Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකාවේ ඉපැරැණි අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවලින් හෙළි වන කරුණු

අවලෝකිතේශ්වර නාථ ලෙසින් ද හැඳින්වෙන අවලෝකිතේශ්වර බෝසත් ධ්‍යානී බුදුවරුන් අතුරින් ශ්‍රේෂ්ටත්වයට පත් ‘අමිතාහ’ නම් බුදුරදුන් වෙනුවෙන් මෙලොව පෙනී සිටින බෝසතුන් ලෙස පිළිගැනේ. මහායානයට අනුව සියලුම බුදුවරු ‘සුඛාවතී’ දෙව්ලොව වැඩ වාසය කරන අතර අමිතාභය බුදුන්ට ප්‍රමුඛස්ථානයක ලා සැළකේ.

අමිතාභය බුදුන් මහා කාරුණිකත්වයෙන් යුක්ත වන බවත්, සියලු ලෝවැසියන් අපායාදී, දුගතිවලින් මිදී සුඛාවතී දිව්‍යභවනෙහි උපදින තෙක් කරුණාපූර්වකව බලා හිඳින බවත් මහායානිකයන්ගේ විශ්වාසයයි. මෙම මහායානික අදහස් හත්වැනි සියවසේ පටන් මෙරට සීඝ්‍රයෙන් පැතිරී ගිය බවද මෙහිලා සඳහන් කළ යුතු ය. එදා අභයගිරිය මහායානිකයන්ට විවෘතව තිබූ ආගමික මධ්‍යස්ථානය විය.

මෙරට මහායානය පැතිරයාමත් සමඟම මෙන් අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ව සංකල්පය ඉපැරැණි ආගමික මධ්‍යස්ථානවලට පැතිර ගියේ ඉතා වේගයෙනි. මේ අනුව මාලිගාවිල විහාරභූමියේ දඹේගොඩ නම් ස්ථානයේ ඉදිකර ඇති ශෛලමය අවලෝකිතේශ්වර නාථ පිළිමයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

මෙම ප්‍රතිමාව පළමුවන දප්පුල විසින් ඉදිකරන ලද බව සැළකේ. මොහු අග්බෝ රජුගේ සහෝදරයකු වේ. මෙම බෝසත් පිළිමයේ උස රියන් පහළොවකි. මෙම බෝසත් පිළිමය ඇති මාලිගාවිල විහාරයේ අග්බෝ රජු විසින් ඉදිකරන ලද සුපතළ මාලිගාවිල බුද්ධප්‍රතිමාවද පිහිටා ඇත. මෙම නාථ අවලෝකිතේශ්වර බෝසත් පිළිමයට සමාන වන මෛත්‍රී බෝසතුන්ගේ ප්‍රතිමාවන් ද ඇතැම් ඉපැරැණි සිද්ධස්ථානයන්හි නිර්මාණය කර ඇති අතර එය වෙන් කොට හඳුනාගැනීමේ ඊට අනන්‍ය වූ ලක්‍ෂණ පවතින බවද සැළකිය යුතු ය. දඹේගොඩ පිහිටුවා ඇත්තේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ රූපය නොව අවලෝකිතේශ්වර නාථ බෝසත්රුවයි.

අවලෝකිතේශ්වර නාථ බෝසත් පිළිමය හඳුනා ගනු ලබන්නේ එහි මකුටයෙහි යොදා ඇති සමාධි බුදු රුව කේතු කොටගෙන ය. මෛත්‍රී බෝධිසත්වයන්ගේ රූපය හඳුනා ගැනෙන්නේ මකූටයෙහි යොදා ඇති ස්තූප ලක්‍ෂණයෙනි.

දඹේගොඩ ප්‍රතිමාව පසළොස් රියන් උස යැයි ඉහත දැක්වූවද එය ගණන් ගත යුත්තේ වර්තමානයේ භාවිත වන රියනින් නොව වඩු රියනෙන් බව සැළකිය යුතු ය. සාමාන්‍යයෙන් වඩු රියන අඟල් 24 ක් ලෙස සැළකිය හැකි ය.

දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ ප්‍රතිමාවට අමතරව, බුදුරුවගල පිහිටුවා ඇති අමිනාභ බුදුන්ගේ යැයි සැළකිය හැකි ප්‍රතිමාවට පසෙකින් ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව විශේෂ ස්ථානයක් ගනී. එම ප්‍රතිමාවට පසෙකින් ඇති ස්ත්‍රී ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන්ගේ භාර්යාව ලෙස සැළකෙන ‘තාරා’ දේවියගේ ය. අනෙක් පසින් නෙළා ඇති පුරුෂ රූපය ‘සුදන’ ලෙස සැළකෙන නාථ ගේ පරිවාරක දේවතාවකුගේ යැයි ඇතමෙක් සළකති. මෙහි සඳහන් අවලෝකිතේශ්වර ඇතුලු සියලු රූපයන් ‘චිත්‍රාභාස’ නමින් හඳුන්වන සම්පදායට අනුව ගලෙන් මඳක් මතුකර බදාමෙන් සම්පූර්ණ කර ඇත. අඩි 175 ක් හා අඩි 125 ලෙසින් උසකින් යුත් මේ ක්‍රමයට සකස් කරන ලද ප්‍රතිමා දෙකක් පකිස්ථානයේ බාමියන් කඳුවැටියේ දක්නට තිබෙන බව සඳහන් ය. මේ අනුව මෙම චිත්‍රාභාස සම්ප්‍රදාය එරටින් මෙරටට පැමිණි මහායාන නිර්මාණ ක්‍රමයක් ලෙසද සැළකිය හැකි ය.

රුහුණු ප්‍රදේශයේ ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියෙන් ද අවලෝකිතේශ්වර නාථ ප්‍රතිමාවක් දක්නට ඇත. එය සිතුල්පව්ව මහා විහාරයේ ප්‍රධාන ගල්ලෙන ඉදිරිපිට දක්නට තිබේ. මෙය නාථ හා මෛත්‍රීය බෝසත් පිළිම වල දක්නට ඇති වෙනස ගැන නොසළකා කරවා ඇති බව පෙනේ.

වැලිගම කුෂ්ටරජාගල ප්‍රසිද්ධ වී ඇත්තේ ද අවලොකි තේශ්වර බෝසත් පිළිමය නිසාවෙනි. මෙය අති ප්‍රසිද්ධ අග්‍රබෝධි විහාරයට නුදුරින් පිහිටා ඇති “අන්‍ය නාථ” මෛත්‍රීය බෝසත් පිළිම වල දක්නට ඇති වෙනස ගැන නොසළකා කරවා ඇති බව පෙනේ.

වැලිගම කූෂ්ටරජාගල ප්‍රසිද්ධ වී ඇත්තෙ ්ද අවලෝකි තේශ්වර බෝසත් පිළිමය නිසාවෙනි. මෙය අති ප්‍රසිද්ධ අග්‍රබෝධි විහාරයට නුදුරින් පිහිටා ඇත. “අන්‍ය නාථ” ප්‍රතිමාවල දක්නට ඇති විශේෂ ලක්‍ෂණයක් මෙම පිළිමයේ පිහිටා ඇත. එනම් මකුටයේ දෙපස දෙකක් ද සහ ඉදිරිපස එකකට එකක් උඩින් සිටින සේ දෙකක් ද වශයෙන් සමාධි මුද්‍රාවෙන් යුත් බුද්ධරූප හතරක් පිහිටුවා තිබීමයි. සාමාන්‍යයෙන් නාථ රූපයක මකූටයේ ඇත්තේ එක සමාධි බුද්ධ රූපයක් පමණි. මෙහි පවතින මෙම වෙනස නිසා මහාචාර්ය වරියක් වූ මෑන්ලෝහයිෂන් මහත්මිය ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රතිමාව අවලෝකිතේශ්වර නාථ නොව ‘වෛරෝචන’ නම් බුදුන්ගේ අවතාරය වූ වජ්‍රසත්ව බෝසත් ප්‍රතිමාවක් බවයි.

