බුදු සමයෙහි
දේව පූජාව
කතරගම කිරිවෙහෙර රාජමහා
විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ
ප්‍රධාන සංඝනායක ඌව, වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති,
උපාධ්‍යාය,
ආචාර්ය
අලුත්වැව සෝරත නා හිමි
දෙවියන් නමින් හැඳින්වෙන, අදෘෂ්‍යමාන සත්ව කොට්ඨාසයක් පිළිබඳ විශ්වාසය
මානව ඉතිහාසයේ ඉතා ඈත අවදියක සිට පැවත එයි. මිනිස් ජීවිත කෙරෙහි යහපත්
මෙන් ම අයහපත් අන්දමින් බලපෑම් කිරීමේ ශක්තියක් දෙවියන්ට ඇතැයි යන
විශ්වාසය මත ඔවුන් සතුටු කිරීම සඳහා විවිධ පුද පූජා ක්‍රම ගොඩනැගුණේ එම
විශ්වාසය පදනම් කර ගැනීමෙනි. මේ පසුබිම තුළ බැහැර කළ නොහැකි අන්දමින්
මිනිස් සිත් සතන් තුළ දෙවියන් පිළිබඳ විශ්වාසය මුල් බැසගෙන තිබේ. ලොව
සෑම රටකම මෙම විශ්වාසය අඩු වැඩි වශයෙන් ද විවිධ විග්‍රහ කිරීම් යටතේ ද
ව්‍යාප්තව පවතී.
දේව වාදය පිළිබඳව කථා කරන විට අපගේ අවධානය නිතැතින් ම යොමුවන්නේ
භාරතයටයි. ඊට හේතුව, ඒ පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය
දත්ත වැඩිපුරම හමුවන්නේ භාරතයෙන් වීම නිසා ය.
බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම අනුව, භාරතය දේව වාදයේ නිජබිම වෙයි.
අනාදිමත් කාලයක් තිස්සේ දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයකින් හා
භක්තියකින් කටයුතු කළ භාරතීයයෝ දෙවියන් ඇදහීම ඔවුන්ගේ ප්‍රධාන ආගම ලෙස
අදත් පුද පූජාවන්හි නිරත වෙති.
මේ නිසා ම දේව වාදය පිළිබඳ පොත පත භාරතයේ සුලබ ය. ‘සෘග් වේදය’ ඒ අතර
ඓතිහාසික වූත්, ප්‍රමුඛතම වූත්, ලේඛනයයි. එය මුල් කොට ගෙන ‘යජුර්’
‘සාම’ ‘අථර්වන්’ නමින් වේද ග්‍රන්ථ සකස් වීමෙන් ‘චතුර්වේදය’ නිර්මාණය
වී තිබේ. මේ සෑම ග්‍රන්ථයක ම පුළුල් ලෙස විස්තර වන්නේ දෙවිවරුන්ගේ උපත,
පැවැත්ම ශක්තිය, බලය මහිමය සහ ඔවුන්ගෙන් පිහිට ලැබීමට අනුගමනය කළ යුතු
පුද පූජා විධීන් ය.
දේව වාදයේ ව්‍යාප්තිය තුළින් මතු වූ නව සමාජ ප්‍රවණතාවයක් වූයේ
බ්‍රාහ්මණ සංස්කෘතිය යි. බ්‍රාහ්මණයෝ වූ කලී දෙවියන් හා මිනිසුන් අතර
සබඳතාව ඇති කරවන අතර මැදි පිරිසක් වූහ. ජනතාව තුළ දේව විශ්වාසය තදින්
තහවුරු වන විට, බ්‍රාහ්මණයන්ගේ බලය ද වඩ වඩාත් තහවුරු වූයේය.
එහි එක්තරා ප්‍රතිඵලයක් වූයේ බ්‍රාහ්මණ ඒකාධිකාරයක් නිර්මාණය වීමයි.
සමාජය නිරන්තරයෙන් ම වෙනස් වෙයි. අලුත් දේ සොයා පරිවර්තනයන් ඇති කරයි.
සම්මතයන්ට අභියෝග එල්ල වෙයි.
