Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කාය හා කුච්ඡි පරිහාරික වූ අසිරිමත් අටපිරිකර

මජ්ඣිම නිකායේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි ශීල සම්පන්න වූ භික්ෂුව සතුවිය යුතු අල්පේච්ඡ බව දක්වමින්, උන්වහන්සේ තෘප්තිමත්භාවයට පත්ව සිටිය යුතු අයුරු මෙසේ දැක්වෙයි.

සො සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකෙන චීවරේන, කුච්ඡිපරිහාරිකේන පිණ්ඩපාතෙන. සො යෙනයෙනව පක්කමති, සමාදායෙව පක්කමති. සෙය්‍යථාපි නාම පක්ඛිසකුණො යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති’

කය පරිහරණය කරන සිවුරෙන් ද කුස පරිහරණය කරන පිණ්ඩපාතයෙන් ද උන්වහන්සේ සතුටට පත් වෙති. උන්වහන්සේ තමන් යනු කැමැති තැනකට පියාපත් ඇති ලිහිණියකු තමන් කැමැති තැනකට පියාපත් බර පමණක් ඇතිව යන්නාක් මෙන්, පා සිවුරු පමණක් ඇතිව වැඩම කරති.

මෙසේ විස්තර වූයේ භික්ෂුවගේ උතුම් අධ්‍යාත්මික සුඛ විහරණය යි. අල්පේච්ඡතාව යි. ආර්ය සන්තෝෂය යි. මේ සන්තෝෂය (සන්තුට්ඨෝ) පිළිබඳ අටුවා සපයන පපඤ්චුසුදනී අට්ඨකථාව, සිවුපස ලාභයේ දී භික්ෂූන් වහන්සේ දොළොස් වැදෑරුම් ප්‍රත්‍ය සන්තෝෂයෙන් යුක්ත විය යුතු බව පවසයි. මෙබඳු භික්ෂුවට අටපිරිකර සුදුසු යැයි (අට්ඨපරික්ඛාරා වට්ටති) පවසන අටුවාව, ඒවා මෙසේ නම් කරයි.

තීණි චීවරානි පත්තො දන්තකට්ඨච්ඡේදනවාසි
එකා සූචි කාය බන්ධනං පරිස්සාවනං වුත්තම් පි චෙතං
තිචීවරං පත්තො ච වාසි සුචී ම බන්ධනං පරිස්සාවනෙන
අට්ඨොත යුත්ත යෝගස්ස භික්ඛුනො’.

අට පිරිකර :-

තුන් සිවුර (මෙහි පිරිකර තුනකි)

1. දෙපට සිවුරු 2. තනිපට සිවුරු

3. අඳනය 4. පාත්‍රය

5. දත් නිය කපන පිහිය 6. ඉඳිකටුව හා නූල

7. හිණ බඳිනා පටිය 8. පෙරහන්කඩ

මෙම අටපිරිකර පමණක් පරිහරණය කිරීම, භික්ෂුවට කැප විය. එනිසා සිය සෑම අවශ්‍යතාවක් ම ඉන් පිරිමසා ගත යුතු විය. මෙනිසා මෙම පිරිකර අට කාය පරිහාරික ද කුච්ඡි පරිහාරිකද විය. කාය යනු ශරීරය යි. ශරීරයෙන් පරිහරණය කරන ද්‍රව්‍ය ‘කාය පරිහාරික’ නම් වේ. කුච්ඡි යනු කුසයි (බඩයි). කුසින් පරිහරණය කරන හෙවත් ආහාර ගැනීමට යොදාගන්නා ද්‍රව්‍ය ‘කුච්ඡි පරිහාරික’ නම් වේ. අටපිරිකරින් පමණක් සතුටට පත්වන භික්ෂුව එම පිරිකර අට කායික කටයුතු සඳහාත්, ආහාරපාන භාවිතය සඳහාත් යොදා ගන්නා අයුරු අටුවාවේ විස්තර කර ඇත.

