Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පටිච්ච සමුප්පාද ධර්මය

පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ බුද්ධ දේශන, සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ, නිදාන වර්ගයේ, අභිසමය සංයුත්තයේ, බුද්ධ වර්ගයේ, ප්‍රථම දේශනවල සඳහන් වෙයි. බුදුන් වහන්සේම වදාරා ඇති පරිදි, මෙම ධර්මය නිසි පරිදි අවබෝධ කර ගැනීම පහසු නොවන කාර්යයකි. ආනන්ද හිමියන් විසින් පටිච්ච සමුප්පාද න්‍යාය ගැඹුරු වූවද පහසුවෙන් වැටහුන බව පැවසූ විට බුදුන් වහන්සේ කියා සිටියේ “එසේ නොකියන්න ආනන්ද එසේ නොකියන්න. එය ඇත්තටම තේරුම් ගැනීමට අපහසු ය. එනිසාම සංසාර චක්‍රයෙන් මිදීමේ විමුක්ති මාර්ගය මිනිසුන් විනිවිද නොදකී” මෙය නිසි පරිදි අවබෝධ කර ගැනීම අපහසු බව, එසේ බුදුන් විසින්ම අවධාරණය කර ඇත. මෙහිදී දැනුම අවබෝධය, ප්‍රත්‍යක්‍ෂය, යනු දෙකක් බව වටහා ගත යුතු ය.

භෞතික ලෝකය මෙන්ම සිත නමැති ලෝකයද හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කෙසේද? යන්න මෙයින් පැහැදිලි කර ඇති අතර, මෙය මැනවින් අවබෝධ කරගත් පුද්ගලයන්ට, ලෝකයේ පැවැත්ම ගැන විනිවිද දැකීමට සහ ලෝකය පිළිබඳ යථාර්ථය දැක ගැනීමට ද හැකි වන්නේ ය. ලෝකය මෙන්ම අනිකුත් සියල්ලම ඇති වෙමින්, වෙනස්වෙමින්, නැති වෙමින්, ඉදිරියට යන ආකාරය, ක්‍රියාවලිය විග්‍රහ කර තිබේ.

පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලි කිරීමේ දී ඇතැම් භික්‍ෂූන් වහන්සේ සහ ගිහි උගතුන් අදාළ සූත්‍රයේ අන්තර්ගතය පමණක් පැහැදිලි කර නවතින අතර, බුදුන් වහන්සේ විසින් එය පදනම් කරගෙන භෞතික ලෝකය සහ සමාජ වර්ධනය ගොඩ නැගෙන ආකාරය ගැන පැහැදිලි කර ඇති ආකාරය සම්බන්ධ කරන්නේ කලාතුරකිනි. බුද්ධ ධර්මය ගැන ගැඹුරින් ගවේෂණය කර ඇති විවිධ විද්වතුන් අතර දෙදෙනෙක් වන ඉන්දිය ලේඛක විශ්වනාත් ප්‍රසාද් වර්මා (Early Buddhism and its Origins) මෙන්ම, ශ්‍රී ලාංකික ලේඛක ආචාර්ය නලින් සුවාරිස් (The Buddha’s Way to Human Liberation ) යන කෘතිවල මේ බව පෙන්වා දෙති.

පටිච්චසමුප්පාද න්‍යාය ධර්මය සමන්විත වන්නේ දුක හටගන්නා ආකාරය පිළිබඳ, එකිනෙකට යාවු පුරුක් 12 කින් සමන්විත දම්වැලක් බඳු අංගයන් දක්වමිනි. එම පුරුක් 12 මෙසේ ය. 1. අවිජ්ජා 2. සංඛාර 3.විඤ්ඤාණ 4. නාම – රූප 5. සලායතන 6. ඵස්ස 7. වේදනා 8. තන්හා 9. උපාදාන 10. භව 11. ඉපදීම 12. දුක, ජාති, ජරා, මරණ, දෝමනස්ස

දුක් වේදනාවන් ඇතිවීමේ ක්‍රියාවලිය සිදුවන්නේ පිළිවෙළින් මේ විවිධ පුරුක්, එකිනෙක තුළට ප්‍රවේශවෙමින් ඇති කරවන ඵලයන් මගිනි. මෙහි අවසාන ඵලය දුක් ඇතිවීමයි. මෙම න්‍යායට, හේතු ඵලවාදය යන ජනපි‍්‍රය යෙදුමද භාවිතයට පැමිණ ඇත.

