Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පුන් පොහෝ දා පැවැත්වූ ප්‍රථම ධර්ම සංඝායනාව

අලං ආවුසො මා සෝචිත්‍ථ, මා පරිද්විත්‍ථ, සුමුත්තා මයං තෙන මහා සමණෙන, උපද්දුතා හොම, ඉදං වො කප්පති ඉදං වො න කප්පතී ති ඉදානි මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම යං න ඉච්ඡිස්සාම තං න කරිස්සාමාති...’ යනාදි වශයෙන් සුභද්‍ර නම් මහලු පැවිද්දකු විසින් කියන ලද අවිනීත වචන ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීමට හේතු වූ බව චුල්ලවග්ගපාලී ආදී ග්‍රන්ථයන්හි සඳහන් වේ.

කවර ආයතනයක වුව ද දීර්ඝකාලීන හා ක්‍රමානුකූ®ල පැවැත්ම සඳහා එහි ප්‍රතිසංස්කරණයන් මෙන්ම ආරක්ෂක විධි විධාන යොදා ගැනීම අත්‍යාවශ්‍ය වේ. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ප්‍රථම ධර්ම සංඝායනාවද එවැනි වැඩපිළිවෙළක් ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ක්‍රමානුකූ®ලව සකස් කොට එය ආරක්ෂා කර ගැනීම සඳහා තබන ලද මූලික පියවර වශයෙන් හැඳින්විය හැකි ප්‍රථම ධර්ම සංඝායනාව වූ කලී ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ආදිම වැදගත් සිද්ධිය යනු ඇත. ශාස්තෘ වියෝවෙන් වැළපෙන භික්ෂූන් වහන්සේ අමතා ‘ඇවැත්නි, ශෝක නොකරව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මනාව මිදුනෙමු. මෙය තොපට සුදුසු ය. මෙය තොපට නුසුදුසු යැයි ඔහුගේ නීති රීතිවලින් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමැති නම්, එය කරමු’ යැයි පැවසූ සුභද්‍ර භික්ෂුවගේ ප්‍රකාශය පමණක්ම මේ සංගීතය පැවැත්වීමට හේතු වී යැයි සිතීම දුෂ්කර ය. මෙය වූ කලී එදා වැඩ සිටි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහතෙරවරුන් විසින් දූරදර්ශීව කරන ලද ක්‍රියාවක් ලෙස සැළකීම වඩාත් නිරවද්‍ය ය. දේවදත්ත, ජබ්බග්ගිය, ඡන්න වැනි භික්ෂූන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ද සිටි අතර අගසව් තනතුරු පැවරීමේදී පවා විරුද්ධව නැගී සිටි පිරිසක් එදා සිටි බව පැවසේ. ධම්මපදට්ඨ කථාවේ සඳහන් වන අගසව් වතෙහි මේ පිළිබඳ විස්තරයක් දක්නට ලැබේ. ‘බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති’ යි භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණය කළ බව එහි සඳහන් වේ. අස්සජී, පුතබ්බසුඛ යන භික්ෂූන් වහන්සේ දෙපළ එසේ ක්‍රියා කළ අය වෙති. එක් අවස්ථාවක ආරාම පිළිබඳ අවුලක් නිසා සැරියුත්, මුගලන් දෙනම පාපී පුද්ගලයෝ භ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ බව චුල්ලවග්ග පාලියේ හයවැනි ඛන්ධකයේ සඳහන් වේ. ඇතැම් විචාරකයන්, සංඝායනාවක් පැවැත්වීමට හේතු වූ ඇතැම් කරුණුවල මූල බීජ බුද්ධ කාලයේදීම හටගත්තේ යැයි ඉදිරිපත් කරන මතය, පිළිගත යුතු සත්‍ය එකක් සේ නොපෙනෙයි.

