දසත පැතිරෙන සුවඳ
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ
ආචාර්ය, ශාස්ත්‍රපති
බෝදාගම සීලවිමල හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අප්පමතෙතා අයං ගෙන්‍ධා
යායං තගර චන්දනී
යො ච සීලවතං ගෙන්‍ධා
වාති දෙවේසු උත්තමො
ශ්‍රද්ධාවන්ත පින්වත්නි,
ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් සඳහන් කරන ලද්දේ ධම්ම පදයට අයත් පුෂ්ඵ
වග්ගයේ දහතුන් වන ගාථාවයි. මේ ගාථාවේ සරල තේරුම නම් ‘තුවරලා සුවඳ,
සඳුන් සුවඳ යන යම් මේ සුගන්ධයන් ඇද්ද, ඒවායේ සුවඳ ඉතා ස්වල්පය, සිල්වත්
වූ බුද්ධාදී සත් පුරුෂයන්ගේ යම් සිල් සුවඳක් වේද ඒ සිල් සුවඳ උතුම්
වූයේ දෙව්ලොවෙහිදු හමන බවයි. ඉහත ගාථාවේ ‘අප්පමතෙතා’ යැයි වචනයක් වේ.
එහි තේරුම නම් සුළු බව යන්නයි. තුවරලා ආදී මල්වල හා සඳුන්වල සුවඳ ඉතා
සුළුය. ඒ සුවඳ මිනිස් ලොවටම වුවත් දස දිග නොපැතිරේ. උඩු සුළඟට නොහමයි.
හැම තැනකම නොපැතිරෙන හෙයින් සුළුය. සිව්වන පදයේදී ‘දේවේසු’ යැයි සඳහන්
වචනයකි. එහි අර්ථය නම් දෙවියන් අතර පවා හමන බවයි. සිල්වතුන්ගේ සිල්
සුවඳ දෙව්ලොව පවා හමන බව සඳහන් වේ. අප මනුෂ්‍යයකු ලෙස ජීවත්වන කාලයේ දී
ජීවත්වන්නට උත්සාහ ගත යුතු වේ. යහගුණයන්ගෙන් හෙබි මනුෂ්‍යයෙකු විය යුතු
ය. හිස, දෙඅත්, දෙපා ආදී අවයව මිනිසෙකුට සමාන වූ තරමින් හෝ දෙපා නගා
ගිය තරමින් මිනිසෙක් නොවනු ඇත. වහා කිපීම, ඉතා පහත් අන්දමින් රාග අදහස්
ක්‍රියාවේ යෙදවීම, අන්‍යයන්ට ඊර්ෂ්‍යා කිරීම ආදී පහත් ගුණ මනුෂ්‍යයන්
තුළද පවතී නම් ඔවුහු නියම මනුෂ්‍යයෝ නොවෙති. අප තුළ එබඳු ගුණ පවතී නම්
වහා එය වෙනස් කර නියම මනුෂ්‍යයෙකුවීමට උත්සාහ කළ යුතු ය.
මෙලොව සත්පුරුෂ ගුණ ධර්ම රකින සුදනනට දෙව්ලොව දෙවියෝ ගරු කරති. සෙත්
සලසති. ඒ මිනිසුනට නොව මිනිසුන් විසින් රකින ගුණයටය. සිල් ගුණය උසස්
ලෙස රැකිය හැක්කේ මිනිස් ලොව සිටමය. උතුම් සිල්වතුන් සුලබ මිනිස්
ලොවමය. නොයෙක් ලෙසින් සිල් රකින සිල්වතුන්ගෙන් සිල් සුවඳ, සඳුන් සුවඳ,
මල් සුවඳ මෙන් සුළු නොවන්නේ දෙව්ලොව පවා පැතිරෙන මහත් සුවඳක් බැවිනි. ඒ
සිල් සුවඳින් පුබුදු වූ දෙවියෝ මිනිස් ලොවට පැමිණ සිල්වතුන් පිරික්සා
වැදීම්, පිදීම්, කොට කුසල් ඵල ලැබුමට වෑයම් කරති.
