Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාවනැල්ල නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ත්‍රිපිටක ධර්ම කොටස් සජ්ඣායනාවක්

සත් දිනක් පුරා දේශනා කරන ධර්ම කාණ්ඩයෝ : අගෝස්තු මස 31 සහ නොවැම්බර් 1 වන දා විනය පිටකයෙහි මහාවග්ග පාලිය ද නොවැම්බර් 2, 3, 4 දිනයන්හි සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකාය ද නොවැම්බර් 5, 6 දිනයන්හි අභිධර්ම පිටකයෙහි පට්ඨාන ප්‍රකරණය ද සජ්ඣායනා කැරේ.

තෙරුවනට දක්වන ඉහළම පූජාවකි

සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පුරාම දස පෙරුම්දම් සම්පූර්ණ කරන ලද්දේ ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතෙර කරවනු සඳහා ය. එයට නැතුවම බැරි ප්‍රධානම පිරිස බවට පත්වූවෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේගෙන් ආරම්භ වූ සාරිපුත්ත, මොග්ගල්ලාන, මහාකාශ්‍යප ආදී සඟ පරපුරයි. උන්වහන්සේලා බුදුරදුන් වදාළ ධර්මය නිසි පරිදි දැන අසාගෙන ධර්මය පිළිබඳව බහුශ්‍රැත බවට පත්ව අද දක්වාම ත්‍රිවිධ රත්නය රැකෙන අයුරින් විධිමත් එසේම සවිමත් සැලසුමක් දියත් කළෝය. අදත් පවතින්නේ එකී ක්‍රමවත් සැලැස්මය. බුදුරජාණන් වහන්සේ ද බුද්ධෝ උපස්ථායක අනඳ මහ තෙරුන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ සේක් ඇවැත්නි ආනන්ද ධර්මයට කරනු ලබන පූජාව, සැලකිල්ල, ගෞරවය වන්නේ ධර්මය හදාරණ, ධර්මය දරන, ධර්මය දේශනා කරන, ධර්මය ලියන, ධර්මයට අනුව පිළිපදින ශ්‍රාවකයන් වහන්සේ හෙවත් ගුණවතුන්ටම සැලකීම බවය.

එයිනුත් උන්වහන්සේ ධර්මය පවත්වාගෙන යාමේ ඇති වටිනාකම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ බව පැහැදිලි කරුණකි. ඒ ධර්මය ඇසීම, දැරීම සහ ඒ අනුව පිළිපැදීම උතුම්ම ගුණදම් පිරීමක් වශයෙන් ද සැලකිය යුතුය. ඒ ධර්මය රකින ක්‍රියා පිළිවෙතට අනුකූ®ලව පිළිපදින මාවනැල්ල නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ත්‍රිපිටකාචාර්ය කහගල්ලේ අරියඥාන ස්ථවිරයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ මෙම අගෝස්තු මස 30 වනදා සිට සැප්තැම්බර් 06 වන දින දක්වා ත්‍රිපිටක සජ්ඣායනාවක් සිදුකිරීමට නියමිතය. විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, යන තථාගත ශ්‍රී මුඛපාලිය සතියක් පුරාම භික්ෂූන් වහන්සේ දසනම, දසනම බැගින් එක්ව දේශනා කිරීමට කටයුතු යොදා තිබේ. එදින දේශනා කළ ධර්මය අළලා දිනපතා සවසට ධර්ම දේශනාවක් පැවැත්වීමටද කම්මට්ඨානාචාර්ය කහගල්ලේ අරියඤාණ ආයුෂ්මතුන් වහන්සේ කටයුතු යොදා ඇත. එයද වැදගත් ක්‍රියාවකි. මෙවන් අයුරින් තථාගත ධර්මය අපේ ජනතාවට ඇසෙන පරිදි දේශනා කිරීමත් අර්ථවත් කොට දීමත් එකී ධර්මය පිළිපැදීමෙන් ලැබෙන අනුසස් පිළිබඳව කරුණු පැහැදිලිකොට දීමත් ප්‍රශංසාත්මක සේවාවකි. එය තෙරුවනට දක්වන ඉහළම පූජාවක්ම වන්නේය. මේ දුර්ලභ ගණයේ උත්කෘෂ්ඨ පුණ්‍යක්‍රියාව සාර්ථක කර ගැනීමට තුනුරුවන්ගේ පිහිටත්, දෙවියන්ගේ ආරක්ෂාවත්, පූර්ණ මහජන සහයෝගයත් නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.

