Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝ වැසි බොදු දනන්ගේ ජීවමාන මුදුන් මල්කඩ සිරි දළදා වහන්සේ

ඇසළ උත්සව සමය මේ වන විට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මෙම උත්සව සමය තම ආගමික ප්‍රබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා යොදා ගන්නා කාල වකවානුවක් ලෙස හැඳින්විය හැකි ය. මෙකී ඇසළ උත්සව සමයේ සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන සිරි දළදා වහන්සේ ප්‍රමුඛ ස්ථානය කරගෙන පවත්වන “මහනුවර ඇසළ මහා පෙරහරට” සුවිශේෂී භාවයක් හිමි වී තිබේ. බුදු දහමත් දේශීය සංස්කෘතික සම්ප්‍රදායත් එකට සුසංවිධිතව ගොඩ නැඟී ඇති ඇසළ මහා පෙරහර ලෝකයේ බෞද්ධ ආගමික පුද පිළිවෙත් අතර හා සංස්කෘතික පිළිවෙත් අතර ප්‍රමුඛතම සංසිද්ධියක් සේ දැක්විය හැකි ය. සිරි දළදා වහන්සේට හා බුදුන් වහන්සේට පුද පූජා පිණිස පවත්වන මෙම ඇසළ මහා මංගල්‍යයේ දී දළදා වහන්සේට හිමි වන්නේ අතිශය වැදගත් ස්ථානයකි. දළදා වහන්සේ ලක්වැසි බෞද්ධ ජනතාව හා සහ සම්බන්ධ වී මෙතරම් පූජා චාරිත්‍ර පවත්වන “ශුද්ධ වස්තුවක්”   (sacred) බවට පත් වී ඇත්තේ කුමන පදනමකින් ද යන්න පිළිබඳ කෙටි විමර්ශනයක යෙදීම මෙහි අරමුණයි.

කවර ආගමක වූවද මූලික හරය පිළිබඳව විග්‍රහ කර බලන විට එයින් යම්කිසි නිෂ්ටාවක් සාක්ෂාත් කර ගැනීමට පුද්ගල මෙහෙයවීමක් පෙන්නුම් කෙරේ. නමුදු ආගම සංස්ථාවක් (Institution) ලෙස සමාජයට යම් කාර්යය සමුදායක් ඉටු කිරීමේ දී එහි මූලික හරයෙහි අන්තර්ගතය තුළින් පමණක් පුද්ගලයා වෙත ප්‍රවිෂ්ට වීමක් සිදු කිරීමට අපහසු වේ. එම නිසා ඒ ආශි‍්‍රතව විවිධ ඇදහිලි වාද (Cults) යාතුකර්ම  (Rituals) හා විශ්වාස (Beliefs)  ආදිය ප්‍රතිනිර්මාණය වෙයි. ඒ තුළින් පුද්ගලයා වෙත ආගම සමාජ සංස්ථාවක් සේ යම්කිසි දායකත්වයක් සපයයි.

එම පදනම ආශි‍්‍රතව බුදු දහම කෙබඳු අයුරකින් සමාජ සංස්ථාවක් ලෙස ක්‍රියාත්මක වේද යන්න විමසා බැලීමේ දී ඒ වටා ද විවිධ පුද පූජා චාරිත්‍ර සහ සම්බන්ධවීමක් දැකිය හැකි ය. මූලික බුදු දහම තුළින් පුද පූජා අනුමත නොකළ ද, පසු කාලීනව බුදු දහම සංස්ථාවක් සේ සමාජය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමේ දී එහි අනිවාර්යය අංගයක් බවට පුද පූජා චාරිත්‍ර විධි පත්ව ඇතිබව පෙනේ. මෙම චාරිත්‍ර විධි බොහෝ දුරට බුදු දහම සමඟ බද්ධ වී ඇත්තේ, විවිධ හේතු නිසා ධර්මයෙන් වියුක්ත වන පුද්ගලයා ඒ කෙරෙහි නතු කොට සංස්ථාවක් ලෙස අඛණ්ඩ පැවැත්මක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය නිසා ය. මේ නිසා බුදු දහම තුළ පරිත්‍රාණ පූජා, බෝධි පූජා, සර්වඥ ධාතු පූජා, අටවිසි බුද්ධ පූජා වැනි පූජා චාරිත්‍රයන් ජනපි‍්‍රය පූජා චාරිත්‍රයන් බවට පත්ව ඇත. මේවා බෞද්ධ ජනතාවගේ දෛනික ජීවිතය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය ආරක්‍ෂාව, රැකවරණය හා චිත්ත ශක්තිය නොමදව ලබා දෙයි.

