Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සොබා දහම සහ කර්ම ඵල විපාක

පුරාතන දඹදිව්වාසී බ්‍රාහ්මණ චින්තකයන්ගේ දැඩි අවධානයට ලක් වූ ප්‍රධාන කාරණයක් වූයේ ජීව අජීව වස්තු සම්බන්ධයෙන් ඔවුන් අත්දුටු සංසිද්ධි කෙසේ සිදු වන්නේ ද යන්නයි. හිරු, සඳු, තාරකා, පොළොව සහ එය මත සියලු දෑ හැර, අද මෙන් ඇසට ගෝචර වන්නා වූ වෙනත් මූලික වස්තුවක් ඔවුහු නොදුටුවහ. ඒවායේ සම්භවය, පැවැත්ම හා අනාගතය පිළිබඳව හෝ මිහිකත මත වෙසෙන සත්ත්වයා පිළිබඳව හෝ නිශ්චිත දර්ශනයක් ඔවුන් තුළ නොතිබුණි. සත්ත්වයා ගේ උපතට පෙර අතීතයක් ගැන හෝ මරණයට පසු අනාගතයක් ගැන හෝ විවිධ මතවාද මේ නිසා භාරතය පුරා වූ බ්‍රාහ්මණ චින්තකයන් මගින් ගොඩනැඟිණි. මේ අතර ගැඹුරු චිත්ත අභ්‍යාසයන් හි යෙදීමෙන් වත්මන් උපතට පෙර උපත් ලක්‍ෂයක්, කල්ප දහයක්, හතළිහක් දැකිය හැකි වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටි බව බ්‍රහ්මජාල සූත්‍රයේ (දීඝ නිකාය) දැක්වේ.ඒ දැකීමට සාපේක්‍ෂව මරණයෙන් මතු ස්වභාවය තීරණය කොට සත්ත්වයා සදාකාලික වූ නිත්‍ය වූ ආත්මයක් ඇත යන ශාස්වත දෘෂ්ටියෙහි ඔවුහු පිහිටියහ. තවත් කොටසක් තත් උපතින් හෝ නිශ්චිත මතු උපත් කිහිපයකින් හෝ සසර ගමන ඒකාන්ත වශයෙන් අවසන් වන බව ප්‍රකාශ කෙරෙන උච්ඡේද දෘෂ්ටියෙහි පිහිටියහ. අතීතය පිළිබඳ පූර්වාන්ත කල්පිත 18 ක් ද මතු ජීවිතය පිළිබඳ අපරාන්ත කල්පිත 44 ක් ද වශයෙන් මෙවැනි දෘෂ්ටි දෙසැටක් තිබුණු බව බ්‍රහ්ම ජාල සූත්‍රය දක්වයි.

මේ අතර උපත, මරණය සහ පවතින ජීවිතය පිළිබඳ හේතුඵල න්‍යායන් ගොඩනැඟීමට ද ඔවුහු ස්වකීය චින්තනය යොමු කළහ. ඒ අනුව සියලු දේ පෙරකළ කර්ම වල පසු ප්‍රතිඵලයැයි එක් මතවාදයක් (පුබ්බේකත හේතු වාදය) බිහි වූ අතර, සියලු දේ කිසි හේතුවකින් තොරව අහඹු ලෙස සිදුවන බවට තවත් මත වාදයක් (අධිච්ච සමුප්පන්න) විය. මේ දෙකම නොපිළිගත් වෙනත් බ්‍රාහ්මණ පඬිවරු, නිශ්චිත නිගමනයකට ඒමට තරම් බුද්ධිමය පරිණත භාවයක් නොතිබුණු නිසා හෝ ඵලයක් දුටුවත් හේතුවක් නොදුටු නිසා හෝ, සියලු දේ සර්ව බලධාරී අදෘෂ්‍යමාන මැවුම් කරුවකු ගේ කැමැත්ත අනුව, සිදුවන බවට (ඉස්සර නිම්මාණ වාදය) තීරණය කළහ. අද බොහෝ ආගම් මෙම විශ්වාසය අනුව ගොඩ නැගී ඇත. එමඟින්, මිනිසාට උදාවන බොහෝ සංකීර්ණ ගැටලුවලට පහසු විසඳුමක් උදාකර දී ඇති බව පෙනේ.