 


පසසුනේ පැවැත්මට වැදගත්

පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයෙන් පර්යාපප්ති ශාසනය ලෙස හැඳින්වෙන්නේ ත්‍රිපිටක බුද්ධ වචනයයි. නවංග සත්ථු සාසන, සුත්ත, විනය, ධම්ම විනය ආදී නම් වලින් හැඳින්වී තිබෙන්නේ ද එම ත්‍රිපිටක බුද්ධ වචනයමය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කෙරුණු ධර්ම සංගායනාවලදී ත්‍රිපිටකය ලෙස බුද්ධ වචනය සංග්‍රහ වූවද, බුදුරජාණන් වහන්සේ විසින් වැඩි වශයෙන් හඳුන්වනු ලැබ ඇත්තේ ධම්ම විනය යනුවෙනි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සිව් පිරිසගේම ශාස්තෘවරයා වන්නේ ධර්මය සහ විනය බව බුදුරජාණන් වහන්සේ වදාළහ. ත්‍රිපිටකයෙහි වැදගත්කම එමගින් අනාවරණය වේ.

වළගම්බා රාජ්‍ය සමයෙහි ශාසනයෙහි මූල පර්යාප්තිය ද ප්‍රතිපත්තිය දැයි ඇති වුණු සාකච්ඡාවේදී භික්‍ෂූන් වහන්සේගේ වැඩි පිළිගැනීම වූයේ ‘පර්යාප්තිය ශාසනයෙහි මූලය යන්නයි. පර්යාප්තිය හෙවත් ත්‍රිපිටක බුද්ධ වචනය තිබුණහොත් පඬිවරුන් එය හදාරා ප්‍රතිපත්තියත් ප්‍රතිවේධයත් සම්පූර්ණ කරන බවයි. එහිදී පළවුණේ එය ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය ලඝුකොට සැලකීමක් නොව පර්යාප්තියේ වැදගත්කම අවධාරණය කිරීමකි. සද්ධර්මය අතුරුදන් නොවී පැවැත්මට හේතුවන කරුණු අතර එකක් ලෙස දක්වා තිබෙන්නේ හැදෑරූ සහ ප්‍රගුණ කළ ධර්මය සජ්ඣායනා කිරීමයි. මේ සියලු සටහන්වලින් අනාවරණය වන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය හැදෑරීමේ දේශනා කිරීමේ, ඉගැන්වීමේ සහ සජ්ඣායනා කිරීමේ අවශ්‍යතාව සහ වැදගත්කමයි.

බුද්ධ දේශිත ධර්මයෙහිත් ප්‍රඥප්ති විනයෙහිත් වැදගත්කම වඩාත් ප්‍රකට වන්නේ විස්තරාත්මකව හැදෑරීමෙන් සහ පිළිපැදීමෙනි. ඒ සඳහා පෙළඹවීමක්, බුද්ධ ධර්මය දෙසූ භාෂාවෙන්ම අසන්නට සැලසීමෙන් සිදු කෙරේ. සැදැහැතියෝ මේ ඇසෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ වචනය යි සිතා ප්‍රසන්න සිත් වැඩිදියුණු කර ගනිති. පොත පත හිඟ කාලයක එය වඩාත් වැදගත් වේ. පොත පත සුලභ කාලයක වූවද බුදුවදන් සජ්ඣායනයට සවන්දීමෙන් ශ්‍රද්ධාවත් මෙන්ම පහන් සංවේගයක් ජනිත වේ. පිරිත් වශයෙන් නිතර අසන්නට ලැබෙන්නේ සූත්‍ර කීපයකි. ත්‍රිපිටක සජ්ඣායනාවකදී ඊට වැඩි ප්‍රමාණයකට සවන්දීමේ අවස්ථාව උදා වේ. බුදුවදනට සවන්දීම මහත් පින්කමකි.

ත්‍රිපිටක සජ්ඣායනා කාලය තුළ රත්නත්‍රය වන්දනා, බුද්ධ පූජා, බෝධි පූජා, බණ දෙසීම්, බණ ඇසීම්, දන් පැන් පිරිනැමීම්, වතාවත් කිරීම් ආදී විවිධ පුණ්‍යක්‍රියාවන්ට සහභාගී වීමේ භාග්‍යයද පුණ්‍යකාමීන්ට උදාවේ. එබැවින් ත්‍රිපිටකයේ තෝරාගත් කොටස් හෝ සීමිත කාලයක් තුළ සජ්ඣායනා කිරීමට සැලසුම් කිරීම බෙහෙවින් අගය කළ යුතු ය. මාවනැල්ල, නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කහගල්ලේ අරියඤාණ ස්වාමීන් වහන්සේ මෙම සත්කාර්යය සැලසුම් කර තිබෙන්නේ, හුදු ශාසනික හැඟීමෙන්ම බව පැහැදිලි ය.
 


