UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙලොව දියුණුව ගැන බුදුරදුන් දැක්වූ සැලකිල්ල

සම්බුදු දහම, ලෞකික දියුණුව හා ලෝකෝත්තර දියුණුව යන උභය දියුණුව සලසා දෙයි. දියුණුව යන අංග දෙක කෙරෙහිම සැලකිල්ලක් දක්වා තිබේ. මේ අනුව බුදු දහම සමාජයට අවශ්‍ය පරිපූර්ණ ධර්මයක් ඉදිරිපත් කරයි. ගිහියකු වශයෙන් මෙලොව දියුණුව සලසා ගන්නා ආකාරය පිළිබඳ කරුණු රැසක් විවිධ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ.

මනුෂ්‍යයාගේ මෙලොව දියුණුව සඳහා උපකාරී වන වැදගත් කරුණු රැසක් මංගල, වසල, පරාභව, වෙළුද්වාර, ධම්මික, කුමාරිකෝවාද වැනි සූත්‍ර වලදී පැහැදිලි කර දී තිබේ. එමෙන්ම සිඟාලෝවාද සූත්‍රයේ දී ද මෙයට අදාළ වන කරුණු රැසක් දක්වා තිබෙන අතර, මෙම සූත්‍රයේ මෙලොව දියුණුව සඳහා හේතු වන කරුණු හතරක් හා පරලොව දියුණුව සඳහා හේතු වන කරුණු හතරක් දේශනා කර තිබේ. පංචශීල ප්‍රතිපත්ති, සතර සංග්‍රහ වස්තු ආදිය පිළිබඳ වසල, පරාභව ආදී සූත්‍ර දේශනා මගින් ඉගැන්වෙන කරුණු පරීක්‍ෂා කර බලන විට පුද්ගලයෙකු මෙලොව දියුණුව සලසා ගත යුතු පිළිවෙත ගැන කරුණු රැසක් අපට හමුවෙයි.

අලස තැනැත්තාට කිසිවිටකත් දියුණුවක් නොසැලසෙයි. මනාලෙස ධනය උපයන්නකු වීම අවශ්‍ය ගුණාංග සතරක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වෙයි. එනම්,

1. උට්ඨාන සම්පද්‍රා

2. ආරක්ඛ සම්පද්‍රා

3.කල්‍යණ මිත්තතා

4. සමජීවිකතා

අං.නි. 08 නිපාතය , යනු ඒ සතරයි.

දැන් සීතලයි, දැන් උෂ්ණයි, දැන් සවස යැයි සිතා අලසව කටයුතු අතපසු කළහොත් ධනයෙන් පිරිහෙයි. ජීවත්වීමේ ප්‍රශ්නය මැනවින් විසඳා ගැනීම සඳහා කෙනෙකු තුළ දැඩි වීර්යයක් උත්සාහයක් තිබිය යුතුයි. දැහැමින් උපයාගත් ධනය රැක ගැනීම ආරක්‍ෂාවයි. ජලය, ගින්න, සොර සතුරු වැනි උවදුරු වලින් පමණක් නොව වස්තුව නැසෙන වෙනත් කරුණුවලින් ද මිදී තම ධනය රැක ගැනීම වැදගත් ය. සමජීවිකාව නම්, අය, වැය සමව සිටින සේ දැන වියදම් කිරීමයි. සපයාගත් ධනයෙන් ප්‍රයෝජන නොගැනීමත් ආදායමට වඩා වියදම් කිරීමත් බෞද්ධ ජීවන පිළිවෙත නොවේ. ණය නැති බව ද සැපයකි.

“ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”

මෙම ගාථාව ධනය වියදම් කිරීම පිළිබඳ මහඟු උපදේශයයි. තමා දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා ගත යුතු ය. ඉන් එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත් යොදා ගත යුතු අතර, හතර වැනි කොටස තමන්ට විපතක් පැමිණි විට ගැනීමට තබාගත යුතු බව ද පෙන්වා දී තිබේ. එහිදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව හා නිරවුල් රක්‍ෂණ ක්‍රමයක් අනුදැන ඇත. මෙකී කරුණු වලින් බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ලෞකික අභිවෘද්ධිය ගැන ද කොතරම් සැලකිල්ලක් දැක් වූ සේ ද යනු පැහැදිලිව පෙනෙයි.