පූජා චාරිත්‍ර ආගමක දාර්ශනික පදනම සමඟ සම්මිශ්‍රණය වී ඇති ආකාරය පිළිබඳ විමසීමේ දී මේ සම්බන්ධව සමාජ විද්‍යාඥයින් ඉදිරිපත් කර ඇති මතවාද වඩා වැදගත් වේ. ආගමේ සම්භවය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයෙකු වූ එමිල් ඩූර්ඛයිම් (Emil Durkheim)  එය ශුද්ධ වස්තුවක් කේන්ද්‍රීය කරගෙන ඒ වටා ගොනු වූ සම්මත විශ්වාසයන් සහ භාවිතාවන් මත ගොඩනැංවෙන බව  Elementary Forms of Religious Life නම් ග්‍රන්ථයේ සඳහන් කරයි.

ඩූර්ඛයිම් ගේ මෙම විග්‍රහය බුදු දහමේ සම්භවය සම්බන්ධව යොදා ගත නොහැකි වූවද බෞද්ධ පූජා චාරිත්‍ර නිර්මාණය වීමේ පදනම විග්‍රහ කර ගැනීමට යම් පමණකට උපකාරී වේ. මුල් බුදු දහම ශුද්ධ සංකේත පදනම් කරගෙන නිර්මිත වූ දහමක් නොවන අතර එය සොබා දහමේ විශ්ව න්‍යායයක් පදනම් කරගෙන බිහි වූ සනාතන දහමකි. නමුදු පසු කාලීනව මුල් බුදු දහමේ නියමයන්ට වෙනස් පූජා චාරිත්‍ර ඇතුළත් වී ඇති අතර සමාජ විද්‍යාඥයෝ එය “ජනපි‍්‍රය බුදු දහම ලෙස අර්ථ දක්වති. එහි දක්නට ලැබෙන පූජා චාරිත්‍ර බහුලව ම ශුද්ධ සංකේත පදනම් කරගෙන නිර්මාණය වූ ඒවා ය.

ඩූර්ඛයිම් ශුද්ධ වස්තුව හා ඒ ආශි‍්‍රතව පූජා චාරිත්‍ර බිහි වන අයුරු කිසියම් විධික්‍රමයකට අනුව සිදුවන බව අවධාරණය කරයි. එනම්,

ශුද්ධ වස්තුව ඒ පිළිබඳ විශ්වාස පිළිවෙත් සංවිධානය යනුවෙනි.

මේ ආකෘතිය අනුව දළදා පූජා චාරිත්‍ර විධි පිළිබඳව විග්‍රහ කරන විට ඒ තුළ ශුද්ධ වූ සංකල්ප දැක ගත හැකි ය. දළදා වහන්සේ සියලු ලෝ වැසි බෞද්ධ ජනයාට ශුද්ධ වස්තුවකි. ඒ බෞද්ධයාගේ අතිශය පූජනීය ශාස්තෘවරයා වූ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ නමක් වන බැවිනි. බුදුන් වහන්සේ විසින් අනන්ත සත්ත්වයන් වෙත පතළ වූ මහා කරුණාවෙන් පන්සාළිස් වසක් තිස්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය වාග් මාලාවක් බවට පත් වූයේ දන්ත ධාතූන් වහන්සේලාගේ ස්පර්ෂ වීමෙනි. එහෙයින් ද එය පූජනීය වේ. මේ නිසාම බෞද්ධයෝ ‘දළදා වහන්සේ’, ‘දළදා හාමුදුරුවෝ’ යන ගෞරවාන්විත පද වලින් එය ආමන්ත්‍රණය කරති. එයින් දළදාවට ජීවමාන බවක් ආරෝපණය කර ඇත. දළදා වහන්සේ සතු ප්‍රාතිහාර්යම අසීමිත බලය නිසා ද එය බෞද්ධයන්ගේ පරම පූජනීය ශුද්ධ වස්තුවක් බවට පත්ව ඇත.