මෙය ලෝක ධර්මතාවය යි. දේව වාදයටත් බ්‍රාහ්මණ ඒකාධිකාරයටත් මේ ධර්මතාවයට
මුහුණ දෙන්නට සිදුවිය.
ක්‍රි. පූ. සයවන සියවසේ දී බුදුරජාණන් වහන්සේ පහළ වූයේ එවන් සමාජ
පසුබිමක් තුළය. බෞද්ධ පොත පතෙහි දැක්වෙන අන්දමට, බුදුරජාණන් වහන්සේ පහළ
වූයේ භාරතය පුරා ‘සත්‍ය සොයන්නවුන්’ (කිං සච්ච ගවේෂී) බහුල වූ
වටපිටාවක් තුළ යි.
බුදු දහම, සාම්ප්‍රදායික ආගමක් නොවීය. එය ඇදහීම් ක්‍රමයක් ද නොවීය.
බුදුදහම, ඒකායන විමුක්ති මාර්ගය පෙන්වා දෙන, ප්‍රායෝගික ධර්මයකි. ඒහි
පස්සික වූ දර්ශනවාදයකි.
භක්ති මාර්ගයෙන් බැහැර වූ ඤාණ මාර්ගයකි. මේ නිසාම සත්‍යය සොයමින් සිටි
දස දහස් ගණන් ජනයා බුදු දහම වටා එක් රොක් වන්නටත්, බුදු සසුනට ඇතුළත්
වී විමුක්ති මාර්ගයේ ගමන් කරන්නටත් වූහ. ඉතා කෙටි කාලයක් තුළ බෞද්ධ සංඝ
සමාජය ව්‍යාප්ත වූ අයුරු ශාසන ඉතිහාසයෙන් හෙළිවෙයි.
බුදුදහම වැළඳ ගත්තවුන් අතර, අදේවවාදීන් මෙන් ම දේවවාදීන් ද වූවා සේ ම,
ශාස්වත, උච්ඡේද, අකිරියවාදීහු ද වූහ. දීඝ නිකායේ බ්‍රහ්ම ජාල
සූත්‍රයෙන් හෙළිවන අන්දමට බුදුරජාණන් වහන්සේ පහළ වන අවදිය වන විට
දර්ශනවාදය හැට දෙකක් තිබිණ. බුදුදහම දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි ලෙස
හඳුන්වන්නේ ඒවාය.
බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර බුදුදහමක් නොවූ නිසා බුදු දහම කෙරෙහි
පැහැදුණු පිරිස් මේ මිථ්‍යා දෘෂ්ටීන් පිළිගෙන සිටියවුන් බව අමුතුවෙන්
කිවයුතු නොවේ. කවර දෘෂ්ටි වැළඳගත්තවුන් වුවත් බුදුදහම කෙරෙහි පැහැදී
තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයෝ වූහ.
සසුන්ගත වීමෙන් භික්ෂූහු වූහ. බුද්ධ භාෂිතයට අනුව, කවර මාර්ගවලින්
පැමිණියත් මුහුදට වැටෙන දිය මුහුදු දිය බවට පත්වීමෙන් එක ම ලුණු රසයෙන්
යුක්ත වන්නා සේ බුදු දහම වැළඳ ගත් විවිධ දෘෂ්ටි ගතිකයෝද බුද්ධ
ශ්‍රාවකයෝම වූහ.
ඉහත සඳහන් කළ පරිදි බුදු දහම දර්ශන මාර්ගයක් වීම නිසා සාම්ප්‍රදායික
විශ්වාසයන්ට, ඇදහීම්වලට, යාතු කර්මවලට එහි තැනක් නොලැබේ. ගතානුගතිකත්වය
පමණක් නොව බුද්ධ භාෂිතය පවා විමසා පිරික්සා බලා පිළිගත යුත්තක් බව
සුප්‍රසිද්ධ කාලාම සූත්‍රයෙන් නිර්දේශ කර තිබේ. සිතීමේ හා විමසීමේ
නිදහස බෞද්ධ දර්ශනයේ අනන්‍යතා ලක්ෂණයකි.