එසේම පුද්ගලයකුගේ මෙලොව අභිවෘද්ධිය සඳහා උපකාරී වන තවත් කරුණක් ලෙස උට්ඨාන වීර්යය හඳුන්වා දී තිබේ. උට්ඨාන වීර්යය ඇත්තකු නිරන්තරයෙන්ම දියුණුව කරා ගමන් කරන්නකු සේ හැඳින්වෙයි. කිසියම් ධාර්මික වූ ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් සඳහා ගොඩනගන අඩිතාලමද ඉතා යහපත් එකක් විය යුතු ය. එමෙන්ම එය කරගෙන යෑම ද එසේම විය යුතු අතර එහි අවසාන ප්‍රතිඵලය ද සාර්ථක විය යුතු ය. ආර්ථික සම්පත්තිය දියුණු වූ පමණින් සමාජයක් යහපත් නොවේ. සමාජයේ ජීවත් වන්නා ශිෂ්ට විය යුතු ය. ඔහු යුතුකම් දන්නා අයකු ද විය යුතු ය. මවුපියන් පෝෂණය කිරීම අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, ඤාති මිත්‍රාදීන්ට සැලකීම ගරු කළ යුතු අයට ගරු කිරීම කළගුණ සැලකීම යන වැදගත් යුතුකම් මංගල සූත්‍රයෙන් පෙන්වා දී ඇත. මෙම කරුණු මැනවින් ඉටු වෙයි නම් ඔවුනොවුන් අතර හොඳ හිත වැඩෙයි. සමාජ දියුණුව ද සැලසෙයි.

බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ව්‍යාග්ගපජ්ජ සූත්‍රයෙහි දී ධනය විනාශ වන පිළිවෙත් වලින් ඈත්වීම පුද්ගලයාගේ මෙලොව දියුණුවට හේතු වන බව පෙන්වා දී ඇත. එහි දී සුරාව, සූදුව පර ස්ත්‍රීන් කරා යෑම, පාප මිත්‍ර සේවනය වැනි අයහපත් දේ වලින් ඈත් විය යුතු බව පෙන්වා දෙයි. සුරාවට ලොල් වූ තැනැත්තා බලා සිටියදී මෙන් පිරිහීමට පත්වෙයි. ඔහු සතු ධනය ඉක්මනින් විකාශයට පත්වෙයි. පාප මිත්‍ර සේවනය ද පුද්ගල පරිහානිය සලසන පිළිවෙත් බව එම සූත්‍රයෙහි සඳහන් වෙයි. මෙම කරුණු අපාය මුඛ, ලෙස හඳුන්වා දී ඇති අතර ගිහියකුට මෙලොව දියුණුව සලසන ප්‍රධාන සාධකයක් ලෙස ආර්ථික තත්ත්වය දියුණු කරගැනීම පෙන්වා දී ඇත. අණන සූත්‍රයේ දී ගිහියාට ලද හැකි සැප සතරක් පෙන්වා දී තිබේ. එනම්

01. අත්ථි සුඛ,

02. භෝග සුඛ

03. අණන සුඛ

04. අනවජ්ජ සුඛ යන හතරයි.

ප්‍රමාණවත් ධනයක් තිබීම, අත්ථි සුඛය යි. එය පරිභෝජනය කර සුවදායක ජීවිතයක් ගත කිරීම භෝග සුඛයයි. තව කෙනෙකුට ණය නොවී ජීවත්වීම අණන සුඛය යි. වැරැදිවලින් ඈත්ව, නිවැරැදි ජීවිතයක් ගත කිරීම, අනවජ්ජ සුඛය යි.

එසේම පස් පව්වලින් වැළකී සිටීම ද අං.නි. දසක නිපාතයෙහි සඳහන් දස අකුසල් වලින් වැළකීම ද මෙලොව දිවිය සාර්ථක කරයි. බුදු දහමේ සඳහන් කළ යුතු දේ කිරීමටත්, නොකළ යුතු දේ නොකිරීමටත් පෙළඹෙන පුද්ගලයා සමාජයෙහි ගෞරවාදරය දිනා ගන්නා කෙනෙකි. එපමණක් නොව සතර අගතිවලට පත්වීමෙන් තොරවීම ද පුද්ගලයකුගේ මෙලොව දියුණුව සලසා ගැනීමට අවශ්‍ය වෙයි.

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]