Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය

මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේ හා රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙම වර්ෂයේ ද පෙර සිරිත් පරිදි චාරිත්‍රානුකූලව පැවැත්වීමට මේ දිනවල සංවිධානය කෙරේ.

සම්ප්‍රදායානුකූලව පෙර සිරිත් පරිදි වසර 51 ක කාලයක් වාර්ෂිකව පවත්වාගෙන එන ලද ප්‍රදේශයේ ජාතික ආගමික සංස්කෘතික මංගල්‍යයක් වූ ගැටබරු ඇසළ උත්සවය අඛණ්ඩවම පැවැත්විය යුතු යැයි පසුගියදා රැස් වූ ඇසළ උත්සව සංවිධාන කමිටුව තීරණය කළ අතර ඒ අනුව 2008 සැප්තැම්බර් 10 සිට 16 දක්වා පුරා දින 07 ක් අති උසස් අන්දමින් පෙර පැවැති සියලුම උත්සව අංග සහිතව පැවැත්වීමට තීරණය කරන මේ දිනවල උත්සව සංවිධානය කටයුතු සිදු කර බව ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියෝ නිවේදනය කරති.

සැප්තරම්බර් 10, 11, 12 පේලි පෙරහර ද 13, 14 රන්දෝලි මහ පෙරහර ද, 14, 15 උඩ මළුවේ මහා දේව තොවිලය සහ 16 අලුයම ගිනි පෑගීම, දාවල දේව දානය පැවැත්වේ. සැප්තැම්බර් 10 – 15 තොරණ ප්‍රදර්ශනය කැරේ.

ඉහත සඳහන් අයුරින් දින 07 ක් පුරා පැවැත්වෙන ගැටබරු ඇසළ උළෙල රජය පිළිගත් පුණ්‍යායතනයක් හා ප්‍රසිද්ධ වන්දනා ගමන් ආඥා පනත යටතේ රජය පිළිගත් ප්‍රසිද්ධ පෙරහරක් ලෙස ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර පැවැත්වේ. ලක්‍ෂ සංඛ්‍යාත බැතුමතුන්ගේ සහභාගීත්වයෙන් රජයේ පිළිගත් ජාතික පෙරහරක් ලෙස පැවැත්වෙන ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය සියලුම ආයතනවල දායකත්වයෙන් පැවැත්වෙන අතර සමස්ත උත්සවය සඳහා ලක්‍ෂ 60 කට අධික මුදලක් වැය වෙන බවද ආනන්ද හිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.