UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිදුහත් සිරිත විනිවිද දුටු සිද්ධාර්ථ වේදිකා නාට්‍යය

රචනය හා අධ්‍යක්ෂණය - රත්නසිරි පරණවිතාන

නිපැයුම - ගාමිණි මලවැන්නගම

රත්නසිරි පරණවිතානගේ සිද්ධාර්ථ වේදිකා නාට්‍ය පිටපත ඉතා ගැඹුරින් සිදුහත් සිරිත හැදෑරීමේ ඵලයක් ලෙසයි අපට හැඟුණේ. හේතුව ඔහු කටු කොහොල් හැර පියා සැබෑ සිදුහත් සිරිත ගවේෂණයට අපමණ වෙහෙසක් ගෙන ඇති නිසයි. ඒ සොයා ගත් හා නිරීක්ෂණයට ලක් වූ කරුණු ඇසුරෙන් ඔහු රචනා කළ නාට්‍ය පිටපත පාදක කරගෙන නිපැයු වේදිකා නාට්‍යය අපට ඉතා අපූරු අත්දැකීමක් වූ බව කිව යුතුයි. මූලිකව වේදිකා නිෂ්පාදනයක මට්ටමින් සිද්ධාර්ථ වේදිකා නාට්‍යය මෑතක වේදිකාවේ කිසියම් වෙනසක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. නිදසුනකට සිදුහත් කුමරුගේ අංග රචනය හා සළුපිළි සලකන්න. එය ඉතාමත් ආටෝපමත් බවේ උපරීමයට (සිදුහත් යසෝධරා මංගල්‍යය දක්වා) නැංවෙද්දී අපට සිතුණේ මෙය ආටෝපවත් වැඩි දෝ කියායි. එනමුදු චරිතය ඥාන ගවේෂණයට පියවරින් පියවර ඔසවන විට, ඒ ඇඳුම් පැළඳුම් ආටෝපය වියැකී යමින් කසා වතට සමීප චාම් ධෝනියක් දක්වා පහළට එයි. චරිතයේ ස්වභාවය, උදාර බව, ඥාන ගවේෂී බව, දැනුමින් පිරි අයෙකුගේ නිහතමානි ගුණය, ඉවසීම ආදී විවිධ පැතිකඩ පුරා විහිදෙන සිදුහත් සිරිත පාදක වූ චරිතය රංගනයට අතිශය උචිත රංග වින්‍යාශයක් ජානක පෙරේරා රංග ශිල්පියා ලවා අධ්‍යක්ෂ රත්නසිරි පරණවිතාන නිර්මාණය කරගෙන ඇති ආකාරය තෘප්තිමත් විය හැකි මට්ටමක පවතී. අප කියන්න තැත් කරන්නේ අධ්‍යක්ෂ පරණවිතාන හැම දෙයක්ම උචිතානුචිත භාවයෙන් යුතුව, සංයමයෙන් හා ප්‍රතිභාන්විත අයුරින් හසුරුවාගෙන ඇති බවයි. එනිසාම සිද්ධාර්ථ අවශ්‍ය මට්ටම දක්වා වර්ධනය කර ගන්නා ලද නිපැයුමකියි කිව හැකිය.

වඩාත්ම අපගේ සිත් ගත්තේ සිදුහත් සිරිත මසින් ලෙයින් සැදී පෘථග්ජන සාමාන්‍ය මිනිස් චරිතයකැයි හඟවන බොහෝ අවස්ථා හා සිද්ධි සිද්ධාර්ථ නාට්‍යය පුරාම දිස්වීමයි. නිදසුනකට සිදුහත් සිය උපන් අවස්ථාව පිළිබඳව කටට නංවා ඇති දෙබස් සලකන්න. සත් පියුම් මත වැඩ සිටීම අරබයා කියැවෙන දෙබස් ඛණ්ඩය සම්ප්‍රදායික බෞද්ධ සිතුවිල්ලට එරෙහි වූවක් බවට කිපිය හැකිය. එහෙත් අධ්‍යක්ෂ පරණවිතාන සිදුහත් සිරිත් අරබයා දක්වන ආකල්පය මෙහිදී හෙළි වෙයි. බුද්ධත්වය බඳු උත්තරීතර තත්ත්වයක් අත්කර ගැනීමට වෙර දරන්නේ මිනිසෙකි. දෘඪතර අධිෂ්ඨානයක් තිබුණාද, හෙතෙමේ ද මසින්, ලෙයින් මව්කුසින්, දස මසක් ඇවෑමෙන් උපත ලද සාමාන්‍ය දරුවෙකි. පිටපත් රචක හා අධ්‍යක්ෂ රත්නසිරි පරණවිතාන විසින් අභිපේ‍්‍රත සිදුහත් සිරිත නිර්මාණය අරබයා ඔහු වෙත ඇත්තේ අතිශයෝක්තියේ පුරාණෝත්තියේ හා ඇදහිලි විශ්වාස ආදී කටු කොහොල් පාදා සිදුහත් නම් ඇත්ත මිනිසා ඉස්මතු කර දීමේ නිර්මාණාත්මක අධ්‍යාශයකි. එය සැබෑ මිනිසකුගේ රුව ගුණ මතු කිරීමට ගත් ප්‍රයත්නයකි. එය වඩාත් ඉවහල් වන්නේ සත්‍යකාමී මිනිසකු මතුකර පෙන්වීමයි.