මෙය තේරුම් ගැනීම සඳහා ඉහත සඳහන් වූ වචන 12 අර්ථයද පැහැදිලි කිරීම වැදගත් ය.

පටිච්ච සම්මුපාද න්‍යාය ධර්මය අනුව, අවිජ්ජාව නිසා සංඛාර හටගන්නා බවත්, සංඛාර නිසා, විඤ්ඤාණය හටගන්නා බවත්, විඤ්ඤාණය නිසා නාම රූප හට ගන්නා බවත්, නාම රූප නිසා, සලායතන හට ගන්නා බවත්, සලායතන නිසා ඵස්ස ඇති වන බවත්, ඵස්ස හේතුකොට ගෙන වේදනා ඇති වන බවත්, වේදනා පදනම් කරගෙන තණ්හාව ඇතිවන බවත් තණ්හාව නිසා ඇල්ම නොහොත් උපාදාන ඇතිවන බවත්, උපාදාන හෙවත් අල්ලා ගැනීම නිසා භවය සකස් වන බවත්, භවය සකස් වූ විට ඉපදීම ඇතිවන බවත්, ඉපදීම නිසාම දුක ඇති වන බවත් යනුවෙන්, එක ක්‍රියාවලියකි.

(නාම – රූප) මෙහි හටගැනීම මෙන්ම පැවැත්ම සහ නැතිවීමද අන්තර්ගත වේ. මුළු ලෝකයේම භෞතික (Physical / Material) මෙන්ම මනසේ ක්‍රියාවලිය ද මේ ආකාරයෙන් ඇති වී, නැතිවී ඉදිරියට ගමන් කරයි. මෙය සංසාර චක්‍රයක් ලෙසද සමහරු සඳහන් කරති.

මේ ක්‍රියාවලිය නොවෙනස්ව, දිගින් දිගටම සිදුවන ආකාරය නිසිපරිදි විනිවිද දැකීමට තරම් මනස සංවර කර ගැනීම තුළින් දැක්ම දියුණු කරගත් පුද්ගලයන්, මෙහි ඇති නිස්සාර, කෙටි කාලීන, නොපවතින, අනිත්‍යභාවය මනාව වටහා ගන්නේ නම්, මේ ක්‍රියාවලියට තිත තැබීමට හැකි බැව් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ය. එනම්, මේ ක්‍රියාවලිය ආ පස්සට හැරවීමට හැකි බවයි. මේ පුරුක් 12 සහ එහි ක්‍රියාවලිය මනාලෙස වටහා ගැනීම සහ එයින් මිදීමට පියවර ගැනීමෙන්, නැවත ඉපදීම නතර කර, මුළු ක්‍රියාවලියම අවසන් කළ හැකි බව, එනම් අක්‍රිය කළ හැකි බව, බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. දුක තුරන් කිරීමේ සඳහා අනුගමනය කළ යුතු මෙම ක්‍රමවේදය දුකෙහි අක්මුල් දක්වා කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයකි. දුකට උපත දෙන ක්‍රියාවලිය හඳුනාගෙන එය උපුටා දැමීම කළ හැකි බව දක්වා ඇත. දුක ජය ගැනීම සඳහා ගමන් කළ යුතු පෙරලිකාර සදාචාරාත්මක මාවත බුදු දහම නිර්දේශ කර ඇත්තේ, දුක නැති කිරීමේ මාර්ගය ලෙස හඳුන්වා දී ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙහි අඩංගු වන්නේ ශීල, සමාධි, ප්‍රඥා යන ගුණාංග වඩන කිසියම් පුහුණු වීමේ හෝ ශික්‍ෂණය කිරීමේ පද්ධතියෙකි.