තුන් සිවුර (තිචීවරං) හැඳ පොරවාගෙන හැසිරෙන අවස්ථාවෙහි එය කාය පරිහාරික පිරිකරක් වේ. සිවුරු කොණින් දිය පෙරා වළඳන අවස්ථාවෙහි තුන්සිවුර ‘කුච්ඡි පරිහාරික’ පිරිකරක් බවට පත්වෙයි.

පාත්‍රය (පත්තම්පි) ද, ඉන් ජලය ගෙන නෑමේදීත් දිය රැගෙනවුත් කුටිය හෝ සෙනසුන සෝදා පවිත්‍ර කිරීමෙහිදීත් කාය පරිහාරික පිරිකරක් බවට පත්වෙයි. ඉන් ආහාර ගෙන වළඳන අවස්ථාවෙහි දී පාත්‍රය කුච්ඡි පරිහාරික පිරිකරකි.

වෑය හෝ ‘කුඩා පිහිය’ (දැලි පිහිය) ද, දැහැටි දඬු සාදා ගැනීමේදී ද, ඇඳ පුටු ආදියේ කැඩීම් බිඳීම් ආදියකදී ද, සිවුරු කුටි, සිවුරු දමන දඬු සාදා ගැනීමේදී ද කාය පරිහාරික උපකරණයක් වෙයි. උක් දඬු කැපීම, පොල් ගා ගැනීම් ආදියේ දී ද දැලි පිහිය කුච්ඡි පරිහාරික පිරිකරක් බවට පත්වෙයි.

ඉදිකටුව ද සිවුරු මසන අවස්ථාවෙහි කාය පරිහාරික පිරිකරකි. කැවුම්, ගෙඩි ආදියක් විද වැළදිය යුතු අවස්ථාවෙහි ආහාර ද්‍රව්‍ය විඳීම නිසා ඉඳිකටුව කුච්ඡි පරිහාරික පිරිකරක් බවට පත්වෙයි. කය බඳිනා පටිය, කයෙහි බැඳ හැසිරෙන අවස්ථාවෙහි කාය පරිහාරික පිරිකරක් වන අතර, උක් දඬු ආදිය කපා ගෙන යෑමේදී (මිටියක් ලෙස බැඳ ගෙන යෑම් ආදියට එය භාවිතයට ගන්නා බැවින්) කුච්ඡි පරිහාරික පිරිකරක් වෙයි. පෙරහන්කඩ ද, ඉන් දිය පෙරා වැළඳීමේ දී හා ඉන් තල, මුං සහල් ආදිය පෙරා ගෙන වැළඳීමේදී කුච්ඡි පරිහාරික පිරිකරක් වෙයි. දිය පෙරා නෑමේ දී හෝ සෙනසුන, පිරිසිදු කිරීමට දිය පෙරා ගන්නා විටදී පෙරහන්කඩ කාය හරිහාරික පිරිකරක් බවට පත්වෙයි.

මේ පිරිකර අට පමණක් ම ශ්‍රමණ යෝග්‍ය සන්තුෂ්ටිය ඇතිකරන පිරිකර වේ.

මෙම “අට පිරිකරට” ම බිම හිඳ ගැනීමට අතුරන කඩ (පත්කඩය) හෝ පැන් කෙණ්ඩිය හෝ එකතු කර ගැනීමෙන් ‘නව පිරිකර’ බිහි වෙයි. උක්ත අටපිරිකරට පැන් කෙණ්ඩිය හා හිඳිකා සමසකඩ යන පරිඡ්කාර දෙක එක්කර ගැනීමෙන් ‘දස පිරිකර’ බිහිවෙයි. ‘එකොළොස් පිරිකර’ එම දස පිරිකරට ම තෙල් ගුලාව හෝ සැරයටිය (කත්තර යට්ඨි) එකතු වීමෙන් සාදා ගැනේ. එසේ සාදා ගැනෙන එකොළොස් පිරිකරට කුඩය (ඡත්තං) හෝ පාවහන් (උපාහනං) එකතු කර ගැනීමෙන් ‘දොළාස් පිරිකර’ බිහි වේ.

මේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ ‘සන්තුට්ඨො’ යන වචනයෙන් ‘අටපිරිකරින් පමණක්ම සතුටුවීම’ අදහස් කළ බව අටුවා මතයයි. උක්ත සෙසු පිරිකර භාවිත කිරීම ඉන් අපේක්ෂා නොකරන ලදී. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ දැක් වූ භික්ෂුව අට පිරිකරින් පමණක්ම සතුටුවන්නෙකි. හෙතෙම අනෙක් පිරිස පරිහරණය නොකරන්නේ ය යනුවෙන් අටුවාවේ තදින් ම පැවසෙන හෙයින් උක්ත නවපිරිකර, දස පිරිකර, එකොළොස් පිරිකර හා දොළොස් පිරිකර අභයගිරිකාදී අන්‍ය (මහාවිහාරික නොවූ) සම්ප්‍රදායයන් විසින් පරිහරණය කරන්නට ඇතැයි සිතේ.

අටපිරිකරින් පමණක් සතුටු වන භික්ෂූන් වහන්සේ කුඩා දැළි පිහිය, ඉඳිකටුන පෙරහන්කඩ තුළට දමා, එය පාත්‍රය තුළ තබා හොඳින් බැඳ, එම පාත්‍රය උරයෙහි එල්ලාගෙන තුන්සිවුර මනාව පෙරවා හිණ බඳින පටියෙන් බැඳගෙන කැමැති තැනකට වැඩම කරන්නාහ.

මෙම අටපිරිකර පිළිබඳ ත්‍රිපිටක පාළියේ අසන්නට නොලැබේ. සූත්‍ර, විනය පිටක දෙකෙහි බොහෝ විට ‘පත්තචීවර’ යන වචන දෙක තත්කාලීන භික්ෂූවගේ ශ්‍රමණ පරිඡ්කාර ලෙස දැක්විණ. උක්ත චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ දී පත්තචීවරමාදාය යනුවෙන් එය දැක්විණි. විනය පිටකයේ ස්ථාන පහක දී මෙම අටපිරිකර අනුදැන ඇති මුත්, ත්‍රිපිටකයේ කිසි තැනක ‘අට්ඨපරික්ඛාර’ යන නාමය දක්නට නොලැබේ. එමෙන්ම මහාවංස, දීපවංස හා වංසත්ථප්පකාසිනී යන මුල් කාලීන වංසකථා ග්‍රන්ථවල ද ‘අට්ඨ පරික්ඛාර’ යන වචනය යෙදී තිබෙනු දක්නට නොලැබිණ. පාලි ත්‍රිපිටක හා වංසකථා ග්‍රන්ථවල පත්තචීවරං තිවීවරං යනුවෙන් දැක්වුණ ශ්‍රමණ පිරිකර පසුකාලීන පාලි අටුවා ග්‍රන්ථවලත් පූජාවලිය, සද්ධර්මරතනාවලිය ආදී සිංහල ධර්ම ග්‍රන්ථවලත් ‘අට්ඨපරික්ඛාරං’ යනුවෙන් යෙදී ඇති අයුරු දැකිය හැකිය.

දුටුගැමුණු රජු ඉදිරියේ සිටි පින්පොත කියවන්නත් පැවසූ ප්‍රකාශ දක්වන මහාවංසය 32 වන පරිච්ඡේදයේ 35 ගාථාවේ ‘දීපෙ සංඝස්ස තික්ඛත්තුං - තිචීවරම දෘෂයිං’ යනුවෙන් ලක්දිව වැසි සියලු සංඝයාට තුන්වරක් තුන්සිවුරු දුන් බව පවසයි. පූජාවලියේ දුටුගැමුණු රජු සිදුකළ පින්කම් දක්වන උද්දේසිත කථා පූජා විස්තරයේ ‘මේ ශ්‍රී ලංකාද්වීපයෙහි හැම භික්ෂූන් නොවරදවා තුන්වාරයෙක අටපිරිකර දී පූජා කළේ ය. යනුවෙන් දැක්වේ. මහාවංසයේ දැක්වූ තිචීවරං යන්න අටපිරිකරක් දක්වා දඹදෙණි යුගයේ වැඩී තිබූ අයුරු මේ අනුව වටහා ගත හැකිය.

