UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම සහ බුදුන් වහන්සේ

බුදු බව ලත් සිද්ධාර්ථ කුමරුගේ චරිතය ගැන බෞද්ධ සාහිත්‍යය පුරා බෙහෙවින් පුළුල් ලෙස කරුණු දක්වා ඇති බවට රහසක් නැත. ඒ සියල්ල බුද්ධ චරිතය බවට සම්මුති ලබා ද ඇත.

බුදු පදවිය ලත් සිද්ධාර්ථ කුමරුගේ චරිතයේ මානව හිතවාදී ශ්‍රේෂ්ඨත්වය ලොවට හඬගා කියන තවත් බොහෝ අංග ඇත. සිද්ධාර්ථ කුමරු ක්ෂත්‍රීය වංශිකයෙකි. ඔහුගේ පියා මහාධිරාජයෙක් නොවේ. එහෙත් නිසැකයෙන් ම සිදුහත් කුමරුට සිය මිතුරු බිම්සරට නොදෙවැනි රජ තත්ත්වයකට පත්වීමේ හැකියාවක් තිබුණු බවට සැකයක් නැත. එහෙත් ඒ කුමරු රජවීමේ ආශාව අත් හළේ ය. එයට නොයෙක් හේතු තිබෙන්නට ඇත. ඉක්බිති අපට හඳුනා ගන්නට ලැබී ඇති බුදු දහම කුමක් ද ? ඉවරයක් නැති මිථ්‍යා මතිමතාන්තරයන්ගෙන් පිරුණු ආගමික විශ්වාසයන් තුළ ඉස්මත්තට ගිලුණු අපමණ බැතිමත්හු කොතෙක් වෙත් ද ? කාලයාගේ ඇවෑමෙන් බුදු දහමටත් එවන් විශ්වාසයන්ගෙන් අත් මිදෙන්නට නොහැකි වී ඇති සෙයක් පෙනේ.

එසේ තිබියදී බුදු දහම විෂයයෙහි අත්‍යන්ත සුවිශේෂයක් ඇත. එනම් එහි ඇති විශ්වසනීය, යථාර්ථවාදී, දාර්ශනික ලක්ෂණය යි. බුදු දහමේ දැක්වෙන සම්මුති දේශනාව, වෙනත් ඇතැම් ආගම්හි දැක්වෙන දේවවාදී දෘෂ්ටීන්ගෙන් පිරී ගොස් ඇතත්, පරමත්ථ දේශනාව හැටියට ගැනෙන මූලික බුදුදහම මානව සංහතියේ දිට්ඨධම්ම විමුක්තියට මග පැහැදිලි කරන්නකි යි සිතේ. කෙටියෙන් කියතොත් ඒ සියලු ම ආගම් ඊශ්වරවාදී ය. විශ්ව නිර්මාණය හා පාලනය පිළිබඳ ඒවායේ දෘෂ්ටිය වන්නේ ඊශ්වරත්වයක් මත බර තබන න්‍යායකි. මේ ඊශ්වරත්වය යහ්වේහ්, අල්ලාහ්, ගෝඩ්, බ්‍රහ්මන්, විෂ්ණු, ශිව, පිතා, පුත්‍ර, ශුද්ධාත්මන් හෝ වෙනත් එක් එක් බසකින්, විචිත්‍ර හඬකින් උසුරුවන කවර හෝ ආධිපත්‍යයකි. ඒ ආධිපත්‍යය පරම පවිත්‍ර ය. එයට කිසිදා වරදින්නේ නැත. විශ්වයේ පවතින සියලු දේ ඒ ඊශ්වරත්වය විසින් අත්‍යන්ත නිරවද්‍ය භාවයෙන් නිර්මාණය කරන ලද ඒවා ය. ඒවා පිළිබඳ සියලු සත්‍යය පාරහාතික ය. මේ ඒ ආගම්හි ලෝකෝත්තර ස්වභාවය යි.

එහෙත් බුද්ධ දේශනාව ඓහලෞකිකත්වය තුළ සැරි සරන ඉහෝත්තරත්වයකි. එහි දැක්වෙන විමුක්තිය ඉහ උත්තරත්වයක් හෙවත් මෙලොව තුළදී ම අත්දකින දිට්ඨධම්ම විමුක්තියකි. එයට පැහැදිලි හේතු දැක්විය හැකිය. බුදු දහමේ දැක්වෙන වැදගත් සත්‍යයක් නම් මිනිසා විෂයයෙහි තමා පිළිබඳ වගකීම තමා මත ම බවට බර තැබීම යි. මිනිසා ස්වේශ්වර ය. ස්වභාව ධර්මයේ සකල නිර්මාණ අතර සර්වේශ්වර ය.