එදා සංඝ සමාජයේ ගෞරව සම්මානයට පාත්‍ර වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතැම් භික්ෂූන් තුළ පැවැති දුර්මත නිරාකරණය කිරීමටත්, බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවලදී දේශනා කරන ලද ධර්මය විසිරී ගොස් නා නා වර්ගවලට අයත් මල් රැසක් සේ පැවැති ධර්ම කොට්ඨාස ක්‍රමානුකූලව පිළියෙල කොට බොහෝ කල් පැවැත්මත් සඳහා ධර්ම සංඝායනාවක් පැවැත්වීමට අදහස් කල බව සැලකිය හැකිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර, මහාකාශ්‍යප හිමියන් අමතා පිටක රැස්කොට තබන ලෙස වදාළ බවත්, එය සුරකින ලෙස දෙවියන්ට භාරකළ බවත් අශෝකාවාදනයේ සඳහන් වෙයි. මහා කාශ්‍යප අනුරුද්ධ සහ කාත්‍යායන යන මහා තෙරවරු බුද්ධ වචනය සුරක්ෂිතව ආරක්ෂා කර තැබීමට කතිකා කර ගත් බවත්, ඒ අනුව ආනන්ද මහ තෙරණුවන්ගේද සහාය ලබාගෙන ධර්මය උණපතුරුවල හා සිල්ක් රෙදිවල ලියා තැබූ බවත් චීන බසට පරිවර්තනය කරන ලද පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. කෙසේ වුවද සුභද්‍රගේ ප්‍රකාශය එය කල් පසු නොකොට සිදුකිරීමට හේතු වූවා යැයි නිසැක ය. මෙම කාර්යය සඳහා මහතෙරවරුන් පෙළඹ වූ වෙනත් ඓතිහාසික හා සාමාජික හේතුද තිබිණැයි සැලකීමට කරුණු තිබේ. ඒ අතර සංඝභේදය, දෙවිදත් තෙරුන්ගේ අභියෝග, විවිධ මතධාරී භික්ෂූන් ඇතිවීම පරම්පරා ක්‍රමය, විනය පිළිබඳ මතභේද, ධර්මය ඒකරාශී කිරීම, ධර්ම විනය රැක ගැනීම, යන කරුණු අයත් ය.

බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන්ගෙන් ආරම්භ කළ භික්ෂූ සමාජයට මුල් අවධියේ දී ඇතුළත් වූයේ ගිහි ජීවිතය කෙරෙහි කලකිරී සැදැහැයෙන් යුතුව පැවිදි වූ අය යි. ඒ පිරිස් විමුක්ති සාධනයටම උනන්දු වූ අය විය. පසුකාලීනව ශාසනයට ඇතුළත් වූ ඇතැම් පිරිස් ඊට වඩා වෙනස් ස්වභාවයක් ඉසිලීය. ජබ්බන්තිය, සත්ත රසවග්ගිය ආදී නම් වලින් හැඳින්වෙන කණ්ඩායම් පසුව බිහි විය. මූලික බුද්ධ වචනයට පටහැනිව ක්‍රියාකළ බොහෝ භික්ෂූන් වහන්සේගේ විසමාචාර ගැන චුල්ලවග්ග හා මහාවග්ග යන විනය ග්‍රන්ථ දෙකේ ද විශේෂයෙන් පාරාජිකා පාලියේ ද සෙසු සුත්‍රාන්තවලද සඳහන් වෙයි. භික්ෂු සමාජයේ සමගිය බිඳී ගිය පළමු අවස්ථාව වුයේ කොසබෑ නුවර ධර්මධර, විනයධර භික්ෂූ කණ්ඩායම් දෙකේ ගැටුමයි. මෙය ධර්ම විනය පිළිබඳ ;පෟද්ගලික අදහස් ඉදිරිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම භික්ෂූන් වහන්සේ උත්සාහ කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. දේවදත්ත තෙරුන් විසින් ඇති කරන ලද සංඝ භේදය භික්ෂු සමගිය දෙදරා ගිය තවත් අවස්ථාවකි. පංච වරයක් ඉල්ලීමත් සමග ඇති වූ මෙම ගැටුම නිසා සංඝ සමාජය තුළ ආකූ®ල- ව්‍යාකූල තත්ත්වයක් හටගත් අතර මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ මුල්ව ක්‍රියා කළ නමුත්, ප්‍රශ්නය එයින් නිම වූයේ යැයි සිතිය නොහැකි ය. විවිධ ලෙස භික්ෂූන් භේද කරමින් බුදුරජාණන් වහන්සේට එරෙහිව දෙව්දත් තෙරුන් ගෙන ගිය මෙම අර්බුදකාරී ක්‍රියා මාර්ගය දෙවිදත් තෙරුන්ගේ අපවත්වීම තෙක්ම පැවතිණැයි සිතිය හැකි ය.

