UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය අසිරිමත් බුදු සිරිත පිළිබඳ කවියකු දක්වන අදහසකි මේ. “බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්‍ෂයේ පිපුණු මලයි. මල පිපෙන්නේ අසීමිත ලක්‍ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුව ය. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත්, ඇද හැලෙන දයාව නමැති මකරන්දයෙනුත් ලෝකය පිරී යයි.” මේ ප්‍රසිද්ධ කවියා ගේ නම කුමක්ද? ඉහත සඳහන් පාඨය ඇතුළත් ග්‍රන්ථය කුමක්ද?

පිළිතුර - ඩ්වින් ආර්නෝල්ඩ් නමැති කවියාගේ “ආසියා ආලෝකය” නම් ප්‍රසිද්ධ බුද්ධ චරිත කාව්‍යයේ ඉහත සඳහන් පාඨය සඳහන් වෙයි.

ප්‍රශ්නය - ලංකා ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් ම පුවතක් වංස කතාවල මෙසේ සඳහන් වෙයි. මේ සටහන් වන පුවත පිළිබඳ ව විවරණයක් කරන්න.

“අහං බුද්ධං ධම්මංච සරණං ගතො උපාසකන්තං දෙසෙසිං සක්‍ය පුත්තස්ස සාසනෙ තිවම්පි මානි රතනානි උත්තමානි නරුත්තම චිත්තං පසාදයංවාන සද්ධාය සරණං ගච්ඡි.”

“මම තෙරුවන් සරණ යෙමි. බුද්ධ ශාසනයේ උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමය, ඔබ ද සිත් පහදවා ඒ තෙරුවන් සරණ යන්න.”

පිළිතුර

අශෝක මහ රජතුමා විසින් ලක් රජු වෙත එවන ලද දහම් පණිවිඩයයි ඉහත සඳහන් කරන ලද්දේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිසෙහි කාර්ය පිළිබඳ පෙරවදනක් ලෙස මෙය සැලකිය හැකි ය.

ප්‍රශ්නය - පැරැණි ශ්‍රී ලංකා පුරාවිද්‍යා ගවේෂණවල දී බෝධිසත්ව ප්‍රතිමා බොහෝමයක් හමු වී තිබේ. විශේෂයෙන් අනුරාධපුර අභයගිරි සම්ප්‍රදායට අයත් විහාර රැසක මෙම බෝධිසත්ව ප්‍රතිමා හමු වී ඇත. එම ප්‍රතිමා පිළිබඳ ව විවරණයක් කරන්න.

පිළිතුර - අනුරාධපුර අභයගිරි විහාරයේ සන්නිපාත ශාලාව අසල තිබී බෝධිසත්ව ප්‍රතිමා දෙකක පා කොටස් පමණක් සොයා ගෙන ඇත. ඒ හැර දිග්ගලට බටහිරින් ඇති ආරාම ස්තූපයට ඊසාන දෙස විශාල ප්‍රතිමා ගෙය බෝධිසත්ව ප්‍රතිමා සඳහා වෙන් වූවක් සේ අනුමත කළ හැකි ය. තව ද අභයගිරි ව්‍යාපෘතියේ කැණීම්වලින් බෝධි සත්වයකු ගේ යැයි සැලකිය හැකි ගල් පිළිමයක උඩ කොටස හමු විය. හිටි පිළිම සඳහාත් පද්මාසන එහි දක්නට ලැබෙයි. විශාල ම බෝධිසත්ව ප්‍රතිමාව මොණරාගල දිස්ත්‍රික්කයේ දඹේගොඩ දී හමු වී තිබේ.

ප්‍රශ්නය - ඉපැරැණි කලාත්මක අංග අතරින් සඳකඩ පහණට හිමි ව ඇත්තේ විශේෂ ස්ථානයකි. වැදගත් ම සඳකඩ පහණ දෙක ඇත්තේ කොහිද? ඒවායේ අන්තර්ගතය පිළිබඳ ව හැඳින්වීමක් කරන්න.

පිළිතුර - කලාත්මක අතින් වැදගත් ම සඳකඩ පහණ දෙක ඇත්තේ අභයගිරියේ ය. එයින් විශාල සඳකඩ පහණ පංචාවාස ඒකකයේ මැද ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවෙ පඩි පෙළ අග වෙයි. අනෙක එම ස්ථානයට මදක් වයඹ පැත්තේ කඳුගැටය මත ඇති බිසෝමාලිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ දොරටුවෙහි පඩිපෙළ අග වෙයි. ඉහත සඳහන් පහන්වල ගිනිදැල් සිව්පා පන්තිය ලොකුලියවැල, හංසපන්තිය, කුඩා ලියවැල හා මැද පද්මය වෙයි.

ප්‍රශ්නය - සැවැත් නුවර ජේතවනාරාමය බුද්ධ ශාසනයේ ප්‍රධාන මධ්‍යස්ථානය විය. මෙයට හේතු සාධක වූ තොරතුරු හා එහි නිර්මාණය හා දායකත්වය පිළිබඳ ව පැහැදිලි කරන්න.

පිළිතුර - සැවැත් නුවර සුදත්ත නම් කාරුණික සිටුවරයෙකු ජනහිතකාමී පුද්ගලයෙකු නිසා පසුව අනාථ පිණ්ඩක (අනේපිඩු සිටු) නමින් ප්‍රකට ව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැද, වස් කාලය ගත කිරීම සඳහා තම නගරයට වැඩම කරන්නැයි බුදුරදුන්ට ආරාධනා කළේ ය.

