Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්වයාට විමුක්තිය සලසන සත් වැදෑරුම් අවබෝධය

අමා මෑණි වූ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය තුළ දක්නට ලැබෙන්නේ අපේ ජීවිත විමුක්තිය කරා ගමන් කරවන වැඩපිළිවෙළ බව අප වටහා ගත යුතු ය. මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සසර දුකින් නිදහස් වීම පිණිස දේශනා කළ ධර්මයක්. ඒ තමයි සංයුත්ත නිකායේ 3 වන කොටසේ සඳහන් වෙලා තියෙන සත්තට්ඨාන සූත්‍රය. මෙම සත්තට්ඨාන සූත්‍රයේ දී උන්වහන්සේ විසින් නිවනට පත්වීමට බලාපොරොත්තු වන තැනැත්තා විසින් උපාදානස්කන්ධ පහ පිළිබඳ හත් ආකාරයකින් අවබෝධ කළ යුතු යැයි දේශනා කරනවා. එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස් කන්ධය යන මේ පංච උපාදානස්කන්ධ. පින්වත්නි බුදුරජාණන්වහන්සේ විසින් නිවන පිණිස දේශනා කරන මේ ගම්භීර ධර්මය තේරුම් ගැනීමට අපහසුයැයි අප නොසිතිය යුතුයි. යම් දවසක අපට සසරින් නිදහස් වීමට මේ නිර්මල ධර්මය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතු බව සිහියේ තබාගත යුතුය.

බුදුරජාණන් වහන්සේ මෙම සත්තට්ඨාන දෙසුමේ දී පළමුවෙන්ම පෙන්වා දෙන්නේ රූපය පිළිබඳව සත් ආකාරයකින් අවබෝධ කළ යුතුය බව ය.

මෙහිදී රූපය සත් ආකාරයෙන් අවබෝධ කළ යුතුය යනු කුමක් දැ,යි අප දැනගත යුතුය. එනම් රූපය යනු කුමක්ද? එසේම රූපය හටගන්නේ් කුමක් කරණකොට ගෙනද? එහි නිරෝධය කුමක්ද? එය නිරෝධ කරන මාර්ගය කුමක් ද? රූපයේ ආශ්වාදය කුමක් ද? එහි ආදීනවය කුමක් ද? නිස්සරණය කුමක් ද? යන්නයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා දේ ද ‘රූප’ බව.

එසේම රූපය කබලිංකාර ආහාරය, ඵස්ස ආහාරය හා මනෝසංචේතන ආහාරය මුල් කරගෙන හටගන්නා බව අවබෝධ කරගත යුතුය. එසේම මෙම ආහාරයාගේ නිරෝධයෙන් රූප නිරෝධ වන බව මෙහි දී පෙන්වා ඇත. රූපය නිරෝධකරන මාර්ගයක් ද ඇත. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වන්නේ ය. අප මීළඟට රූපයේ ආශ්වාදය කියන්නේ කුමක්දැ යි බලමු. යම් රූපයක් මුල්කරගෙන එයින් ඇතිවන්නේ් සතුටක්. සොම්නසක්. පිනායාමක් නම් මෙය රූපයේ ආශ්වාදය යැයි කියනු ලැබේ. එහි ආදීනවය යනු යම් රූපයක් අනිත්‍යතාවට පත්වීමයි. පෙරළන ගතියෙන් යුක්ත (විපරිනාමි) වීමයි. මෙය රූපයේ ආදීනවය යැයි අප දත යුතු ය. එසේම යම් රූපයක් කෙරෙහි පවතින ඡන්ද රාග ප්‍රහාණයක් වේ ද? මෙය රූපයේ නිස්සරණය යැයි (නිදහස් වීම යැයි) දත යුතුය. පින්වත්නි යම් ශ්‍රතවත් ශ්‍රාවකයකු මෙම රූපයේ සත් ස්ථානය මනාව පිරිසිඳ දැනගත්තේ ද? ඔහු සුපටිපන්න නම් වන බව බුදුන් වහන්සේ මෙහිදී දේශනා කළහ.