අප කවුරුත් සියල්ලන්ටම සුවඳ හමන ලස්සන මලක් සේ පි‍්‍රය කෙනෙකු වීමේ
ශක්තිය අපට තිබිය යුතු ය. අන්‍යයන් සමඟ පි‍්‍රය මනාප ලෙසින් ජීවත්වීමට
නොහැකි නම් එයට හේතුව අපගේ සිත තවමත් එයට වුමනා පරිදි පිළියෙළ නොවීම ය.
යහපත් ලෙස ජීවත්වන ගුණවතුන්ගේ සිල් සුවඳ දෙවියන් අතර පවා හමන බව මාතෘකා
ගාථාවෙන් කියැවෙන අතර, කොපමණ දුර සිටියත් යහපත් චරිතයෙන් යුත් තැනැත්තා
මහමෙර මෙන් බුදු දෙනෙතටද පෙනෙනු ඇත. උන් වහන්සේගේ පා අනුව ගමන් කළත්
නරක චරිතයක් ඇති පාපිෂ්ඨයා අන්ධකාරයෙහි විදින ලද හී තලයක් මෙන් බුදු
ඇසට නොපෙනේ. බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතට පෙනීමට නම් හොඳ යහපත්
චරිතයක් ඇති කෙනකු විය යුතු බව අප අවබෝධ කර ගත යුතු වේ. බුදුහාමුදුරුවෝ
පිරිනිවන් පෑවත්, උන්වහන්සේගේ ධර්මය අදද නිර්මලව පවතී. බුදුරජාණන්
වහන්සේගේ ධර්මාක්‍ෂියට පෙනෙන තරම් සුදුස්සෙකු වීමට හැකි තරම් උත්සාහ
දැරිය යුතු ය. පහත් දීන අදහස්වලට කිසි දිනක ඉඩ නොදිය යුතු ය. කරුණාව,
මෛත්‍රිය, වීර්යය, අධිෂ්ඨානය ආදී උසස් ධර්මයන් පුරුදු පුහුණු කළ යුතු
ය. අප කොපමණ දුර සිටියත් ධර්මය පුරුදු කරන්නේ නම් බුදු නෙතට මහා
පර්වතයක් සේ පෙනෙන්නේ ය. බුදු නෙතට පෙනෙන තරම් අප පාරිශුද්ධ විය යුතු
ය. සිත, කය, වචන යහපත් විය යුතු ය. අපගේ ජීවිතය අන්‍යයන්ගේ දියුණුව
පිණිස යෙදිය යුතු ය. යහගුණයන්ගෙන් හා සත්පුරුෂ ධර්මයන්ගෙන් යුතුව
ජීවත්විය හැකිනම්, ඒ ගුණවත්භාවය නිසාම ඔහුගේ සීලවන්ත භාවය දෙවියන් අතර
පැතිරෙන, බුදු ඇසට පෙනෙන කෙනෙක් බවට පත්වනු ඇති බව මැනවින් වටහාගෙන
රෝගී මිනිසුන් ලෙස ජීවත් නොවිය යුතු ය. රෝග නම් මිනිසුන්ට වැළඳෙන ලෙඩය.
ඒ හැම ලෙඩටම වඩා කෙලෙස් ලෙඩ දරුණු ය. කෙලෙසුනට වසඟවීම තරම් ලෙඩක් කයට
හා සිතට නොමැත. බෙහෙවින් පෙළීමට හේතු ය. කෙලෙස් ලෙඩට වෛද්‍යවරුන්ගේ
පිළියම් ද නොලැබේ.
