ඇසළ පෝදා හෙළි වූ
මැදුම් පිළිවෙත් මඟ
එස්. නිමල් ප්‍රනාන්දු
මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව බුදුදහමේ වැදගත්ම පිළිවෙත්
මතයි. නිවන් පසක් කිරිමේ ඒකායන මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවයි. අප
තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ද බුද්ධත්වය ලැබුයේ මේ මඟ අනුගමනය
කිරීමෙනි. එවක් පටන් පරිනිර්වාණය දක්වා වූ පන්සාලිස් වස මුළුල්ලේම ලෝක
සත්වයා හට දේශනා කළේ ද මධ්‍යම ප්‍රතිපදා මාර්ගයයි. එබැවින් එයින් තොර
බුදු දහමක් නැති බව කිව හැකි ය. කෝටි සංඛ්‍යාත දෙව්, බඹ, මිනිස් ආදී
සත්වයන් නිවන් අවබෝධ කළේ මේ මගට පිවිසීමෙනි.
තම මංගල ධර්ම දේශනාවේ දී ම මේ මඟ අනාවරණය කළ බුදුපියාණන් වහන්සේ විසින්
මධ්‍යම ප්‍රතිපදාව යනු කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය යන අන්ත
දෙකින් තොර, ඒ දෙකට අතරමැදි මගක් බව ඉතා පැහැදිලිව දේශනා කර ඇත. නමුත්
පරිවර්තන දෝෂ නිසා හෝ වෙනයම් දෝෂයක් නිසා හෝ මෙම උත්තරීතර ධර්මතාව
වැරැදි ලෙස අර්ථකථනය වී ඇති බව පෙනේ. ප්‍රතිවේධ ශාසනය දුර්වල වී බුදු
දහමින් ඵල නෙළා ගැනීම හෙවත් මාර්ගඵල ලබා ගැනීම දුර්වල වී ඇත්තේ, ඒ නිසා
යැයි සිතිය හැකි ය.
අද පවා බොහෝ බෞද්ධ පොත්පත් වල සඳහන් වන්නේ මධ්‍යම ප්‍රතිපදාව යනු
ශරීරයට අධික ලෙස සැප දීමෙන් ද, අධික දුක් දීමෙන් ද තොර මධ්‍යස්ථ බව
යනුවෙනි.
බොහෝ ධර්ම දේශනා තුළින් ද මේ අදහසම තවදුරටත් අසන්නට ලැබීම අවාසනාවකි.
එම අර්ථ කථනය නිවැරැදි නම් අද අප රටේ මාර්ගඵල ලබා නිවන් පසක් කරන ජනතාව
විශාල වශයෙන් වැඩි විය යුතු ය.
මන්දයත් අද අප රටේ ජනතාව අතරින් අති බහුතරය තම ශරීරයට අධික සැප දෙන්නේ
නැත. අධික දුක් දෙන්නේ ද නැත. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන ආදී
සියල්ලම මධ්‍යම ප්‍රමාණයෙන් පරිභෝජනය කරති. එසේ නම් ඔවුන් මාර්ගඵල
අවබෝධ කරන බවක්, නිවන් පසක් කරන බවක් අසන්නට දකින්නට නොලැබෙන්නේ
ඇයිදැයි ප්‍රශ්නයක් මතු වෙයි.
සත්ව ජීවිතය ක්‍රියාත්මක වන්නේ චිත්ත ශක්තිය මගින් බව අපි දනිමු. චිත්ත
ශක්තිය නිපදවෙන්නේ ඇස, කන, නාසය ආදී පංච ඉන්ද්‍රිය හා රූප, ශබ්ද, ගන්ධ
ආදී බාහිර නිමිති අතර ඇති වන ස්පර්ශය හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස
සත්ව සන්තානය තුළ විවිධ අරමුණු හටගනී.
ඕනෑම සත්ත්වයකු තම ජීවිත කාලය පුරාම කරන්නේ මෙසේ අරමුණු ගැනීමයි.
අරමුණු ගැනීම යැයි කීවාට එය නිරායාස සිදුවීමකි. ඇතැම් අරමුණු වලින් සුඛ
වේදනාවක් ඇතිවන අතර, ඇතැම් අරමුණු වලින් ඇතිවන්නේ දුක්ඛ වේදනාවකි. සුඛ
වේදනාවක් ඇතිවන කල්හි එම අරමුණට කැමැත්තක් ඇති වී එහි ඇලීමද, දුක්ඛ
වේදනාවක් ඇතිවන කල්හි එම අරමුණට අකැමැත්තක් ඇති වී එහි ගැටීමද සිදුවේ.