මීළඟට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන්නේ වේදනාව පිළිබඳවයි. එනම් විඳීම් පිළිබඳවයි. වේදනාව පිළිබඳව අප සත් ආකාරයෙන් අවබෝධ කරගත යුත්තේය. ප්‍රථමයෙන්ම වේදනාව යනු කුමක් ද? එහි සමුදය, නිරෝධය, නිරෝධ කරන මාර්ගය, එහි ආශ්වාදය, ආදීනවය, නිස්සරණය යන අවස්ථා හත තේරුම් ගත යුතුය. මුලින්ම වේදනාව හඳුනාගත යුතුය. එය 6 ආකාරයකි. චක්ඛු සම්පස්ස වේදනා (ඇස මුල්කරගෙන ඇතිවන විඳීම්) සෝතසම්ඵස්ස (කන මුල් කරගෙන ඇතිවන විඳීම්) ඝාන සම්ඵස්ස ( නාසය මුල් කරගෙන ඇතිවන විඳීම්) ජිව්හා සම්ඵස්ස (දිව මුල්කරගෙන ඇතිවන විඳීම) කාය සම්ඵස්ස (කය මුල්කරගෙන ඇතිවන විඳීම්) මනෝ සම්පස්ස (මනස මුල්කොට ඇතිවන විඳීම්) යන ඒවාය. බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙන්නේ, ස්පර්ශය මුල්කරගෙන මෙම විඳීම් හටගන්නා බව ය. ස්පර්ශයේ යම් නිරෝධයක් ඇති වන්නේ ද එවිට වේදනාවේ ද නිරෝධය ඇති වන්නේ ය. එසේම වේදනාවේ ආශ්වාදය කුමක්ද කියා අවබෝධ කරගත යුතුය. යම් විඳීමක් මුල්කරගෙන සතුටක් සොම්නසක් හෝ පිනා යාමක් ඇතිවන්නේ ද එය වේදනාවේ ආශ්වාදයයි. එසේම යම් විඳීමක් අනිත්‍යතාවට පත්වන්නේ ද විපරිනාමයට පත් වන්නේ ද එය වේදනාවේ ආදීනවය යැයි දැනගත යුතු ය. එසේම යම් වේදනාවක ඡන්ද රාග ප්‍රහාණයක් ඇත්ද? එය වේදනාවේ නිස්සරණය වන්නේ ය.