“මහණෙනි, මෙකී දෘෂ්ටි ගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ මතවාද උගන්වත් ද, ඒ සියල්ලෝ ම එම දෘෂ්ටි නමැති දැළ ඇතුළට ගිහිල්ලයි ඉන්නෙ. උඩට ආවත්, යටට ගිලුණත් එසේ වන්නේ මේ දළ ඇතුළෙමයි.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.

සම්‍යක් සම්බුද්ධප්‍රාප්තියට පෙර, ගිහිව සිටිය දීම භාරතීය සියලු සමාජ විද්‍යාත්මක න්‍යායාත්මක හා රාජ්‍ය පරිපාලන ශිල්ප ශාස්ත්‍ර වල පරතෙරටම උගත් සිද්ධාර්ථයෝ, උපරිමයෙන් වූ කම්සැප හැර දමා, දිගු කලක් ගයා ප්‍රදේශයේ වූ වනගත පරිසරයක එකලාව තාපස ප්‍රවෘජ්ජාවෙන් වාසය කරමින් සොබාදහමෙහි සියලු සංසිද්ධි පිළිබඳ පරිපූර්ණ අනුභූතිය අවබෝධයක් ලබා ගත් බවට සැකයක් නැත. සත්ත්වයා සොබා දහමෙන් අන්‍ය වූ අයෙකු නොවන බවත්, සොබා දහමේ සිදුවන සියලු පරිණාම විපරිණාමයන් මිනිසාට ද සර්ව සාධාරණව වෙනසක් නැතිව බලපාන බව සිදුහත් තවුසාණන්ට අවබෝධ විය. වාතය, ජලය, පස, ගින්න, අවකාශය, හිරු, සඳු, තාරකා, ගස්වැල්, සත්ත්ව යන සියල්ලම සොබා දහමේ සම නියෝජකයෝ වෙත්, වාතය, ජලය, ගස්වැල් ආදී සත්ත්ව නොවන දේට සත්ත්වයකු ඇතැයි යන දැනීමේ ශක්තියක් නැති බව අපි පිළිගනිමු. නමුත් සත්ත්වයාට අනෙකුත් සියලු දේ ඇතැයි යන දැනීමේ ශක්තියක් ඇත. සත්ත්වයා සවිඤ්ඤාණක ය. අනෙක් සියල්ල අවිඤ්ඤාණක ය. ඒ අනුව සත්ත්වයා සොබා දහමේ අනෙක් සියලු සංඝටකයන්ගෙන් වෙන් කෙරෙන්නේ, මේ විඤ්ඤාණය නොහොත් සිත මඟිනි. මෙය විඤ්ඤාණයාගේ මායාකාරී ස්වභාවය. (මායුපමංච විඤ්ඤාණං) එය කෙතරම් ප්‍රබලව බලපාන්නේ දයත්, මිනිසා සොබා දහමෙන් අන්‍ය වූ අයෙකිය යන දෘෂ්ටියෙහි දැඩිව පිහිටුවීමට, විඤ්ඤාණය සමත් වෙයි. සොබා දහමේ අනෙකුත් සියලු සංඝටකයන්ට සිද්ධ වන්නා වූ සියලු විපරිණාම තත්ත්ව මිනිසාට ද අත් විඳින්නට සිදුවේ ය යන සත්‍ය දර්ශනය අභිබවා, මිනිසා අත්දකින බොහෝ දේවල් කර්මයට පැවරීමට මිනිසා නැඹුරු වූයේ අද ඊයෙක නොවේ.

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේලුවනාරාමයේ වැඩ සිටි දිනයක, උන්වහන්සේ බැහැදැකීමට පැමිණි මෝළිය සීවක පිරිවැජියාට දේශනා කොට වදාළ වැදගත් කාරණා කිහිපයක් මෝළිය සීවක සූත්‍රයේ (සං. නිකාය) දැක්වේ. යම් කෙනෙක් යම් සැපක් හෝ දුකක් හෝ සැපදුක් රහිත වේදනාවක් හෝ විඳිනවා නම් ඒ සෑම විඳීමක් ම පෙර කළ කර්මයන් ගේ විපාක නිසාම වේය යනුවෙන් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් දරන ආකල්ප පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ කුමක් පවසන්නේ දැයි සීවක පිරිවැජියා විචාළේ ය.