කෙලෙස් වසඟව නොපත් ඇතැම් අනුවණයෝ ගිලන් බවෙහි දරුණුකම නිසා නොයෙක්
කම්කටොලුවලට පැමිණ සියදිවි හා අන්දිවි නැසීම් පවා කොට දෙලොවම විපතට
දුකට පමුණුවා ගනිති. කෙලෙස් වඤචක ධර්ම වශයෙන් ආර්ය මාර්ගඥානය උපදවාගෙන
ඒ බලයෙන් සත්ව සන්තානයේ ඇති කෙලෙස් දහම් මතු නූපදනා පරිදි නොනැසූ
පුද්ගලයා තුළ කොතෙක් කෙලෙසුන් යටපත් වී තිබුණත්, කෙලෙසුන්ට හිත වූ
අරමුණක් මුණ ගැසුණු විට නැවත නැවතත් කෙලෙසුන් මතු වී නැගීඒම ස්වභාවයකි.
එබැවින් පෘථග්ජන මිනිසුන් විසින් කළ යුත්තේ කෙලෙසුන් කෙරෙන් දුරුව වාසය
කිරීමට උත්සාහවත්ව බුද්ධිමත්ව ක්‍රියා කිරීමයි. පාප ක්‍රියාවන්හි ආදීනව
දැක්වෙන දේශනාවලට සවන් යොමු කළ යුතු ය. සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්
ඇසුරු කළ යුතු ය. ගුණ, නුවණ, වර්ධනයට හිතකර චරිතාපදානයන් නිතර, නිතර
කියවිය යුතු ය. එසේ කිරීමෙන් හිතකර සත්ව සන්තානය කෙලෙසුන්ට පිළිකුල්
බවක් ඇතිවේ. එබඳු තැනැත්තාගේ සන්තානයේ විවිධ ක්ලේශයන් පහළ වීමට අවකාශ
නොලැබේ. එබඳු අවස්ථාවල පුද්ගල සන්තානයේ ක්ලේශ ධර්මයෝ පහළවීමට අන්‍ය
මාර්ගයක් සොයති. එසේ ක්ලේශ ධර්ම තමාගේ නියම ස්වරූපය සඟවා යම්කිසි කුසල
කර්මයක්හුගේ වේශයෙන් උපදී. කෙලෙසුන්වලට බියවන තැනැත්තා එය කුසල
කර්මයෙකැයි සිතා පිළිගනී. මෙසේ තමාගේ නියම ස්වරූපය සඟවා යම්කිසි කුසල
ධර්මයක වේශයෙන් පුද්ගල සන්තානයේ උපදනා ක්ලේෂයෝ වඤ්චක ධර්ම නමින්
හඳුන්වති. එසේ හෙයින් ක්ලේශයන්ගේ වඤ්චක ස්වභාවය නියම ආකාරයෙන් දැකගෙන
එයින් ඉවත් වන්නට ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු ය. කෙළෙස් ලෙඩින්
හොඳටම ගිලන් බවට පැමිණ වෙසෙනවුන් අතර, අපි එබඳු ලෙසින් මිදී ඉතා සුවසේ
කල් ගෙවමු යන හැඟීම් ඇති වාසය කිරීම ඉතා යහපත් වනු ඇත.
සත්වයන්ගේ සිත් දිවා රෑ දෙක්හි පෙළෙන්නෝ දවන්නෝ ක්ලේශයෝය, සිත තරමකින්
හෝ නොදැමුණු නොසන්සිඳුනු හැඩි, දැඩි මිනිසුන්ගේ සිත් රූපාදී වූ අරමුණු
ශුභ විසින් රස විඳිය යුතු විසින් ගෙන පෙළෙන්නේ ය. දැවෙන්නේ ය. සැලෙන්නේ
ය. එය ඔවුනට රෝගයක් බඳුය. කෙලෙස් ලෙඩින් පෙළෙමින්, දැවෙමින් දුකසේ
ජීවත් වෙති. එබඳු ක්ලේශාතුරයන් අතුරෙහි බුදුරජාණන් වහන්සේ අනාතුර
වූවාහු සුවසේ ජීවත්වන සේකැයි පැහැදිලි කරදුන් අතර අප සැවොමද කෙලෙස් අවම
කරගත් පිරිසක් ලෙස ජීවත් විය යුතු වන්නේ ය. ඉහත සඳහන් ගාථාව දේශනා
කිරීමට හේතු වූ නිදාන කථාව වනුයේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කල
මහාකාශ්‍යප තෙරුන් වහන්සේ පුළිල ලෙනෙහි සතියක් පුරා සමවත් සමවැද විසූහ.