මහාචාර්යවරිය එසේ පවසා ඇතත් තිරියායෙන් සොයාගන්නට යෙදුණු බෝසත් ප්‍රතිමාවේ මකූටයෙහි බුද්ධ ප්‍රතිමා හතරක් පිහිටුවා ඇත. තිරියාය අවලෝකිතේශ්වර බෝසතුන් අධිගෘහිතස්ථානයක් ලෙස සැළකේ. මෙහි ඇති ගිරිකණ්ඩ චෛත්‍යය වන්දනා කළ සංස්කෘත ශ්ලෝක දහයකින් යුත් ලිපියක් ද පිහිටි ගලෙහි කොටා ඇති බවද දක්නට ඇත. මෙම ලිපිය අනුව අවලෝකිතේශ්වර නාථ සහ මංජු ශ්‍රී බෝසතුන්ගේ ගුණ වර්ණනාකර ගිරිකණ්ඩ චෛත්‍යය වන්දනා කළ බව දැක්වේ. එම නිසා තිරියායෙන් හමු වී ඇති ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසත් පිළිමයක් බව නිගමනය කළ හැකි ය.

අවලෝකිතේශ්වර නාථ බෝසතුන්ගේ අවතාරයක් ලෙස හැඳින්වෙන සිංහනාද අවලෝකිතේශ්වරයන් කුෂ්ට රෝගආදිය සමනය කිරීමේ විශේෂ හැකියාවකින් යුක්ත වන බව ප්‍රකට පිළිගැනීමකි.භේසප්ජගුරු වශයෙන් හඳුන්වන්නේ ද එ නිසා ය. නුවර යුගයේ අවසන් භාගයේ මහනුවර ගොඩනඟන ලද නාථ දේවාලය මේ සඳහා උපයෝගී කරගන්නට ඇත. රෝග සමනය කිරීමේ විශේෂ හැකියාවක් මෙම අවලෝකිතේශ්වර බෝධි සත්වයන් හට ඇති හෙයින් කුෂ්ට රජාගලද සම්බන්ධයෙන් හෙළිකරන තොරතුරු වැදගත් ස්ථානයක් ගනී. කුෂ්ටරජාගලට එම නම ලැබීම ද සම්බන්ධයෙන් බලන විට අවලෝකිතේශ්වර බෝසතුනට ලෙඩ සුව කිරීමට ඇති හැකියාව පෙනී යයි.

සිවුවන අග්බෝ රජතුමාට දරුණු කුෂ්ට රෝගයක් වැළඳී දේවාශීර්වාද ලබා ගැනීම සඳහා එවකට ප්‍රසිද්ධියක් ඉසිලූ දෙවිනුවරට පැමිණ ඇත. මෙහිදී රජතුමා විසින් තම රෝගය සුවකර දෙනු ලැබුවහොත් ඒ වෙනුවෙන් නාථ රූපයක් කරවන බවට දෙවියන් හට භාර වී ඇත. රජතුමාගේ රෝගය සුව වූ අතර භාරය ඔප්පු කිරීම සඳහා වැලිගමට පැමිණ අවලෝකිතේශ්වර නාථ රූපය කරවා ඇත. කුෂ්ටය වැළඳි තිබූ රජුන් විසින් කරවන ලද හෙයින් ඊට කුෂ්ටරජාගල යන නම පටබැඳී ඇති බව විශ්වාස කෙරේ.

පළමුවන අග්බෝ රජු තම කුෂ්ටය සුවකර ගැනීමේ චේතනාවෙන් දෙවිනුවරට පැමිණියේ ඇයි ද යන්න පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමේ දී අපට පෙනී යන්නේ දෙවිනුවර ද අවලෝකිතේශ්වර බෝසත් වන්දනයක් තිබෙන්නට ඇති බවයි. පළමුවන දප්පුල රජ දවස දෙවිනුවර කිරල වැල්ල නම් ප්‍රදේශයට පාවී ආ කිහිරි කඳක් උපයෝගී කරගෙන දෙවිරුවක් තනා දෙවොලක් පිහිටුවා එහි තැන්පත් කරන්නට යෙදුණු බව ඉතිහාසය සඳහන් කරයි. කිහිරි කඳ පාවී ආ වැල්ල කිහිරිවැල්ල පසුව කිරළවැල්ල බවට පත් වී ඇතැයි විශ්වාස කෙරේ. කිහිරි ලීය සාමාන්‍යයෙන් කුෂ්ට රෝගය සමනය කිරීමට බෙහෙවින් උපකාරී වන ඖෂධීය ශක්තියක් ඇති ශාඛයක් හෙයින් එම ලීය උපයෝගී කරගෙන අවලෝකිතේශ්වර නාථ රූපයක් නිර්මාණය කරන ලද බවට කිසිදු සැකයක් නැත. දෙවිනුවර කිහිරැළි පිරිවෙන ලෙසින් භාවිතයට එන්නට ඇත්තේ ද මෙම කිහිරිලීය නිසා විය යුතු යැයි විශ්වාස කෙරේ.

