ලොව නොදෙවැනි
මහ ඇදුරු
නිර්මලා ද අල්විස්
තුන් ලොවට අග්‍ර වූ බුදුන් වහන්සේගේ ගුණ සමුදාය අනන්ත ය, අපරිමාණ ය.
ව්‍යවහාර පහසුව සඳහා එම ගුණ සමුදාය කැටිකොට නව අරහාදී බුදු ගුණ ලෙස
දක්වා ඇත. එයින් එක් ගුණයක් ලෙස සඳහන් වන ‘සත්ථා දේව මනුස්සානං’
යන්නෙන් අර්ථවත් වන්නේ දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ, ගුරු වූ යන්න අදහසයි.
බුදුගුණ අලංකාරය කතුවරයා විසින් දිවා රැයේ සිහි කරන්නට, කියන්නට සුදුසු
බුදුගුණ සමුදාය වර්ණනා කොට ඇති අයුරු, ඉතාම විශිෂ්ටයි.
බුදු දහම, බුදු සිරිත වගේම, බුදු ගුණ සඳුන් ගසක මෙන් කොටස් කොට තලා
පෙරලා විමසත්ම - තව තවත් සුවඳ විහිදුවන බව පෙනෙයි. එය පොතපෙත් එන
සදහනක්ම පමණක් නොව, ඕනෑම සමාජයකට ඕනෑම කාලයක් තුළදී ඕනෑම ප්‍රශ්නයකට
විසඳුම් ලබාගත හැකි ක්‍රියාකාරී ශක්තියෙන් පොහොනා දෙයකි. මෙවන්
වකවානුවක්, බුදුගුණ අලංකාරය කෘතිය මෙන්ම බුදු ගුණ පිළිබඳ තව තවත් විවිධ
කෝණවලින් විමසා බලන්නට නිසි කළ යැයි සිතේ.
ගුරුවරයා යනුවෙන් අරුත් ගැන්වෙන ‘සත්ථා’ හෙවත් ‘ශාස්තෘ’ යන පදයෙහි
අර්ථය අනුව තවත් ශාස්තෘන් වහන්සේ ගැන සිහි කළ හැකි ය. බුදුරදුන් දවස
පවා සුප්‍රසිද්ධ ෂඩ් ශාස්තෘන් වහන්සේ මෙන්ම පෙර අපර දෙදිගම විවිධ ආගමික
ශාස්තෘවරු විසූහ.
ඔවුහු ‘දේව භාෂිතයෙන්’ හෝ වෙනත් අදෘෂ්‍යමාන බලවේග වල නියෝජිතයන් ලෙස හෝ
ස්වයං චින්තනයෙන් ලබාගත් හෝ දැනුම හෝ අදහස් මනුෂ්‍ය වර්ගයාට කියා
දුන්හ. එම ශාස්තෘවරුන්ටද සිය ඉගැන්වීම්, පරම්පරාවෙන් පරම්පරාවට ගෙන
යමින්, ඒ වෙනුවෙන්ම කැප වූ බොහෝ ශ්‍රාවක පිරිස් වෙති. ඇතැම් ශාස්තෘන්
වහන්සේ ‘දේව පුත්‍රයන්’ ලෙස පෙනී සිටිති.
අදෘෂ්‍යමාන, පාර ලෞකික බලවේගයන්හි නියෝජිතයන් ලෙස පෙනී සිටිති. එහෙත්
බුදුන් වහන්සේ වෙනත් කවරකුගේ හෝ වෙනත් බලවේගයක හෝ නියෝජිතයකු නොවේ.
බුදුන් වහන්සේ ඒ සියලු බලවේග අතික්‍රමණය කළ අසමසම ශාස්තෘවරයාණන්
වන්නාහ.
බුදුන් වහන්සේගේ මහා කරුණාව දෙව්, මිනිස් තිරිසන් පේ‍්‍රත ආදී සියලු
සතුනට විහිදී ඇති අයුරු පෙනේ. එහෙත් දහම අසා දැන ගත හැකි වන්නේ දෙව්,
මිනිසුනට පමණකි. අලුයමට ද පෙර සාමාන්‍ය ජනතාව නිදන රැයේ දී සතර දිසා
ඒකාලෝක කරමින්, බුදුන් වහන්සේ වෙත එළැඹි දෙවිවරු විවිධ ගැටලු නිරාකරණය
කරගත්හ.
