Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - රාහුල සාමණේරයන් වහන්සේ පැවිදි වූ අලුත ම දේශනා කළ සූත්‍රයකි. ‘අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය’ එහි කියවෙන්නේ සත්‍ය ගරුක ජීවිතයේ වටිනාකම ගැනයි. මෙම සූත්‍රයෙහි අන්තර්ගතය පිළිබඳ යමක් පැහැදිලි කරන්න.

පිළිතුර - දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් දකින්නට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ වඩින බව ඈත සිට ම දුටු රාහුල සාමණේරයෝ උන්වහන්සේගේ් පා සෝදන්නට දිය සූදානම් කළහ. බඳුනෙහි දිය ස්වල්පයක් ඉතිරි වන සේ පා සෝදාගත් බුදුරජාණන් වහන්සේ ‘රාහුල බඳුනෙහි ඉතිරි වූ වතුර ටික ඔබට පේනවා නේදැ’යි විමසූහ. රාහුල හිමියෝ ද ‘එහෙමයි ස්වාමිනි’ යි පිළිතුරු දුන්හ. රාහුල හිතා මතා බොරු කියන ලැජ්ජා නැති තැනැත්තා ගේ ජීවිතයත් ඔය විදිහයැයි වදාළහ. අනතුරු ව ඒ ඉතිරි වතුර ටික ඉවත දැමු බුදුරජාණන් වහන්සේ ‘රාහුල හිතා මතා බොරු කීමට ලැජ්ජාවක් නැත්තාගේ ජීවිතයත් ඔය අයුරින් ම ඉවතලන ලද්දකි’ යි වදාළහ.

හිස් බඳුන උඩු අතට තැබූ බුදුරජාණන් වහන්සේ සිතා මතා බොරු කීමට ලැජ්ජාවක් නැති අයගේ ජීවිතය හිස් ය. නිසරු ය. සිතා මතා බොරු කියන්නට ලැජ්ජා නොවන කෙනෙකුට කරන්නට බැරි පාපකර්මයක් නැතැයි මම කියමි. රාහුල එහෙයින් තමන් මම සෙල්ලමටවත් බොරුවක් නොකියමියි සිතා හික්මීම අවශ්‍ය යැයි වදාළහ.

ළමා වියේ පසුවන්නෙකුට පහසුවෙන් වැටහෙන පරිදි නිදසුන් මගින් සත්‍යවාදීත්වයේ අගය බුදුරජාණන් වහන්සේ එසේ වදාළහ.

ප්‍රශ්නය - අනගාරික ප්‍රතිපදාව ජීවිතය කොටගත් භික්ෂූන් වහන්සේගේ ජීවන රටාව ආධ්‍යාත්මික සදාචාරාත්මක හා මානව හිතවාදී ප්‍රායෝගික අගයට මුල්තැන දෙමින් සංවිධානය වී ඇත. ඒ සඳහා පුරන පිළිවෙත් අතර ගමික වත හා වැසිකිළි වත යන අංග දෙකකි. මෙයින් දෙවැන්නට සඳහන් කළ වැසිකිළි වත පැවිදි ගිහි ඕනෑම සාමාජිකයෙකුට වර්තමානයෙහි ප්‍රයෝජනවත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - සඟමහලු පිළිවෙත (වැඩිහිටි තැනැත්තාට මුල්තැන දෙන) ශාසනික සම්ප්‍රදාය උල්ලංඝනය කළ හැකි වන්නේ (නොසලකා හැර) වැසිකිළියට කැසිකිළියට හා නාන තොටුපළට පිවිසීමේ දී පමණකි. මෙම ස්ථාන තුනට පැමිණි පිළිවෙළට ඇතුළු විය හැකි ය.

ප්‍රශ්නය - අනුන්ගේ දුක දැක එය බැහැර කරනු රිසි ව සාධුන් ගේ සිත්හි ඇතිවන කම්පනය දෙවන බ්‍රහ්ම විහාරය ලෙස හඳුන්වා ඇත. බුදු සමයට අනුව අනුකම්පා දයා යන වචන ඊට සමාන්තර ව යෙදෙන බව පෙන්වා දී ඇත. පැහිදිලි කරන්න.