විශ්වීය මට්ටමේ (Cosmic Level) පටිච්ච සමුප්පාද ධර්මය, ස්වභාවික දේ (ගස් වැල්, ජීවීන්) මෙන්ම මිනිසා විසින් ගොඩ නගන දේ (Material Constructions) පමණක් නොව, සාමාජීය තත්ත්වයන් (Social Conditions)  ඇති වන්නේ, පවතින්නේ සහ වෙනස් වන්නේ මේ න්‍යාය අනුව බව පෙන්වා දෙයි. එනම්, හේතූන්ගේ එක්ව ක්‍රියා කිරීම නිසා, යම් ඵලයක් ඇති කරවන බවයි. මෙය නියම නොවන, මොහොතින් මොහොත, ඉදිරියට විකාශ වන ක්‍රියාවලියකි. තනිව හෝ වෙන් වෙන්ව විශ්වයේ කිසිවක් පවතින්නේ නැත. මුළු විශ්වයම ඇතිවන, වෙනස් වන, නැතිවන, බද්ධවීමෙන්, එකිනෙක ප්‍රතිකි‍්‍රයාකිරීමෙන්, අලුතින් බිහි කරවන එකක් තවෙකක් මත රඳා පවතින දම්වැලක පුරුක් මෙන් බද්ධ වන, එකම නොනවතින විශ්ව ක්‍රියාදාමයකි. ක්‍රියාවන් හා සිද්ධීන් ඇති කරවන සමීප මූලයන් මෙන්ම අවසාන ප්‍රතිඵලයන්ද, කොටස් ලෙස පිරික්සා බැලීමක් මෙහි සිදු කෙරේ. පටිච්ච සමුප්පාද ධර්මය මේ අන්දමින් භෞතික ලෝකයේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීමට බුදුන් වහන්සේ යොදා ගත් නිදර්ශන කිහිපයක් මෙසේ ය.

ආහාර නොහොත් බීජ නිෂ්පාදනය

සරු අස්වැන්නක් බිහි කිරීමට නම් ඒ සඳහා කිසියම් හේතූන් හෝ කොන්දේසි නොහොත් සාධක ගණනාවක් අවශ්‍ය වෙයි. පැළ කරන බීජ සරු ඒවා විය යුතු ය. බීජ සිටුවන පස, සුදුසු සරු බවින් යුතු විය යුතු ය. පස බුරුල් කිරීම,වතුර සැපයීම, ප්‍රමාණවත් හිරු එළිය තුළින් උණුසුම, යනාදී සාධක සම්පූර්ණ වූ විට පමණක් සරු අස්වැන්නක් ලැබේ. ඒ අනුව යහපත් ප්‍රතිඵලය ලබා ගැනීමට නම්, අවශ්‍ය කොන්දේසි සපුරාලීම සිදුවිය යුතු ය. එවිට අනිවාර්යෙන්ම ඵලය ලැබෙනු ඇත.

ගින්දර බිහි කිරීම.

මිනිසාගේ පුරාණතම තාක්‍ෂණයක් වන්නේ ගින්දර බිහිකිරීමේ ක්‍රමවේදයයි. වේලුණ පොලු දෙකක් තදින් ඇතිල්ලීමෙන් ගිනි පුපුර සහ ගින්දර හට ගනී. පොලු දෙක ඇතිල්ලෙන තුරු සහ ඇතිල්ලෙන නිසා ගිනි පුපුරු හටගන්නා බවත්, එය වෙන්කළ පසු ගිනිහට නොගන්නා බවත් පෙන්වා දෙන ලදී. බුදු සමයේ පැවැති බ්‍රාහ්මණ පිළිවෙත අනුව ගින්දර පිරිමි දෙවියෙක් ය.

එය බ්‍රාහ්මණ පිරිමින් විසින් ගෘහය තුළ පාලනය කළ යුතු වූ දෙයක්ය යන මිථ්‍යා මතය ද, බුදුන් වහන්සේ ගින්දර බිහි කිරීමේ හේතු ඵල වාදය තුළින් කුඩු පට්ටම් කළේ ය. ගින්දර දෙවියෙක් නොවන බවත්, ගින්දර මත බ්‍රාහ්මණ පිරිමින්ගේ ආධිපත්‍ය ගොඩ නඟා ඇති ආකාරය විහිළුවක් බවත් මෙයින් එළිදරව් විය.

