Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහමේ දැක්වෙන ගිහි-පැවිදි අන්තර් සබඳතාව

සමාජයක ජීවත්වන පුද්ගලයාට(Person)  විවිධ පුද්ගල අවශ්‍යතා(Personal Needs) ඇති වීම අනිවාර්ය ලක්ෂණයකි. එම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා කරනු ලබන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සමාජ සංස්ථා (Social institutes) බිහි වේ. මෙම සංස්ථා සමාජයක පවතින සිරිත් , විරිත්, ජනවිධි, ආචාර ධර්ම, පුද්ගල භාවිතය තුළින් අවිඥානිකව ක්‍රියාත්මක වීමේ දී මූලිකත්වය ගනු ලබයි. ඒ අනුව සමාජ හැඩ ගැස්වීම් වලදී නිත්‍ය ඒකකයක් ලෙස සමාජ සංස්ථා ක්‍රියාත්මක වෙයි.

බෞද්ධ සමාජය තුළද ප්‍රධාන සමාජ සංස්ථා දෙකක් දැකිය හැකිය.

එනම්,

01.පැවිදි සංස්ථාව

02.ගිහි සංස්ථාව ලෙසිනි.

මින් ගිහි සංස්ථාව මහා සංස්ථාව වන අතර සෑම දෙනාම ගිහියෙකු ලෙස උපත ලබමින් මෙහි සාමාජිකත්වය ලබා ගනී. ගිහි සමාජය තුළින්ම ප්‍රභවය වූ පැවිදි සංස්ථාව බාධා රහිත ඒකකයකි(අබ්භෝකාසෝ පබ්බජ්ජා) මෙම සංස්ථා දෙකින් නිර්මාණය වූ බෞද්ධ සමාජයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ මේ දෙකෙහි එකිනෙක අතර ඇතිඅන්‍යෝන්‍ය සබඳතාවයි.
(Inter Relationship) තරමක් විමසිලි සහගත බවකින් මෙම සංස්ථා දෙක පිළිබඳ අධ්‍යයනයක යෙදුනහොත් එහි ඇති අන්‍යෝන්‍ය පරායත්තතාව (Inter dependence) නැතහොත් එක් සංස්ථාවක් අනික් සංස්ථාව සමඟ පවත්වන වෙන් කළ නොහැකි සබඳතාව වටහා ගතහැකි වෙයි.

බෞද්ධ සමාජයේ ක්‍රියාත්මක හැම සමාජ ක්‍රියාකාරකමකදී “Modern” (Social Activities) මෙම ගිහි පැවිදි සංස්ථා දෙකෙහිම එකතු වීම අනිවාර්ය ලක්ෂණයකි. ඒ තුළින් බෞද්ධ සමාජ සංස්ථාවේ ක්‍රමානුකූල පැවැත්ම තහවුරු කරයි. ඒ නිසා බෞද්ධ සමාජයේ නොසිඳි පැවැත්ම තහවුරු කිරීම පිණිස මෙම ගිහි පැවිදි සංස්ථා දෙකෙහි එකතුව ඍජුවම බලපාන බව පෙන්වා දිය හැකිය.

බොදු සමාජයෙහි ගිහි පැවිදි සංස්ථා දෙක එක් කරන සුවිශේෂී කාලයක් ලෙස වස් සමය හැඳින්විය හැකිය. එයින් ඇසළ පොහොය ඒ සබඳතාවල සමාරම්භක අවස්ථාවයි. මෙහිදී උත්සාහ කරන්නේ ඇසළ සමයෙන් ඇරැඹෙන ගිහි පැවිදි අන්තර් සබඳතාවල සුවිශේෂී කාල පරාසය වඩාත් ඵලදායි කරගනු වස් බුදුන් වහන්සේ විසින් නිර්දේශිත ගිහි පැවිදි අන්තර් සබඳතා පිළිබඳ විමසීමක් සිදු කිරීමටයි.

