Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආරක්ෂාවට සුදුසු පිරිත් සූත්‍ර තෝරා ගැනීම

පිරිත, පිරිත්ත, පරිත්‍රාණ යන ශබ්ද සිංහල පාලි හා සංස්කෘත භාෂාවෙහි පිරිත යන්නට භාවිත කළ වචන යි. ඒ සෑම වචනයකින් ම කියැවෙනුයේ හාත්පසින් ආරක්ෂා කරන යන අර්ථයයි. හින්දුන්ගේ භගවත් ගීතාව ලියැවී ඇත්තේ ද ආරක්ෂාව සැලසීමේ පරමාර්ථයෙනි.

“පරිත්‍රාණාය සාධූනාං විනාශාය ච දුෂ්කෘතම්” යන්නෙන් එය පැහැදිලි වෙයි. භය පදනම්කොට ගෙන ආදි කාලයෙහි පටන් ම පැවැති ගස් ගල් ඇදහීම වෙනුවට බුදුදහමෙහි ඉගැන්වෙනුයේ තෙරුවන් සරණ යෑමයි. කරදර, විපත් දුරුවීම සඳහා බුද්ධ දේශිත සූත්‍ර ගණනාවක් පිරිත් නාමයෙන් හඳුන්වා ඇත. චතුභාණවාර පාලිය සකස් වී ඇත්තේ එබඳු පිරිත් සූත්‍ර එක්තැන් කිරීමෙනි. මුල් වකවානුවේ දී පිරිත් සූත්‍ර නාමයෙන් හඳුන්වා ඇත්තේ සූත්‍ර ධර්ම සුළු ප්‍රමාණයකි. ඒ බව මිලින්ද ප්‍රශ්නයෙන් ද කියැවෙයි.

“භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිත් ධර්ම කෙනෙක් ද වදාරන ලද්දාහ. ඒ කවරේ ද? රතන සූත්‍රය, ඛන්ධ පරිත්ත ය, මෝර පිරිත ය. ධජග්ග පිරිතය. ආටානාටිය පිරිත ය. අංගුලිමාල පිරිත ය”

මේ අනුව මිළින්ද ප්‍රශ්නයේ සඳහන් මෙම පිරිත් සංඛ්‍යාව එකල භාවිත වූ බව උගත්තු කල්පනා කරති. මෙහි ධජග්ග සූත්‍රය පිරිත් සූත්‍රයක් වශයෙන් සඳහන් වෙතත් මංගල ආදී සූත්‍ර පිරිත් වශයෙන් සලකා නැති බව පෙනෙයි.

තවද, කෙළ ලක්ෂයක් සක්වල ආඥා චක්‍රය පතුරුවා දේශනා කළ සූත්‍ර වශයෙන් හැඳින්වෙන්නේ : රතන සූත්‍රය, ඛන්ධ පරිත්තය, ධජග්ග පරිත්තය, ආටානාටිය සූත්‍රය සහ මෝර වපරිත්තය යන සූත්‍ර ධර්ම පස යි. මංගල සූත්‍රය එසේ ආඥා චක්‍රය පතුරුවා දේශනා කළ සූත්‍රයක් නොවේ.

පිරිත් දේශනා ක්‍රම පරිපූර්ණ භාවයට පත්වත්ම ඒ පිළිබඳ විවිධ නීති රීතීන් ද කතිකාවත් ද ඇතිවිය. බණ පිරිත් කතිකාවත ඉන් එකකි. අමනුෂ්‍ය උපද්‍රවයක දී මුල දී දේශනා කළ යුතු සූත්‍රයක් ලෙස දක්වා ඇත්තේ මෙත්ත සූත්‍රය - ධජග්ග සූත්‍රය හා රතන සූත්‍රය යි. මේ ස්ථානවල දී එකල මංගල සූත්‍රය දේශනා කළ බවක් දැක ගන්නට නැත. මේ කරුණු වලින් පැහැදිලි වනුයේ මුල් වකවානුවෙහි මංගල සූත්‍රය පිරිත් සූත්‍රයක් වශයෙන් සලකා නැති බව යි.