‘අත්තාහි අත්තනෝ නාථෝ, තෝ හි නාථෝ පරෝ සියා, තමා වනාහි තමාගේ මැවුම්කරුවා ය. අන් දෙවියෙක් කොහි වේ ද ?’

‘තුම්හේ හි කිච්චං ආතප්පං, අක්ඛාතාරෝ තථාගතා, කෙලෙස් තැවීම තොප විසින් කටයුත්තකි. බුදුවරු මග කියා දෙන්නෝය.

මෙසේ දැක්විය හැකි අපමණ ධම්මපද වලින් පෙනෙන්නේ බුදුන් වහන්සේ මිනිසාට, මිනිසාගේ ස්වීයත්වයේ මහිමය සිය දහම මගින් ඉදිරිපත් කළ අපූර්ව ආකාරයයි. මිනිස් උපතක් ලද උන්වහන්සේ අපමණ දුක් මහන්සියෙන් බුද්ධත්වයට පැමිණ එසේ කළ හැක්කේ බ්‍රහ්මන් හෝ යහ්වේහ් හෝ අල්ලාහ් හෝ වෙනත් එබඳු කිසිදු ගෝඩ් කෙනෙකුට නොව, මිනිසකුට පමණක් බව පෙන්වා, තමා වටහා ගත් දහම ලෝසතුනට ද තේරුම් කර දෙන්නට යත්න දැරූහ.

සත්තකින් ම මේ දහම කුමක් ද ? එය අන් දහමක් නොව ලෝ දහම මැ යි. උන්වහන්සේට පෙරත් අපමණ මිනිස් රැසක් ලෝ දහම අනුව ජීවත් වූහ. එහෙත් මිනිසුන් එය ග්‍රහණය කර ගෙන සිටියේ දෙවියන් විසින් තමන් මත පටවන ලද දහමක් ලෙසිනි. තමන් විසින් තමන් මත පටවා ගත් දහමකට තමන් කර ගසා දායකත්වය සපයා ඇති බව බොහෝ දෙනාට වැටහුණේ නැත. බුදුන් වහන්සේ අස්සක් මුල්ලක් නෑර ලෝ දහම අධ්‍යයනය කළහ. තමන් හට ම ගිහි ගේ අතහැර යන්නට සිදු වූයේ කුමක් නිසා දැ යි උන් වහන්සේ නොසිතූ සේක් ද ? ඇතැම්හු දැහැමින් සිය පූජක වතාවත් ඉටු කරති. ඇතැමුන් එය ඉටු කරන්නේ නොදැහැමිනි. ඇතැම්මු නොයෙක් ජීවන වෘත්තීන්හි දැහැමිව යෙදී සතුටින් ජීවත් වෙති. ඇතැම්හු කවර ජීවන වෘත්තියක යෙදෙතත් පර පණ නසමින්, අන් සතු දැය පැහැර ගනිමින්, පරදාර සේවනයේ යෙදෙමින්, මුසා බෙණෙමින්, සුරාවෙන් සිහි විකල් කර ගෙන නොදැහැමි දැය ම කරමින් දිවි ගෙවති. අඟුල්මල් හෝ කුණ්ඩලකේසි වැන්නන් කලින් එසේව පසුව රහත් බව ලබා ගත්තේ කෙසේ ද ? ඒ වතගොත සපුරා විවරණය කරමින් උන්වහන්සේ ලෝ දහමින් ම, ලෝදහමේ ස්වභාවය සමාජයට තේරුම් කර දුන්නේ කොතරම් අපූර්ව ආකාරයෙන්ද ? තමාගේ විමුක්තිය තමාට ම සාක්ෂාත් කර ගත හැකි අයුරු උන්වහන්සේ දහම් නයින් ම පහදා දුන් හැටි කොතරම් ආස්වාදජනක ද ?.

‘යෝ ච පුබ්බේ පමජ්ජිත්වා - පච්චා සෝ නප්පමජ්ජති

සෝ ඉමං ලෝකං පභාසේති - අබ්හා මුත්තෝව චන්දිමා’

යමෙක් මුලදී අකුසල්හි හැසිර පසුව කුසල්හි නොපමා වේ ද, හෙතෙම වළාකුලින් නිකුත් සඳක් මෙන් ලො ව ට සෙත සලසයි.

දැන් අපට බුදු දහම මෙසේ හඳුනාගත හැකිය. බුදුන් වහන්සේ ලෝ දහම අධ්‍යයනය කළහ. බුදුවීම යනු ලෝ දහම වටහා ගැනීමයි. මිනිසාගේ මෙලොව ෂමුක්තිය පිණිස අනුගමනය කළමනා මග මැදුම් පිළිවෙත යි. එය විද්‍යාත්මකව තේරුම් ගැනීමට මිනිසාට හැකි ය. එක් එක් මිනිසා තම තම නැණ පමණින් එය තේරුම් ගෙන කළ කළ දේ අනුව පල ලබා දිවි ගෙවති.

බුදුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා බණ කියමින් විවරණය කළ සේත් ධම්මචක්ක පවත්තන සුත්ත යි. එහි විවරණය ත්‍රිපිටකය පුරාත්, ඉක්බිති එයට ලියූ අටුවා, ටිකා, ටිප්පනි, ගැටපද, ආදියේත් සටහන්ව ඇත. එය නිරන්තරයෙන් සාහිත්‍යයක් ලෙස අදත් වැඩෙමින් පවතී. මෙසේ ධම්මචක්ක දේශනාව අර්ථකථනය කරමින් මධ්‍යම ප්‍රතිපදාවක් ද, චතුරාර්ය සත්‍යයක්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ද, දස පාරමිතාවක්ද, කර්මවාදයක්ද, හේතුඵල වාදයක්ද, ත්‍රිශික්ෂාවක්ද, ආදි වශයෙන් නන්විධ කුලකගත කිරීම් මගින් අත්‍යන්ත ප්‍රායෝගික ස්වරූපයෙන් සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, නුවණැත්තන් විසින් සිහි එළවා විඳිය යුතු ලෝ දහම බුදු හිමියන් විසින් මැනවින් දෙසන ලද්දේ නොවේ ද ?

බුදුන් වහන්සේ ගිහි ජනතාවට ලෝ දහමේ ස්වභාවය තේරුම් කර දුන්නේ අපමණ දයාවෙනි, මහා කරුණාවෙනි. ගිහි ජනතාවට කරුණු තේරුම් කර දුන්නේ උපාසක උපාසිකාවෙනි යි අමතමිනි. ඔවුනට සිය දිවි රැක ගන්නට බෙහෙවින් දුක් විඳින්නට සිදුවන බව උන්වහන්සේ අත් දුටු සේක. එහෙයින් පොදු ජනතාවට බණ කීමේදී කවර ආකාරයක හෝ නියෝගාත්මක ශෛලීයක් අනුගමනය කළේ නැත. සඟ සසුනට විසිවස් ගිය තැන සඟුනට නීති පැනවීමේදී දැඩි නියෝගාත්මක පැනවීම් වලින් එය කර ඇති බව විනය පිටකයෙන් පැහැදිලි වෙයි. ජනතාවගෙන් සිවුපසය ලැබෙන විට සඟුනට ජීවත් වන්නට ගිහියනට මෙන් ශ්‍රමය වගුරුවන්නට නොසිදු වූ හෙයිනි. අකුසල් සිදු නොවන අයුරින් දිවි පෙවෙත පවත්වා ගෙන යා හැකි ආකාරය උන්වහන්සේ ගිහියනට පෙන්වා දුන් සේක. කුසලයක් සිදුවන හැටියෙන් යම් කටයුත්තක් කළහොත් එහි ආනිශංසයත්, අකුසලයක් සිදුවන අයුරින් යම් කටයුත්තක් කළහොත් එහි විපාකයත්, උන්වහන්සේ පැහැදිලි කළහ. එහි මූලික අරමුණ වූයේ ලෞකිකත්වය තුළ විමුක්තිය ලද හැකි ආකාරය විවරණය කිරීම යි.

‘පඤ්ඤාවන්තස්සායං ධම්මෝ’ (මේ දහම ණැනවතුන් සඳහාය) යි උන්වහන්සේ සඳහන් කළේ නිදහස් ලෙස තේරුම් ගන්නට වුවමනා අය සඳහායි යන අරුතිනි. එවිට ‘ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි’ හෙවත් ධර්මතාව තේරුම් ගෙන කටයුතු කරන්නා ඒ ධර්මතාව විසින් ම රකිනු ලැබේ ය යි සඳහන් වන්නේ ඒ නිසා ය. වුවමනාවක් තිබේ නම් එවැන්නකුට ඒ දහම තේරුම් ගන්නට හැකි අයුරින් බුදුන් වහන්සේ සිය දහම දේශනා කර ඇත. එය තේරුම් ගත හැකි පමණට අපටත් නිවුණු සිත් ඇත්තන් විය හැකි බවට සැකයක් නැත. ලෞකිකත්වය තුළ සම්මා ආජීවයෙන් දිවි පෙවෙත සලසා ගෙන ජීවත් වන්නට අදාළ පරිදි නිදහස් චින්තනයට යොමු කරන්නට, ‘නජච්චා වසලෝ හෝති” නජච්චා හෝති බ්‍රාහ්මණෝ’ කම්මනා වසලෝ හෝති, කම්මතා හෝති බ්‍රාහ්මණෝ’ වැනි දේශනා වලින් අපට බුදු දහම කියා දෙන්නේ කොතරම් ප්‍රායෝගික දහම් පද ද ?

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]