දළදා වහන්සේ සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව තුළ අසීමිත විශ්වාසයක් ද ගොඩනැඟී තිබේ. විශේෂයෙන් එය විනාශ කළ නොහැකි ශුද්ධ වස්තුවක් බවට පිළිගෙන ඇත. දාඨාවංශයේ සඳහන්ව ඇති පරිදි විනාශ කිරීමට ගත් සෑම අවස්ථාවකදීම අහසට පැන නැඟ පෑ ප්‍රාතිහාර්යය පිළිබඳ කථා බොදු ජනතාවගේ සිත් සතන්හි ප්‍රසාද ජනක සිතිවිලි ජනිත කරලීමටත්, දළදා වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය දියුණු තියුණු කරලීමටත් අතිශයින්ම මහෝපකාරී වී ඇත.

ඒ වගේම දළදා වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය වඩාත් උද්දීපනය කරන්නට හේතු වූ තවත් ප්‍රධාන කාරණාවකි. ‘ලක්දිව රාජ්‍යයත්වය සඳහා උරුමකම් කීමට හැක්කේ දළදාවෙහි භාරකාරත්වය උසුලන්නාට පමණකැයි’ යන සම්ප්‍රදායී පිළිගැනීම. මේ නිසා රාජ්‍ය පාලන බලයක් සහිත මහාර්ඝතම ආගමික ශුද්ධ වස්තුවක් ලෙස දළදා වහන්සේ නිතැනින්ම පත්වූ සේක. ඒ නිසාම උන්වහන්සේ කෙරෙහි පැවති භක්ත්‍යාදරය, ප්‍රසාද ජනක භාවය දිනෙන් දිනම වර්ධනය වන්නට විය. ඒ භක්ත්‍යාදරයට යටත් විජිත පාලකයන්ට පවා නතුවීමට සිදුවිය.

දළදා වහන්සේට පුද සත්කාර නිසි ලෙස පැවැත්වීමෙන් වර්ෂාව හිඟ සමයක වර්ෂාව ලබාගෙන සශ්‍රීකත්වය ගොඩ නංවා ගැනීමට හැකිය යන විශ්වාසයක් ද බෞද්ධයන් අතර වේ.

මේ නිසාම නව සශ්‍ය ලබා ගැනීමෙන් අනතුරුව ඊළඟ කන්නය සාර්ථක කර ගැනීම සඳහා ආශිර්වාද ලබාගැනීමට “අලුත් සහල් මංගල්‍යය” පවත්වා දළදා වහන්සේ පිදීමට ගොවි ජනතාවට පුරුදුව සිටිති.

ලෙඩදුක්, බිය, කරදර ආදියේ දී දළදා වහන්සේට “භාරවීමෙන්” ඒවායින් ඉතා ඉක්මණින් මිදී සෙත් ශාන්තිය උදා කර ගැනීමට හැකිය යන්න ද බෞද්ධ ජනතාව අතර ඇති තවත් එබඳු විශ්වාසයකි. ඒ වගේම නවජ දරුවෙකු පළමු වරට ගෙයින් දොරට වැඩීමේ දී දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන එම දරුවාට රැකවරණය ලබාදීමට කටයුතු කිරීම ද දළදා වහන්සේ හා බැඳි විශ්වාසයකි.

