සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය - ‘මහණෙනි’ මනෝ සංචේනාව අවබෝධ කර ගත්තෝ ත්‍රිවිධ තණ්හාව අවබෝධ
කර ගත්තෝ වෙති. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත් පසු තව දුරටත් කළ යුතු
කාර්යයක් නැතැයි කියමි. ත්‍රිවිධ තණ්හාව තේරුම් ගැනීමෙන් විමුක්ති
ප්‍රතිලාභය සිදුවේ. එය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි අවසන් අරමුණයි. එනිසා
ඉන් එහා කළ යුත්තක් නැත. මෙම දේශනා පාඨද උපයෝගී කර ගනිමින් දුක්ඛ සමුදය
සත්‍යය විස්තර කරන්න.
පිළිතුර - බුදුරජාණන් වහන්සේගේ පළමුවන ධර්ම දේශනයෙහි දී “දුක්ඛ සමුදය
සත්‍යය” විස්තර කරමින් ත්‍රිවිධ වූ තෘෂ්ණාව මෙසේ පැහැදිලි කර ඇත. “යායං
තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහි නන්දිනී, සෙය්‍යථිදං
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා” පුනර්භවය ඇති කරන නන්දිරාගය සහිත වූ
ඒ ඒ තැන ඇලෙන යම් තණ්හාවක් වේද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නම්
වූ දුක්ඛ සමුදයයි.
තණ්හාවෙහි ලක්‍ෂණ තුනක් ද ප්‍රභේද තුනක් ද, දම්සක් පැවතුම් සූත්‍ර
පාඨයෙහි අවධාරණය වේ. තණ්හාව පුනර්භවය ඇති කරන්නකි. එය නන්දිය හා රාගය
සහිත ය.
‘නන්දි’ සතුටට පත්වීම ය. රාග නම් ඇලීමයි. ඒ ඒ තැන, එනම් ඒ ඒ භවයන්හි හෝ
ඒ ඒ වස්තූන්හි ඇල්ම, තත්‍ර තත්‍ර අභිනන්දනී යන්නෙන් අදහස් වේ. මේ එහි
ලක්‍ෂණත්‍රයයි.
තණ්හාව, කාම, භව විභව යනුවෙන් ප්‍රභේදගත වේ. මෙහි කාම තණ්හා යනු, කාම
වස්තූන්ට ඇති තණ්හාවයි. පංචේන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු පස, කාම වස්තු
ලෙස විස්තර කොට තිබේ.
“තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”
තණ්හාව නිසා ශෝකය හට ගනී. තෘෂ්ණාව නිසා භය හට ගනී. තෘෂ්ණාවෙන් තොර
වූවෙකුට ශෝකයක් හෝ භයක් නොමැත යන “ධම්ම පද” ගාථාවෙන් ද පැහැදිලි වන්නේ,
තෘෂ්ණාව සෑම දෙනාගේම සිත් තුළ නිළීනව පවත්නා (සැඟවී ඇති) බලගතු මානසික
බලවේගයක් බවයි. එය ජීවිතයේ බොහෝ දුක්වලට මූලික හේතුවයි. සියුම් හෝ
ගොරෝසු හෝ මෙම තෘෂ්ණාව සසරෙහි නැවත නැවත ඉපදීමට හේතු වෙයි.
කාම තෘෂ්ණාවෙහි දළ ස්වරූපයෝ සකෘදාගාමී ඵලය ලබන විට දුර්වල කරනු ලැබ
අනාගාමි වන විට මූලෝත්පාඨනය කෙරෙති.
රහත් ඵලය ලැබීමත් සමඟම තෘෂ්ණාවෙහි අවසානය (තණ්භක්යො නිරෝධො) යනුවෙන්
සිදු වන්නේ ය.
පිළිතුර සැපයීමෙහි දී අපවත් වී වදාළ ගෞරවනීය නාරද හිමිපාණන් ගේ බුදු
දහම සහ බුදුරජාණන් වහන්සේ කෘතිය – ඇසුරු කරන ලදී)
ප්‍රශ්නය - කැඳ වැළඳීමේ ආනිශංස පහක් පෙළ දහමෙහි සඳහන් වෙයි. ඒ මොනවාද?