පිරිත් පුරා දේශනා කිරීමට පටන් ගත් අවධියේදී ධජග්ග සූත්‍රය වෙනුවට මංගල සූත්‍රය ආදේශ වී ඇතැයි සිතිය හැකි ය. එයට හේතුව මංගල සූත්‍රය පද්‍යාත්මක නිසා දේශනාවට පහසු වීම යි. මේ නිසා වර්තමානයෙහි ආරක්ෂාවට සෙත් පිරිත් සජ්ඣායනා කරවා ගැනීමේ දීද දේශකයන් වහන්සේ තුන් සූත්‍රය වශයෙන් මංගල සූත්‍රය, රතන සූත්‍රය හා කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරති.

තවද, තොවිල් පවිල්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුහරුකම් සිදු කරන ගුප්ත ශාස්ත්‍රඥයෝ පළමුවෙන් තමාගේ ආරක්ෂාව සලසාගෙන පසුව ආරක්ෂා කර්ම කළ යුතු බව කල්පනා කරති. චතුභාණවාරට්ඨකථාවේ සඳහන් වන්නේ මංගල සූත්‍රය දේශනා කිරීමෙන් ආත්මාරක්ෂාව හෙවත් තමන්ගේ ආරක්ෂාව සැලසෙන බව යි. එම නිසා ගුප්ත ශාස්ත්‍රඥයින්ගේ ආභාෂය ලැබීමෙන් පළමු ව තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට මංගල සූත්‍රය දේශනා කිරීමට පුරුදු වූවා විය හැකි ය.

එහෙත් පුරාණයේ පටන් ම භාවිත වූ තුන් සූත්‍රය වශයෙන් සඳහන් වන්නේ රතන සූත්‍රය - මෙත්ත සූත්‍රය හා ධජග්ග සූත්‍රය යි. අද පවා පැරැණි ඇතැම් ස්වාමීන්ද්‍රයන් වහන්සේ තුන් සූත්‍රය වශයෙන් දේශනා කරනුයේ මේ සූත්‍ර තුන යි. ඇතැම් ගිහි පින්වත්හු ද ධජග්ග සූත්‍රය විශේෂයෙන් දේශනා කරවා ගනිති.

ආත්ම ආරක්ෂාව මංගල සූත්‍රයෙන් සැලසෙනවා මෙන් ම කරණීය මෙත්ත සූත්‍රයෙන් ද නො අඩුව සැලසේ. මෙත් වැඩීමෙන් ලැබෙන අනුසස් එකොළහ පිළිබඳ අපි හොඳින් දනිමු. ඒ නිසා බලසම්පන්න සූත්‍රයක් අතහැර දොලොව දියුණුවට හේතු වන මංගල කරුණු අට තිසක් සඳහන් වන මංගල සූත්‍රය දේශනා කිරීමෙන් ආරක්ෂා සම්පත්තියෙහි ඌණත්වයක් සිදුවීමට පිළිවන. එහෙත් මංගල සූත්‍රය දේශනා කිරීමෙන් කිසිවිටෙකත් අවැඩක් නම් සිදු නොවේ.

ආරක්ෂාව සඳහා වඩාත් යෝග්‍ය සූත්‍රය ධජග්ග සූත්‍රය යි. එයින් කියැවෙන්නේ ද ආරක්ෂාව සඳහා රත්නත්‍රය සිහිපත් කළයුතු ආකාරය පිළිබඳ ය.

අසුරයන් හා ඇති වූ සංග්‍රාමයේ දී සමහර විට දෙවියන්ට අසුරයන් නිසා භය, තැතිගැනීම්, ලොමුදැහැ ගැනීම් ඇතිවිය. එවැනි අවස්ථාවක් ඇති වූ විට ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ හෝ ප්‍රජාපතී දෙව්රජුගේ හෝ වරුණ දෙව්රජුගේ හෝ ඊසාන දෙව්රජුගේ හෝ කොඩියේ අග බලන ලෙස ඒ ඒ දේව සේනාපතිවරු ප්‍රකාශ කළහ.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක්, එසේ දේව සේනාපතිවරුන්ගේ ධජාග්‍රය දෙස බැලීමෙන් භය තැති ගැනීම් නැති වන්නටත්, නැති නොවන්නටත් හැකි බව යි. හේතුව ? ශක්‍ර, ප්‍රජාපති, වරුණ, ඊසාන දෙව් රජවරුන් කෙලෙස් සහිත බැවිනි.