බෞද්ධ ප්‍රතිපදාවට අනුයුක්ත වූ පමණින් එසේ අනුයුක්ත වූ සෑම දෙනෙකුට ම
විමුක්ති සුවය ළඟා කරගත හැකි වූයේ නැත. බුදුරදුන් ජීවමානව සිටියද ධර්මය
සජීවීව පැවැතිය ද පුද්ගලයන්ගේ කර්ම ශක්තිය අනුව එසේ වීම ධර්ම න්‍යායයටද
අනුකූ®ලය. මේ නිසා ම මාර්ගඵල ලබා ගන්නට නොහැකි වූවන් විවිධ කරුණු කාරණා
සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, විමර්ශනය කිරීම අරුමයක් ද නොවේ.
මාර්ගඵලලාභීන්ට ප්‍රශ්න නැත. ඔවුහු යථාර්ථය අවබෝධ කර ගැනීමෙන්
ලෞකිකත්වය ඉක්මවූවෝ වෙති. අවශේෂ පුද්ගලයන්ට කෙළවරක් නැති ප්‍රශ්න තිබේ.
මේ නිසා ම ලෝකෝත්තර මාර්ගයට පරිබාහිර ව ලෞකික කරුණු සම්බන්ධයෙන් අදහස්
දැක්වීමට ද බුදුරජාණන් වහන්සේට සිදුවිය. බුද්ධ දේශනය පිටක වශයෙන් කොටස්
තුනකින් සමන්විත වූ පුළුල් ධර්ම සංග්‍රහයක් වූයේ එබඳු පැහැදිලි කිරීම්
අවශ්‍ය වූ බැවිනි.
දේවවාදී අදහස් දැඩි ලෙස මුල් බැසගෙන තිබූ සමාජයක, ඊට ප්‍රමුඛත්වයක්
නොදෙමින් නවතම ධර්මයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබීම නිසා
ජනතාව තුළ කුතුහලයක් පහළවීම ස්වභාවිකය. දේව සහව්‍යතාවයට, බ්‍රහ්ම
සහව්‍යතාවයට පත්වීමේ අරමුණින් දෙවියන් පිදු ජනතාව අදේවවාදී බුදුදහම
වැළඳ ගත්ත ද ඔවුන්ගේ ගතානුගතික හැඟීම් සපුරා බැහැර වූයේ නැත. විශේෂයෙන්
ම පෘථග්ජනයන් තුළ එබඳු තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. මේ නිසා ම
සමාජය බෞද්ධ පිරිස් දෙවියන් සිටීදැයි බුදුරජාණන් වහන්සේගෙන් සෘජුව ම
ප්‍රශ්න කළ හ. ඊට කදිම උදාහරණයක් මජ්ඣිම නිකායේ සාණ්ණකත්ථල සූත්‍රයෙන්
ඉදිරිපත් කළ හැකි ය.
දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කොසොල් මහ රජතුමා ‘කිමෙක්ද
ස්වාමිනි, දෙවියෝ ඇත්තාහුදැ’ යි ප්‍රශ්න කරති. බුදුරජාණන් වහන්සේ ඊට
පිළිතුරු දෙනු වෙනුවට එසේ අසන්නේ මන්දැයි රජුගෙන් පෙරළා ප්‍රශ්න කරති.
මජ්ක්‍ධිම නිකාය අටුවාවෙහි මේ සම්බන්ධ විග්‍රහයෙන් දක්වන්නේ දෙවියන්
සිටින බව සක්සුදක් සේ පැහැදිලි බැවින් බුදු රජුන් එසේ දේශනා කළ බවයි.
එය ‘ඒක අහන්නත් දෙයක්දැයි’ කීම වැන්න. ඒ අනුව දෙවියන්ගේ අස්තිත්වය
බුදුරදුන් අනුමත කළ බව අට්ඨකථා මතය යි.
මජ්ඣිම නිකායේ සංගාරව සුත්‍රය තවත් උදාහරණයකි. ‘භාරද්වාජ’ නම් බමුණා
බුදුරදුන් වෙත එළඹ, භවත් ගෞතමයන් වහන්ස! දෙවියෝ ඇත්තාහුදැ’යි විමසයි.