ගිහි පැවිදි අන්තර් සබඳතාව පිළිබඳව විමසීමේදී එම සබඳතා ආකාර දෙකකින් සිදුවන බව හඳුනා ගත හැකිය. ඒ

1.ගෘහස්ථ දායක දායිකාවන් පැවිදි පක්ෂය සමඟ පවත්වන අන්තර් සබඳතාව

2.පැවිදි පක්ෂය ගෘහස්ථ දායක දායිකාවන් සමඟ පවත්වන අන්තර් සබඳතාව

යනුවෙනි. බැලූ බැල්මට මේ දෙකෙහි වෙනසක් දැකිය නොහැකි වුවද ගෘහස්ථයන් පැවිද්දන් සමඟ සබඳතා ගොඩ නැගීමේදී හා පැවිද්දන් ගෘහස්ථයන් සමඟ සබඳතා ගොඩනගා ගන්නා ආකාරයේ වෙනසක් ඇත. දීඝ නිකායේ පාටික වග්ගයේ සිගාල සූත්‍රයේ ගිහි දායක දායිකාවන් පැවිදි පක්ෂය සමඟ අන්තර් සම්බන්ධතා ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳ කරුණු සඳහන් වේ. එහිදී ගිහි දායක පක්ෂය පැවිදි පක්ෂය සමඟ සම්බන්ධ වීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ කරුණු 5 ක් දැක්වේ. ඒවා නම්,

1.මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම (මෙත්තේන කාය කම්මේන)

2.මෛත්‍රි සහගතව කථා කිරීම (මෙත්තේන වචී කම්මේන)

3.මෛත්‍රී සහගතව සිතිවිලි පහළ කර ගැනීම(මෙත්තේන මනෝ කම්මේන)

4.නිවසෙහි දොර විවෘතව තැබීම - නිවසට එන විට සැදැහැ සිතින් පිළිගැනීම (අනාවට ද්වාරතාය)

5.ආමිසයෙන් සංග්‍රහ කිරීම (ආමිසානුප්ප දානේන)

යන්නයි.

මේ අනුව ගිහි දායක දායිකාවන් පැවිදි පක්ෂය සමඟ ගොඩනගන අන්තර් සබඳතා ඉතාම පි‍්‍රය ශීලීව, සතුටු සිතින් සිදු කරන ක්‍රියාවලියක් බව පෙනේ. ඔවුන් පැවිදි පක්ෂය වෙත සිදු කරන ආමිස සංග්‍රහයට පුර්වව තම සිතිවිලි, වචන හා ක්‍රියාවන් සුසංවිධිත බවට පත්කර ගත යුතුය. ඉතා සැදැහැයෙන් පැවිදි පක්ෂය පිළිගැනීමට අවශ්‍ය පරිසරය සකස්කර ගත යුතුය. ඉනික්බිතිව ඒ සබඳතා වඩා තහවුරු කර ගැනීම පිණිසත්, තම විමුක්තිය උදෙසාත් පැවිදි පක්ෂය වෙත සංග්‍රහ කරණු ලබයි. ඒ අනුව එම ආමිස සංග්‍රහ ය නියමයක් හෝ නීතියක් නොව චිත්තාභ්‍යන්තරයෙන් පැනෙන උත්තම පූජාවක් පමණි.

ගිහි දායක දායිකාවන් පැවිදි පක්ෂය සමඟ පවත්වන අන්තර් සබඳතාවන් වලදී ආමිසයෙන් සිදු කරන සංග්‍රහය භෞතිකමය සම්බන්ධතාවයකි. මේ නිසා එම සම්බන්ධතාවය ගිහි පැවිදි උභය පක්ෂයම අගතිගාමී නොවී පවත්වා ගත යුතු වගකීමෙන් යුතු අන්තර් සම්බන්ධයකි. එසේ නොවුනහොත් ගිහි පැවිදි සබඳතා බිද වැටී යම් ගැටලුවක් නිර්මාණය විය හැකිය.

ගිහි පක්ෂය පැවිදි පක්ෂයටත්, පැවිදි පක්ෂය ගිහි පක්ෂයටත් අපවාද,චෝදනා හා නිගරු කිරීම් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථා ඇති විය හැකිය. මේ නිසා බුදුන් වහන්සේ පැවිදි පක්ෂය ගිහි දායක දායිකාවන් සමඟ ගොඩනගා ගන්නා අන්තර් සබඳතාව වඩාත් විනයකාමීව හා නිර්වාණ සාධනය අපේක්ෂාවෙන්ම සිදුකළ යුතු බව පෙන්වා දුන්හ.

