ඇසළ පුර පෝදා විශේෂ ‘කවි සංකල්පනා’ විශේෂාංගය
ඡන්නයෙනි
සිදුහත් : ඡන්නයෙනි පිබිදෙන්න
කන්ථකව සරසන්න
නික්මෙන්න කාලයයි එළැඹියේ
මං ලකුණු නිකැළැල් ය යහළුවේ
ඡන්න : අසු එතෙර කළ නොහෙන
නේරංජන නදිය
ඔබැ ගමන් මඟ එයයි හිමියනේ
සිදුහත් : නේරංජන නදිය
දිය සිඳුණු කතරක් ය
මට මෙදා අතර මග යහළුවේ
ඡන්න : නගරය ම නිදිබර ය
උදෑසන නික්මෙන්න
දැන් යහනැ සැතැපෙන්න හිමියනේ
සිදුහත් : මුළු ලොව ම අවදි කොට
නැණ ළහිරු දල්වන්න
නො පමාව යා යුතු ය යහළුවේ
මහාචාර්ය සුනිල් ආරියරත්න
ගේය පද රචනයකි
ඇසළ සඳ
මහ පස් විලෝකනයෙන් සතපවා හද
මහ බෝ සතාණෝ මේ මනු ලොවට වැද
මහ මායා කුසෙහි පිළිසිඳි දවස අද
මහ සතුටකින් හස රැල්ලක ඇසළ සඳ
සුන්දර මුහුණ දැක්මට දොර අරින ලද
ඉන් සැදි ඉඩෙන් රිංගා සිත සතුට මැද
පින්වත් රහල් නිදි සුව සිරි යහන වැද
රන්කිරි පොවනවද සුන්දර ඇසළ සඳ
සැනසිලි ගතිය නැත සක්විති සුවය විඳ
දුහුවිලි නැඟෙන කන්ථක කුර පහර වැද
පියැවිලි එළා මඩිනා මාවතේ මැද
මඟ එළි කළා පෙරමුණ ගත් ඇසළ සඳ
දියනා මුව ගැබින් මිගදා පියස මැද
ගැයෙනා මොහොතෙ ලොව සැනසූ මිහිරි පද
පිපුණා තවුස් කැල සිත් විල දහම් කොඳ
දිලුණා පෙරඹරෙහි එදිනත් ඇසළ සඳ
සරණින් එදා උඩවර රජු පුදන ලද
සියමෙන් උදා කළ නව බොදු එළිය මැද
උපසම්පදාවට තෙරවරු වඩින සඳ
තරුමල් පුදා වැඳ වැටුණා ඇසළ සඳ
උවසුන් උවැසියන් ගේ ඔපකරන හද
අරමෙන් නැඟෙන තෙරුවන් ගුණ සුවඳ විඳ
යතිඳුන් එළැඹෙනා පෙරවස් දිනය අද
හිනැහෙන් නිල් අහස් කුස හිඳ ඇසළ සඳ
මුවගම්මන - සිද්ධත්ථාරාමයේ
බුලත්සිංහල ධම්මානන්ද හිමි
පර මඬුලු
සිංහල බල පරමඩලෙහි රඟවා
එක් සත් කොට රට ජය දද බඳවා
විජය බාහු මහ රජ බල යොදවා
රැක ගති මියුගුණ උවදුරු මුදවා
සොලී බලය මුලිනුපුටා මවු බිම
නිදහස් කර ගනුවට තම බල හැම
මෙහෙයූ මහ බළ මුළු සිට මාගම
ඇදුණේ මහ වැලි ගඟ බඩ පෙරටම
දහස් කොටින් පුලතිසි නුවරට වැද
පර සතුරන් වනසා ජය කොඩි බැඳ
අන්තිම මහ සටනට සැරැසෙන සඳ
පසු වූයේ මියුගුණයෙහි මහ රද
නුදුරින් මියුගුණ මහ සෑ රදු හට
බළ කොටුවක් තනවා සවිමත් කොට
කඳ විටි ගස්වා ගෙන එඩියෙන් සිට
පහර දෙවී සතුරන් හට පිට පිට
යුද ජය ගෙන ජය සිරි කෙළි කෙළවා
පොළොන්නරුව අගනුවරක් කරවා
විජය බාහු සිහලිඳු බල මොළවා
ජාතිය නැංවී සතුරන් පලවා
මියුගුණ සෑයෙහි නව පිරියම් කොට
ජන නා මඩලට නුදුරු දහස් තොට
මහ වැලි නදියේ සීමා වට කොට
මහණ මහලු කම් කැරැව් මොන වට
මෙ රටට අරමණයෙන් වැඩි මහ සඟ
සබයෙහි සිත් බැඳ ගත් මහ වැලි ගඟ
පිරිහුණු සසුනෙහි පුනරුදයෙක දිග
පුවතක් පවසයි පිනවන හෙළ වග
සිරි පා විඳින්න යන බැතිමතු නට
සැනසෙනු සඳහා වෙහෙස නිවනු වට
ගිලීමලය ගම්වරයක් පුද කොට
තැනී ගිමන් හල් කෙහෙල් ගමුවෙ සිට