එහිදී උන්වහන්සේ පවසන්නේ ‘භාරද්වාජය දෙවියෝ ඇත යන්න ලෝකයෙහි ඉතා ප්‍රකට
වශයෙන් සම්මත ව පවත්නා දෙයකි’ යනුවෙනි.
දෙවියන් ඇතැයි තහවුරු කරන බෞද්ධ අදහස් ජාතක පාලියේ මහා මෝර, මණි මෝර
වැනි කථා වලින් ද ඉදිරිපත් කෙරේ. දෙවියන් නමින් හඳුන්වනු ලබන
අදෘශ්‍යමාන සත්ව කොට්ඨාසයක් ඇති බව තහවුරු කෙරෙන සූත්‍ර ධර්ම 186 ක්
ත්‍රිපිටකයෙහි අන්තර්ගත වෙයි. එම සූත්‍ර 186 ම දේශන කරනු ලැබ ඇත්තේ
දෙවියන්ටය.
ඊට අමතර ව දෙවියන් පිළිබඳ විවිධ තොරතුරු පැවසෙන සූත්‍ර දේශනා සිය
ගණනකි. එම සූත්‍රවල දෙවියන් පිළිබඳව පමණක් නොව, ඊට වඩා උසස් ස්ථරයන්ට
අයත් ශක්‍ර, බ්‍රහ්ම, ආදීන් පිළිබඳව ද, දිව්‍ය, බ්‍රහ්ම ලෝක හා
සුද්ධාවාසයන් පිළිබඳව ද විස්තර සඳහන් වෙයි. රූප ලෝක, අරූප ලෝක, පිළිබඳ
විස්තර ද දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වන
ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනයේ සිට අවසාන දේශනය වන මහා පරිනිබ්බාන
සූත්‍රය දක්වා සෑම දේශනයක ම පොදුවේ දක්නට ලැබෙන දේව සම්බන්ධ බුදුදහමත්,
දෙවි දේවතාවනුත් අතර සමීප බව මොනවට ප්‍රදර්ශනය කරයි.
ත්‍රිපිටකයෙහි දක්නට ලැබෙන මහා සමය සූත්‍රය, දෙවියන් පිළිබඳ දීර්ඝ
විස්තරයක් ඉදිරිපත් කරන්නෙකි. විවිධ දේව ගණයන් පිළිබඳවත් ඔවුන්ගේ
චර්යාවන්, හැකියාවන් ශරීර ස්වභාවයන් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ
ඉදිරිපත් කරන විස්තරය, විශේෂයෙන් වැදගත්ය. ‘ඉද්ධිමන්තො, පි‍්‍රතීමන්තො,
වණ්ණවන්තෝ, යසස්සිනෝ’ යන පදවලින් දෙවිවරු මහත් වූ සෘද්ධි ඇති දීප්තිමත්
හා වර්ණවත් ශරීර ඇති මහත් වූ කීර්ති ඇති සත්ව කොට්ඨාසයක් බව මහා සමය
සුත්‍රයෙන් පැවසේ. දෙවියන්ගේ නාම ලේඛනයක් ද එහි එයි. ඒ ඒ දෙවිවරුන්ට
අයත් කොඩි ඇති බවත්, ඒවා දැකීමෙන් මහත් සහනයක් සැලසෙන බවත් ධජග්ග
සූත්‍රයෙහි සඳහන් වෙයි. (අථ පජාපතිස්ස දේව රාජස්ස ධජග්ගං
උල්ලෝකෙය්‍යාථ, පජාපතිස්ස හිවෝ දේව රාජස්ස ධජග්ගං උල්ලෝකයතං, යං
භවිස්සති භයං වා ජම්භි තත්තං වා ලෝමහංසෝවා සෝ පහීයිස්සති) දෙවියන්
සෘද්ධිමත් බව පැහැදිලි කරන්නේ ඔවුන්ගේ චර්යාවන් විස්තර කිරීමෙනි.
දෙවිවරුනට අදෘෂ්‍යමානව සිටිය හැකිය. ක්‍ෂණයකින් පෙනී සිටිය හැකිය.
