Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැදැහැ සිතේ වැඩෙන කුසල්

පින් රැස් කිරීමට නිශ්චිත වේලාවක් හෝ ස්ථානයක් නොමැත. අවශ්‍යතාවය තිබේ නම් අන් කෙනෙකුගේ කුසල කර්මයකට වූවද සැදැහැ සිතින් එක් වී දිව්‍ය සැප සම්පත් ලැබූ අය පිළිබඳ තොරතුරු ඇත.

ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරන සමයේ, වේදේහ රටේ මියුලු නුවර නිමි රජව උපන්නාහ. නිමි රජු දිනක් සක්දෙවි රජුගේ ආරාධනයෙන් ශක්‍ර භවනයට යන ගමනේ.. මාතලී දෙව් පුත් සමඟ අපායට හා දිව්‍ය ලෝකයට ගියේ ය. මාතලී දෙව් පුතු ඒ ගමනේ දී නිමි රජුව බීරණී දෙව් දුවගේ විමානයට ද රැගෙන ගියේ ය. දෙව් විමානයේ ආශ්චර්යය දුටු නිමි රජු...

“මාතලිය.. ඇය කුමන කුසලයක් කොට මෙවැනි දෙව් ලොවක උපත ලද්දීද.. යි ඇසුවේ ය.”

“මහරජ.. ඇය කාශ්‍යප බුදුන් කල දාසියකව සිටියාය... සැදැහැ සිතින් කාශ්‍යප බුදුන්හට දන් පිළිගැන්වීමේ කුසලයෙන් මෙසේ බොහෝ කාලයක් මුළුල්ලේ දිව්‍ය සම්පත් විඳින්නීය... යැයි බීරණී දෙව් දුවගේ කතාව පවසා සිටියේ ය....”

කසී රට බරණැස් නුවර, දෙව්රම් වෙහෙර සැදැහැවත් උපාසක උපාසිකාවන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. ඈත දුර මඟ ගෙවා බැතිබර දනෝ වෙහෙස නොබලා දෙව්රම් වෙහෙරට පැමිණෙති.මල් සුවඳින් ද, සාදු නාදයෙන්ද පිරී ඉතිරී ගිය දෙව්රම් වෙහෙරේ දහස් ගණන් ජනයා බණ අසා මඟඵල ලබති. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයයි. කසුප් බුදුපියාණෝ ලෝකයාට සෙත සලසනු පිණිස මහා කරුණාවෙන් ධර්මය දේශනා කරමින් ගමන් කරන්නේ, කසී රට බරණැස් නුවරට වැඩම කළ සේක. බරණැස් නුවර දෙව්රම් වෙහෙරේ කාශ්‍යප බුදුන් වහන්සේ බණ දේශනා කරතියි, අසා මෙසේ දහස් ගණන් ජනයා පැමිණෙති. ධර්මය අසති. මඟ ඵල ලබති. මේ සැදැහැවත් ජනයා අතර සිටි සුදත්ත නම් බමුණු තෙමේ ද බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. සෝවාන් වූ සුදත්ත බමුණා ඒ මොහොතේ තමා ළඟ තිබූ උතුරු සළුව කාශ්‍යප බුදුන් වහන්සේට පූජා කොට ආපසු එයි.

“බුදුවරයෙක් ලොව පහළ වන්නේ කල්ප කාලයක් ගිය පසුවයි. මටද ඒ බුදුන් දැකීමේ පින ලැබී තිබේ. ගෙට ගොස් මේ බව බිරිඳට ද කියා හෙට දින කාශ්‍යප බුදුන් වහන්සේට දනක් පිළියෙළ කොට පූජා කළ යුතු ය.” එසේ සිතූ සුදත්ත ඉතා සතුටු සිතින් සිය නිවසට ගොස් බිරිඳ කැඳවීය .

“සොඳුරිය, කාශ්‍යප බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරට වැඩම කොට බණ ;ද්ශනා කරති. මම ද මේ එන්නේ උන්වහන්සේගෙන් බණ අසා ය. තොපටත් උන්වහන්සේගෙන් බණ ඇසීමට හැකි ය. හෙට දින දානයද රැගෙන උන්වහන්සේ හමුවට යමු.ඒ සඳහා අඩු වැඩිය සකස් කරන්න.”

