Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෙත් ශාන්තිය පිණිස ජයමංගල ගාථා ගායනා කිරීම සුදුසු ද?


ජයමංගල ගාථා ගායනා කරන අවස්ථාවක්

වත්මන් කාලයෙහි නොයෙක් උත්සව අවස්ථාවන්හි මෙන්ම ආවාහ විවාහ මංගලාවස්ථාවන්හි ජයමංගල ගාථා ගායනා කිරීම සිරිතක් ව පවතී. විශේෂයෙන් ජයමංගල ගාථා රචනා කොට ඇත්තේ සරණ මංගල්‍යයේ දී ගායනා කොට සෙත් පැතීමේ අෂ්ටකයක් වශයෙන් බව පෙනේ. “ඒතාපි බුද්ධ ජයමංගල අට්ඨ ගාථා” යන නව වන ගාථාවෙන් මේ ජයමංගල ගාථා අට කියවන අයට දින දින යහපතක් ම සිදුවන බව ප්‍රකාශ කොට ඇත. අනෙකුත් මංගල අෂ්ටකයන්හි ද මේ ලක්‍ෂණය දක්නට ලැබේ. ශ්‍රී විෂ්ණු මංගල අෂ්ටකයේ ශ්ලෝක අටකින් පසු නව වන ශ්ලෝකයෙන් “ශ්‍රීමාන් විෂ්ණු සුරේන්ද්‍ර භූත පතිතඞ තේජානුභාවන් මහත්” යනුවෙන් විෂ්ණු දෙවියන්ට ස්තුති ගීතිකා ගැයීමෙන් සියලු උවදුරු දුරු කොට සියලු සම්පත් දී ආයු ශ්‍රීය වර්ධනය කෙරේවා! යි ඉල්ලා සිටී. එකී ලක්‍ෂණ ජයමංගල ගාථාවල ද අන්තර්ගත ව ඇති බැවින් අෂ්ටකයක් වශයෙන් ගැනීම නිවැරැදි යැයි සිතිය හැකි ය. “ඒතාපි බුද්ධ ජයමංගල අට්ඨ ගාථා” යනුවෙන් මෙම ගාථා බුද්ධාෂ්ටකයක් බව ගාථා රචකයා ම ප්‍රකාශ කොට ඇත. ගාථා අටෙහි ම අවසාන පාදය “තං තේජසා භවතු තේ ජයමංගලානි” යනුවෙන් යෙදීමෙන් එය තවදුරටත් තහවුරු වේ.

බොහෝ වශයෙන් සංස්කෘත භාෂාවෙන් රචිත අෂ්ටකයන්හි ද ශ්ලොක අටෙහි ම අවසාන පාදය “සර්වෝපද්‍රව සර්ව රෝගමපහං කුර්වන්තු තේ මංගලම්” ආදී වශයෙන් යොදා ඇත. එම සංස්කෘත අෂ්ටකයන් ගෙන් ද කෙරෙනුයේ ප්‍රස්තුත දෙවියාගේ ගුණ ගායනා කොට සෙත ශාන්තිය පැතීම යි.

ජයමංගල බුද්ධාෂ්ටකය කවර අවධියක දී කවරකු විසින් රචනා කරන ලද දැයි සඳහන් ව නැත. ඇතැම් විද්වත්හු ජයමංගල ගාථා මධ්‍යතන යුගයේ දී ශ්‍රී ලාංකික තෙරනමක් විසින් රචිත යැයි කල්පනා කරති. තව සමහරෙක් නුවර යුගයේ දී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍ය නමක් විසින් රචනා කරන්නට ඇතැයි සිතති. කෙසේ වෙතත් භාෂා ලක්‍ෂණ අනුව මෑත භාගයේ දී කළ රචනාවක් ලෙස ගැනීම නිවරද ය.

මේ ජයමංගල ගාථාවන්ගෙන් හෙළි පෙහෙළි කෙරෙනුයේ බුදුරදුන් ලැබූ ජයග්‍රහණ අටක් පිළිබඳව ය. ඒ සෑම ජයග්‍රහණයක් ම ලැබෙනුයේ සසර පුරුදු පුහුණු කරන ලද දස පාරමිතා ධර්ම නමැති සත් චාරිත්‍ර ධර්මයන්ගේ නිස්සන් ද ඵලයන් වශයෙනි. පළමුවෙන් සඳහන් වන ආයුධ සහිත අත් දහසක් මවාගෙන ගිරිමේඛලා ඇතු පිට පැන නැගී, සේනාව සහිතව පැමිණි මාරයා ජයගත්තේ ඟනාදී පාරමිතා බලයෙනි. අතිරේක මාරයෙක් වැනි වූ ආලවක යක්‍ෂසේනාපති ජයගන්නේ ක්‍ෂාන්ති පාරමිතාව ප්‍රගුණ කිරීමෙන් ලබන පරිචයෙනි. ලැව්ගින්නක් වැනි දරුණු නාලාගිරි මදැතු දමනය කරන්නේ මෛත්‍රී ජලය ඉසීමෙනි. කඩුවක් අමෝරාගෙන පසු පස හඹා ආ අංගුලිමාල දමනය කරන්නේ මෙත් සිතින් හා සෘද්ධි බලයෙනි. දරබඩක් පෙන්වා බුදුරදුන්ට නින්දා අපහාස කරන්නට පැමිණි චිංචිමානවිකාවගේ දුෂ්ට වචන නිෂ්ප්‍රභ වූයේ ඉවසීම හා සෞම්‍ය ගුණධර්ම නිසා ය. වාදාභිරෝපණයට ආ සච්චක ප්‍රඥා බලමහිමයෙන් පැරදවී ය.