“සීවකය, පිත නිසා හටගන්නා වූ (පිත්ත සමුට්ඨාන) සෙමනිසා, (සෙම්හ සමුට්ඨාන), වාතය නිසා (වාත සමුට්ඨාන), සන්නිපාතය නිසා (සන්නිපාත සමුට්ඨාන), සෘතු විපර්යාස නිසා (උතු පරිනාමජා), හටගන්නා වූ ඇතැම් වේදනාවක් තියෙනවා. ඒ හේතු නිසා වේදනාව උපදිනවා නම් ඒ බව තමන් දැනගත යුතුයි. ලෝකයා අතරත් එය සම්මතයෙන් පිළිගැනෙයි. ඉතින් මෙසේ පැහැදිලිව පෙනෙද්දීත් මේ සෑම විඳීමක් ම පෙර කළ කර්මයෙන් ම වෙනවා යැයි කියනවා නම් ඒවා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ මිථ්‍යා ප්‍රබන්ධ කියලයි මා කියන්නේ. “තවත් හේතු සඳහන් වෙනවා. විෂම පරිහරණය හා පැවැත්ම (විසමපාරිහාරජා) නිසා හටගන්නා වූ වේදනා තියෙනවා. බාහිර දේවල් පමණක් නොව තමාගේ සිරුරත් වැරැදි ලෙස පරිහරණය කළොත් එයින් නරක දුක් විපාක ලැබෙයි. උපක්‍රම නිසා (ඕපක්කමිකා) හටගන්නා වූ වේදනා ද ඇත. අඳුරෙහි එළිමහනේ ගමන් කිරීමේ දී සර්පයින් දෂ්ට කිරීම නිසා දුක් විපාක ලැබෙයි. නුසුදුසු තැන්වලට යාමෙන් අනතුරු සිදුවිය හැකියි. ගඟක් අසළ මුහුදු වෙරළක් අසළ නිවසක් තනා වාසය කරන්නන්ට ජල ගැලීම් මගින් අනතුරු විය හැකියි. නොසැලකිල්ලෙන් රථයක් පැදවීම නිසා එය තුළ සියල්ලන්ටම අනතුරු විය හැකි යි. අටවැනි කාරණය වශයෙන් කර්මය විපාක නිසා උපදින්නා වූ (කර්ම විපාකජ) වේදනාවන් ද තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මිළිඳු රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නාගසේන මහරහතන් වහන්සේ, තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම සහ දේවදත්ත තෙරුන්ගේ උපක්‍රමයෙන් ස්වකීය සිරුරේ හටගත් තැල්ම යන සිද්ධ කර්ම විපාකයක් නොව ඕපක්කමික හේතු නිසා සිදු වූවක් බව අවධාරණය කර ඇත. (මිළින්ද ප්‍රශ්නය) තෛ‍්‍රකාලික කර්මය ක්‍ෂය කර සර්වඥභාවය ලබාගත් උතුමන්ට කර්ම විපාකයාගේ පලදීමක් නැති බව නාගසේන හිමියෝ පවසති.