දෙවිනුවරින් සොයාගන්නා ලද මෙම කිහිරි ලීයෙන් නිර්මාණය කරන ලද රූපයෙන් ඇතැම් අවස්ථාවලදී කඳුළු ගලන ලද බවට ද පාරම්පරික මතයක් පැරැණි ගැමියන් අතර පැවතුණත් දැන් එබඳු පිළිමයක් දැක ගන්නට දෙවිනුවර දේවාල පරිශ්‍රයේ නොමැති බවද මෙහි ලා සඳහන් කළ යුතු ය. කෙසේ වෙතත් මෙම ඓතිහාසික සාධක අනුව අපට කිව හැක්කේ දෙවිනුවර පූජා භූමියේ තිබී ඇත්තේ ද අවලෝකිතේශ්වර නාථ පිළිමයක් බවයි.

තවද, අනුරාධපුර කහටගස්දිගිලියේ වෙහෙරගල පූජා භූමියෙන් සොයා ගන්නට යෙදුණු පිළිමයද අවලෝකිතේශ්වර බෝසත් පිළිමයකි. එය ශ්‍රේෂ්ටතම නිර්මාණයක් ලෙස විද්වත්හු සළකති. වම්පස බිම වදින සේ දකුණු පස ආසනය මත තබා ගෙන වමතේ අත්ල ආසනයට බර දී තබා අනෙක් අත ව්‍යාඛ්‍යාන මුද්‍රාවෙන් තබා ඇත. මෙම ප්‍රතිමාවේ බර රාත්තල් 70 ක් පමන වන අතර ප්‍රතිමාව ආසනයේ සිට උස අඟල් 14 කි. පහතට හෙලූ පාදය දණහිසේ සිට අඟල් 5 කි. රාජලීලාව ආසන ක්‍රමය යි. මකුටය වෙන් වශයෙන් ගතහොත් එහි ප්‍රමාණය අඟල් 3 1/2 කි. හැඩපලු ගැසුණු අයුරින් ජටා මකුට ක්‍රමයට තිබේ. මකුටයේ මධ්‍යයේ ‘අඹතෙස්’ ගණයේ මැණිකකි. එය වටා මැණික් ගල් කිහිපයක් ද ඇත. ප්‍රතිමාවේ උඩුකය නග්නම ඇත. වම් උරය මතින් ගිය පටු උත්තර සාටකයකි. ආභරණ ලෙස ඇත්තේ අතෙහි වූ වළලු දෙකක් පමණකි.

ඉල ඇට යන්තමින් ද බඩේ රැළි ද මද වශයෙන් පෙන්වා ඇත. රන්වන් පාටින් බබළන මේ රූපය හුදෙක් මංජු ශ්‍රී බෝසත් රූපයක් ලෙස සැළකිය හැකි වෙතත් බොහෝ දෙනකුගේ පිළිගැනීම අවලෝකිතේශ්වර නාථ බව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියන් දක්වා ඇත. මීට අමතරව ලංකාවේ පුරාවිද්‍යා කෞතුකාගාර කිහිපයකද මෙහි දැක්වෙන අවලෝකිතේශ්වර බෝසත් පිළිම කිහිපයක් අපට දැක ගත හැකිව ඇත. මෙම බෝසත් පිළිම වලට වන්දනා කිරීමෙන් තම රෝග බිය පහකරවා ගෙන සුවය සලසා ගත හැකි බවට මහජනතාව අතර පවතින්නේ දැඩි විශ්වාසයක් බවද සඳහන් කළ යුතු ය. කෙසේ වෙතත් මෙම නිර්මාණ එදා සිටි මූර්ති ශිල්පීන්ගේ කෞශල්‍යත්වය මැනවින් නිරූපණය කරවන්නකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.