මිනිස් දරු උපත

මිනිස් දරු උපත ද පටිච්ච සමුප්පාද ධර්මයේ එක් නිදර්ශනයකි. දරුවෙකු බිහිවීමට අවශ්‍ය වන කොන්දේසි ගණනාවක් තිබෙන බව බුදුන් වහන්සේ ලැයිස්තු ගත කළහ. මේ පැහැදිලි කිරීමෙන් බිඳ වැටුන තවත් බමුණු මතයක් වූයේ බ්‍රාහ්මණයන් බිහිවන්නේ මහා බ්‍රහ්මයාගේ කටින්ය යන විශ්වාසයයි. බ්‍රාහ්මණ බිලිඳුන් බිහිවන්නේ කිසිවකුගේ කටින් නොව ඉහත කී කාරණා සම්පූර්ණ වූ කල, මිනිස් සංසර්ගය මත බ්‍රාහ්මණ ස්ත්‍රීන්ගේ යෝනියෙන් බව බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ය. සමාජය සකස් වන්නේ ද මේ හේතුඵල දහම වන පටිච්ච සමුප්පාද න්‍යාය අනුවම බව බුද්ධ දේශනා වල සඳහන් වෙයි. වජ්ජි වරුන්ට සප්ත අපරිහානීය ධර්ම යන පිළිවෙත් හතක් අනුගමනය කරන ලෙසත්, එය අනුගමනය කරන තුරු වජ්ජින්ගේ රාජ්‍යය නොපිරිහෙන බවත් උන්වහන්සේ වදාළේ ය.

වජ්ජිවරුන් ද බොහෝ කලක් එලෙස නිරුපද්‍රිතව සිටි නමුත්, අවසානයේ දී මේ අපරිහානීය, ධර්ම හත, නොසලකා හැරීම නිසා, සතුරු රාජ්‍යයන් විසින් ඔවුන් ආක්‍රමණය කර විනාශ කර දමන ලදී. මේ සිද්ධිය ධර්ම සංවේගයෙන් බුදුන් බලා සිටි නමුත්, වජ්ජිවරුන් එම ඉරණමෙන් බේරා ගැනීමට බුදුන් වහන්සේට නොහැකි වූයේ, වජ්ජිවරුන් නෙලා ගත්තේ ඔවුන් විසින්ම වපුරන ලද අධර්මයේ අස්වැන්න වූ බැවිනි.

මීට අමතරව, බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ සමාජය මුළුමනින්ම මෙහෙයවන්නේ පුද්ගල කොටස් හතරකින් බවයි. එනම්, පාලකයින්, දෙමව්පියන්, ගුරුවරුන් සහ පූජකවරුන් බවයි.

මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙමින් සිටින සමාජ තත්ත්වයන් දෙවි කෙනෙකු විසින් මවන ලද හෝ ඇති කරන ලද්දක් නොවන බව බුදුන් වහන්සේ අවධාරණය කළහ. සමාජ තත්ත්වයන් අන්ධ ඉරණමක හෝ අහම්බෙන් සිදුවන දේ නොවේ යයි දෙසූ සේක.

මනුෂ්‍යයින් විසින්ම, ඔවුන් ජීවත් වන සමාජය, ඓතිහාසිකව නිර්මාණය කර ඇත. එබැවින්, මනුෂ්‍යයින්ටම, එක්ව කටයුතු කිරීමෙන් සාධාරණ සහ මානුෂිය පදනමක් යටතේ සමාජය තුළ පරිවර්තනයක් සහ වෙනසක් ඇති කළ හැක.

මේ අනුව බුදුන් වහන්සේගේ පටිච්ච සමුප්පාද න්‍යාය, විශ්වයේ සියලු ක්‍රියාකාරකම් වලට පාදක වන ලෝක නීතියක් බව පෙන්නුම් කරයි. මෙය පැහැදිලි කරද්දී බුදුරදුන් දේශනා කළේ “බුදුවරු හිටියත් නැතත්” මේ නීතිය නොනැසී පවතින බවය. එය අවබෝධ කර ගැනීම තුළින් පුද්ගලයාගේ දුක ඉවත් කරවා ගැනීම පමණක් නොව, අයහපත් සමාජ තත්ත්වයන් යහපත් අතට හරවා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් ද එළිදරව් කරයි.

එහි සමස්ථ අර්ථය පද හතරකට ලඝු කළොත් මෙසේ වෙයි.

ඉමස්මිං සති, ඉදං හෝති - මෙය ඇති විට, මෙය ඇතිවේ.

ඉමස්සුප්පාදා, ඉදං උපජ්ජති - මෙය පැන නගින විට, මෙය පැන නගී

ඉමස්මිං අ සති, ඉදං න හෝති - මෙය නැති විට, මෙය නැතිය

ඉමස්ස නිරෝධා, ඉදං නිරුජ්ජාති - මෙය පැන නොනගින විට, මෙය පැන නොනගී


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.