පින්වත්නි, මීළඟට සංඥාව යනු කුමක් දැ යි දත යුතුය. සංඥාව යනු හදුනා ගැනීමයි. පින්වත්නි, මෙහිදී අප තේරම් ගත යුතු කරුණක් ඇත. පෘථග්ජන පුද්ගලයාගේ සංඥාව කෙසේද යි අප තේරුම් ගත යුතුය. පෘථග්ජනයාගේ් සංඥාවේ ස්වභාවය නම් ඔහුට නිරන්තරයෙන්ම අනිත්‍ය දේ නිත්‍ය ලෙස දක්නට ලැබීමයි. ඔහු දුක් සහිත දේ සැප සහිත ලෙස දකියි. ඔහු අසුභ දේ සුභ ලෙස දකියි. අසාර දේ සාර ලෙස දකියි. අනාත්ම දේ ආත්ම ලෙස දකියි. මේ පින්වත්නි, පෘතග්ජන පුද්ගලයාගේ හඳුනා ගැනීමයි. එයාට මේ සංඥාවේ යථා තත්ත්වය අවබෝධ කරගන්නා තුරු සසරින් නිදහස් වන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ මෙම සූත්‍රයේදී පැහැදිලි කරනවා සංඥාව සත් ආකාරයකින් අවබෝධයට ගත යුතු බවට. මෙහිදී සංඥාව රූප සංඥා (ඇසෙන් කරගන්නා වූ හඳුනා ගැනීම්) ශබ්ද සංඥා (කණ මුල්කරගෙන ඇතිකර ගන්නා වූ සංඥාව) ගන්ධ සංඥා (නාසය මුල් කරගෙන ඇතිකරගත් සඤ්ඤාව) රස සංඥා (දිව මුල් කරගෙන) පොට්ටබ්බ සංඥා (කය මුල්කරගෙන ඇතිකරගත් හඳුනා ගැනීම) , ධම්ම සංඥා (සිත මුල්කරගෙන ඇතිකරගත් සඤ්ඤාව) වශයෙනි. මීළඟට සඤ්ඤාව ඇතිවන්නේ කෙසේදැයි දැනගත යුතුයි. එය හටගන්නේ් ස්පර්ශය මුල්කරගෙනයි. බුදුරජාණන් වහන්සේ විසින් (තින්නං සංඝති පස්සෝ) යනුවෙන් දේශනා කරන්නේ කාරණා 3 ක් එකුත වීමෙන් ස්පර්ශය ඇතිවන බවය. එනම්, ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතුෙවීමන් ද, කණයි ශබ්දයයි විඤ්ඤාණයයි එකතුවීමෙන්ද, නාසයයි ඝන්ධයයි විඤ්ඤාණයයි එකතුවීමෙන්ද, දිවයි රසයයයි විඤ්ඤාණයයි එකතුවීමෙන් ද, කයයි පහසයි විඤ්ඤාණයයි එකතුවීමෙන් සහ මනසයි අරමුණයි විඤ්ඤාණයයි එකතුවීමෙන් ද ස්පර්ශ ඇතිවන බව බුදුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. මීළඟට දේශනා කරන කාරණය තමයි සංඥාව නිරෝධ කරන්නේ කෙසේද යන්න. සංඥාව නිරුද්ධ වන්නේ ස්පර්ශය නිරෝධ වීමෙන් බව දැනගත යුතුයි. ඊළඟට පෙන්වා දෙන්නේ සංඥාව නිරුද්ධ කරන මාර්ගය යි. සංඥාව නිරුද්ධ කරනව නම් නිරුද්ධ කරන්න වෙන්නේ , පින්වත්නි ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බව දැනගත යුතුයි. එසේම අපි සංඥාවේ ආශ්වාදය කියන්නේ කුමක්දැයි දැනගත යුතු ය. යම්කිසි හඳුනා ගැනීමක් මුල් කරගෙන ඇතිවන්නේ සතුටක්, සොම්නසක්, පිනායාමක් නම් ඒ සංඥාවේ ආශ්වාදය යැයි දැනගත යුතුයි. එසේම යම්කිසි හඳුනා ගැනීමක් විපරිනාමයට, අනිත්‍යතාවයට පත්වන්නේ ද එය සංඥාවේ ආදීනවය යැයි දැනගත යුතුයි.

එසේම යම් සංඥාවක ඡන්දරාගය දුරු කිරීමක් හෝ නැති කිරීමක් පවතීද මෙය සංඥාවේ නිස්සරණය යැයි අප දැනගත යුතුයි. මේ ආකාරයට යමෙක් මෙම සඤ්ඤාව අවබෝධකර ගත්තා ද ඔහු ‘සුපටිපන්න’ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා.

දැන් අපි බලමු සංඛාර ස්කන්ධය පිළිබඳ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව සංස්කාර පිළිබඳ අවබෝධ කරගත යුතුයි කියල. මෙතනදී පින්වත්නි සංස්කාර ලෙස හඳුන්වන්නේ චේතනා ය. මෙය සය වැදෑරුම් වන්නේ ය. එනම් රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා යනුවෙනි. මේ චේතනා හටගන්නේ කෙසේ දැයි දැනගත යුතුයි. මෙහිදී ඇසයි, රූපයයි විඤ්ඤාණයයි එකතු වීමෙන් රූප සංචේතනා හටගන්නවා. කෙටියන්ම කියනවා නම් ඉන්ද්‍රයයි, අරමුණයි, විඤ්ඤාණයයි එක්වීමෙන් මේ හය වැදෑරුම් චේතනා හටගන්නේ යැයි අවබෝධ කරගත යුතුයි. එසේම සංස්කාර නිරෝධය ස්පර්ශයාගේ් නිරෝධයෙන් සිදුවන බව දත යුතු ය. සංස්කාර නිරුද්ධ කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එසේම මේ සංස්කාරයන්ගේ් ආශ්වාදය කුමක්දැයි අප දැනගත යුතුයි. යම් සංස්කාරයක් මුල්කරගෙන යම් සතුටක්, සොම්නසක් ඇතිවන්නේ ද එය මෙම සංස්කාරයන්ගේ ආශ්වාදය යි. යම් සංස්කාරයක් අනිත්‍ය විපරිණාමී ද, එය එහි ආදීනවය යි. ඒවාගේම යම් සංස්කාරයක් කෙරෙහි පවතින නන්දිරාගයක් ඇත්ද එය නිරුද්ධ කිරීම එහි නිස්සරණයයි. යම් ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා මේ කියන ලද සංස්කාර පිරිසිඳ දැනගත්තේ ද ඔහු ‘සුපටිපන්න’ නැතහොත් ‘සුවිමුක්ත’ යැයි කියන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.