ක්‍ෂණයකින් අතුරුදහන් වීමට ද හැකිය. බුදුරජාණන් වහන්සේ ඒ බව පැහැදිලි
කරන්නේ කදිම උපමාවක් ද යොදා ගනිමිනි. (බලවා පුරිසෝ සම්මිපද්ජිතං වා
බාහං පසාරෙයචි, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය, ඒව මේවං සුද්ධාවාසේසු
දේවේසු අන්ත රහිතා භගවතෝ පුරතෝ පාතුරහංසු) බලවත් පුරුෂයෙක් නැමු අතක්
දිගු කරන්නා සේද දිගුකළ අතක් නවන්නා සේද, දෙව්ලොවින් අතුරුදහන් ව බුදු
රදුන් ඉදිරියේ පහළ වූහ’ යනු එහි තේරුමයි.
බුදුදහමේ ඉගැන්වෙන ලෝකෝත්තර විමුක්තිය සඳහා දෙවියන්ගේත් පිළිසරණක්
නොලැබෙතත්, ලෞකික සුබ සාධනය උදෙසා දෙවියන්ගෙන් පිළිසරණක් ලැබිය හැකි බව
බෞද්ධ මතයයි. එබඳු පිළිසරණක් අපේක්ෂාවෙන් දෙවියන් උදෙසා පුදපූජා
පැවැත්වීම බුදුදහමට ප්‍රතිවිරුද්ධ නොවේ.
විශාලා නුවර හටගත් මහා දුර්භික්ෂය සමනය කරනු පිණිස බුදුරජාණන් වහන්සේ
විසින් දේශනා කරන ලද ‘රතන සූත්‍රයෙ’යි දිවා රෑ පුද පූජා පවත්වන
මනුෂ්‍යයන් නොපමාව ආරක්ෂා කරන්නැයි බුදුරදුන් විසින් බුද්ධාඤාවක් පනවා
තිබේ. ‘දිවා ච රත්තෝච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා’
(යමෙක් දිවා රෑ දෙක්හි දෙවියන්ට පුද පූජා පවත්වන්නේ ද ඔවුන් නොපමාව
ආරක්ෂා කරව්) මෙහි ‘බලි’ යන පදයෙන ගම්‍ය වන්නේ ද්‍රව්‍යමය පූජාවන් ය.
ශ්‍රද්ධාවන්ත ආර්යය ශ්‍රාවකයා විසින් ධාර්මිකව උපයා සපයා ගත් භෝගයෙන්
පූජා පැවැත්විය යුතු පුද්ගලයෝ පස් දෙනෙක් වෙති. එනම්, ඤාති, අත්ථි,
පුබ්බ පේත, රාජ, දේවතා යන පිරිස්ය. අනේපිඬු සිටුතුමාට ඒ බව පහදා දී
ඇත්තේ මෙසේ ය. බාහා බල පරිමිතේහි සේදා වක්කිත්තේහි ධම්මකේ හි ධම්ම
ලද්දේහි පංච බල කත්තා හෝති. ඤාති බලිං අත්ථි බලිං, පුබ්බ පේත බලිං ,
රාජබලිං දේවතා බලිං....’
මහානාම ලිච්ඡවී රජු නිමිති කොට දේශනා කර ඇති ලිච්ඡවී කුමාර සුත්‍රයෙහි
‘දේවතා බලි’ ලබන දෙවියන් ‘චිරං ජීව‘ දීඝ මායුං පාලේහී’ ති යනුවෙන්
දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බව සඳහන් ය. එම ආශිර්වාදය අභිවෘද්ධිය පිණිස
හේතුවෙන් බව වැඩිදුරටත් පැවසේ.
දෙවියන් උදෙසා යාග පැවැත්වීම භාරතීය සමාජයේ බෙහෙවින් ප්‍රචලිත පූජා
විධියකි. විවිධ කාරණාවලට පැවැත්වුණු විවිධ යාග විධි සිය ගණනක් සෘග්
වේදයෙහි සඳහන් වෙයි. ඉන් බොහොමයක් බිලි පූජාවන්ය. පුරුෂ මේධ වැනි යාග
වලදී මිනිස් ජීවිත පවා බිලි දී ඇතැයි පැවසේ. මේ නිසාම යාග කිරීම
භාරතීයයන්ගේ ජීවිතයේ ම අංගයක් ව තිබිණ.
