Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සොබාදහමින් බුදු දහම දැකීම

නමෝ තස්ස භගවතෝ අරහතෝ
‍සම්මා සම්බුද්ධස්ස.

යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේ සංච යෝ නිරෝධෝ
ඒවං වාදි මහා සමණෝ

සැදැහවත් පින්වත්නි,

අප ගෞතම බෝධිසත්වයන් වහන්සේ අපමණ දිගු කලක් පුරා සසර භවයෙන් භවයට සැරිසරමින් සොබාදහමේ ආශ්වාදය ලබමින් එහි යථාර්ථය තත්වාකාරයෙන් දැනගෙන සංසාර විමුක්ති මාර්ගය හෙළිකොට දක්වා වදාළ සේක.

සත්වලෝක, සංඛාරලෝක, අවකාශලෝක සංඛ්‍යාත විශ්වයේ පැවැත්මට හා නොපැවැත්මට ප්‍රධාන හේතුව වන්නේ අනිත්‍යභාවයයි. පරමාණුවේ පටන් අතිමහත් භෞතික වස්තූන් ද ඇමීබාගේ පටන් කුදුමහත් ජීවීන් ද යම්හේතු සමුදායක් නිසා ඇති වීම මෙන්ම වෙනස් වීම ද යළි ඇතිවීමද ක්‍ෂණමාත්‍රයක් පාසා සිදුවන්නා වූ විශ්වසාධාරණ ප්‍රවණතාවයි.

යදනිච්චං තංදුක්ඛං, යමක් ක්‍ෂණයකින් වෙනස් වන්නේ නම් එය අපේක්‍ෂා කරන්නාට වේදනාවක් ඇතිවීමද සචිඤ්ඤාණක ලෝකයේ සොබාවයි. ඇතිවීමත් නැතිවීමත් අතර අන්තරය ඉතාමත් සියුම් බැවින් යමක් පවතින සංකල්පය මත මායා ලෝකයේ ජීවත් වන සත්වයාට අනිත්‍යතාවය අවබෝධ වන්නට නම් තණ්හා, මාන, දිට්ඨිවශයෙන් ආවරණය වූ මනස එයින් නිරාවරණය කරගත යුතු ය.

අනිච්චේ අනිච්චංති, දුක්ඛෙ දුක්ඛන්ති, අනත්තේ අනත්තාති යනාදීනයින් විශ්වයේ පවතින සර්ව සාධාරණ න්‍යායයෙන් සෑම දෙයක්ම බැලීම ප්‍රයෝජනයට ගැනීම කරන්නේ නම් කෙඳිනක හෝ සත්වයාට එකී ත්‍රිවිධ ලක්‍ෂණ වැටහෙන්නේ ය. එතෙක් පුහුදුන් සත්වයා තම තමන් ගැන උපාදාන කරගෙන මහත් දුක්වේදනා විඳින්නේම ය.

පරිවර්තනශීලී භවයේ යථාස්වභාවය හඳුනා ගැනීමට අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත හේතුඵල න්‍යාය සෑම සත්වයාටම, සෑම දේටම සෑම කල්හිම බලපවත්වන අතර ඉන් බාහිර ධර්මයක් විෂයයක් පිළිබඳව උපකල්පනය ප්‍රතිඵල රහිත වේ. භෞතික විද්‍යාවේ බලයෙන් අධි කාමභෝගී වන මිනිසා එයින්ම විනාශ වීම සොබාදහමයි.

විශ්වයේ සත්වලෝක අතර මනුලොව පමණක් කාලාන්තරයකින් පහළවන ලොව්තුරා බුදුවරයකු විසින්ම දැනගන්නා පටිච්චසමුප්පාදය හෙවත් හේතුඵල වාදය උපයෝගී කරගෙන සොබාදහමේ ඉෂ්ටානිෂ්ට ප්‍රතිඵල අවබෝධ කරගන්නේ නම් එයින් සසර දුකින් මිඳීමට ද පුළුවන.

ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ

සත්වයෙකු මව්කුසින් බිහිවූ දා පටන් ප්‍රධාන අපේක්‍ෂාව වන්නේ තමාට ලැබී ඇති ඉන්ද්‍රියයන්ට ගෝචර සොයමින් යම් වේදනාවක් විඳීමට ය. ගෝචරය හදවතේ ගැස්මට ඔරොත්තු දෙන්නේ නම් එහි සැපවේදනා සංකල්පයෙන් මනස අරමුණ ට අනුගතව පවත්නා අතර හදවතේ ගැස්මට ඔරොත්තු නොදේ නම් ප්‍රතිවිරුද්ධ හැඟීම් ජනිතව දුක්වේදනා ඇතිවීම චිත්ත නියාමයයි.