සතර පරමාර්ථ ධර්ම අතුරෙන් සංඛත (හේතූන්ගෙන් හටගන්නා) ධර්මයක් වූ සියලු රූප ධාතු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන පරම ශක්ති හතරෙහි සමවායෙන් සැදුම් ලත් බවද ඒවා අනවරතයෙන් ම විපරිණාමයට ලක්වන බවද බුදු දහම අපට පෙන්වා දෙයි. නවීන විද්‍යාවේ පුනරුදයත් සමඟ ම සොයාගත් විදුලිය සහ ඛණිජ තෙල් යන ප්‍රධාන බලශක්ති දෙක නිසා ස්වභාව ධර්මයේ (රූප ධාතූ®න්ගේ) ස්වාභාවික පරිණාමයට බලවත් තර්ජනයක් එල්ල විය. විද්‍යාමය නිපැයුම් නිසා මිහිකතට දැරිය නොහැකි තරම් වූ අපද්‍රව්‍ය (කසළ) විශාල ප්‍රමාණයක් එයට මිනිසා විසින් එකතු කරනු ලබයි. වාතය, ජලය, පස යන මිනිසාගේ ජීවිතාරක්‍ෂක පද්ධති තුනට බරපතල හානි නිරන්තරයෙන් සිදු වෙයි. දිනපතා පොළොවට හිමි කරන පොලිතීන් අති විශාල ප්‍රමාණය ගැන අපි දනිමු. දිනකට මුදා හරින පලිබෝධ නාශක විෂ ද්‍රව්‍ය ප්‍රමාණය විශාලය. එනි සා සොබා දහමේ විපරිනාමය ස්වාභාවික දර්ශකය ඉක්මවා ගොස් ඇත. උතු හා ධර්ම නියාම ධර්මයන්ගේ අති සීඝ්‍ර විපරිණාමයට මේ තත්ත්වයෝ හේතු වෙත්, ඒ සමස්ත විපරිණාමයට අනුව ලැබෙන ප්‍රතිඵලවලට මිනිසා ඇතුළු සියලු ජීවීන් මුහුණ දිය යුතු ය. ධ්‍රැවාසන්න අයිස් කඳු දිය වී ගොස් සමහර දූපත් මුහුදු බත් වන දිනය වැඩි ඈත නොවන බව පැවසේ. මේ සියල්ල ස්වභාව ධර්මය විසම ලෙස පරිහරණය (විසම පාරිභරිජ) කිරීමේ ප්‍රතිඵල බව, බුදු දහමට අනුව පැහැදිලි කර ගැනීම අපහසු නොවන්නේ ය.

සුනාමි, භූ චලන, කුණාටු, රෝගාබාධ, ලැව්ගිනි, ජලගැලීම්, නියඟ ආදී සිදුවීම්, අපට සිදුවන විපත් කාණ්ඩයට දමා කථා කරන්නේ ඒවා මිනිසාගේ පැවැත්මට හානි කර බැවිනි. නමුත් ඒවා සොබා දහමේ සමතුලිතතාව පවත්වාගැනීමට එය තුළම සිදුවන ස්වාභාවික දේවල් ය. එහෙත් මිනිසා ම ස්වභාව ධර්මයේ සමතුලිතභාවය බිඳ සිඳලන නිසා ඒවා ස්වාභාවික දර්ශකය ඉක්මවා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වයි. මිනිසා ද සොබා දහමේ ම නිර්මාණයක් බව නැවතත් අප සිහි කළ යුතු වේ. ඒ නිසා එකී විපරිණාම සිදුවන විට, එසේ සිදුවන සීමාවන්හි වසන මිනිසාට ද පින් පව් කළ නොකළ භේදයකින් තොරව මුහුණ දෙන්නට සිදු වෙයි. සූර්යයා වටේ භ්‍රමණය වන පෘථිවියේ ධ්‍රැව රේඛාවත් චුම්බක රේඛාවත් අතර කෝණය පුංචි අංශකයකින් වෙනස් වුවහොත් මිහිපිට ඇති සවිඤ්ඤාණක අවිඤ්ඤාණක සියලු දේ අපට සිතා ගත නොහැකි වෙනස්කම්වලට භාජනය විය හැකි ය. මේවා කර්මයට භාරදීමට අප ඉක්මන් නොවිය යුතු යැයි සිතමි.

මේ රූප ධාතූන්ගේ ස්වභාවයයි. කර්ම කථාවට අයත් වන්නේ චේතනා මූලික වූ චිත්ත චෛතසික ධර්මයන්ගේ සක්‍රීය භාවය බව බුදුසමය නිරවුල්ව පෙන්වා දෙයි. ඒ සක්‍රීය භාවය කය, වචනය, සිත ද්වාර තුනෙන්ම වෙයි. අවිද්‍යාවෙන් පටන් ගෙන උපායාසයෙන් අවසන් වන පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වන්නේ මේ හේතුඵල න්‍යායයි. චිත්ත චෛතසිකයෝද සංඛත ධාතුවෙත් එම හේතුඵල ධර්මයෙහි සංඛාර යනුවෙන් සියලු කුසල් අකුසල් දැක්වෙයි. ඒවා කර්මජ හේතුවෙත්, එනම් විපාක පිණිස සකස්වෙත්.