කලාකීර්ති පණ්ඩිත විමල් අභයසුන්දර
බෝ මළුවේ සඳ නැති රැයක්
බෝ මළුවෙ මල් සුවඳ මතකයට යාවෙලා
පිය නඟමි පන්සලට වැව අසල හුදෙකලා
සඳ නොදුටු ගන අඳුර හොර රහසෙ බිම බලා
වැලි මිදුල තුරුළුකොට සිඹ වැලැඳ වැතිරිලා
නිදන කඳු පෙළ ඈත ගිලුණු තරු පොකුරු ගැන
මවන මතකයෙ සිහින කඳුළු කැට ලෙස පැමිණ
අඳුරුබර දිගු රැයක විඩාබර ගත නිවන
සිහිල් වැසි පොදක ඉව පාළු මසිතට දැනින
අන්තිම ම තෙල් බිඳත් උරාබිව් පහන් සිල
නිවී ගොස් ඉතිරි කොට කැකෑරුණු කර සුවඳ
හාත්පස බෝමළුව ගන අඳුර ගිල ගත්ත
මිදුණු සීතල සුළඟ වදුලු තුළ කැදැලි බැඳ
දිවා කල කොවුලනේ් තෙපි මිමිණු ගී මිහිරි
නො ඇසෙනා දුර ඈත ඉසව්වක සැඟවිණි ද
නො එසේ ව උලමෙකුගෙ ලතෝනියකට බිය ව
නිදනව ද තුරු අගක පපුතුරෙහි සඟවගෙන
ඇසෙන ඈතින් සෙමෙන් විරාමෙන් විරාමෙට
හිත කීරි ගැසී යන බස්සකුගෙ අපුල හඬ
පෙර නිමිති පහළ කොට බැඳි සිතක වියෝවක
තතු කියයි ලෝ දමක නියාමෙක සදාතන
ලදළු බෝපත් සිහින් කෙඳිරියෙන් පවසනා
ගැඹුරු දහමක තතු ය සිත මගෙන් විමසනා
ඉතිරි කොට පහස ලද වැලි පොකුරු මළුව මත
වෙහෙසකර ගමන ආ දෙපා කොහි සැඟවිණි ද ?
බෝගන සේන බෝකන්ද
වණ්ණුපථ
තාරකා ලකුණු ගැන ගෙවා ගව් ගණන් දුර
මෙතෙක් දුර පැමිණියෙමි වාලුකා කතර මැද
ගොනු ද ආපසු හැරිණි ගෙනා දර පැන් නිම ව
ගැලෙන් බැස සොයා යමි නහඹු ඊතණ පඳුර
චණ්ඩ හිරු දවාළයි පිපාසිත මරු කතර
මිරිඟු දිය අත වනයි ඈත ක්‍ෂතිජයේ සිට
මෙතෙක් දුර සෙනෙහසින් මඟ කියා නිවී ගිය
උතුරු තරුවේ කියන් මං ලකුණු වැරැදිණි ද ?
තුමුල පැනසර නැණින් පසිඳලනු පිණිස මඟ
උගත් සූ සැට කලා පාරගත වී ගියෙන
ඇඳුරුපාණෙනි දයා කුලුණු ගුණ පෙරදැරි ව
ගැලින් බැස එනු මැන ව අතැර දික් සඟලාව
බඹ සතක් පොළෝ කැණ අසා දිය ගලන හඬ
යකුළු බා සෙල් පුවරු විසුණු කළ හැකි වේ ද ?
නාඹ තල් කඳන් සේ නැඟ සුනිල දිය ඌල
ඉසිඹු ලැබ දෙනු මැනව දුක් තැවුල් නිමාකර
එම්. එම්. එල්. පී. කේ. මාපා
චල - අචල
සුළඟ
හමා එයි දසතින්
ලෙන් දොර අස
නෙක තුරු පෙළ
සැලේ ම ය
ඒක ඝන ය ලෙන !
ලෙන තුළ
තවුසාණන් අබිමුව
පහනෙහි සිළ
සැළේ ම ය
එ පහන් සිළෙන්
ලෙන් බිතෙහි ඇඳි
තවුසාණන් ගෙ
විසල් සෙවණැල්ල ද
සැලේ ම ය
අංග
ප්‍රත්‍යංග
මදකුදු නො සැලෙන
තවුස් තෙම
ලෙන් දොර අස
ගෙඟෙන් ගොඩ දැමූ
මසකු සැලෙන අන්දම
නොසැලෙන ඇසින් බලා හිඳී
නිමල් උඩගෙදර
‘නෙළුඹු ඇට’ නම් අභිනව කාව්‍ය සංග්රහයෙනි
ආපසු බැලීමි
වැටි වැටී ආ මඟ
ගිරග මුදුනට
රංචුවෙන් මිදී
එකලා ව ම
ඔටුනු දරන තන්හාවෙන්
දුක් ම විඳ
මගේ ම කඳුළු දහදියෙන්
තැනූ සිරගෙය තුළ හිඳ
පැලැඳගත් සිනාවෙන්
ආචාර කරමි
ගිරි පාමුල වෙත
මහා තනිකම ගැන
පැවසිය හැකි ද කා හට
බොහෝ අය තරණය කරන්නට
තැත් දරති ගිරි හිස
ඔවුන් දන්නවා නම්
ගිරග තනිකම
කිත්සිරි කොතලාවල |