සිටුතුමා බුදුපාමොක් සඟනට වස් විසීම සඳහා ජේත නම් කුමරුට අයත් උයන මිලට ගෙන සියලු විහාර ආරාමවලින් සම්පූර්ණ කර ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කළේ ය. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ ද මෙම ආරාමයේයි. මෙම කාලය තුළ දෙව්දත් තෙරුන් ගේ විවිධ අවහිරතාවලට උන්වහන්සේට මුහුණදීමට සිදුවිය.

ප්‍රශ්නය

“සුදු ජාතිකයෙනි, මේ රට තවමත් අපෙයි. ගිවිසුමට අස්සන් කරන්නත් කළින් තොපගේ කොඩිය ඔසවන්නට අපි ඉඩ නොදෙමු. එය එසවිය හැක්කේ ගිවිසුම සිංහලෙන් ද කියවා අස්සන් තැබීමෙන් පසුව බව දැනගත යුතුයි.” මෙම අභීත සිංහ ස්වරය කාගේ හඬක් ද? ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවරෙක් ද? එතුමා ගැන තොරතුරු සඳහන් කරන්න.

පිළිතුර - තම ජීවිතය පවා නොතකා ගිවිසුම අස්සනට කළින් සිංහ ධජය ගලවා ඉංගී‍්‍රසි කොඩිය එසවූ විට වහා ඉදිරියට ආ වාරියපොළ සුමංගල නාහිමියෝ ඉංගී‍්‍රසි කොඩිය බිම ඇද දමා පාගා සිංහ කොඩිය ඔසවන ලදී. දළදා හිමි සිවුරු වාටියේ සඟවා ගෙන වනගත ව වනයේ පලාපලවලින් ගත කරමින් දළදා වහන්සේ ආරක්‍ෂා කළහ.

ප්‍රශ්නය - සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා මෙන් මේ ශ්‍රේෂ්ඨ සිංහලයා ද විදේශීය නම අතහැර ආරිය සිංහල නමක් භාවිතා කළේ ය.

පැරැණි නගරයක මෙතුමාට ජාතියේ උපහාර පිණිස මේ නම තබා ගෞරව කර ඇත. මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා කවුද?

පිළිතුර - ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය මෙතුමාට ගෞරව පිණිස නම් කර ඇත.

ප්‍රශ්නය - මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් අනතුරුව ඉදිකළ පළමු ස්ථූපය කුමක්ද? එය ඉදිකළේ කවුරුන් විසින් ද? මෙම ස්ථූපයේ තැන්පත් කළ ධාතූන් වහන්සේ මොනවාද?

පිළිතුර - දේවානම් පියතිස්ස මහරජතුමා විසින් මිහිඳු මහ රහතන් වහන්සේ ගේ උපදෙසින් ඉදිකළ ස්ථූපය අනුරාධපුර ධූපාරාමයයි. එහි බුදුරජාණන් වහන්සේ ගේ දකුණු අකු ධාතුව නිදන් කර ඇත.

ප්‍රශ්නය - ලංකාවේ පැවැත් වූ ප්‍රථම විනය සංඝායනාව කුමක්ද? එය පැවැත් වූයේ කවුරුන් ගේ ප්‍රධානත්වයෙන් කොහිද?

පිළිතුර- අනුරාධපුර ථූපාරාමයේ අරිට්ඨ මහතෙරුන් ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම විනය සංඝායනාව පැවැත්විණි.

ප්‍රශ්නය - මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී “දරුව මෙහි එව, තථාගතයන් දෙස බලව, රාහුගෙන් සඳ මිදුණාක් මෙන් මම නුඹ මුදාගන්නෙමියි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවුද? බුදුරජාණන් වහන්සේ මොහු මුදාගත් ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුර - සෝපාක රජගහනුවර සැඩොලෙකුට දාව පුක්කුස කුලයක ස්ත්‍රියක කුසින් උපන් දරුවෙකි. කුඩාකල ම පියා මළ බැවින් සුළු පියා ඇති දැඩි කළේ ය.

තම පුතාට වැඩි සෙනෙහසක් දැක් වූ ඔහු සෝපාක විනාශ කිරීම සඳහා රාත්‍රියේ සොහොනකට ගෙන ගොස් මළමිනියක බැඳ තැබීය. ඉහත සඳහන් පාඨයෙන් බුදුරජාණන් වහන්සේ හමු වූ සෝපාක ගේ මවට දේශනා කර වදාළ බණ පදයෙන් මව සෝවාන් වූවා ය. සෝපාක රහත්ඵලයට පත්විය.

ප්‍රශ්නය - මාගම රජ පෙළපතකින් පැවත ආ දුටුගැමුණු කුමරු අනුරාධපුරයෙහි කරවන ලද ස්ථූප දෙක ප්‍රමාණයෙන් මීට පෙර ද කරන ලද ස්ථූපවලට වඩා වැඩිය. මෙම ස්ථූප දෙක නම් කරන්න.

පිළිතුර -

1. මරිචවට්ටි – මිරිසවැටිය

2. මහාථූපය – රත්නමාලී (රුවන්වැලිසෑය)

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]