පැවිදි පක්ෂය - ගිහි පක්ෂය සමඟ ගොඩනගන අන්තර් සබඳතා කිසිදු විටක ගිහි පක්ෂයට කරදරයක්, බාධකයක්, ලතැවිල්ලක්, අසතුටක් ගෙන දෙන ක්‍රියාවලියක් නොවිය යුතු බව බුද්ධ නිර්දේශයයි. එහිදී උන් වහන්සේ පැවිදි පක්ෂයට නිර්දේශ කරන්නේ බමර උපමාවයි. ධම්ම පදයේ පුප්ඵ වග්ගයේ ඒ පිළිබඳව සඳහන් වේ.

ඒ තුළින් බුදුන් වහන්සේ අවධාරණය කිරීමට උත්සුක වී ඇත්තේ පැවිදි පක්ෂය ගිහි දායක දායිකාවන්ට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන පීඩකයෙක් නොවිය යුතු බවයි. එමනිසා පැවිදි පක්ෂය කිසිම විටක කිසිදු අයුරකින් පීඩකයෙක් නොවිය යුතුමය.

අන්‍යයන් සමඟ ඉතාම සහෘද අන්තර් සබඳතා පවත්වන්නකු විය යුත්තේමය.

කෙනෙකු පිළිකුල් කරන, වෛර කරන, ක්‍රෝධ කරන ද්වේෂ කරන තැනැත්තකු නොවිය යුතුය. සැදැහැ සිතින් සබඳතා පැවැත්විය හැකි තැනැත්තකු බවට පත් විය යුතුමය.

පැවිදි පක්ෂය , ගිහි පක්ෂය සමඟ අන්තර් සබඳතා පැවැත්වීමේදී පැවිදි පක්ෂය අනුගමනය කළ යුතු ක්‍රියා විධීන් ‘සඳ’ උපමාවට ගනිමින් (චන්දෝපමාව ) බුදුන්වහන්සේ අවධාරණය කර ඇති සේක. සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ චන්දූපම සූත්‍රයෙහි මේ පිළිබඳ සඳහන් වේ.

“මහණෙනි ගිහියන්ගෙන් කයත් ඉවත් කර ගෙන, සිතත් ඉවත් කරගෙන හැම කල්හිම ආගන්තුකව චන්ද්‍රයා මෙන් ගිහියන් කරා එළබෙව්” පැවිද්දා ද සඳ සේ ගිහි දායක දායිකාවන් සමඟ සුවිශේෂී මිතුරුකමක් හෝ ඇල්මක් නොමැතිව දිගුකාලයක් ඇසුරු කල ගිහි භවතුන් සමඟ වුවද ආගන්තුක සේ සබඳතා පැවැත්විය යුතුය. තමන්ට ලැබෙනා ආමිසය වැඩි වුවද, අඩු වුවද සම සිතින් සම මෙතින් පිළිගත යුතුය.

එසේම ගැඹුරු ළිඳකින් පැන් ගන්නා තැනැත්තකු තම සිත කය ළිදට බර නොකර පසු පසට බරවී ළිඳේ නොවැටී පැන් ගන්නාක්මෙන් පැවිද්දන් විසින් ගිහියන් හා නොඇලෙමින් සිත කය දෙකම පිටු පසට බර කර, පසු පසට ගෙන අන්තර් සබඳතා පැවැත්විය යුතු බව චන්දූපම සූත්‍රයෙහි දැක්වෙයි. ඒ වගේම සුවිශේෂවම ගිහි ජනයාගේ කාර්යයන් වලට බද්ධ වී ඒවා ඉටු කරනා තැනැත්තකු බවට භික්ෂුව කිසිසේත්ම පත් නොවිය යුතු බවත්, බුදුන් වහන්සේ එහිදී පෙන්වා දෙති. මෙකී කාරණා අවධාරිත කිරීමෙන් බුදුන් වහන්සේ අපේක්ෂා කරන්නට ඇත්තේ පැවිදි පක්ෂයේ භූමිකාව නිසි පරිදි ඉටු කරමින් පැවිද්දේ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසා දිමත් ගිහි ජනයාගේ කාර්යයන් ඉක්මවා කටයුතු කරන පැවිදි සමාජයක් නිර්මාණය නොකිරීමටත්ය.