මෙසේ පංච ඉන්ද්‍රිය මගින් ලබාගන්නා සෑම අරමුණකටම කැමැත්ත හෝ අකැමැත්ත
හෙවත් ඇලීම හෝ ගැටීම ඇතිවනු මිස ඒ දෙක අතර මධ්‍යස්ථව සිටීමට පුහුදුන්
සත්වයාට හැකියාවක් නැත.
ඒ, සත්ව ජීවිතය අනවරාග්‍ර සංසාරය පුරා ක්‍රියාත්මක වන ආකාරයයි. කාම
සුඛල්ලිකානු යෝගය යනු, පංච ඉන්ද්‍රිය ඇසුරෙන් ඇතිවන සුඛ වේදනාවෙහි ඇලීම
වන අතර, අත්තකිලමථානුයෝගය යනු එසේ ඇතිවන දුක්ඛ වේදනාවෙහි ගැටීමයි.
මධ්‍යම ප්‍රතිපදාව යනු ඒ දෙක අතර තත්ත්වය හෙවත් ඇලීම්, ගැටීම් දෙකෙන්
තොර තත්ත්වයයි.
මෙම ඇලීම හා ගැටීම හේතුවෙන් මනෝ ධාතුව තුළ එක්රැස් වන සංස්කාර,
ප්‍රතිසන්ධි විඤ්ඤාණයට හේතුවෙයි. (සංඛාර පච්චයා විඤ්ඤාණං) ඒ නිසා සසර
ගමන සිදු වෙයි. එසේ නම් සසර පැවැත්මට හේතුව ඇලීම හා ගැටීම බව පැහැදිලි
ය. සසර ගමන නැවැත්වීමට නම් ඇලීම හා ගැටීම නැවැත්විය යුතු ය. මධ්‍යම
ප්‍රතිපදාව නිර්වාණ මාර්ගය වන්නේ, ඒ ආකාරයට ය.
කාම සුඛල්ලිකානු යෝගය යන වචනය සෑදී ඇත්තේ කාම සුඛ, අල්ලික, හා අනුයෝග
යන වචන තුන එක්වීමෙනි. ඉහත සඳහන් කළ ආකාරයට ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රිය
මගින් රූප, ශබ්ද, ගන්ධ ආදී නිමිති ග්‍රහණය කිරීමෙන් ලබන තාවකාලික
ආශ්වාදය “කාම සුඛ” නම් වෙයි. “අල්ලික” නම් එල්ලී සිටීම යි. නිමිත්තෙහි
එල්ලී සිටිමින් එහි රසය විඳීම මින් අදහස් කෙරේ. “අනුයෝග“ නම්, අනුව
යෙදීම යි. (නැවත නැවතත් එහිම යෙදීම) කාමසුඛල්ලිකානුයෝගය බව මින්
පැහැදිලි වෙයි. චෛතසිකයක් වශයෙන් ගතහොත් එය, ලෝභයයි. එහි කෘත්‍ය
ස්වරූපය, ඇදීමයි. ආකර්ශනය යි.
අත්තකිලමථානුයෝගය යන වචනය සෑදී ඇත්තේ අත්ත, කිලමථ හා අනුයෝග යන වචන තුන
එක්වීමෙනි. “අත්ත” හෙවත් ආත්ම යන්න, ඇස, කන, නාසය ආදී පංච ඉන්ද්‍රිය
උදෙසා යෙදෙයි. එහෙත් මෙහිදී පංච ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයේ
ප්‍රතිඵලය වූ සිත ලෙස එය ගැනීම සුදුසු ය. ආත්ම විශ්වාසය, ආත්ම දමනය ආදී
යෙදුම් වලින් ‘සිතේ විශ්වාසය’ සිතේ දමනය අදහස් කරන්නාක් මෙනි.