විනය පිටකයේ වත්තක්ඛන්ධකයේ දී ආගන්තුක, ආරාමිකවත් දැක්වීමේ දී බුද්ධකාලීන (ක්‍රි.පූ. 6 සියවස) භික්ෂූන් නිතර ගමන් බිමන් යනවිට චාරිකාවේ හැසිරෙන විට රැගෙන ගිය පිරිකර හතරක් දැක්වේ.

1. පත්තං (පාත්‍රය) 2. චීවරං -( තුන් සිවුර)

3. උපාහනං (පාවහන්) 4. ඡත්තං (කුඩය)

මුල් කාලයේ සංචාරිකව ම සිය ජීවිතය කැප කළ ඒ උතුම් භික්ෂූහු මේ සිවු පිරිකරින් තෘප්තිමත් වූහ. දෙවන ධර්ම සංගීති සමයේදී එකල සමාජයේ බහුමානයෙන් පිළිගත් ශ්‍රමණ පිරිකර හතක් වූ බව චුල්ලවග්ග පාලියේ සත්ත සතිකක්ඛන්ධකයේ දැක්වේ. ‘සමණකං පරික්ඛාරං’ යනුවෙන් එය දැක්වේ.

1. පත්ත - පාත්‍රය

2. චීවරං - තුන් සිවුර

3. නිසීදනං - හඳන විට එළන රෙදිකඩ

4. සූවිඝරං - ඉඳිකටු ගුලාව

5. කාය බන්ධනං - හිණ බඳින පටිය

6. පරිස්සාවනං - පෙරහන්කඩ

7. ධම්මකරකං - ඩබරාව (දිය ගෙන යන්නකි)

මෙසේ බුද්ධ කාලයේ සිට බුදුරදුන් අනුදත් ශ්‍රමණ පරිෂ්කාර කට්ටල යුගයෙන් යුගය බිහි වී සංවර්ධනය වී ලංකාවේ මහා විහාරයෙවන් අට පිරිකර බිහි වූ බවත්, එම තොරතුරු පළමුවෙන් ම හෙළටුවාවල ඇතුළත්ව තිබූ බවත් වටහා ගැනීමට හැකිය. පාලි වංස කථාකරුවන්ට මහා විහාරයේ ආරක්ෂා වූ සිංහල සාහිත්‍යයේ ආදීම කෘති වූ හෙළටුවා දැකගැනීමට නොලැබිණි. හෙළටුවා උද්ග්‍රහණ, ධාරණ කිරීමෙන් එම අග්‍රගණ්‍ය දැනුම් සම්භාරය දීප ව්‍යාප්ත කළෝ බුද්ධඝෝෂ මා හිමියෝ ය. උන්වහන්සේ පාලියට නැඟූ පපඤචසුදනි අට්ඨකථාවේ දැක්වුණු අටපිරිකර පිළිබඳ විග්‍රහය ඊට පෙර පළ වූ කිසි පොත පතක නොඑන බැවින්, එම විග්‍රහය හෙළටුවාවල හෙවත් මජ්ක්‍ධිම නිකායික හෙළටුවාවේ පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය. හුදෙක් එය බුද්ධඝෝෂ හිමියන්ගේ ම විවරණයක් නම් විසුද්ධිමාර්ගයේ ධූතාංග පරිච්ඡේදයේදී ද මේ පිළිබඳ සදහන් කළ යුතුව තිබිණි. නමුත් එහි අටපිරිකර, මූලික ශ්‍රමණ පරිඡ්කාර ලෙස සැලකූ® බවක් නොපෙනයි.

මෙසේ ලංකාවේ මහා විහාරයෙන් නිර්මාණය වූ මූලික ශ්‍රමණ පරිඡ්කාර කට්ටලයක් වූත්, භික්ෂුවගේ් අල්පේච්ඡ හා සන්තුට්ඨි ගුණ ප්‍රකට කරවන්නාවූත් අටපිරිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳ ‘අටපිරිකර දානානිසංස’ නම් පුස්කොළ පොතෙහි විස්තර වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.