පිළිතුර - මෛත්‍රියට සව්සතුන් (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) අරමුණු වන අතර දුකට පත් සත්ත්වයා (දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා) එයින් මුදවාලීම කරුණාවේ ඒකාන්ත අරමුණ වේ.

සම්මා සංකල්පය ගොඩනගන අව්‍යාපාද අවිහිංසා සංකල්ප තුළ කරුණාව දයාව අනුකම්පාව ගැබ්වෙයි. මෛත්‍රිය තමා සමාන කොට අන් අය ද කෙරෙහි හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර මෛත්‍රීය කළ යුත්තේ මවක් එකම පුතු රකින ලෙසයි. මෙයින් බුදු සමය අපේක්ෂා කොට ඇත්තේ කිසිම ප්‍රතිලාභයක් සඳහා හිත මිතුරු ආකල්පය නොපැවැත්විය යුතු බවයි. මෛත්‍රීය පේ‍්‍රමය නොවේ. පේ‍්‍රමය යනු ශෝකයත් බියත් ඇති කරයි. (පෙමතො ජායතී සොකො පෙමතො ජායති භයං) එමනිසා එය බැහැරලිය යුතු බව බුද්ධ දේශනාවයි.

ප්‍රශ්නය - මජ්ඣිම නිකායේ කොසම්බිය සූත්‍රයෙහි එන දේශනා පාඨයක් පහත සඳහන් වේ. ‘යෙ තෙ ලාභා ධම්මිකා ධම්ම ලද්දා අන්තමසො පත්ත පරයාපන්න මත්තම්පි. තථා රූපෙහි ලාභෙහි අප්පටි විභත්තහොගී හොති සීලවත්ත තෙහි සබ්බ්‍රහ්මචාරිහි සාධාරණ භොගි අයසපි ධම්මො සාරාණියො පිය කරණො සංගහාය අවිවාදැට සාමග්ගියා එකී භාවාය සංවත්තන්ති’.

ලබාගත් දෙය කොතරම් ධාර්මික වුව ද සමාජ සමගිය එකමුතුකම අරමුණු කොට ගෙන යටත් පිරිසෙයින් (අවම වශයෙන්) පාත්‍රයට ලැබුණු සුළු දෙය වුවද බෙදා නොගෙන නොවැළඳිය යුතු බව එයින් දැඩි ලෙස කියවෙයි.

ගෘහස්ථ බෞද්ධයාට පරිත්‍යාගය (චාග) සම්පතකි. සිව් සඟරාවතින් (චතුස්සංගහ වත්ථු) දානය පළමුවැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. බෞද්ධ වුවත් නැතත් මිනිස් සමාජය ශිෂ්ට සම්පන්න සංවිධානයක් ලෙස පැවැත්වීමට (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - පෙළ දහමෙහි ප්‍රධාන හේතූ®න් දෙකක් නිසා දානය අවධාරණය කර තිබෙන බව පෙනේ. ඉන් පළමුවැන්න පුද්ගලයා පිළිබඳ සලකා බැලීමයි. අනෙක පරිත්‍යාගශීලි බව සමාජ ප්‍රගතියට බෙහෙවින්ම හේතු සාධකයක් වන බවයි. පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුන් වහන්සේ වදාළහ. තෘෂ්ණාව නිසා අයත්කර ගැනීම, රැස්කිරීම මගේ් බවට ප පමුණුවා ගැනීම. මමත්වය ගොඩනැංවීම එමගින් ආත්මයක් පිළිබඳ විශ්වාසයක් තහවුරු කර ගැනීම ආදිය සිදුවෙයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්‍ෂ ධර්ම පුරුදු පුහුණු කළ යුතු ය.