පිළිතුර
01. කුසගිනි නැතිවීම (බුදං පටිහන්ති)
02. පිපාසය නැතිවීම (පිපාසං පටිවිනෙති)
03. වාත රෝග සමනය (වාතං අනුලොමෙති)
04. අතුනු බහන් පිරිසුදු වීම. (වත්ථිං සොධෙති)
05. ආහාර දිරවයි (ආමවාතං පාවෙති)
ප්‍රශ්නය - පෙළ දහමෙහි මෙන්ම අටුවා ග්‍රන්ථවල ද මෛත්‍රීය භාවනාවක්
වශයෙන් ප්‍රගුණ කිරීමේ , ක්‍රම සතක් දක්වා ඇත.
මෛත්‍රීය භාවනාවක් වශයන් ක්‍රමානුකූලව වැඩීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත
හැකිය. පාලි නිකායාගත පත පොතෙහි මෙන්ම අටුවා ගත තොරතුරු අනුව ‘සත්ත
ඔසධිසො ඵරණ මෙත්තා චෙතො විමුක්ති” යනුවෙන් මෛත්‍රීය ප්‍රගුණ කරන ක්‍රම
හතක් දක්වා ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර - 01. සියලු ස්ත්‍රීහු වෛර නැත්තෝ වෙත්වා (සබ්බේ ඉතථියො අවෙරා
අබ්‍යාපජ්ජා) ක්‍රෝධ නැත්තෝ වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා -
(අනීඝා හොන්තු - සුඛී අත්තානං පරිහරන්තු)
සියලු පිරිමි (පුරිසා)
සියලු ආර්යයයෝ - (සබ්බේ අරියා)
සියලු අනර්යයෝ (සබ්බේ අනාරියා)
සියලු දෙවියෝ (සබ්බේ දෙවා)
සියලු මිනිස්සු (සබ්බේ මනුස්සා)
සියලු අපාගත සත්වයෝ (සබ්බේ විනිපාතකා)
ඉහත සඳහන් කරුණු හත යෝගාවචරයෙකු මෛත්‍රීය වැඩීම සඳහා යොදා ගත යුතු
කරුණු ලෙස දක්වා ඇත.
ප්‍රශ්නය - දී.නි. ‘වාසෙට්ඨ’ සූත්‍ර දේශනාවෙහි දී බුදුරජාණන් වහන්සේ
මිනිස් සමානත්වය පිළිබඳ විවිධ සාධක මගින් සනාථ කළහ. විවරණයක් කරන්න.
පිළිතුර - ‘වාසෙට්ඨ’ සූත්‍ර දේශනාවට අනුව ජීව විද්‍යාත්මක සාධක අනුව
‘ශාක’ ලෝකයෙහි (තිණරුක්ඛෙහි) සහ කුහුඹු, කෘමීන්, සිව්පා සතුන්,
උරගයින්, මසුන් මෙන් ම පක්‍ෂීන් සහ තිරිසන් සතුන් අතර ද ඔවුන් වෙන්
වෙන් කොට දක්වන හඳුනාගත හැකි ලක්‍ෂණ දක්නට ලැබෙයි.
එහෙත් මිනිසුන් අතර එසේ නොවේ.
හිස, කණ, ඇස්, මුඛය, නාසය, තොල, බැම, ගෙල, උදරය, පිට ආදී ශාරීරික
අවයවයන්ගෙන් හෝ පැහැය, මෛථුනය යන ක්‍රියාදාම යන්ගෙන් හෝ මිනිසා වෙන්
කොට හඳුනාගත නොහැකි ය. මිනිසුන් කෙරෙහි පවත්නා වෙනස හුදෙක් ව්‍යවහාර
මාත්‍රයක් පමණි.
(පච්චත්තංච සරිරෙසු - මනුස්සේ සෙ - වතං න විජ්ජති - වොහරඤ්ච මනුස්සෙසු
සමඤ්ඤය පවුච්චති)
ගව පාලනය හා ගොවිතැනින් දිවි ගෙවන්නා, ගොවියකු ලෙස ද, උගත් ශිල්පයකින්
දිවි රැක ගන්නා ශිල්පීයකු ලෙස ද වෘත්තිය අනුව ව්‍යවහාරයට යයි. කුල
ගෝත්‍ර ආදී විකල්ප දෘෂ්ටි මතවාදයක් පමණි.