ශිල්ප දැක්වීම, කාන්තා රූපයක නිර්මාණය ආදී සිද්ධි ඒ සිදුහත් සිරිත තව තවත් ඉස්මතු කරන සුළුය. අවසාන අභිනිෂ්ක්‍රමණ අවස්ථාවද අපූරුවකි. නිබ්බත පුරාවෘත්තයක රඟ දැක්වීමට පැමිණි රංග ශිල්පී යුවල නාට්‍යය උද්දීපනය කරන්නකි.

අධ්‍යක්ෂවරයා නාරි රුවෙහි ලාලිත්‍යය ඉස්මතු කිරීමෙහි කිසියම් භාව භාව ලීලා දැක්වෙන ඉරියව් ඉස්මතු කිරීමට වෙනස් අයුරකින් ඉරියව් හසුරුවා ඇත. එය තරමක් සම්ප්‍රදායික රසික මනස කළඹන්නක් ලෙස හැඟුණද පුදුම විය යුතු නැත. අධ්‍යක්ෂකවරයාගේ අරමුණ අපට පැහැදිලි ය.

නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නැයි යන පුරාවෘත්තය අධ්‍යක්ෂවරයා අභිනිෂ්ක්‍රමණ අවස්ථාවට උපයෝගී කර ගන්නේ නව අරුතක් මතු කරමිනි. එය සමස්ත සිදුහත් සිරිතේම අදහස හකුළුවා ගන්නකි. සිද්ධාර්ථ සෙවුයේ ගවේෂණය කළේ මරණයට විකල්පයකි. නැවත ඉපැදීමට පිළියමකි. එහි නිවීමකි. නාට්‍යය නිමවන්නේ එසේ ය. නාට්‍ය පෙළෙහි බසද අපගේ අවධානයට පාත්‍ර විය. එය සම්භාව්‍ය සිංහලය - සරල සිංහලයෙහි සම්මිශ්‍රණයකි. එය රසිකයාට වටහා ගැනීමෙහි අසීරු භාෂා ව්‍යවහාරයක් නොවෙයි. අනෙක වියළි භාෂා භාවිතයක්ද නොවෙයි. නාට්‍යෝචිත භාෂා භාවිතයකි. පොදුවේ මේ නාට්‍යයෙන් රසික මනස දශමයකින් හෝ ඉහලට නැංවීමේ යහ ගුණය ඇත.

නාට්‍යයෙහි දුබල තැන්ද නැතිවා නොවේ. ප්‍රශස්ති ගායනා අත්වැල් කණ්ඩායම හා ගී වාදනය එකිනෙක හා පෑහුනේ නැත. ඊට යොදා ගත් පිරිවරද ප්‍රමාණවත්ද යන්න අපට පැනයක් විය. නිෂ්පාදනයේ ඒකමිතිය බිඳෙන අවස්ථා වූයේ ප්‍රමාණවත් සංවිධාන දුර්වලතා නොවූ හෙයිනියි සිතේ.

තවත් එක් කරුණක් , නාට්‍ය භාවිතා යෙදුම්වල නිෂ්පාදකයා වූ කලී නාට්‍ය අධ්‍යක්ෂවරයා මිස, අර්ථපතියා නොවේ. එනිසා ‘ගාමිණි මලවැන්නගම ඉදිරිපත් කිරීමක්’ ලෙස හඳුන්වා දුනි නම් වඩා උචිතයි. කෙසේ වුවත් නිවේදක වෘත්තිකයෙකු වන ගාමිණී මලවැන්නගමගේ අර්ථපතීත්වය හේතුවෙන් මෙවන් නාට්‍යයක් ඉදිරිපත් කිරීම මෙවන් කාල වකවානුවක නාට්‍ය කලාවට කළ ‘මහඟු අනුග්‍රහයක් සේම, සුවිශාල මෙහෙවරකි. එහෙත් නාට්‍ය සංවිධානයෙහි මෙයට වඩා සියුම්ව කරුණු - කාරණා සංවිධානය කිරීම මේ කාලයෙහි වඩා අවශ්‍ය යි. නාට්‍ය නිෂ්පාදනය පවත්වාගෙන යාම මේ කාලයෙහි නාට්‍ය ඉදිරිපත් කරන අර්ථපතීන්ගේ සුවිශාලම අභියෝගයයි. අඩුම වශයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වත්, එසේ නැත්නම් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වන් මෙවන් සුවිශේෂ ආගමික සිරිතක් පාදක කරගත් නාට්‍ය අඩුම වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර විසිපහක රඟ දැක්වීමේ අනුග්‍රහය ලබා දෙයි නම්, ඉතා අගනා බව යෝජනා කරමි. ඉන් දහම පිළිබඳ දැනුමක් මෙන්ම, නාට්‍ය රස වින්දනයක් ද නො අඩුව ලබාදිය හැකි වනු ඇත. සිදුහත් සිරිත පාදක කර නිමැ වූ මේ සිද්ධාර්ථ වේදිකා නාට්‍යය අත්හදා බැලීමක මට්ටමින් ප්‍රදර්ශනයට මේ අනුග්‍රහය පළ වෙතොත් එය දහම් දැනුම ප්‍රචලිත කිරීමටත් නාට්‍ය කලාවටත් ලැබෙන මහඟු අනුග්‍රහයකි.

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]