බුදු දහම සත්ව හිංසාව ඉඳුරා ප්‍රතිකේෂ්ප කරයි. මේ නිසා බමුණු යාග
පිළිබඳ ව බුදුරජාණන්වහන්සේ ගේ මතය දැන ගනු රිසි වූ උජ්ජාය බමුණා, වරෙක
ඒ ගැන විමසයි. බමුණාගේ ප්‍රශ්නයට උන්වහන්සේගේ පිළිතුර මෙසේය. ‘යථා රූපේ
ච ඛෝ බ්‍රාහ්මණ යඤ්ඤේ න ගාවෝ හඤ්ඤන්ති, න අජේලකා භඤ්ඤන්ති න කුක්කුට
සූකරා හඤ්ඤෙන්ති, න විවිධා පාණා සංඝාතං ආපජ්ජන්ති, ඒව රූපං ඛෝ අහං
බ්‍රාහ්මණ නිරාරම්භං යඤ්ඤං වණ්ණේමි’ (උර්ජාය සූත්‍රය - අංගුත්තර නිකාය)
යම් යාගයකදී ගවයන්, එළු බැටලුවන්, කුකුළු, ඌරන් නොනැසේද, හිංසා රහිත වූ
එබඳු යාගය තමන් වහන්සේ වර්ණනාවට ලක් කරන බව එම පාඨයේ අදහසයි. එහි ම
තවදුරටත් දැක්වෙන පරිදි එබඳු යාගයට රහතුන් මෙන් ම රහත් මගට
පිළිපන්නවුන් ද අනුග්‍රහය දක්වනු ලැබේ.
අරහන්තෝ වා අරහ මග්ගං වා සමාපන්නාති)
යාගය යනු දේව පූජා විධියකි. දෙවියන් උදෙසා ප්‍රාණඝාතයෙන් තොරව පවත්වන
ධාර්මික පුද පූජාවනට රහතුන් පවා සම්බන්ධ වෙතැයි පැවසීමෙන්, පෘථග්ජනයන්
දේව පූජාවට සම්බන්ධ වීමෙහිලා කිසිදු අන්දමක ධර්ම විරෝධී බවක් නොමැති බව
නිසැකව ම තහවුරු වෙයි. බෞද්ධයන් විසින් කළ යුත්තේ තමන් පින් රැස්
කරගෙන, ඒ පින් දෙවියන්ට අනුමෝදන් කිරීම පමණකැයි මතයක් ඇතැමුන් තුළ
පවතී. එහෙත් ඉහත සඳහන් බුද්ධ භාෂිතයන් අනුව ඒ මතය පදනම් විරහිත එකක් බව
පැහැදිලි වෙයි.
පින් දීම, යන්නට බුද්ධ වචනයෙහි දැක්වෙන්නේ ‘පත්තිදාන’ යන පදයයි. එහෙත්
‘දේවතා බලි’ යනුවෙන් මිස ‘දේවතා පත්තිදාන’ ලෙසින් නොවේ. ‘බලි’ යන
පදයෙන් පැහැදිලි ව ම පැවැසෙන්නේ ද්‍රව්‍යමය පූජාවන් බව ඥාති බලි, අත්ථි
බලි, රාජ බලි, පුබ්බ පේත බලි යන යෙදුම්වලින් තහවුරු වෙයි. මෙහි බලි යනු
දීමනා මිස පින් දීමක් නොවේ. එකී තැනැත්තන්ට පින් දීමක් නොකෙරේ නම් ඒ
අතරම එන දේවතා බලි යන්න පමණක් පින්දීම ලෙස සලකන්නේ කෙසේද? සත්ව
හිංසාවෙන් තොර යාගයට රහතුන් පවා අනුග්‍රහය දක්වන බව පැවසීමෙන් ද ‘බලි’
යනු ද්‍රව්‍යමය පූජාවන් බව තවත් තහවුරු කරයි. බුදුදහමට අනුව මානව
සමාජයෙහි මෙන් ම දේව ගණයා අතර ද මිථ්‍යා දෘෂ්ටික හා සම්‍යග් දෘෂ්ටික
යනුවෙන් කොටස් දෙකක් වෙයි. සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් යනු බුදු බණ අසා
බුදුමග පිළිගත්තවුන් ය. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන අන්දමට බුදුබණ
අසන්නට මනුෂ්‍යයන්ට වඩා එක් රොක් වූයේ දෙවි දේවතාවුන් ය. විවිධ ආගමික
මත දැරූ මනුෂ්‍යයන් බෞද්ධ උපාසක උපාසිකාවන් වූවා සේ ම, දෙවිවරුන් අතර
වූ පිරිස් ද බොදුනු වෝ වූහ. සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් යනු ඔවුහු ය.