“කිලමථ” යනු ක්ලාන්ත හෙවත් පීඩාවට වෙහෙසට දුකට පත්වීමයි. සිත පීඩාවට,
වෙහෙසට, දුකට පත්වන්නේ සිතේ රත්වීම අධික වන නිසා ය. සිත අධිකව
රත්වන්නේ, ඉහත සඳහන් කළ ආකාරයට ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන
නිමිති සමග අකැමැත්තෙන් ගැටීම හේතුවෙනි. “අනුයෝග“ යනු ඉහත කී ආකාරයට
නැවත නැවතත් එහිම යෙදීම යි. ඒ අනුව නිමිත්ත සමග ගැටෙමින් සිත රත් වී
වෙහෙසට, පීඩාවට දුකට පත්වීමත් එහිම නැවත නැවත යෙදීමත් අත්තකිලමථානුයෝගය
බව පැහැදිලි වෙයි. චෛතසිකයක් වශයෙන්, ගැනීමේ දී එය ද්වේශයයි. එහි
කෘත්‍ය ස්වරූපය ප්‍රතික්‍ෂේප කිරීමයි. තල්ලු කිරීම යි. විකර්ශනය යි.
හීනෝ ගම්මෝ, පෝථුජ්ජනිකෝ, අනරියෝ, අනත්ත සංහිතෝ යනුවෙන් කාමසුඛල්ලිකානු
යෝගයේ ලක්‍ෂණ පහක් සඳහන් වෙයි.
පංච කාම වස්තු වෙත ඇදී යෑමත්, එයින් ආශ්වාදයක් විඳීමත්, එහි එල්ලීමත්,
එහිම නැවත නැවත යෙදීමත් යන මේ සතර වැදෑරුම් ක්‍රියාකාරීත්වය නිසා සිත
අතිශයින් පහත් තත්ත්වයකට පත් වෙයි. (හීන)
ඒ නිසා සිත ‘පෝථුජ්ජනික’ වෙයි. එනම්, කෙළෙස් ජනනය කරන තත්ත්වයට පත්
වෙයි. කෙළෙස් ජනනය වන්නේ නම් එතැන පිරිසුදුකමක් නැත; අපිරිසුදුය. එය
‘අනරිය’ තත්ත්වය යි. එම තත්ත්වය අනර්ථයක්ම සිදු කරයි. එබැවින් ‘අනත්ත
සංහිත’ වෙයි.
දුක්ඛො, අනරියෝ, අනත්ත සංහිතො යනුවෙන් අත්තකිලමතානුයෝගයේ ලක්ෂණ තුනක්
සඳහන් වෙයි. කාම සුඛයෙන් ලබන ආශ්වාදයට බාධා වන අන්දමේ නිමිත්තක්
එළැඹීමේ දී එම බාධාව ඉවත් කිරීම පිණිස දරනු ලබන වෙහෙස නිසා සිත අධිකව
රත් වී ගනී. හෙවත් සිත දූෂිත තත්ත්වයට පත් වෙයි. ‘දුක්ඛ’ යනු සිතේ එම
දූෂිත තත්ත්වය ඇති වීමයි. එයින් සිත අපිරිසුදු වෙයි.
එය ‘අනරිය’ තත්ත්වයයි. එයින් ද වන්නේ අනර්ථයක්ම ය. එබැවින් ‘අනත්ත
සංහිත’ වෙයි.
‘චක්ඛුකරණී’ යනු ඉහත අන්ත දෙකට නොවැටී උතුම් මධ්‍යම ප්‍රතිපදා මාර්ගයට
පිළිපන් විට සිතේ මෙතෙක් පැවැති වේගවත් ස්වරුපය නැති වී සන්සුන්
තත්ත්වයකට සිත පත් වන නිසා ජීවිතයේ මෙතෙක් නුදුටු ධර්මතා දැක ගැනීමේ
හැකියාව ඇති වීමයි. ‘උපසමාය’ යනු ඉහත තත්ත්ව දෙක යටතේ සිත තවදුරටත්
සන්සුන් වීමයි. ‘අභිඤ්ඤාය’ යනු ජීවිතයේ මෙතෙක් අවබෝධ කරගෙන නොසිටි දේ
පිළිබඳ විශේෂ අවබෝධයක් ලැබීමේ නුවණ පහළවීමයි. සම්බෝධාය යනු සිව්සස්
අවබෝධයයි. ‘නිබ්බාණාය’ යනු ඉහත කරුණු හේතුවෙන් සියලු දුක් පීඩා ඉවත් වී
නිවීම ඇතිවීමයි, නිවන් අවබෝධ වීම යි.
මෙම මධ්‍යම ප්‍රතිපදා මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස ද හැඳින්වෙයි.