මේ අනුව බෞද්ධ ජන ආගමෙහි දළදා වහන්සේ හා බැඳි විශ්වාස පද්ධති රාශියක් නිර්මිත වී ඇති බව පෙන්වා දිය හැකි ය. මේ විශ්වාස පදනම් කරගෙන පුද පිළිවෙත් රටාවක් ද නිර්මාණය වී ඇත. දළදා තේවා හා දළදා පෙරහර මෙහිදී කැපී පෙනේ. උදේ, දහවල් හා සවස තේවාව පැවැත්වීමත්, වාර්ෂිකව දළදා පෙරහර පැවැත්වීමෙනුත්, වාර්ෂිකව අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමෙනුත් මේ පූජා චාරිත්‍රයන් ඉෂ්ට සිද්ධ කරයි.

පොදුවේ පවත්වන මෙම පුද පිළිවෙත් වලට අමතරව පෞද්ගලිකව බොදු ජනයා ද තම ව්‍යවහාරික වන්දනා රටාවන් අනුව දළදා වහන්සේට පුද පිළිවෙත් පවත්වති.

මෙම පුද පිළිවෙත් රටාව ක්‍රමාණුකූලව පවත්වාගෙන යාම සඳහා සංවිධාන රටාවක් ද ගොඩ නැඟී ඇත. අස්ගිරි හා මල්වතු මහා නාහිමිවරුන් ප්‍රමුඛව දියවඩන නිළමේතුමන්ගේ ප්‍රධාන භාරකාරත්වයෙන් මේ සංවිධාන රටාව නිර්මාණය වී ඇත. මේ සංවිධාන රටාව තුළින් දළදා වහන්සේට හිමි නිසි ගෞරවය ලබාදී උන්වහන්සේගේ පූජනීය බව ඉතා ඉහළින් පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබයි.

මේ අනුව විශ්වාස, පිළිවෙත් හා සංවිධාන රටා කේන්ද්‍රකර පවතින “දළදා වහන්සේ” බෞද්ධ ජනයාගේ අතිශය පූජනීය “ශුද්ධ වස්තුවක්” ලෙස හඳුන්වාදිය හැකි ය. ලක්දිවට වැඩම කළ සර්වඥ ධාතු අතරින් අති සුවිශේෂත්වයට පත් ධාතූන් වහන්සේ නමක් බවට පත්වී මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය සහ රාජ්‍ය පාලනය හා ආබද්ධවී බොදු ජනතාවගේ සිත් සතන් වලින් කිසිදා මැකිය නොහැකි සදාතනික පූජනීය වස්තුවක් බවට එය පත්ව ඇති බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ.

එහෙයින් ඇත්තෙන්ම දළදා වහන්සේ ජීවමාන ශුද්ධ වස්තුවක් බවට පත්ව තිබේ. ලක් වැසි බෞද්ධ ජනයා “දළදා සමිඳු පිහිටයි” “ දළදා සරණින් ගිහින් එන්න” යන වදන් යළි යළිත් භාවිත කරන්නේ ඒ නිසා ය. බෞද්ධ ජනයාගේ ලෝකෝත්තර විමුක්ති සාධනය මෙන්ම ලෞකික අපේක්‍ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා දළදා සමිඳුන්ගෙන් ලැබෙන පිටු බලය අතිමහත් ය. කවර තරාතිරමක හෝ පුද්ගල විශේෂයකින් තොරව ලැබෙන්නා වූ රැකවරණය ඉතා ඉහළ ය. ඒ නිසාම උන්වහන්සේ අතිශය පාරිශුද්ධ වස්තුවක් බවට පත්ව තිබේ. ඒ වගේම දළදා වහන්සේ පිදීම පිණිස පවත්වන දළදා පෙරහර ආශි‍්‍රතව ගොඩනැගෙන සාමූහික විඥානය (Collective Consciousness) තුළින් බෞද්ධ සමාජය තුළ සමාජය ඒකාබද්ධතාවයක් (Social solidarity)  හා සමාජ පාලනයක් (Social control) ද ඇති කරයි. එය ලාංකීය බෞද්ධ සමාජයේ තිරසාර පැවැත්ම සඳහා ද අතිශයින්ම මහෝපකාරී වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.