“තොප උමතුවෙන්ද? කොහේවත් යන මුඩු මහණකුට රැවටී ගෙයි තිබෙන වස්තුව වියදම් කරන්නට සැරසෙන්නේද? තොප උන්ගේ චාටු බස්වලට රැවටුණාට මා නම් රැවටෙන්නේ නැහැ. මට නම් දන් පිසින්නට බැහැ.”

මිල මුදල් වස්තුව බොහෝ තිබුණත් කුසල් නමැති ධනය රැස් කිරීමට පිනක් නොමැති හෙයින් බැමිණිය එසේ දොස් කීවා ය. එසේ වූවද කාශ්‍යප බුදුරදුන්ට දනක් පිදීමේ ආසාව සෝවාන් ඵල ලබා සිටි සුදත්ත බමුණාගේ සිතින් ඉවත්ව නොගියේ ය. ඒ ආසාව නිසාම හේ තම එකසිය විසි අවුරුද්දක් ආයු වළඳා සිටි මෑණියන් ළඟට ගියේ ය.

“මෑණියන් වහන්ස, කාශ්‍යප බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි ධර්මය දේශනා කරති. උන්වහන්සේ සඳහා දනක් පූජා කිරීමට කැමැත්තෙමි. දන් පිළියෙළ කොට දීමට නුඹට නොහැකිද?

“ තොප උපයන දෙයින්ම කන තොපගේ බිරිඳට දනක් උයා දෙන්නට බැරිද? මේ මහලු මට ඕවා කියන්නේ කුමට ද? නුඹට ඕනෑ නම් උයා ගනින්.

මෑණියන්ගෙන්ද, බිරියගෙන්ද එසේ දොස් ඇසූ සුදත්ත ඉතා අසරණ විය. කසුප් බුදුරදුන්ට දන් හැන්දක් බෙදීමේ ආසාව තදබල ලෙස නැඟී එයි. කුමක් කළ යුතුදැයි කල්පනා කළ ඔහු අවසානයේ සිය නිවසේ සිටි බීරණී නම් දාසිය කැඳවා ගත්තේ ය.

“බීරණී... කාශ්‍යප බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටී. උන්වහන්සේට දනක් පුදන්නට කැමැත්තෙමි. අද පටන් දිනපතා දන් පිස දුන්නොත් නුඹව දාස බවින් නිදහස් කරමි..” සුදත්තගේ එවදන් බීරණීගේ කනට මී බිඳු වැනි විය. සදාකාලිකවම අනුනට දාසකම් කොට නිමක් නැති මෙහෙවර වලින් හෙම්බත්ව සිටින ඇය ඉතාමත් සතුටට පත් වූවා ය. “හොඳයි.. මම දිනපතා දන් පිස දෙන්නම්. දන් දීමෙහි පින ඔබට මෙන්ම මටද ලැබේවා...”

එසේ දාස බවින් ද මිදුණු බීරණී වහ වහා දෙව්රම් වෙහෙරට දිව ගියා ය. කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ අවසර ගත් ඇය දෙව්රම් වෙහෙරේ දාන ශාලාව පිරිසුදු කොට සුවඳ මල් අතුරා ආපසු පැමිණ සැදැහැ සිතින් දන් පිළියෙළ කරන්නීය. ඉක්බිති සුදත්ත බමුණාද සමඟ ගොස් කසුප් බුදුන් වහන්සේට දන් පිළිගන්වන්නීය. එසේම නිරතුරුවම පංච ශීලයද, අෂ්ටාංග ශීලයද රක්‍ෂා කරන්නීය. මෙසේ කාශ්‍යප බුදුන් වහන්සේට සැදැහැ සිතින් දන් පිළිගැන්වූ පිනින් මරණින් මතු බීරණී නම් දෙව් දුවකව මෙසේ දිව සැප විඳින්නීය. සැදැහැ සිතින් දන් දීමේ විපාක එබඳුය. යනුවෙන් පැවසූ මාතලී දෙව් පුතු බීරණී දෙව්දුවගේ කතාව අවසන් කළේ ය.

(නිමි ජාතකය ඇසුරිනි)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.