කිසිසේත් ප්‍රවාද යැයි බැහැර කළ නොහැකි මංගල සූත්‍රය ඇතුළු ප්‍රකට
සූත්‍ර ධර්ම ගණනාවක් හමුවන්නේ, ශ්‍රාවක දේව සමූහයා අරමුණු කොට ගෙන ය. ඒ
නිසයි, අප සම්බුදු පියාණන්ගේ ගුණ ලෙස “සත්ථා දේව මනුස්සානං ‘දේවාති
දේව‘ ‘බ්‍රහ්මාති බ්‍රහ්ම’ ආදී පර්යාය පද සටහන් වන්නේ.
සිදුහත් කුමාරයා මුලින්ම ශිල්ප හා ශාස්ත්‍ර හදාරා ඇත්තේ සර්ව මිත්‍ර
හෙවත් විශ්ව මිත්‍ර හා භරණ්ඩුකාලාම යන ගුරුවරුන් වෙතිනි. ඉන්පසු ලොව
දැනගත යුතු තවත් දේ සොයන්නට වනගත වී තවුස් වෙස් ගෙන අලාරකාලාම හා
උද්දකාරාම වෙත පැමිණ භාවනා මගින් ප්‍රගුණ කළ දේත් අඩුපාඩු සහිත නිසයි,
තවත් ගවේශණයෙහි යෙදුණේ.
ඒ අනුව විවිධ ක්‍රම සොයමින් දැනුම සොයා අවසායේ නවවන සමාපත්තිය අවබෝධ
කරගත්හ. ඒ ‘සංඥා වේදයිත නිරෝධ සමාපත්තියයි’. එය ඉන් පෙර කිසි
මනුෂ්‍යයකු අවබෝධ කොට නොතිබූ අතර, බුදුන් වහන්සේම සොයා අවබෝධ කළ දෙයකි.
ඒ නිසයි බුදුන් වහන්සේට න මේ ආචරියෝ අත්ථි - සදිසෝ මේ න විජ්ජති’ (මට
මේ කාර්ය සඳහා ගුරුවරයෙක් නැත. ඒ අතින් මා හා සමානයකු නොවේ) යනුවෙන්
උදානයකට හැකියාව ලැබුණේ එහි වැදගත් පැත්ත මූර්තිමත් වන්නේ ඊළඟටයි.
බුදුන් වහන්සේ ස්වයං ඤාණයෙන් සොයාගත් දේ මුලින්ම ලබා දෙන්නට කල්පනා
කළේ, ස්වකීය පුර්ව ගුරුවරුන්ට වීම.
ශාස්තෘවරයකු වශයෙන් බුදුන් වහන්සේ අවබෝධ කරගත් දැනුම් සම්භාරය ඉතා
දීර්ඝ කාලීන අධ්‍යයන ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසයි ඉදිරිපත් වන්නේ.
අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් යන මේ කාල වකවානුව අතිශයෝක්තියට බැර කොට
බැහැර කළත්, සම තිස් පෙරුමන් දිගු කලක් පිරූ බව නම් බැහැර කළ නොහැකි
යි.
පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා වශයෙන් ගුණාත්මකව වර්ගීකරණයවූ
පාරමිකා ඉතා සුවිශේෂ යි. පාරමිතා යනු, නැවත නැවත කිරීම තුළින් ලබන
පූර්ණ පුහුණුව හා අවබෝධයයි. සංසාරයේ ඇකි දුක්ඛ දෝමනස්සයන්ගෙන් සදාතනික
මිදීම කුමක් ද යන්නත්, එම නිවන් මාර්ගය අන්‍යයන්ට අත්පත් කරගන්නට
අවස්ථාව උදා කර දීමේ ශක්‍යතාව ලබා ගැනීමත් සඳහා යි. එම පාරමිතා දහම්
පුරනු ලැබුවේ
ඒ අනුව බලන විට සුවිශේෂ අධ්‍යයන රාටාවක් තුළ ඉතා දීර්ඝ කාලයක පෙර
පුහුණුව හා අධ්‍යයනය ලැබූ එකම ශාස්තෲන් වහන්සේ වන්නේ, බුදුන් වහන්සේම
පමණයි. අධ්‍යාපනය ගැන සඳහන් වන අවස්ථාවල බටහිර රටවල ඉතා ජනපි‍්‍රය
සිද්ධාන්තයක් දැකගත හැකි ය.