මෙසේ දානය, ලෝභය, රාගය, තෘෂ්ණාව ප්‍රහීණ කිරීමට අනුගමනය කළ හැකි ඵලදායි මාර්ගය වෙයි. හැර දැමීමේ උපරිම අවස්ථාව නෙක්ඛම්ම නමින් හැඳින්වෙයි. ආධ්‍යාත්මික දියුණුව සැලසීමේ අඩිතාලම එයින් දැක්වෙයි.

සිව් සඟරාවතෙහි වඩාත් අවධාරණය කර ඇත්තේ දානයෙහි සමාජමය අරුතයි. සමාජයෙහි යහපැවැත්ම සදහා පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන් තැන්පත්හි එක් රැස්වීමකට පටන් ගැනේ. එවිට වෙනත් තැනක අඩුවක් ඇති වේ. සන්නිධිකාර (අධිකාර) පරිභෝජනයට පෙළඹේ. එමගින් සමතුලනය නැතිවේ. සම්පත් සූරාකෑමකට ලක්වේ. එවිට සම්පත් හිඟයකට හා විනාශයකට මුහුණ පෑමට සිදුවේ. මේ කරුණු දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි මෙසේ මැනවින් විස්තර වෙයි.

පෞද්ගලික දක්ෂතාව නිසා හෝ වෙනත් හේතු නිසා හැම දෙනාටම එක පමණට නොලැබේ. ඇතැමුනට වැඩියෙනුත් සමහරෙකුට අඩුවෙනුත් ලැබීම ස්වභාවයෙකි. වැඩියෙන් ලබන්නන් නොදී සිටීම (අදනානං ධනෙ අනුප්පාදිය මානෙ දාළිද්දියං වෙපුල්ලං අගමාසි) ඇති නැති පරතරයක් නැතහොත් අසමානත්වයක් ඇති කිරීමට හේතුවේ. එවිට අඩු අය, වැඩි අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බැලීමට පටන් ගනිති. එයින් කලහයකට අරගලයකට මඟ පෑදේ. සමාජ සාමය එකමුතුකම බිඳ වැටේ. සමාජ චිර ජීවනයට එය අහිතකර වේ. එබැවින් මිනිසා ලබාගත් දේ ධාර්මික වුවද බෙදා දිය යුතුය.

ප්‍රශ්නය - සිව් සඟරාවතෙහි (චතුස්සංග්‍රහ වස්තුවෙහි) දෙවැනි සංග්‍රහ වස්තුව වශයෙන් සැලකෙන්නේ ‘ප්‍යෙයවජ්ජ’ පි‍්‍රය වචනයයි. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක සූත්‍රයෙහි දී ඒ ගැන මෙසේ වදාළහ.

‘පරුසං වාචං පහාය පරුසාය වචාය පටිවිරතො හොති යා

සා වාචා නෙලා කණ්ණ සුඛා පෙම නීයා, හදයං, ගමා, පොරි බහු ජන කන්තා බහුජනමනාපාතථා රූපිං වාචං භාසිතා හෝති’ විමසීමක් කරන්න.

පිළිතුර - පරුෂ වචන හැරපියා පරුෂ බසින් ද වැළකුණේ වෙයි. නිර්දෝෂි වූ කනට සුව එලවන පේ‍්‍රමනීය වූ ළගන්නා වූ ශිෂ්ට මිනිසුන් භාවිතා කිරීමට නිසි වූ බොහෝ දෙනාට පි‍්‍රය වූ බොහෝ දෙනාගේ මන වඩන්නා වූ යම් බසක් වේ ද එවදන් ඇත්තේ වෙයි.

ප්‍රශ්නය - අනුරාධපුර මහමෙව්නා උයන කරවන ලද්දේ කුමන රාජ්‍ය සමයේ ද?

පිළිතුර - ක්‍රි. පූ. 177 මූටසීව රජතුමා විසින් පළමුවෙන් කළ මෙම උද්‍යානය පසුව දෙවන පෑතිස් යුගයේ දී මහා විහාර සීමාව ද සලකුණු කොට සඟරුවනට පූජා කරන ලදී.