කෙසේ වුවද, ගිහියන් හා අන්තර් සබඳතා පවත්වමින් තම පැවිදි ජීවිතය ගත කිරීමට පැවිද්දන්ට සිදු වේ. එසේ නොමැති වූ විට පැවිදි දිවිය අති දුෂ්කර වේ. එසේ වුවත් “ ගිහි පක්ෂය අපට සැළකිය යුතුමය කියා භික්ෂුව කිසිදු විටක නොසිතිය යුතුය.” “යම් භික්ෂුවක් ගිහියන් මට දිය යුතුමය. ස්වල්පයක් නොව බහුලව දිය යුතුය. අමිහිරි දෙයක් නොව මිහිරි දෙයක්ම දිය යුතුය. පමා නොවී අප්‍රමාදව දිය යුතුය. ඉතා සැළකිල්ලෙන්ම දිය යුතුය යන සංකල්පනාවෙන් ගිහිදායකකාරකාදීන් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමට සිතන්නේ නම් එය සුදුසු නොවෙයි. මෙම සංකල්පනාවන්ගෙන් බැහැර වූ පැවිද්දාම ගිහි භවතුන් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමට සුදුසු බවත්. අන් අය සුදුසු නොවන බවත් බුද්ධ නිර්දේශයයි.(කස්සප සංයුත්තය)

දෙනු කැමැත්තෝ දෙත්වා, නොදෙනු කැමැත්තෝ නොදෙත්වා සළකනු කැමැත්තෝ සළකත්වා නොකමැත්තෝ නොසළකත්වා යන අදහසින් හා ලබන කැමැත්තෝ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වා”, යි කුලයන්හී නොඇලේද, තමන්ට ලැබීමෙන් යම්සේ සතුටු වන්නේද, අනුන්ට ලැබීමෙනුත් ඒ හා සමානව සතුටු වේද එබදු පැවිද්දා ගිහියන් වෙත එළැඹීමට හා ඔවුන් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමට සුදුසු බවත් අන්‍යන් සුදුසු නොවන බවත් චන්දූපම සූත්‍රයෙහිම බුදුන් වහන්සේ සඳහන් කර ඇත්තාහ.

මේ අනුව ගිහිභවතුන් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමේ දී පැවිද්දා ගිහි පක්ෂය සමඟ තෘෂ්ණා භරිතව ඒ සබඳතා ගොඩ නොනැංවිය යුතු බව බුද්ධ නිර්දේශයයි. තණ්හාවෙන් එබදු අන්තර් සබඳතා පැවැත්වීම ගිහි පැවිදි දෙපක්ෂයටම අතිශය හානිදායක වේ. එවිට භික්ෂුවගේ උත්තරීතර භාවය ඔහුගෙන් වියුක්ත (Abstract) වේ. එසේම ගිහි පක්ෂය එබඳු පැවිද්දන් සමඟ අන්තර් ක්‍රියා පවත්වන්නේ ශිලාදි ගුණ ධර්ම සැළකිල්ලට ගෙන නොවේ. මිත්‍රත්තවය හෝ ලැබිය යුතු උපකාර ආදිය සැළකිල්ලට ගනිමිනි. එවිට ගිහි පක්ෂය ද විනයෙන් පිරිහීමට පත්වේ. ප්‍රමාණය ඉක්වමින් ගිහි භවතුන් හා සබඳතා පවත්වන පැවිද්දාගේ ශ්‍රමණ ආකල්ප ද බිඳ වැටී ශ්‍රමණ සාරුප්ප භාවයෙන් ඔහු ද පිරිහීමට පත්වේ. මේ නිසා ගිහි පැවිදි අන්තර් සබඳතා වඩා හොඳින් වටහාගෙන අවබෝධයෙන් යුතුව පැවැත්විය යුතු සූක්ෂම සබඳතාවන් රටාවක් බව ප්‍රත්‍යක්ෂ කර ගත යුතුය.

