද පත්ලෙන් නැගෙන
කැක්කුමකින් යුතුව නිතරම ක්‍රියා කළේ ය. “මිනිසා නොහදා රට හදන්න බැහැ.
මිනිසාත් හදාගෙන රටත් හදා ගනිමු.” යන්න නාහිමියන්ගේ තේමාව විය. ඒ අනුව
නාහිමියෝ 70 වසරකටත් වැඩි සිය අගනා පැවිදි දිවිය සම්පූර්ණයෙන්ම දිවා රෑ
කැප කළේ මිනිසා හදන්නට ය. මිනිසා හදා රටත් ජාතියත් හදාගන්නට ය. රටත්
ජාතියත් හදා සසුන බබළවන්නට ය. “මම මේ ගොඩනැගිලි හැදුවේ නැහැ. මං
මිනිස්සු හැදුවා. මිනිස්සු ගොඩනැගිලි හැදුවා.” මහරගම සිරි වජිරඥාන
ධර්මායතනය හා එයට අනුබද්ධ දිවයිනේ විවිධ පළාත්වල හා බොහෝ රටවල පිහිටි
ධර්මායතන ශාඛා පිළිබඳව වරෙක උන්වහන්සේ සඳහන් කළේ ඒ අයුරිනි.
“සිංහල සමගිය ජාතික සමගියේ පදනමයි” යනුවෙන් පවසමින් සිංහලයාගේ සමගිය
නිති පැතූ මහනායක හිමිපාණෝ වරක් මෙසේ සටහනක් තැබූහ. “සමහර ලොකු වැඩවලදී
බිලි පූජාවක් අවශ්‍ය යැයි පුරාණ කථාවක් තිබෙනවා. දැන් ඉන්න ප්‍රධානීන්
එබන්දක් විශ්වාස නොකරන බව හොඳින් දනිමි. එසේ වූවත් ඒ මිථ්‍යා කථාව අනුව
හෝ ජාතික සමගියේ පදනම වන සිංහල සමගිය සඳහා බිලි පූජාවක් අවශ්‍ය නම්
සිංහල ජාතිය වෙනුවෙන් අහිංසකව දිවි පුදන්නට දස දහසක් දෙනා සූදානම් වනු
ඇත. එසේ අවශ්‍ය නම් හැමටම ප්‍රථමයෙන් මාගේ ජීවිතය පුදනවා පුදනවාමයි.”
නා සමිඳුන් තුළ පැවති ජාතික හැඟීම, කැක්කුම මෙයින් මනාව පැහැදිලි වේ.
හදවත පිරි ගිය අසීමිත කරුණාවෙන්, මෛත්‍රීයෙන්, දයානුකම්පාවෙන්,
ලෙංගතුකමින් මනුෂ්‍ය සංහතිය දෙස බැලූ උන්වහන්සේ හැමවිටම අනුශාසනා කළේ
මිනිසුන්ට දෙලොව සුගතිය සැලසීමේ පරමාධ්‍යාශයෙනි.පිහිටක්, පිළිසරණක්
පතාගෙන එන ඕනෑම කෙනෙකුට වේලාව අවේලාව නොබලා බලවත් අනුකම්පාවෙන් පිහිට
වූහ. පිළිසරණ වූහ. එහිදී කිසිවිටෙකත් එම පුද්ගලයාගේ තරාතිරම ගැන
නොබැලූහ. නොවිමසූහ. පිහිට පතා එන සියල්ලන්ටම උන්වහන්සේ හද පත්ලෙන්
නැගෙන කුළුණුබර වදනින්, කරුණාභරිත සිනාවෙන්, පරම පවිත්‍ර අසරණ
සරණාධ්‍යාශයෙන්, මානව දයාවෙන් පිළිසරණ වූහ.
යථාවාදී තථාකාරී ගුණය උන්වහන්සේගේ චරිතයෙහි දැකිය හැකි විශේෂ
ලක්‍ෂණයකි. උන්වහන්සේ දානයෙහි ආනිසංශ පෑවේ දන් දීමෙනි. සියක් වරකට වඩා
උන්වහන්සේ ලේ දන් දීම සිදුකර ඇත. සීලයෙහි ගුණය පෑවේ සුපටිපන්නයෙනි.
ප්‍රඥාවෙහි අගය පෑයේ විශාරදත්වයෙනි. බහුශ්‍රැතකමිනි. සිංහල, පාලි,
සංස්කෘත, ඉංගී‍්‍රසි ආදී විවිධ භාෂාවන්හි හසල දැනුමක් ඇති මහ
නාහිමිපාණෝ අති දක්‍ෂ ධර්ම දේශකයෙක් ද විය.
රටට ජාතියට විපතක් ඇවතක් වන, විය හැකි හැම අවස්ථාවකම මහ නාහිමිපාණෝ
වීරෝදාර සිංහලයෙකු සේ ඉදිරිපත් වූහ. ඩඩ්ලි, චෙල්වනාගයම් ගිවිසුම, රට
සභා පනත, උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ රටට අහිතකර වූ
ගිවිසුම් ආදී හැම ජාතික ආපදාවකදීම නාහිමිපාණෝ එඩිතවර, නොබියව, සෘජුව
ජනතාව වෙනුවෙන් නැගී සිටියහ. රටට ජාතියට අහිතකර තත්ත්ව පුවත්පත්, සඟරා,
පොතපත මඟින් පෙන්වා දුන්හ. හෙළ බස රජ බස කරවීම, පෝදා නිවාඩුව, බුද්ධ
ශාසන කොමිසන් සභාව, බුද්ධ ශාසන අමාත්‍යාංශය පිහිටුවා ගැනීම වැනි බස,
දෙස රැසට කළ යුතු හරවත් සිදුවීම් උදෙසා එදා මූලික මඟ පෙන්වීම කළේ අපේ
මහ නාහිමිපාණන් ය.
මඩිහේ හිමිපාණෝ කවර හේතුවකින්වත් පොදු මිනිසාගෙන් ඈත් නොවීම උන්වහන්සේ
තුළ දැකිය හැකි විශේෂ ගුණාංගයක් විය . තමන් වහන්සේ වෙනුවෙන් විශේෂ
දානයක් කිසි කලෙක නොපැතූ උන්වහන්සේ සියලු දෙනා වහන්සේ සමඟ එක්ව පොදුවේ
ලැබෙන දානමානාදියෙන් සතුටුව සරල දිවි පෙවෙතක් ගෙවුහ. අසරණ සරණ පිණිස
අනාරක්‍ෂිත ගම්මාන, දඹාන වැනි පිටිසර නොදියුණු ගම්මාන, අනාථ නිවාස,
පුනරුත්ථාපන කඳවුරු හෝ සිර මැදිරි වැනි ඕනෑම තැනකට ඕනෑම මොහොතක
උන්වහන්සේ වැඩම කළහ. |