මිනිස් සංහතිය ඒකාකර වූවක්මය යන අදහස පෙරදැරිකොට ගෙන ප්‍රකාශ කරන ලද
ජීව විද්‍යාඥ නිගමන් හා බුදු සමය හා සැසඳෙයි.
මෙසේ හෙයින් ජාති හෝ කුලභේද නොතකා සියලුම මනුෂ්‍යයන් අපගේ දෙමව්පියන්
හා සොහොයුරු සොහොයුරියන් වශයෙන් සැළකිය යුතු යැයි බුදුසමය පෙන්වා දෙයි.
“වාසෙට්ඨ” සූත්‍ර දේශනාවට අනුව තවදුරටත් බුදුරජාණන් වහන්සේ කරුණු
පැහැදිලි කරයි. ආචාර විද්‍යාත්මක සාධක අනුව බලන විට කවර කුලයකට අයත්
වූවෙකු වූවද පහත් වැඩ කිරීමෙන් මෙලොව දීම ඊට නිසි දඬුවමකට භාජනය විය
හැකි බවත්, පරලොව දුගතිගාමී වන බවත් යහපත් වැඩ කිරීමෙන් ඉහාත්මයෙහි
ප්‍රශංසාවට මෙන් ම පරලොව සුගතිගාමී වීමට ද ඉඩ ලැබෙන බවත් කියැවෙයි.
එමෙන් ම කෙලෙසුන් නසා රහත් වීමට හා විමුක්තිය ලැබීමට ද උපත බාධාවක්
නොවන බව බුදු සමය අවධාරණය කරයි.
පසේනදි කොසොල් රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිද්ධාර්ථ ගෞතමයන්
වහන්සේ කවර දර විශේෂයෙකින් දැල්වුවද ගින්නෙහි විශේෂයක් නොදැක්වෙන බව
සඳහන් කරමින්, මහ රජ, ව්‍යායාමයෙන් හා පධන් වීර්යයෙන් දල්වන ලද ආලෝකය ද
එසේම යයි වදාළහ.
ආදී බෞද්ධ ග්‍රන්ථයෙහි එන සමාජ සමානාත්මතාවය පිළිබඳව තර්කානුකූල හා
විද්‍යානුකූල මතය පිළිබඳ ව අදහස් දක්වන උගත්තු මිනිසා කර්මය තමා අයත්
කොට ඇතැයි දෙසූ බුදුරජාණන් වහන්සේ ගේ පැහැදිලි ප්‍රකාශයෙන් අදහස් වන්නේ
පුද්ගලයා තම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බවත් එනිසා පවත්නා දුක්ඛදායක
තත්ත්වය එලෙසම පවත්වා ගැනීම හෝ එය නැවැත්වීම ඔහු අතම රඳා පවතින බවත්
පවසයි.
කවර සමාජ සංස්ථාවක් වූවද, ප්‍රභවය ලැබුවේ සමාන වූ මිනිසුන් අතර ය. එම
මිනිසුන් නිසාම ය.
ප්‍රශ්නය - ක්‍රි.පූ. තුන් වන සියවසට අයත් සාංචි හා භාරුත් කැටයම්වල
සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ
සංකේත භාවිතා කරමිනි.
ඒ සඳහා කලාකරුවන් යොදා ගත් සංකේත කවරේදැයි පැහැදිලි කරන්න.
පිළිතුර - සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් ශ්‍රාවක
පිරිස අතර දොම්නස් සිතිවිලි ජනිත වීම නිසා උන්වහන්සේ නියෝජනය වීම සඳහා
සංකේත භාවිතා විය.
දාගැබ් වහන්සේ හෙවත් චෛත්‍ය, බෝධීන් වහන්සේ සහ පිළිම වහන්සේ යන අංග තුන
සංකේත වශයෙන් භාවිතා කළහ. |