බුදුරජාණන් වහන්සේ වීතරාගී වීත දෝසී, වීතමෝහී මහෝත්තමයාණන් වහන්සේ ය. එහෙයින් උන්වහන්සේ බිය නො වෙති. එහෙයින් බුද්ධ , ධම්ම සංඝ රත්නත්‍රය සිහි කිරීමෙන් සැලසෙන සෙත ශාන්තිය ස්ථිර ය. ඒ නිසා භික්ෂූන්ට ආරණ්‍යයක දී හෝ රුක්මුලෙක දී හෝ ශූන්‍යාගාරයක දී හෝ භය වීමක්. තැති ගැනීමක්. ලොමුදැහැ ගැනීමක් ඇතිවුවහොත් ඉතිපිසෝ පාඨයේ සඳහන් වන නව අරහා දී බුදුගුණ සිහි කරන්න. නැති නම් ස්වාක්ඛාතා දී දහම් ගුණ හෝ සුපටිපන්නා දී සඟ ගුණ සිහි කරන්න යැයි වදාළ සේක. මෙසේ කෙළ ලක්ෂයක් සක්වල ආඥා චක්‍රය පතුරුවා දේශනා කර වදාළ සූත්‍රයක් වෙනුවට ආඥා චක්‍රය නොපැතිර වූ මංගල සූත්‍රය ආදේශ කිරීමෙන් පිරිතෙන් බලාපොරොත්තු වන ආරක්ෂා සම්පත්තිය අඩු වී යෑමට හේතු වනු ඇත.

ආරක්ෂක පිරිත් දේශනාවල දී ඉතිපිසෝ පාඨය, ස්වාක්ඛාත පාඨය හා සුපටිපන්න පාඨය ප්‍රථමයෙන් දේශනා කරන නමුත් සූත්‍රයක් වශයෙන් භාවිත නො කෙරෙන නිසා නියම ආනිශංස ලැබේ දැ’ යි සැක සහිත ය. ඊට හේතුව වන්නේ බුද්ධ, ධම්ම, සංඝ ගුණ පාඨ; වෙන වෙනම අණසක පිහිටුවා දේශනා කොට නැති බැවිනි.

බුද්ධ දේශිත කවර හෝ ධර්මයක් ස්ජ්ඣායනය කොට ඒ සත්‍ය ධර්මයේ බලයෙන් යහපතක්, ජය මංගල්‍යයක්, නිරෝගී භාවයක් ලැබේවා! යි සත්‍ය ක්‍රියා කිරීමෙන් වැඩෙක් මිස කිසිසේත් අවැඩෙක් නම් සිදු නොවේයි. එහෙත් සෙත් පැතීම සඳහා නිර්දේශිත සූත්‍ර ම භාවිත කරන්නේ නම්, අපේක්ෂිත ප්‍රතිඵල ඒ අයුරින් ම ලැබෙනු නිසැක ය. මංගල සූත්‍රය දේශනා කරන ලද්දේ දෙවියන්ගේ ඉල්ලීම පරිදි ය. එහි අඩංගු වන්නේ දෙලොව දියුණුවට හේතු වන මංගල කරුණු අටතිසෙකි. ඊළඟට දෙවියන්ගේ ඉල්ලීම වූයේ දෙලොව පිරිහෙන කරුණු දේශනා කරන ලෙස ය. පරාභව සූත්‍රය දේශනා කළ සේක්, එම ඇරැයුම පරිදි ය. මංගල සූත්‍රය ආරක්ෂාව සඳහා දේශනා කරන්නේ නම් පරාභව සූත්‍රය දේශනා කිරීමෙන් ද සෙත් ශාන්තිය සැලසෙනු ඇත. එනිසා මේ පිළිබඳ විචාරාක්ෂිය යොමු කොට ආරක්ෂා සම්පත්තිය සැලසෙන පිරිත් සූත්‍ර ම තෝරා බේරා ගන්නේ්නම් ඉතා මැනැවි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.