ප්‍රශ්නය - බුදු සමයට අනුව පවුලේ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගැන සෙවීමෙහි දී පළමුවෙන් සාකච්ඡාවට භාජනය විය යුත්තේ අඹු සැමි සම්බන්ධතාවයයි. ඒ ගෘහ ජීවිතයේ ආරම්භය ලෙස ගැහැණියක සමග මිනිසෙකු අඹුසැමියන් වශයෙන් ජීවත් වීමට පටන් ගැනීමක් සිදුවන නිසා ය. සූත්‍රාගත තොරතුරු ආශි‍්‍රත ව මෙම කරුණ පැහැදිලි කරන්න.

පිළිතුර - ප්‍රාථමික අවදියෙහි දී නිදැල්ලේ හැසුරුණු මිනිසා අඹසැමි සබඳතා පැවැත්වීමට අවශ්‍ය රහස්‍යභාවය කරණ කොට ගෙන ගෙවල් තනාගත් අයුරුත් ආහාර එක් රැස් කරමින් යැපුණු ඔහුට තැන්පත් කෘෂි ජීවිතයක් මගින් සුරක්ෂිත ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට මේ ගෘහ වාසය වඩා සුදුසු වූ අයුරුත් දි.නි. අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි වෙයි.

බ්‍රාහ්මණ මතය අනුව ගැහැණිය පිරිමියාට වඩා පහත් තැනක් ලබා ඇත. අං. නි. සංවාස සූත්‍රයෙහි බුදුහිමියන් පෙන්වා දෙන පරිදි සාර්ථක පවුල දෙවියෙකු දෙව්දූවක සමග වසන්නා වූ තැනක් මෙනි. අසාර්ථක පවුල මළමිනියක් මළමිනියක සමග වසන්නාක් වැන්න. මෙතන දී මළමිනියක් නැතහොත් දෙවියෙකු හෝ දෙව්දුවක (ඡවො ඡවාය සංවසති ඡවො දේවියා සංවසති, දෙවො ඡවාය සංවසති, ඡවො දෙවියා සංවසති) වීම ස්ත්‍රියකට පමණක් නොව පිරිමියාට ද පොදුය. අඹුසැමි සම්බන්ධතාව ගැන විවිධ අංශ සලකා බලන සූත්‍ර ගණනාවක් ඇත. ගතිගුණ නොගැලපීම නිසා වන සාර්ථක අසාර්ථක භාවය ගැන සංවස සූත්‍ර (අනිජ) (පඨම - දුතිය) දෙක කරුණු ඉදිරිපත් කරයි. නකුල, සමජීවි සූත්‍ර දෙකද මෙම අදහස තේමාව කර ගනියි. වයස බලපාන ආකාරය පරාභව සූත්‍රයට අනුව ඉක්මගිය යෞවනය ඇති (මහලු වියට පත්) මිනිසෙකු තරුණියක ආවාහ කරගෙන ඊර්ෂ්‍යාවෙන් නොනිදා ද එය පිරිහීමට හේතුවක් බව දැක්වේ,

අතීත යොබ්බනො පොසො
ආනෙති තිම්බ රුත්ථනිං
තස්සා ඉස්සා න සුපති
තං පරාභවතො මුඛං

වයසින් ගැළපීමේ අවශ්‍යතාව එයින් අවධාරණය කරයි. බ්‍රහ්මචාරී වූ ගිහියෝ ද සිටිති. එය බැරිනම් පරදාර සේවනයෙහි නොයෙදිය යුතු බව ධම්මික උපාසකයාට දේශනා කරන ලද ගිහිවතට ඇතුළත් වෙයි.

නිත්‍ය ගෘහස්ථ සීලය වූ පන්සිල් හි තෙවැන්න කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමයි. එහි අරුත පරදාරවන් කරා නොගොස් සදාර සන්තුට්ඨියෙන් (ඒක පුරුෂ ඒක භාර්යා) සෑහීමයි. අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ නෑයන් ගේ යහළුවන් ගේ අඹුදරුවන් කෙරෙහි වරදවා හැසිරීම වසලයෙකු ගේ හැසිරීමකැයි වසල සූත්‍රය සඳහන් කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.