සත්වන දා සමවතින් නැගී ‘දුප්පතෙකුට වැඩ සිදු කෙරෙමියි සිතා රජගහ නුවර
පිඬු පිණිස වැඩි සේක. එකල සක්දෙවිඳුගේ දෙවඟනෝ පන්සියයක් මහාකාශ්‍යප
තෙරුන් වහන්සේට පිණ්ඩපාත පිණිස දන් දෙම්හයි සිතා ඇවිත් දෙවඟනන්
විලසින්ම අතුරු මඟ සිට ගත්තාය. තෙරුන් වහන්සේලා ඔවුන්ගේ ඉසුරු හා විලස්
දැක පිඬු නොපිළිගෙන පිළිකෙව් කොට වැඩි සේක. දෙවඟනෝ දෙව්ලොව ගොස් එබැව්
සක් දෙවිඳුට සැළකළහ. සක්දෙවිඳු මම දන් පිදුමට උපා දනිමියි සුජාතාවටත්
දන්වා දෙදෙන මහළු මහැලි වෙස්ගෙන රෙදි වියන්නන්ගෙන් යුත් වීදියක් මවා
දුගී බැව් හඟාවා ගෙන නූල් වත්කොට රෙදි වියමින් සිටියහ.
මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ පැසුණු හිසකේ හා ජරාවෙන් දිරුණු සිරුරු ද
ඉතා දුබල වූ ඇඳුම් පැළඳුම් ද ඇති මහලු මැහැලියන් දැක, මෙනුවර ඉතා
දුප්පතුනැයි සලකා ඔවුන්ගේ ගෙදොර කරා පැමිණ වැඩ සිටි සේක. මහල්ලා මහළු
බැව් දක්වමින් වැඳ වැටී පිඬු පිදුයේ ය. දෙවියන් විසින් සැපයුණු දන්
හෙයින් සුවඳ පැතිරෙන්නට විය. තෙරුණුවෝ පිරික්සා බලා ‘සක්දෙවිඳුනි,
දුප්පතුනට වන යහපත උදුරාගත් අයුරු නපුරුය. අද මේ දුප්පතෙකු දෙන ලද නම්
හේ උසස් සැපතින් බොහෝ කල් වැඩෙන්නේ ය. මෙවක් පටන් මෙසේ රවටා දන්
නොදෙවයි වදාළහ. සක්දෙවිඳු දුගී වෙස්හැර අහසට නැග උදම් ඇනූහ.
බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ සිට දිවකනින් සක්දෙවිඳුගේ උදම්
ඇනීම් අසා භික්‍ෂූන් සමඟ ‘සක්දෙව් උදන් අනා යන සේ බලවයි. දැක් වූ විට ඒ
කුමක් නිසා එසේ කෙරේ දැයි ඇසූහ. තතු සගවා දුප්පතුන් ලෙස මහළු වෙස්ගෙන
මහාකාශ්‍යප තෙරුන් වෙත දන් පිළිගැන්වූ නියාව පවසා’ තුවරලා සුවඳ ද සඳුන්
සුවඳ ද මැඳ තැනෙක පමණක් පැතිරෙන හෙයින් ඉතා සුළු ය. සිල්වන් උතුමන්ගේ
සිල් සුවඳ දෙව්ලෝ සහ බඹලෝ දක්වා හමා පැතිරෙන හෙයින් දෙව් බඹහු පවා මෙසේ
සිල්වතුනට පුද පැවැත්වීමට බොහෝ සෙයින් කැමති වෙතියි වදාළ සේක. |