බෞද්ධයා පුද පූජා පවත්වන්නේත්, ලෞකික පිළිසරණ පතන්නේත් එබඳු සම්‍යග්
දෘෂ්ටික දෙවිවරුන් උදෙසාය.
තෙරුවන් වඳින විට, නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ ධම්මෝ, සංඝෝ මේ සරණං
වරං (මට බුදුන් දහම් සඟුන් හැර අන් සරණක් නැත.) යනුවෙන් පවසන බෞද්ධයා
දෙවියන්ගෙන් සරණ පිහිට පැතීම වැරදි බවට සමහරුන් තුළ මතයක් තිබේ. එය ද
කරුණු වරදවා ගැනීමකි. ලෞකික ලෝකෝත්තර වශයෙන් පිහිට දෙයාකාර වෙයි.
රත්නත්‍රයෙන් අප පතන්නේ ලෝකෝත්තර පිහිටකි. නිර්වාණාවබෝධය උදෙසා
පිහිටකි. එහෙත් දෙවියන්ගෙන් පතන්නේ ලෞකික පිහිටකි. මෙලොව ජීවිතය හා
සම්බන්ධ ඕනෑ එපාකම් ඉටුකර ගැනීම සඳහා වූ පිහිටකි. සාමාන්‍යයෙන්, ලෞකික
ජීවිතයේ ඕනෑ එපාකම් සඳහා දෘෂ්‍යමාන පුද්ගලයන්ගෙන් පිහිට පතන්නට මිනිසා
ඉදිරිපත් වෙයි.
එය මානව සමාජ ධර්මතාවකි. දෘෂ්‍යමාන පුද්ගලයන්ගෙන් පිහිටක් නොලැබෙන විට
හෝ ලැබෙතැයි විශ්වාසයක් නැති විට අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් පිහිට පැතීම
සිරිතයි. අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් පිහිට යැදීම වැරදි නම් දෘෂ්‍යමාන
මනුෂ්‍යයන්ගෙන් පිහිට යැදීමත් වරදක් විය යුතුය. එහෙත් බෞද්ධ
ඉගැන්වීම්වලට අනුව ඒ දෙකෙහි ම වරදක් නොමැත. සංකීරණ සමාජමය හේතූන් නිසා
බෞද්ධ දෙවිවරුන් හා හින්දු දෙවිවරුන් නිවැරදිව තෝරා බේරා ගැනීමේ
ගටලුකාරී තත්ත්වයක් ඇති බව සැබෑය. මේ නිසා ම මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්
හඳුනා නොගෙන, ඔවුන්ගෙන් පිහිට පැතීම වරදක් වෙයි. එහෙත් එය චේතනාන්විතව
කරන්නක් නොවන නිසා දෝෂයක් ලෙස ගිණිය නොවේ. බුදුදහම අනුව කර්මයක් වන්නේ
චේතනාන්විතවය (චේතනා හං භික්ඛවේ කම්මං වදාමි)
ඓතිහාසික ශාක්‍ෂ්‍ය අනුව උපුල්වන්, මහසෙන් (කතරගම) සමන්, විභීෂණ,
බොක්සැල්, වැනි දෙවිවරු සම්‍යග් දෘෂ්ටික යහ එවන් දෙවිවරුන්ට පුද පූජා
පැවැත්වීමත්, පිහිට පැතීමත් පින් පෙත් දීමත් බුදු දහමට අනුව වරදක්
නොවන්නේ ය. |