මිදිගම
වෙහෙරගොඩ
පුරාණ
විහාරස්ථානය
සටහන හා ඡායාරූප - නිමල් අල්ගෙවත්ත
දකුණු පළාත් සමූහ
ශාස්ත්‍රපති මුල්කිරිගල
රතනසිරි නා හිමි
|
මාතර මිදිගම වෙහෙරගොඩ විහාරස්ථානයේ ලේඛනගත ඉතිහාසය ක්‍රි.ව. 1776 තෙක්
අතීතයට ගමන් කරයි. උඩරට පදේශයේ සිට පහත රටට වැඩමකළ මහ සිංහලේ
හාමුදුරුවෝ යන නමින් ප්‍රසිද්ධ වූ ස්වාමීන්වහන්සේ නමක් මුලින්ම මෙහි
වස් වසා වස්කාලය අවසානයේ ප්‍රදේශවාසී ජනප්‍රධානීන් 18 දෙනෙකු අත්සනින්
මෙම භූමිභාගය තල්පතක ලියා පූජා කරන ලදී. ඒ වනවිටත් බෝධීන්වහන්සේ වැඩ
සිටි අතර උන්වහන්සේ විසින් කුඩා දාගැබක් කරවන ලදී. ඉන්පසු
විහාරාධිපතිත්වයට පත්වූයේ ද උඩරටින්ම වැඩම කළ සිංහලේ හාමුදුරුවෝ නමින්
හඳුන්වන ලද ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් එකී දාගැබ වසා දැනට
පවතින ඝණ්ටාකාර දාගැබ කරවන ලදී. විහාරමලුවේ පැරණි අත්තිවාරමක තිබී
බුබ්බුලාකාර අඟල් එකහමාරක පමණ උස ඇති රන්කරඬුවක් හමු වී ඇත. එය මුල්
දාගැබේ ආකෘතියක් වියයුතු යැයි විශ්වාස කරනු ලැබේ. කුඩා දාගැබ් වසා
වර්තමානයේ දක්නට ලැබෙන දාගැබ කර වූ නිසා විහාරස්ථානය අවට ප්‍රදේශය
වෙහෙරගොඩ නමින් ප්‍රසිද්ධ වූ බව ජන වහරේ පවතී. දැනට ඉතිරි වී ඇති පැරණි
බුදුමැදුර ඉන්පසු ආධිපත්‍යය දැරූ මිදිගම ධම්මානන්ද තෙරුන් වහන්සේ
විසින් කරවන ලදී. එය මහනුවර යුගයේ ප්‍රතිමා ලක්ෂණ පිළිබිඹු කරයි. සමාධි
මුද්‍රාවෙන් වැඩහිදිනා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ දෙපස අභය
මුද්‍රාවෙන් ඉදිකර ඇති හිටිපිළිම වහන්සේලා දෙනමගේ සිවුර අව්කන බුද්ධ
ප්‍රතිමා වහන්සේගේ පාරූපනයට නෑකම් කියන සමාන්තරව විහිදෙන තරංගාකාර
රැලිවලින් යුක්ත ය. බුදුමැදුර දෙපස ඉදිකර ඇති විෂ්ණු කතරගම දේවප්‍රතිමා
ද මේ යුගයට අයත් යැයි සිතිය හැකිය. මේ සියලු ප්‍රතිමා වහන්සේලාගේ අතුල්
පතුල් දැවයෙන් තනා ඇත. බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ සිරස්පත ද තනා ඇත්තේ
දැවයෙනි. ඉන්පසු ආධිපත්‍යයට පත් අහංගම දේවානන්ද තෙරුන් වහන්සේ නේවාසික
ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ගොඩමඩ ඉඩම් මිලදී ගෙන ඇත.
උන්වහන්සේ විසින් අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාට පිං පැමිණවීම සඳහා
අග්‍රශස්‍ය දානය නමින් මහා දානයක් 1905 දී ආරම්භ කළ බව ලේඛනගතව ඇත.
ඉන්පසු ආධිපත්‍යයට පත්වූයේ බදුල්ලේ අග්ගාරාම මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේ ය. සිංහල වෛද්‍යවරයෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසුලූ උන්වහන්සේ
උමතු රෝගය පීනස් රෝගය සහ වාත රෝග පිළිබඳ ජීවකයෙකි. උන්වහන්සේ විසින්
තෙමහල් සීමා ශාලාව, සහ දෙමහල් සීමා මන්දිරය කරවන ලදී. අනතුරුව
විහාරාධිපතිත්වයට පත්වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහරජු ඉංගී‍්‍රසින්ගෙන්
බේරීම සඳහා සැඟ වී සිටි මහනුවර මැද සියපත්තුවේ ගල්ලෑහැවත්තේ ජනිත වූ
බෝමුරේ සරණපාල ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේ විසින් අභිනව තෙමහල්
ප්‍රතිමා මන්දිරය කරවන ලදී. ඉතිරි විහාරංග සියල්ල මෑත යුගයට අයත් ය.