ජෝන්ට උගන්වන්න කලින් ජෝන් දැන උගත යුතුය යන්නයි. ඒ එම සිද්ධාන්තයේ ඇති
ගැඹුරුම ක්‍රියාකාරී ගුණය, මීට වසර දහස් ගණනකට පෙර බෝසත් පාරමිතා
මාර්ගය තුළින් දැක ගන්නට හැකිවීම, අපූර්වත්වයකි.
මෙලෙස අසම සම පෙර පුහුණුවක ප්‍රතිඵල ලෙස අවබෝධ කළ දර්ශනය ද ඉතාම
අපූර්වත්වයකින් යුතු වෙයි. සියලු අන්තවාදී වලින් මිදී මධ්‍යම
ප්‍රතිපදාවෙන් හේතුඵල න්‍යායට අනුව ජීවිතය හා සංසාරය අවබෝධ කරගන්නට
එයින් උගන්වයි. එහි අවසන් ඵලය වන්නේ, නිර්වාණයයි.
ඒ යථාවබෝධය පිණිස යන මග පහදා දීම පහසු කාර්යයක් නොවේ. විවිධ වූ විසම වූ
මනුෂ්‍ය සන්තානගත බැමි බිඳලීමේ දී පැමිණෙන ගැටලු අනේක ය.
එය මහෝඝයක් තරණය කිරීම හෝ උඩුගම් බලා පිහිනීම තරම් දුෂ්කර වූවකැයි ද
බුදුන් වහන්සේ අදහස් කළහ.
ඒ සඳහා යන මාර්ගයේ දී පුද්ගල සන්තානගත වෙනස්කම් වලට ගැලපෙන පරිදි විවිධ
අනුශාසනා තර්ක වැනි ක්‍රමවේද භාවිතා කොට ඇත. අනුපූර්ව ක්‍රමය,
චතුෂ්කෝටික ක්‍රමය ආදී එම ක්‍රමවේද අදත් ලොව පුරා අත්හළ නොහැකි
අධ්‍යාපනික ක්‍රමවේද ලෙස භාවිතයට ගනු ලැබේ. ඒ සියල්ල අතරින් ලබන අවසන්
විමුක්තිය යනු තවත් දෙව් පියාණන් කෙනකු හෝ ස්වර්ගයක හෝ වෙන යම්
බලවේගයකට නතුවීම නොව ඒ ඒ පුද්ගලයන් ස්වකීය නුවණින් අවබෝධ කරගන්නා
විමුක්තියකි. ඒ අනුව ශාස්තෘවරයකු වශයෙන් ශ්‍රාවකයනට මොලොව පරලොව
විමුක්තිය උදාකර ගැනීමේ ස්වයං අයිතිය හා වගකීම සම්පූර්ණයෙන් හිමි කර
දුන් එකම ශාස්තෘවරයාණන් වන්නේද, බුදු පියාණන් වහන්සේම ය.
එසේම පුද්ගලයකුට විමුක්තිය ලබා ගැනීමේ අයිතිය හා හැකියාව මෙලොවදීම ඇති
බව පවසන එකම ශාස්තෘවරයාණන් ද බුදුන් වහන්සේ ම ය. ආත්මවාදී දර්ශනවල
දැක්වෙන්නේ, පරම විමුක්තිය පුද්ගලයකුට ලබාගත හැකි වන්නේ මරණින් පසුව බව
යි. ආනාත්මවාදී දර්ශන වලින් මානව සදාචාරය උත්සාහය වැනි ගුණාංගයනට
පරස්පර වූ තත්ත්ව සංවේදනය කරයි. එහෙත් මේ දෙමං තලයම අතරින් වූ මධ්‍යම
ප්‍රතිපදාවෙන් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඇත්තේ ඉතා සුවිශේෂ වූ
සැනසිලි දායක පිළිවෙතකි. අවසාන විමුක්තිය නිර්වාණය වූවත්, මිනිසුන්
පෞද්ගලිකව හෝ සමාජගතව ලබන්නා වූ භෞතික සංවර්ධනය පිළිබඳ අවධාරණයද වැදගත්
ය. අන්‍යයන් හා සම්මිශ්‍රව -සැනසීමෙන් යුතුව මෙලොව දියුණුව ලබමින්,
විශ්වයේ යථා තත්ත්වය අවබෝධ කොට, මේ ආත්මයේදී ම නිවන ලබාගැනීමේ
ශක්‍යතාව, සම්බුද්ධ දර්ශනයේ ඇත. එපමණක් නොවේ, උන්වහන්සේ ඉතා