පැවිදි පක්ෂය ගිහි දායක දායිකාවන් සමඟ ක්‍රමානුකූල හා අර්ථාන්විත අන්තර් සබඳතාවන් පැවැත්විය යුතුවා මෙන්ම තමන්ට ආමිසයෙන් සංග්‍රහ කරන ගිහි පක්ෂයට ධර්මානුකූලව ප්‍රත්‍යූපකාර කරමින් කෘතගුණ දක්වා ඒ සබඳතාවය තහවුරු කළ යුතුය. එසේ කෘතගුණ දැක්විය යුතු ආකාරය පිළිබඳව බුද්ධ නිර්දේශය වන්නේ ධර්මදානයෙන් ගිහි පක්ෂයට ප්‍රත්‍යූපකාර කළ යුතු බවයි. එසේම මහාවග්ග පාලි මහා ඛන්ධකයෙහි සඳහන් වන්නේ මුල, මැද,අග යහපත් වූ ප්‍රයෝජනවත් වූ පිරිසුදු ධර්මයෙන්, ශ්‍රේෂ්ඨ චර්යාව ප්‍රකාශ කිරීමෙන් උපකාර කල යුතු බවයි.

දීඝ නිකායේ පාඨික වග්ගයේ සිගාල සූත්‍රයෙහි පැවිදි පක්ෂය ගිහි පක්ෂය වෙත ප්‍රත්‍යූපකාර කරමින් අන්තර් සබඳතා පවත්වන ආකාර හයක් දැක්වේ. එනම්:-

01.පවින් වළක්වති(පාප නිවාරෙන්ති)

02.යහපත් ක්‍රියාවල යොදවති(කල්‍යාණේ නිවෙසෙන්ති)

03.හොඳ සිතින් අනුකම්පා කරති.(කල්‍යාණේන මනසං අනුකම්පන්ති)

04.නොදත් දේ කියා දෙති(අස්සුතං සාවෙන්ති)

05.දත් දේ වඩා තහවුරු කර දෙති(සුතං පරියොද පෙන්නි)

06.දෙව්ලොව උපදින මඟ කියා දෙති(සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති)

මෙසේ ප්‍රත්‍යූපකාර දැක්වීමෙන් මෙම උභය පක්ෂ අතර ඉතා හොඳ සමාජමය පසුබිමක් නිර්මාණය වේ. එය දෙපක්ෂයහිම අභිවෘද්ධිය පිණිසත් සැපය පිණිසත් මහෝපකාරී වේ.

ඒ වගේම ගිහි පැවිදි අන්තර් සබඳතා පිළිබඳව ඉතා ගැඹුරින් සළකා බලන විට පැහැදිළි වන්නේ මෙම සබඳතා මූලිකවම ඉලක්ක වී ඇත්තේ ලෞකික පරමාර්ථ සාධනය පිණිස නොව ලෝකෝත්තර පරමාර්ථ සාධනය පිණිස බවයි. ඒ නිසාම බුදුන් වහන්සේ මෙම දෙපක්ෂය වෙතම ලෝකෝත්තර අරමුණු ඉටු කර ගැනීමේ අන්තර් සබඳතා රැසක් නිර්දේශ කර තිබෙන බව පූර්ව සඳහන් කළ කරුණු ඔස්සේ පෙන්වා දිය හැකිය.

මේ අනුව දුරස්වන ගිහි පැවිදි අන්තර් සබඳතා වඩා හොඳ යහපත් සබඳතා බවට පත් කර ගැනීමට උභය පක්ෂයම මෙකී බුද්ධ නිර්දේශය අනුව කටයුතු කළ යුතු වේ. එය ශාසනික වශයෙන් අතතිශයින්ම වැදගත් කාර්යයකි. වර්තමාන ශාසනය තුළ ඇති යම් යම් දුබලතා අවම කර ගෙන මනා ශාසනික ප්‍රවර්ධනයක් ඇති කිරීමටද ඉමහත් රුකුලක් වනු නොඅනුමානය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.