වේදනාව යනු මානසික රසයයි. ඒ නිසා එය ආරක්‍ෂා කරගැනීමට තණ්හාවද ඉදිරියට පවත්වා ගැනීමේ උපාදානයද ඇතිවේ. මේ හැඟීම් දෙකින්ම සිදුවන අනිෂ්ඨ ප්‍රතිඵලය වන්නේ අති දීර්ඝ සංසාර පැවැත්මයි.

උපාදානය මූලිකව පවත්නා හැඟීම් මතු භවයක් ඇති කිරීමෙහිලා මූලාධාර වේ. රූපාදී පංචකාම සම්පත් අරමුණෙන් අරමුණට දැඩිව අල්වා ගැනීමෙන් කාම උපාදානයද ආත්මත් ලෝකයත් ශාස්වත උච්ඡේදාදී නයින් සිතීමෙන් දිට්ඨි උපාදානයද එයම වර්ධනය වීමෙන් ගෝව්‍රත, අජව්‍රතාදී සීලබ්බත උපාදානයද විසිවැදෑරුම් ආත්මදෘෂ්ටි සංඛ්‍යාත අත්තවාද උපාදානයද යන සතර උපාදානයෝ රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාද්‍රානස්ඛන්ධයන් ප්‍රත්‍ය කරගෙන පවත්නාහ. සත්වයෙකු මෙලොව බිහිවීමද, ජීවත්වීමද මෙලොවින් චුතව යළි ප්‍රතිසන්ධියක් ලැබීම ද යන ක්‍රියාවලිය තණ්හාවෙන් එක්වීමද උපාදානයෙන් දැඩිව අල්ලා ගැනීමද නිසා සිදුවේ. සත්වයෙකු ජීවිත කාලය පුරා මනසින් නිපදවන කුශලා කුශල චෛත්‍යසික ධර්ම උපාදානය මූලාධාර කරගෙන පවතින බැවින් ජීවිතය පිළිබඳ කිනම් පරිවර්තනයක් ඇති වන්නේ ද එය උපාදාන ධර්මයේ අඩුවැඩිවීම හා නැතිවීම අනුව සිදුවන්නේ ය. මේ නිසා “උපාදාන නිරෝධා භව නිරෝධෝ” ආදී න්‍යායයෙන් උපාදානය නිරෝධයෙන් යළි කාම, භව, රූපභව, අරූපභව යන භවත්‍රයේ පිළිසිඳ ගැනීමක් නොවන්නේමය.

ඉමස්මිං සති ඉදං හොති යන න්‍යායට අනුව තණ්හා හේතුවෙන් උපාදානයද උපාදාන හේතුවෙන් භවයද ඇතිවන්නා සේම හේතුව වූ උපාදානය හෙවත් දැඩිව අල්ලා ගැනීමක් නැත්නම් නැවත භවයක් පිළිබඳ පැවැත්මක් ද නැත්තේ මැයි.

කෙනෙකුගේ ජීවත්වීම යනු තමා විසින් හදාගත් තණ්හා කෝෂයෙක් තුළ උපාදාන කරගෙන සිටීමයි. පුද්ගල හා පුද්ගලාන්තරව ජීවලෝකය තුළින් පැන නගින ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා උපයෝගී කරගන්නා ආගම, දහම, දර්ශනය ආර්ථිකය කලින් කලට වෙනස්වූවද උපාදන හැඟීම් ධාරා නොවෙනස්ව සත්ව පරපුරේ අපේක්‍ෂා අතරින් ගලායයි.

ලෝකයේ කුදුමහත් සෑම ප්‍රශ්නයකටම හේතු ජාලයක් ද හේතු නැති කිරීමෙන් ඉදිරි ප්‍රතිඵල ජාලයකට තවත් හේතු ජාලයක් ද ඇතිවග සිහිබුද්ධියෙන් නිරීක්‍ෂණය කරන විට ප්‍රත්‍යක්‍ෂ වේ. මෙසේ මූල හේතුව හෝ සම්පූර්ණ අන්ත ඵලය හෝ සෙවීම මිරිඟුවක් ඔස්සේ ගමනක් වැන්න. මේ නිසා දෛනිකව ප්‍රශ්නවලට උපේක්‍ෂාවෙන් මුහුණ දෙන අතර සංසාර පැවැත්මට හේතුව වූ බුදුරදුන් විසින් දක්වා වදාළ හේතුඵල න්‍යාය ධර්මය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් දෙලොව අභිවෘද්ධිය හා උතුම් නිවන් සම්පත් ලබාගැනීමට වාසනා හිමි වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.