ක්‍රමානුකූ®ලව සියලු දෙයම කල් යල් බලා ආරම්භ කොට පවත්වා, පරිසමාප්තියට
පත් කළ ශාස්තෘවරයාණෝ ය. දීපංකාර බුදුරදුන් සමයෙන් ආරම්භ වී යැයි සටහන්
වන සංසාර ගවේශණ චාරිකාව පැමිණියේ තනිවම ද නොවේ. බෝධිසත්වයන් වහන්සේ
තමන් අත්පත් කරගත් දැනුම් සම්භාරය අන්‍යයන්ට ද බෙදා හදා දුන්හ. ඒ පිරිස
ද සසරේ වරින් වර එක් වී වෙන්වී, පාරමිතා පූරණය කරමින් පැමිණ අවසන් ආත්ම
භාවයේ දී සම්බුද්ධ ශාසනයේ විවිධ කොටස්කරුවන් ලෙස ඉතිහාසගත වී සිටිති. ඒ
භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස යි. උන්වහන්සේගේ
සොයා ගැනීම් හා ඉගැන්වීම් ඉතා නිවැරැදි ක්‍රමානුකූ®ල ස්වභාවයකින් යුක්ත
විය. ඒ නිසා එය අතරමඟ නවත්වන්නට සිදු නොවී ය. එම සේවාවට විරෝධතා පැමිණි
අවස්ථා ද දිගු කල් නොපැවතියේ ය. සසුන කඩාකප්පල් නොවී ය. ‘යං ඛො සත්ථාරා
කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකේන අනුකම්පාං උපාදාය කතං වො තං මයා
(අනුකම්පාව ඇති හිතෛෂී ගුරුවරයකු විසින් තමන්ගේ ශිෂ්‍යයනට යමක් කළයුතු
නම් මා ඒ සියල්ල ඔබට ඉටුකොට තිබේ) යනුවෙන් බුදුන් වහන්සේට උදම් අනන්නට
හැකියාව ලැබුණේ, ඒ නිසාම ය. ස්වකීය සේවාව ඉතා නිවැරැදිව ස්වභාවිකව ඉටු
කළහ. අවසන නිසි තරම් ආයූ ගෙවා ඉතා ස්වාභාවික ලෙස, නිවී සැනහී
පරිනිර්වාණය කළහ.
මෙලෙස සලකා බලන විට උන්වහන්සේ ඉතා නිවැරැදි මඟක - පැහැදිලි ලෙස ආරම්භ
කළ සද්ධර්ම මාර්ගය, අසම සම විය. එය තවදුරටත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන්
විග්‍රහ කොට බලන්නට යෙදුණේ ස්වකීය සේවාව ආරම්භ කරන්නට පෙරාතුව සත්
සතියක් ගෙවූ කාල වකවානුවේදී ම ය. තමනට සමාන වියතුන් සොයාගත නොහැකි නිසා
‘අහං සත්ථා අනුත්තරො’ (මම අනුත්තර වූ ගුරුවරයෙක්) ඒ අවබෝධ කරගත් ශ්‍රී
සද්ධර්මයම ගුරුත්තන්හි ලා සලකමි යනුවෙන් පැවසූහ. අවසානයේදී තමන්
වහන්සේගේ ඇවෑමෙන් පසු ‘යො වො භික්ඛවො ධම්මො ච විනායො ච දෙසිතො
පඤ්ඤාත්තො සො චො මමච්චයෙන සත්ථා’ වෙනුවෙන් මගේ ඇවෑමෙන් පසු මා දෙසූ
දහමත්, පැන වූ විනයත්, ඔබේ ගුරුවරයා වන්නේ යැ යි ස්වකීය ශ්‍රාවක පිරිසට
පැහැදිලි කොට දුන්හ. එම නිසා අතීතයේ දී ද වර්තමානයේදී ද මතු අනාගතයේදී
ද දෙව් මිනිසුනට අසමසම ශාස්තෘවරයකු වන්නට හැකි වන්නේ, බෝසත්
ප්‍රතිපදාවෙන් අරඹා බුද්ධත්වයෙන් පරිසමාප්තියට පත්වන, බුදුවරයකුටම
පමණකි. වෙනත් මඟක ක්‍රියා පිළිවෙතකින් අසමසම ගුරුවරයකු පිළිබඳ සළකුණක්
හෝ මෙතෙක් හමු වී නැත. |