මුගලන් මහ තෙරිඳුන් විසින් නන්දෝපනන්ද නාගරාජයා දමනය කරන ලද්දේ බුදුරදුන්ගෙන් ලැබුණු උපදෙස් මගිනි. වැරදි දෘෂ්ටියට වැටී සිටි බක බ්‍රහ්මයා පැරද වූයේ නැණ බෙහෙත් උපයෝගී කරගනිමිනි.

නව වන ගාථාව රචනා කොට ඇත්තේ බුද්ධ ජයග්‍රහණයන් ප්‍රකාශ කිරීමට නොව බුද්ධ ජයමංගල අෂ්ටක කියවීමේ ආනිශංස ප්‍රකාශ කිරීමට ය. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සම්භාරයෙන් බිඳක් පවසා ඒ සත්‍ය තේජානුභාවයෙන් ජය මංගල්‍යයක් වේවා! යි ප්‍රාර්ථනා කිරීමෙන් ඒකාන්තයෙන් ම සෙතක් ශාන්තියක් සැලසෙන බව බෞද්ධයන්ගේ පිළිගැනීමයි. විශ්වාසයයි.

එහෙත් කාව්‍ය ශාස්ත්‍රයට අනුව ශුභ ඵල උදාකර ගැනීමට අකුරු ගණ සුසංයෝගය නිසි පරිදි තිබිය යුතු ය. මෙම ජයමංගලාෂ්ටක ගාථා බන්ධනය කර ඇත්තේ “වසන්තතිලකා” නමැති වෘත්තයෙනි. එම වෘත්තයෙහි තිබිය යුත්තේ ත ගණ – බ ගණ – ජ ගණ, ජ ගණ සහ ගුරු දෙකකි. (වුත්තා වසන්ත තිලකා ත බ, ජා ජ ගාගෝ) සෙත ශාන්තිය උදාකර ගැනීමට මෙම ගණ අතුරින් උපයෝගී වනුයේ බ ගණය පමණි. අනෙක් ගණ තුනම අසුබ ගණ වශයෙන් සලකනු ලැබේ.

ත ගණය ආකාශ ගණයකි. එහි ප්‍රතිඵල ව්‍යසන විපත්වලට පත්වීම, ධනය විනාශ වීම, හිස් බව ඇතිවීම ආදියයි. ජ ගණය සූර්ය ගණයකි. එහි ප්‍රතිඵල ලෙඩවීම, ශාරීරික වේදනා ඇතිවීම, දුක කරදර ළඟාවීම ආදියයි. වෘත්ත නීතිය අනුව මෙහි ජ ගණ දෙකක් ම එකට යෙදිය යුතු ය. වෘත්තානුකූලව යෙදෙන්නේ එකම සුබ ගණයකි. ඒ බ ගණයයි. එම සුබ ගණයේ ප්‍රතිඵල ද අසුබ ගණ වැඩි නිසා නොලැබී යයි.

පාලි භාෂාවේ ඇති මාධුර්යය නිසාත් ගායනයේ දී ඇතිවන ගීතවත් බව නිසාත්, පාලි භාෂාව නොදත්තකුට වූවද “තං තේජසා භවතු තේ ජය මංගලානි” යන පාදය තේරුම් ගතහැකි නිසාත් උත්සව අවස්ථාවන්හි දී ජයමංගල ගාථා ගායනා කරනවා විය හැකි ය. එසේ වූවත් ජයමංගල ගාථා රචනාකර ඇත්තේ පාලි භාෂාව පිළිබඳ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැතයකු නොවන බව භාෂා ව්‍යවහාරයෙන් හෙළි වේ. මෙහි පළමු වැනි ගාථාවේ දෙවන පාදයේ වෘත්තය බිඳී ඇත. එහි ඇත්තේ ඝ ගණ, ජ ගණ, ස ගණ දෙකක් හා ය ගණයකි. මෙහි ය ගණය සුබ ගණයක් වූවද යෙදී ඇති ආකාරයට සුබ ඵල උදා කරයි. වෘත්ත භින්නත්වය නිසා ද අසුබ ගණ රාශියක් එකතු වී ඇත. ගුත්තිල කාව්‍යයෙහි මුල් ම කවිය මෙසේ ය.