‘බුදුරදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියෙ මල් එක මලසුනක සැලුවා සේ ඒ ඒ සත්ත්වයින් උදෙසා දෙසාලූ හෙයින්, දැන් මම ධර්ම සංඝායනාවක් කරවනු කැමැති වෙමි. යනුවෙන්, ධර්මය විසිර පැවැති බැවින් ඒකරාශි කිරීමේ අරමුණින් මහා කාශ්‍යප මාහිමියන් විසින් ධර්ම සංඝායනාවක් පැවැත්වීමට සූදානම් වූ බව කියැවෙයි. දී. නී. සංගීති සූත්‍රයේ සඳහන් පරිදි විවිධ ආගම් දර්ශනවල ශාස්තෘවරයා ඇවෑමෙන් පසු ඒ ඒ ශ්‍රාවක පිරිස් අතර බොහෝ අර්බුදකාරී තත්ත්වය හට ගැනිණි.

ඒ බව දැනගත් සැරියුත් මහ තෙරණුවෝ භික්‍ෂූන් වහන්සේ අමතා, තථාගතයන් වහන්සේ විසින් දේශිත ස්වාක්ඛාත වූ - නෛර්යාණික වූ සද්ධර්මය බොහෝ ජනයාගේ හිත සුව පිණිසත්, ශාසනයේ පැවැත්ම පිණිසත් සංගායනා කළ යුතු බව පෙන්වා දෙති. විවාද නොකළ යුතු බවත් උන් වහන්සේ පවසති. ඉන් පසුව සැරියුත් තෙරණුවෝ අංගුත්තර නිකායේ ධර්මය සංග්‍රහ වී ඇති ආකාරයට සංඛ්‍යා වශයෙන් දහස දක්වා ධර්මය සංගායනා කළහ. උන් වහන්සේ ධර්මය සංගායනා කළ අන්දම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් විය.

බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ කොට පැවතිය යුතු එක් භික්‍ෂුවක් හෝ උන් වහන්සේ විසින් පත් කොට නැති බවත්, ඒ අනුව තම ශාස්තෘවරයාගේ සම තත්ත්වයෙහිලා සැලකෙන ධර්ම විනය ආරක්ෂා කර තැබීම සඳහා ධර්ම සංගායනාවක් වැනි ඉක්මන් පියවරක් ගැනීමේ අවශ්‍යතාව ශාසන භාරධාරී මහ තෙරවරුන් තුළ තිබුණා විය හැකි බව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයට අයත් කරුණු වලින් සනාථ වෙයි.

සංගායනාවක් පැවැත්වීමට සංඝ සම්මතය ලැබූ මහා කාශ්‍යාප තෙරුන් වහන්සේ විසින් සංගායනාව සඳහා සුදුසු රහතන් වහන්සේ හාරසිය අනූනම නමක් (499) තෝරා ගන්නා ලදී. ආනන්ද තෙරුන් වහන්සේ සංගායනාවට අත්‍යවශ්‍ය තෙරනමක් විය. එසේ වුවත් ඒ වන විට රහත් නොවී සිටි උන් වහන්සේ තමන් විසින්ම තෝරා ගනු ලැබීමෙන් තමන් පක්ෂ භජනය කළේ යැයි චෝදනාවක් නැගීමට ඉඩ තිබුණු බව උන්වහන්සේට වැටහිණි. මහා කාශ්‍යප හාමුදුරුවෝ එම චෝදනාවෙන් මිදී සංඝයා වහන්සේගේ කැමැත්තෙන්ම ආනන්ද තෙරුන් පත්කර ගැනීමට ඉඩ තබා එක් නමක් අඩුවෙන් පන්සිය නමක් තෝරා ගත්තේය.

සංඝයාගේම කැමැත්තෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ සඳහා තෝරා ගැනුණු අතර උන් වහන්සේද සංගායනා දිනට පෙර දින අරහත් ඵලයට පැමිණි නිසා රහතන් වහන්සේ පන්සිය නමකගේ සහභාගිත්වයෙන්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සංවිධානය විය.