පටිච්ච සමුප්පාද ධර්මයෙන් විස්තර කෙරෙන්නේ සුනාමි, භූ චලන වැනි රූප ධාතූන්ගේ විපරිණාම නොවේ. චිත්ත චෛතසිකයන්ගේ පටිච්ච සමුප්පන්නභාවය අහෝසි කළ විට අසංඛත වූ (හේතූන්ගෙන් හට නොගත්) නිර්වාණ ධාතුව ක්‍ෂාත් සාත් කළාවෙයි. මේ සත්‍ය දර්ශනය ලොවට විවෘත වන්නේ සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීමෙන් පමණකි.

මෙහිදී අපට නිතැනින්ම ගැටලුවක් පැන නැගෙයි. එනම් මුලින් කී රූප ධාතූන්ගේ විපරිණාම ප්‍රතිඵලයත්, පසුව කී චිත්ත චෛතසික ධර්මයන්ගේ කර්ම විපාකත් අතර සම්බන්ධයක් නැති ද යන්න එම ගැටලුවයි. ස්වභාව ධර්මයේ අනෙකුත් අවිඤ්ඤාණික සංඝටකයන්ගෙන් තොර වූ තැනක මිනිස් වාසයක් තිබිය ;නාහැකි ය යන්න අද අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. එහෙත් මිනිසාගේ ක්‍රියාවන්ට කර්මානුරූප වූ ප්‍රතික්‍රියාවක් සොබාදහමෙන් එල්ල වේද යන්න පුළුල් ලෙස විමසා බැලිය යුතු දෙයකි. යම් කෙනෙකු කරන කර්මයක විපාකය එය කළ තැනැත්තාට මිස වෙනත් අයෙකුට නොඑළඹෙන බව බුදු දහමේ මූලික ඉගැන්වීමකි. ස්වභාව ධර්මයේ අනපේක්‍ෂිත විපර්යාස නිසා මිනිසාට සිදුවන සාමූහික විපත්ති කෙරෙහි චින්තනය යොමු කරන විට මිනිසාගේ සාහසික ක්‍රියා නිසා සොබා දහම කුපිත වී ඇතැයි යන නිගමනයට අපි නිතැනින් ම පැමිණෙමු. ඒ ප්‍රතික්‍රියා මෙලොව විපාක වශයෙන් මිස, පරලොවකට භාර කර නොසැලකෙයි.

නාම රූප ධර්ම දක්වන තැන ඒවා එකිනෙකට ප්‍රත්‍යව පවතින බව බුදුදහම පෙන්වා දෙයි. නාමස්කන්ධයෝ වෙනමත් රූපස්කන්ධයෝ වෙනමත් සත්ත්වයා කෙරෙහි නොපවතී. මෙතැන රූපස්කන්ධය කීවේ ගස්වැල් කඳු ආදියට නොව පංචස්කන්ධයේ රූප කොටසට ය. පරමාර්ථ වශයෙන් ගත් කළ මෙකී රූපස්කන්ධයද මහා භූත වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් ම සමන්විත ය. ගස්වැල්, කඳු ගංගා, ගින්න ආදී සියල්ලේම පරමාර්ථ මූලය වූයේ මේ ධාතු සතරම ය. මිනිසා ද ස්වභාව ධර්මයේ ම සමස්ථානිකයකු ලෙස නැවත සිහිපත් කරගත් විට, චිත්ත චෛතසික නාම ධර්මයන්ගේ බලපෑම පරමාර්ථ වශයෙන් සියලු රූප ධාතූ®න්ට සහ සම්බන්ධතාවයක් දක්වන බව පිළිගත හැකි ය. මෙය ඉතා සියුම් තැනකි. ඒ අනුව චිත්ත චෛතසික නාම ධර්මයන්ගේ සකර්මක ක්‍රියා සාධක බලවේගය. සතර මහා ධාතූන්ගෙන් සැදුම්ලත් ඕලාරික ශරීරයට බලපාන්නා සේම, එම ධාතූන්ගෙන්ම සැදුම් ලත් පරිබාහිර රූප ධාතු කොටස්වලටද විහිදී යයි. මේ බව අද නවීන විද්‍යා පර්යේෂණ මගින් සනාථ කරගෙන ඇත.