“සියපින් සිරින් සරු

දෙතිස් ලකුණෙන් විසිතුරු

කෙලෙසුන් කෙරෙන් දුරු

වඳිමි මුනි උතුමන් තිලෝ ගුරු

ග්‍රන්ථයක ආරම්භයෙහි සුබ ගණයක් යෙදිය යුතු ය. එහෙත් ගුත්තිල කර්තෘ වෑත්තෑවේ හිමියන් ඒ ගැන නොසලකා ඇත. නැතිනම් ජනප්‍රවාදයෙහි එන පරිදි ගුරු ගෝල ආරවුල නිසා දැන දැනම එසේ යොදන්නට ඇත. කෙසේ හෝ කාව්‍යාරම්භයේ දී වායු ගණය වන ස ගණය යෙදීම නිසා උන්වහන්සේට රට හැර යාමට සිදු වූ බවත් කරදර රාශියකට මුහුණ පාන්නට සිදු වූ බවත් ප්‍රවාදාගත කරුණුවලින් කියැවේ.

ජයමංගල ගාථාවල අවසාන පාදය අටෙහි ම එකක්ම ය. එය දෝෂයක් හෝ දුර්වලකමක් නොවේ. එහෙත් අව්‍යක්ත යෙදීමකි. ‘තේජසා’ යනු මනෝ ගණික තතියා විභක්ති පදයකි. එයට විශේෂණ වශයෙන් ත ශබ්දයේ දුතියා විභක්ති ඒකවචන පදය යොදා ඇත. “තේන තේජසා” යැයි යෙදුවා නම් අර්ථය වඩාත් පැහැදිලි ය. එහෙත් ගාථාවට එසේ යෙදිය නොහැක. එබැවින් භින්නාධිකරණ වශයෙන් “තං තේජසා” යි යොදා ඇත. එසේම මෙහි “ජයමංගලානි භවතු” යැයි උක්ත ආඛ්‍යාත සම්බන්ධතාව නො සලකා ඇත. තවත් අව්‍යක්ත යෙදුම් ගණනාවක් ඇත.

සන්ත තිලකා වෘත්තය සෙත් ශාන්තිමය පද්‍ය බන්ධනයට උචිත වෘත්තයක් නොවේ. එහෙත් සුබ කටයුතුවල දී ජයමංගල ගාථා භාවිත කරනුයේ කුමක් නිසා දැයි විමසා බැලිය යුතු ය. පොදුවේ ගත් කල වැඩි දෙනෙක් පාලි භාෂාව නො දනිති. එසේ ම සුබ අසුබ ගණ යෙදුම් පිළිබඳ වැටහීමක් නැත. මෙම ගාථා පෙළ ළයාන්විතව ගායනා කළ හැක. ගාථා අටේ ම අවසනට “තං තේජසා භවතු තේ ජයමංගලානි” යි ඉතා සරලව යොදා ඇත. මේ නිසා සෙත් පැතීමේ දී ජයමංගල ගාථා භාවිත කරනු ඇතැයි සිතිය හැකි ය.

බෞද්ධයෝ බුදුගුණ කියවෙන නිසා ශ්‍රද්ධා භක්තියෙන් මේ ගාථා පෙළ කියවති. බුද්ධ රත්නයේ අනන්ත ගුණ බල මහිමය නිසාත් ශ්‍රද්ධා භක්තිය නිසාත් ඉහත කී ගණ දෝෂ තරමක් හෝ මැඩපැවත්වෙතැයි සිතිය හැක. සෑම තැනකදීම පාහේ ජයමංගල ගාථා කියවනුයේ සුදු හැඳගත් කන්‍යාවන් පිරිසකි. සුදු පාරිශුද්ධත්වයේ සංකේතයක් වන අතර කන්‍යාව මංගල සම්මත වස්තුවකි. මේ ආදී යහපත් චාරිත්‍ර පිළිපැදීම නිසා කාව්‍ය දෝෂ දුරුවිය හැකි ය.

එහෙත් ප්‍රධාන ම විෂයය දෝෂ සහිත වී උපචාර යහපත් වූ පමණින් සර්ව සම්පූර්ණ දෝෂ භංගත්වයක් සිදුවෙතැයි සිතීම උගහට ය. එහෙයින් සෙත් ශාන්තිය සඳහා උචිත වෘත්තයකින් බඳනා ලද ගාථා පෙළක් ගායනය සඳහා තෝරා ගන්නවා නම් ඉතා මැනවි. එසේ නැතහොත් ව්‍යක්ත විශාරද බහුශ්‍රැත විද්වතකු ලවා ගාථා බන්ධනයක් කරවා එය විද්වත් මණ්ඩලයකින් පරීක්‍ෂණයට ලක් කොට ඉදිරිපත් කරනවා නම් වඩාත් ඵල දායක වනු ඇත. ප්‍රධාන මාධ්‍යයක් නිර්දෝෂී ව කාව්‍ය ශාස්ත්‍රානුකූලව සෙත් ශාන්ති ලැබෙන ආකාරයට සකසා යහපත් උපචාර විධීන් ද අනුගමනය කළහොත් ප්‍රතිඵල ඉතා සාර්ථක වනු නොඅනුමාන ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.