මිදිගම යන නම මේ ගමට ලැබීම පිළිබඳව ද ජනප්‍රවාද කීපයක් ඇත. දකුණුලක
අගනගර දෙක වන ගාල්ල සහ මාතර අතර පිහිටිගම මැදගම නමින් ද පසුව මිදිගම
නමින් ද හැඳින්වූ බවත් මිදි සරු ලෙස වැවුන ප්‍රදේශයක් නිසා මිදිගම වූ
බවත්, එක්තරා ආණ්ඩුකාරයෙක් මේ ගමට පැමිණි අවස්ථාවේ ගම්වැසියන් විසින්
ගරු බුහුමන්කර පිළිගැනීමක් නොකළ නිසා නිදිගම යනුවෙන් නම්කළ බවත් පසුව
එය මිදිගම කියා ව්‍යවහාරයට පැමිණි බවත් ජනප්‍රවාදවල පවතී.
|
|
එදා ගමටම තිබුණේ මෙම විහාරස්ථානය පමණක් වුවත් අද විහාරස්ථාන හයක් සහ
භික්ෂූණී ආශ්‍රමයක් ද ඇත. මෙම විහාරස්ථානයට අනුබද්ධ ආයතන හතරක් ඇත. ඒ
සියල්ල මූලගිරි පාර්ශ්වයට අයත් වේ. අද විහාරගණයේ සංඝ නේතෲන්වහන්සේ
පල්ලත්තර ශ්‍රී සුමන ජෝතියභිධාන නායක මාහිමිපාණන් වහන්සේ ය. වලවේ
ශ්වේත බිම්බාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ පණ්ඩිත කොටවිල සිරිසුමන
මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපහාර වශයෙන් මෙම විහාරස්ථානයේ පැවැත්වෙන
සිරිසුමන පිරිවෙණ කුඩා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 86 නිත්‍ය නේවාසික
ඉගෙනුම ලබන පිටතින්ද එපමන්ම සංඛ්‍යාවක් ඉගෙනීම සඳහා පැමිණෙන මූලික
පිරිවෙනකි. අපවත් වී වදාළ බෝමුරේ සරණපාලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේට උපහාර වශයෙන් පැවැත්වෙන ශ්‍රී සරණපාල දහම්පාසල ළමුන් පන්සියයක
පමණ සාමාන්‍ය පැමිණීමක් ඇති ධර්මායතනයකි. මෙම පුණ්‍යායතනය තුළ සමාජ ශුභ
සාදනයට අදාල සංවිධාන කීපයක්ම ක්‍රියාත්මක වේ.
මිදිගම වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පුණ්‍යේත්සව
කීපයකි. වෙසක් පිංකම, කඨින පිංකම සහ අලුත්බත් දානය ඒවායින් ප්‍රධාන
ස්ථානයක් ගනී. වෙසක් පිංකම ගම්වාසීන් හැමගේ දායකත්වයෙන් සිදුවන අතර
ප්‍රමුඛස්ථානය දෙනු ලබන්න් විහාරංග ප්‍රතිසංස්කරණයටය.
එමනිසා හැමදාම නවතාවයෙන් පවත්වා ගැනීමට හැකිවී තිබේ. කඨින පිංකම ද
සුවිශේෂ පිංකමකි. පිරිවෙනේ නේවාසිකව ඉගෙණුම ලබන සියලුම ස්වාමීන්
වහන්සේලාට වස්සාවාසික සිවුරු පූජාකිරීම එහි විශේෂත්වය යි. ශාතාධිත මහා
සංඝරත්නය විෂයෙහි පිරිනමන අලුුත් බත්දානය මුලදී විහාරස්ථානයෙන්ම
පිරිනමුවත්, විහාරස්ථානය සතු කුඹුරු රජයට පවරා ගැනීමෙන් පසු දායක සභාවේ
සහභාගිත්වයෙන් පවත්වනු ලැබේ. පිරිවෙන් විහාරස්ථානයේ ස්වාමීන් වහනසේලා
86 පමණ නිත්‍ය නේවාසික බැවින් මුලදී ක්‍රියාත්මකව පැවති මාසික දාන
ක්‍රමය වාර්ෂික දාන බවට පරිවර්තනය කරන ලදී. සියලුම ස්වාමීන් වහන්සේලාට
දානය පිරිනැමීම මේ ගම්වාසීන් විසින් කරනු ලැබීම විශේෂයකි. |