බාහිර ලෝකයෙන් මේ සවිඤ්ඤාණික ශරීරය වෙන් කරන සමද (පඨවි ධාතුව අධික වූ) ඒ හා නිරන්තරයෙන් ස්පර්ශව ඇති වාතයද (වායෝ ධාතුව අධික වූ) මූල පරමාර්ථ ධාතු වශයෙන් සතර මහා ධාතූන්ගෙන්ම සැදුම් ලද්දෝ වෙයි. ඒ ධාතු ස්වභාවය අපේ ඇසට ගෝචර නොවන නිසා ඒවා දෙකක් සේ ගැනෙයි. මිනිසා පටිසන්ධිය ලබන මුල්ම ස්වභාවය වනාහි, සම්, මස්,කෙස්, ඇට, හිස් ආදී කිසිවක් නැති ඒක සෛලයකි යන්න මෙනෙහි කළ විට මේ යථාර්ථය වටහා ගත හැකි ය. විඤ්ඤාණයාගේ (ගන්ධබ්බයාගේ) එළඹීමක් නොවූයේ නම් මේ මිනිස් සෛලය බාහිර ලෝකයටම අයත්ව විපරිණාමයට භාජනය වී නැති වී යයි. එනිසා මිනිසා ගේ සියලු සකර්මක (සචේතනික) ක්‍රියා මිනිසාගෙන් අන්‍ය ලෙස ගැනෙන සොබා දහමේ සියලුම සංඝටකයන්ට අදිසිව බලපාන්නේය යන්න බැහැර කළ නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ විසින් ගුරු උපදේශ රහිතව අවබෝධ කරගනු ලැබූ ශ්‍රී සද්ධර්මය වශයෙන් ලෝකයට විවෘත කර දෙන ලද සුවිශේෂී කාරණය වන්නේ, මිනිසා ගේ චිත්ත චෛතසික ක්‍රියා සාධක බලවේගය. ලොව අන් සියලු බලශක්ති අභිබවා යන බවයි.

මෙය නාම ධර්මයන්ගේ නියාම ධර්මතාවයයි. ඒ අනුව ස්වභාව ධර්මයේ බොහෝ බලවේගයන්ගේ බලපෑම අවම කර ගැනීමට හෝ සහමුලින් ම නැති කර එය තුළ පැවැත්ම අහෝසි කර ගැනීමට හෝ දියුණු කරගත් මානසික බලයට හැකි ය යන කරුණ සැලකිල්ලට ගත යුතු එකකි.

පංචාභිඥ හා අනෙකුත් ඉහළ සෘද්ධි බල ගැන අප අසා ඇත. සාමාන්‍ය චින්තනයෙන් ගතහොත් ප්‍රබල කුසල කර්ම බලවේගයක් ඇති කෙනෙකුට, සුනාමියකට හසුවූවත්, එයින් බේරීමට එය බලපෑ හැකිය යන්න මනඞ කල්පිතයක් නොවේ. දියුණුව කරගත් මෛත්‍රිය ඇති කෙනෙකුට ස්වභාව ධර්මයෙන් ලැබෙන රක්‍ෂණය ගැන මෙත්තානිශංස සූත්‍රයේ දැක්වේ.

කර්ම විෂය අචින්ත්‍ය විෂයකි. එය බුදු වදනයි. නමුත් සෑම සිදුවීමක් දෙසම කර්මයට සාපේක්‍ෂව බැලීමට අප යොමු වී ඇත්තේ, පුද්ගලයා ස්වභාව ධර්මයෙන් වෙන් වූ අයෙකි ය යන ආත්ම දෘෂ්ටියෙහි හෙවත් පෘථග්ජන ස්වභාවයෙහි සිටින නිසා ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.