ඊට හේතුව මෙම මගට පිළිපන් පුද්ගලයෙකුගේ් සිත අටවැදෑරුම් වූ අනුක්‍රමික
දියුණුවක් ලබන හෙයිනි. ඉහත කී අවස්ථා හයට පත්වීමේදී පුද්ගලයාගේ සිත
සන්සුන් වී බුද්ධිය ද දියුණු වන නිසා ක්‍රමයෙන් ලෝකයේ යථාර්ථය
අවබෝධවීමට පටන් ගනියි.
ලෝකය තුළ ඇත්තේ දුක පමණක් බවත්, සැප ලෙස පෙනෙන සෑම දෙයක්ම (දිව්‍ය
බ්‍රහ්ම තත්ත්ව පවා) දුකම බවත් ඊට හේතුව ඇලීම හා ගැටීම හෙවත් ලෝභ -
ද්වේශ යන ධර්මතා දෙක බවත් එවිට වැටහෙයි. එය ‘දුක්ඛ’ සහ ‘සමුදය’ දෙක
දැකීම යි.
ලෝභ ද්වේශ යන අන්ත දෙකින් තොර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් එම
දුක ක්‍රමයෙන් නිරෝධයට පත් වන බවත් එවිට ප්‍රත්‍යක්ෂ වීමට පටන් ගනියි.
එය නිරෝධය සහ ඊට යා යුතු මාර්ගය දැකීම ය. එම සත්‍ය සතර දැකීම, සම්මා
දිට්ඨියයි.
ඉන් පසු ඔහුට ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රිය තුළින් රූප, ශබ්ද, ගන්ධ ආදී
බාහිර නිමිති වල එල්ලී සැප කෙරෙහි ඇලීම නුසුදුසු බව දකියි.
ඇලීම හෙවත් ලෝභය දුරු කළ යුතු බව දකියි. එය නෙක්ඛම්ම සංකප්පයයි. ද්වේශය
හෙවත් ගැටීම ද දුරු කළ යුතු බව දකියි. එය අව්‍යාපාද සංකප්පයයි.
තමන්ටත්, අනුන්ටත් ධර්මතා දෙක ප්‍රහීන වන විට එම පුද්ගලයාගෙන් තමන්ටත්
අනුන්ටත් කරදර හිරිහැර සිදු නොවෙයි. එසේ හිංසා නොකළ යුතු බව දැකීම
අවිහිංසා සංකප්පයයි.
ඉන් පසුව ඔහුගේ ජීවිත පැවතුම් ඉතා සන්සුන් සාමකාමී බවට පත් වෙයි.
එබැවින් වචනයෙන් හෝ ක්‍රියාවෙන් කිසි වරදක් සිදු නොවෙයි.
එය සම්මා වාචා හා සම්මා කම්මන්තයයි. ඔහුගේ ආජීවය හෙවත් ජීවිකාව ද
පිරිසුදු වෙයි.
ජීවිකාව උදෙසා වැරැදි නොකොට සිටීමට උත්සාහ ගනියි.
මෙසේ කිසි වරදක් නොකිරීම නිසා ඔහුගේ උපන් අකුසල් ක්‍රමයෙන් නැතිවී යන
අතර නුපන් අකුසල් ඉපදීමට කරුණු නොයෙදෙයි.
අකුසල් නොකිරීම නිසා නූපන් කුසල් ඉපදෙන අතර, ඒ හේතුවෙන් දැනට ඉපදී තිබූ
කුසල් වල වැඩි දියුණුවක් ඇති වෙයි.
එය සම්මා වායාමයයි. දැන් ඔහුගේ සිත තුළ ක්‍රියා කරන්නේ කුසල චේතනා
පමණකි. අකුසල චේතනා ක්‍රියාත්මක නොවෙයි.
අකුසල විතර්කයක් පැමිණියද එය වහා හැඳින ගනියි. එයට ක්‍රියාත්මක වීමට ඉඩ
නොලැබෙයි. මෙසේ ඔහු පසු වන්නේ මනා සිහි කල්පනාවකිනි. මානසික අවදි
බවකිනි.
එය සම්මා සත්‍යයි. මෙසේ ක්‍රියා කිරීමේදී ඔහුගේ සිත තුළ ලෝභ ද්වේශ දෙක
බොහෝ දුරට අඩු වී නිවුණු සිතක්, තැන්පත් සිතක්, සමාධිගත සිතක් ඇතිවෙයි.
එය සම්මා සමාධි යයි. නිවන අරමුණු වන්නේ එවන් සමාධි සිතකට ය. |