එළැඹි වස් කාලය තුළ දීම සංගායනාව පැවැත්වීමට තීරණය විය. සංගායනාව පැවැත්වීමේ දී අජාසත් රජුගේ ආරක්ෂාව ලැබෙන හෙයින්, රජගහනුවර සප්ත පර්ණි ගුහා දිවාරයෙහි එය සිදු කිරීමට මහා කාශ්‍යප හිමියන් විසින් තීරණය කරන ලද අතර, රජගහනුවරම එය පැවැත්වීමට හේතු වූ කරුණු අතර රාජකීය බලය හා ආරක්ෂාව ලබා ගැනීමේ අවශ්‍යතාව ද එක් හේතුවක් විය. එමෙන්ම අජාසත් රජු දවස වන විට අන්‍ය බෞද්ධ රාජධානි බොහෝ දුරට පිරිහී තිබීමත් රජගහනුවර පමණක් තරමක් සමෘද්ධිමත්ව පැවැතීමත් නිසා රජගහනුවරම මේ සඳහා තෝරා ගත් බවත්, සමහර උගතුන්ගේ මතය යි. නිකිණි මස අව දියවක් දා සප්ත පර්ණි ගුහාද්වාරයෙහි අජාසත් රජු විසින් කරවන ලද මණ්ඩළපයට භික්ෂූන් වහන්සේ රැස්වූහ. ආනන්ද හාමුදුරුවන් වහන්සේටද අසුනක් තබා අනෙක් හාමුදුරුවන් වහන්සේ අසුන් ගත්හ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ එදින අලුයම රහත් බව ලබා සභා ගැබට පැමිණ අසුන් ගත්හ. ඉක්බිති මහා කාශ්‍යප හාමුදුරුවෝ ‘සුනාථ මේ ආවුසො සංඝො යදි සංඝස්ස පත්තකල්ලං, අහං උපාලිං විනයං පුච්ජෙය්‍යං...’ යනුවෙන් සංඝයාට දන්වා, පළමුවම උපාලි හිමියන්ගෙන් විනය ප්‍රශ්න විචාලහ. නිදාන, පුග්ගල, වස්තු, ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති ආදී සියුම් විස්තර සහිතව භික්ෂු, භික්ෂුණි, ප්‍රාතිමෝක්ෂ, ශික්ෂාපද සියල්ලම පුච්ඡා විස්සජ්ජන ක්‍ර‍්‍රමයෙන් විනය සංගායනා කළහ.

ඉන් අනතුරුව ධර්ම සංගායනා කිරීම ආරම්භ කරන ලදී. එහිදී පංච නිකායම සංගායනා කැරිණි.

සූත්‍ර පිටකයෙහිම අභිධර්මයට අයත් කරුණු ඇතුළත්ව පැවැති නිසා අභිධර්මය ද සංගායනා වූ බව තේරුම් ගත හැකිය. ධර්ම විනය යන්නෙන් අභිධර්මය ද ඇතුළුව මුළු බුද්ධ දේශනාවම ගැනෙන බව සුමංගල විලාසිනී අටුවාවේ බුද්ධඝෝෂ හිමියෝ සඳහන් කරති.

ගුණ නුවණින් වැඩිහිටි ථෙරවරුන් විසින් පවත්වන ලද හෙයින් ඊට ථෙරවාද යන නම යෙදුණු බව දීපවංශයෙහි සඳහන් වෙයි.

සංගායනාව අවසානයේ දී ආනන්ද හාමුදුරුවන් වහන්සේ; ඛුද්දානුඛුද්දක ශික්ෂාපද බැහැර කිරීමට බුදුරජාණන් වහන්සේ අවසර දුන් බව මහා සංඝයා වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළහ. ඉක්බිති මේ පිළිබඳ ඇති වූ විවාදයේදී කුඩා අනු කුඩා ශික්ෂාපද කවරේදැයි බුදුහාමුදුරුවන් වහන්සේගෙන් අසා දැන නොගත් බැවින්, ස්ථවිර භික්ෂූහු ආනන්ද හිමියන්ට කරුණු පහකින් දොස් පැවරූහ.

ආනන්ද හිමියන් වෙත ඉදිරිපත් කරන ලද මේ චෝදනා කිසිවකට උන්වහන්සේ වැරැදි කරු නොවන බවත් සංගීතිකාරක මහ තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඒ සියල්ල පිළිගන්නා බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

සංගායනාව අවසානයේ ස්ථාවර කරගත් ධර්මය, පසුකාලීන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂා කර තැබීමට මෙහි දී පියවර ගෙන ඇත.

ඒ සඳහා එක් එක් ධර්ම කොටස් ආරක්ෂා කොට පවත්වා ගෙන යෑම සඳහා එක් එක් භික්ෂු පරම්පරාවලට පවරන ලදී.

ඒ නිසාම මෙම ප්‍රථම ධර්ම සංගීතිය ධර්මයෙහි පවිත්‍රත්වයට හා බුදු සසුනේ ස්ථාවර භාවයට ද අතිශයින් ඉවහල් වූ බව සඳහන් කළ හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.