චිත්ත ප්‍රසාදයෙන් ඇරැඹූ පින්කමකි

පියුම් පිපෙන්නේ ගොහොරු මඩ වලක වුවත් මුතු හට ගන්නේ බෙල්ලන්ගේ කුස තුළ වුවත් රජමැතිවරුන්ගේ ගෙල සිරස සරසාලන්නට හොබනේය. නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානයද පියුම් පිපි විලක් වැනිය. මුතු හෙබි සයුරක් වැනිය. ඉතා කුඩා වුවද ලොව සනසාලන දහම් තෝතැන්නකි. සිප් සතරින් හා සිල් ගුණයෙන් තෙදවන් වූ මහ සඟරුවනින් සෝබාමත්ය. එවන් පින්බිමක මෙම අසිරිමත් පින්කම කරන්නට මා සිත් යොමු වූ කරුණු කීපයකි.

දඹදිව බුද්ධගයා මහා බෝධි මණ්ඩලයේ වාර්ෂිකව සිදුකරන රටවල් හයක භික්ෂූන් වහන්සේ එකතුව දින 10 ක් පවත්වන ත්‍රිපිටක සජ්ඣායනාවට සහභාගි වීමට භාග්‍යවන්ත වූ මම එහිදී ඒ ඒ රටවල භික්ෂූන් වහන්සේ ස්වකීය භාෂාවන්ගෙන් ධර්ම විනය සංඝායනා කළ අතර ඒ පිළිබඳ දැඩි චිත්ත ප්‍රසාදයක් ඇතිව ලාංකික ජනතාවට හා විශේෂයෙන් අප දායක කාරකාදින්ට එවන් අවස්ථාවක් සලසාදීමට සිත්විය. එසේම 2550 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ත්‍රිපිටකය නැවත මුද්‍රණය කරවා සහනදායි මිළට විහාරස්ථානවලට ලබාදීමට කටයුතු කරන ලදී. එය බොහෝ බොදුනුවන් ධර්මය කරා යොමුවීමට හේතුවක් විය. ඒ නිසාම අප මධ්‍යස්ථානයටද එවන් පොත් කට්ටල දෙකක් දායක පින්වතුන්ගේ දායකත්වයෙන් ලබා ගැනීමට හැකිවීම හා එහි වටිනාකම කියා පෑමත් අරමුණක් වශයෙන් ගෙන අප ආරම්භ කළ ‘ත්‍රිපිටක පාඨක සමාජය’ මගින් මාසිකව සූත්‍ර සජ්ඣායනා කිරීමත් අගය කරමින්ද මෙම පින්කම සංවිධානය කරන්නට යෙදුණි. තවද බුදුරජාණන් වහන්සේ දේශිත නිවනට පිවිසීමේ දොරටු පහකි. එනම්,

1. ධර්මය දේශනා කිරීම, 2. ධර්මය ශ්‍රවණය කිරීම, 3. ධර්මය සජ්ක්‍ධායනා කිරීම, 4. ධර්මය සම්මර්ශනය කිරීම, 5. සමථ විදර්ශනා භාවනා කිරීම යන කරුණුවලින් ත්‍රිපිටක සජ්ඣායනයද නිවනට පිවිසීමේ දොරටුවක් වන නිසාත් මෙම කාර්ය කිරීමට සිත් විය. එසේම 2550 වන සම්බුද්ධ ජයන්තිය සමරා අප මධ්‍යස්ථානයේ පොහොය සීමාවක් ඇති කොට එහි කටයුතු අවසන්වීමෙන් ප්‍රථමයෙන් ධර්මය සජ්ඣායනා කිරීමේ අවස්ථාවක් ලෙසද මෙය සංවිධානය කරන්නට යෙදුණි.


නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානය


සෑ රදුන් වහන්සේ

කෑගල්ල දිසාවේ මාවනැල්ල නගරාසන්නයේ ඉතා කුඩා බිම්කඩක එම භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත. අද වන විට වසර 8 ක් වැනි කෙටි කාලයක් තුළදී සියලු විහාරාංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ විහාරයක් බවට පත් වී හමාර ය. 2000 වසරේ දී කුඩා ධර්ම ශාලාවක් පමණක් තිබුණත් අද වන විට මෙම ස්ථානයේ බෝධි ප්‍රාකාරය, ඉදිරි බැම්ම, බුදු පිළිමය, බුදු කුටි, විහාර මන්දිරය චෛත්‍යය, සංඝාවාසය, දාන ශාලාව, උපෝසථාගාරය යන සියල්ල ඉදිවී හමාර ය. ආරම්භක සමයේ දී 25 – 30 ක් පමණ වූ උවසු උවැසියන් පිරිසක් මෙම පුණ්‍යභූමිය තුළ පෙහෙවස් සමාදන් වූවද අද වන විට එම ප්‍රමාණය පන්සියය ඉක්මවන තත්ත්වයට පත්ව ඇත. සෑම පසළොස්වක පෝ දිනකම දහම් පිපාසිත බොදුනුවනට මිහිරි අමාදිය පොකුණකි අපේ පින්බිම. දවස පුරා කාලසටහනකට අනුව කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබන්නට අවස්ථාව සැලසෙන නිසාම අවට ප්‍රදේශවාසී බොහෝ දෙනා මෙම පුණ්‍යභූමිය කරා ඇදී එති. බුද්ධ පූජා, සමථ විදර්ශනා භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, පට්ඨාන ධර්මය කියවීම ආදිය දවසේ කාලසටහනට ඇතුළත් වේ.

එසේම වසරින් වසර එහිදී කුල දරුවන් පැවිදි කිරීම විශේෂත්වයකි. මධ්‍යස්ථානය මගින් සිදුවන පින්කම් අතර මෙහිලා ඉන් කීපයක් සටහන් කරමු.


විහාරස්ථ බුද්ධ ප්‍රතිමා වහන්සේ

1. මධ්‍යස්ථානයේ ආරම්භය සිහිගන්වමින් වසරක් පාසා සිදුකරන සත් බුදු පූජා සහිත සංවත්සරික පින්කම් මාලාව,
2. මහ කන්නයේ අස්වනු නෙලීමෙන් පසු ගොවි ජනතාවට සෙත් පතා කෙරෙන අලුත් සහල් මංගල්‍ය මහා පින්කම,
3. බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත සිදුකරන සංඝගත දක්‍ෂිණාව.
4. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස වසරක් පාසා කෙරෙන පට්ඨාන අභිධර්ම පූජාවට සහභාගී වීම.
5. අධිෂ්ඨානමය හා ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව,
6. මාපිය වැඩිහිටි උපහාර පින්කම් සංවිධානය කිරීම,
7. සත්දින නේවාසික භාවනා වැඩමුළු පැවැත්වීම,
8. දහම් පාසල මගින් දහම් අධ්‍යාපනය ලබාදීම,
9. ගිහි පැවිදි දෙපාර්ශ්වයන් අතරින් සිදු කරන ශාසනික මෙහෙවර වෙනුවෙන් ඒ අය වඩාත් දිරිමත් කිරීමට උපහාර තිළිණ ප්‍රදානය,
10. තථාගත සම්බුදු පියාණන්ගේ තෙසැත්තෑඤාණ ගුණයන් උදෙසා කරන තෙසැත්තෑඥාණ පූජා පින්කම,
11. මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීම හා කූඩුවල රඳවා සිටින ගිරවුන් නිදහස් කිරීම.,
12. පාසලින් පාසලට කෙරෙන අවබෝධාත්මක ධර්ම දේශනා මාලාව.,
13. රෝහල්ගත රෝගීන්ගේ හිත සුව පිණිස කටයුතු කිරීම.,
14. දිවයිනේ ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම දඹදිව, බුරුම, තායිලන්ත ආදී විශේෂ වන්දනා චාරිකාවලට දායක දායිකාවන් සම්බන්ධ කර ගැනීම.,
15. ගිහි පැවිදි දෙපාර්ශ්වය ත්‍රිපිටකාචාර්ය විභාගවලට සූදානම් කොට ඉදිරිපත් කිරීම.,
16. විවිධ ආගමික මධ්‍යස්ථාන කරා එළඹ භාවනා වැඩමුළු පැවැත්වීම.,
ආදී කරුණු ඉතා කෙටියෙන් සඳහන් කළ හැකි ය. මෙම සියලු කටයුතු කිරීමෙහිලා මඟ පෙන්වමින් ආශිර්වාද කරන්නේ මධ්‍යස්ථානාධිපති කහගල්ලේ ආරියඤාණ නාහිමිපාණන් වහන්සේ ය. මෙවන් සමාජ සත්කාර්යයක් සිදුකරනඑම පින්බිම දිනෙන් දින බැබලේවා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.