උපාදානස්කන්ධ පහේ අවසානයේ දැක්වෙන විඤ්ඤාණය ද සත් ආකාරයෙන් පිරිසිඳ දැනගත යුතු ය. මුලින්ම විඤ්ඤාණය යනු කුමක්දැයි තේරුම් ගත යුතු ය. අපට මෙහිදී විඤ්ඤාණය හය ආකාරයකින් සඳහන් කළ හැකි ය. එනම් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඥාණ යනුවෙනි. මේ කියන ලද හය වැදෑරුම් විඤ්ඤාණය හටගන්නේ කෙසේදැයි මීළ¼ගට අප අවබෝධ කළ යුතුය. විඤ්ඤාණය ඇතිවන්නේ නාම - රූප මුල්කරගෙන බව තේරුම් ගත යුතුයි. ඒ හටගත්ත විඤ්ඤාණයේ නිරෝධයක් ඇති වන්නේ නාමරූප නිරෝධයෙන්ම බව දැනගත යුතුයි. පින්වත්නි මේ හය වැදෑරුම් විඤ්ඤාණය පුදුමාකාරය. බුදුරජාණන් වහන්සේ මේ විඤ්ඤාණය ඉතා විසිතුරු ධර්මයක් බව දේශනා කරති. එහි ඇති විසිතුරු බව නිසාම, ධර්මය අවබෝධ කර නොගත් ඇත්තෝ විඤ්ඤාණයට රැවටෙන බව උන්වහන්සේ පෙන්වා දෙනවා. එය හරියට මායාකාරයෙක් වගේ. එහෙම නැත්නම් විජ්ජාකාරයෙක් වගේ යැයි බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ හය වැදෑරුම් විඤ්ඤාණයේ ආශ්වාදය කුමක් ද? කියා. යම් විඤ්ඤාණයක් මුල්කරගෙන ඇතිවන්නේ සතුටක් සොම්නසක් හෝ පිනායාමක් නම් එය මේ විඤ්ඤාණයේ ආශ්වාදය යි. එසේම යම් විඤ්ඤාණයක් විපරිනාමයට, වෙනස්වීමට අනිත්‍යතාවට පත්වන්නේ ද එය එහි ආදීනවය යැයි අප වටහාගත යුතුයි. එසේම යම් විඤ්ඤාණයක් කෙරෙහි පවතින නන්දිරාග ප්‍රහාණයක් ඇත්ද ඒ මේ විඤ්ඤාණයේ නිස්සරණය යැයි තේරුම් ගත යුතු ය.

මේ ආකාරයට දේශනා කරන ලද මේ උපාදානස්කන්ධ පංචකය පිළිබඳ සත් ආකාරයෙන් පිරිසිඳ දකින නුවණ යම් තථාගත ශ්‍රාවකයෙකු විසින් ඇති කරගන්නා ලද්දේ ද ඔහු ‘සුවිමුක්ත’ වේ යැ යි ඔහු මනාකොට සසුනෙහි පිළිපන් තැනැත්තා යැයි ද බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

තෙරුවන් සරණයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.