‘බෞද්ධයා’
කවුද?
කොළඹ 5.
හැව්ලොක්ටවුන්හි
ඉසිපතනාරාමවාසී
වග විජිතවංස හිමි
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා
වශයෙන් සිව් කොටසකි. මෙහිදී බලාපොරොත්තු වන්නේ මෙම සිව්වණක් පිිරිසෙන්
උපාසක, උපාසිකා යන කොටසේ යථා ස්වරූපය පැහැදිලි කිරීමටය. උපාසක, උපාසිකා
කොටස හැඳින්වීමට වර්තමානයේ භාවිත වන්නේ බෞද්ධයා යන වචනය යි. උපාසක යන
වචනයේ මුඛ්‍යාර්ථය වන්නේ සමීපයේ වාසය කිරීම' යන්නයි. ඒ අනුව තෙරුවන්
සමීපයේ වාසය කරන්නා උපාසක යන වචනයෙන් හැඳින්විය හැකිය.
වරක් මහානාම නම් ශාක්‍යා වංශිකයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ
උපාසකයා යනු කවරෙක්දැයි විමසයි. 'කෝනු ඛෝ භෝ ගෝතම උපාසකෝ හෝති, යථෝ ච
ඛෝ මහානාම, බුද්ධං සරණං ගතෝ, ධම්මං සරණං ගතෝ, සංඝං සරණං ගතෝ, එත්තාවතාච
ඛෝ මහානාම උපාසකෝ හෝති' යම් පුද්ගලයෙකු බුදුන්, දහම්, සඟුන් යන
ත්‍රිවිධ රත්නය සරණ ගියේ නම් ඔහු උපාසකයෙකු නො එසේනම් බෞද්ධයෙකු බවට
පත්වෙයි. නමුත් වර්තමානයේ බොහෝ බෞද්ධ යැයි කියා ගන්නා පුද්ගලයින් බෞද්ධ
බවට පත් වී තිබෙන්නේ තෙරුවන් සරණ යාමෙන් නොව උපතින්ම නොඑසේනම්
පරම්පරාවෙන්ම බෞද්ධ වූ නිසා ය. එසේ වුවද සැබෑ බෞද්ධයකු බවට පත්වන්නේ
කරුණු අවබෝධ කර ගැනීමෙන් පසවය. එබඳු පුද්ගලයා කිසිදු දිනෙක කුමන
හේතුවක් නිසාවත් තම බෞද්ධකම අත් හරින්නේ නැත. වර්තමානයෙහි බොහෝ
විදේශිකයින් බෞද්ධයන් බවට පත්වන්නේ මෙලෙස කරුණු විපරම්කර බැලීමෙන්
අනතුරුවය. එසේම නියම බෞද්ධයා කිසි විටෙකත් වෙනත් ආගමික ස්ථානවලට ගොස්
පුද පූජා පැවැත්වීම, යාඥා කිරීම, පොල් ගැසීම, පූජා වට්ටි තැබීම ආදී
ක්‍රියා සිදු කරන්නේ නැත. බෞද්ධයාගේ සිතෙහි රැව්දෙන සිතිවිල්ල, විය
යුත්තේ
නත්ථි මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං
ධමේමො මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං
සංඝො මේ සරණං වරං
මට බුදුන් සරණ හැර
වෙනත් සරණක් නැත
මට දහම් සරණ හැර
වෙනන් සරණක් නැත
මට සඟුන් සරණ හැර
වෙනත් සරණක් නැත. යන්නයි.
ඇතැම් අය බෞද්ධයන් විවිධ දේශකවරුන්ගේ විවිධ පුද්ගලයින්ගේ විවිධ
අඩුපාඩුකම් නිසා තම ‘බෞද්ධකම’ අත්හරිති. නැතිනම් විවිධ තනතුරුවලට
මුදල්වලට, සැප පහසුකම්වලට තම බෞද්ධකම පාවා දෙයි. මෙය සැබෑ බෞද්ධයෙකුගේ
ලක්ෂණය නොවේ. සැබවින්ම තෙරුවන් සරණ ගිය පුද්ගලයෙකුට ඒ ආකාරයෙන් තම
බෞද්ධකම පාවා දිය නොහැක. ඔහු තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති ශ්‍රද්ධාව
හා ගෞරවය වෙනස් විය නොහැකිය.
බෞද්ධයෙකු සතුවිය යුතු තවත් ගුණාංග හතරක් තිබේ. එනම් ශ්‍රද්ධාව, ශීලය,
ත්‍යාගය හා ප්‍රඥාවයි. ශ්‍රද්ධාවෙහිද ප්‍රභේද දෙකක් තිබේ. අමූලිකා
ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා යනුවෙනි. කරුණු විපරම් කර බැලීමකින් තොරව
ඇතිකරගනු ලබන අමූලිකා ශ්‍රද්ධාව බුදුදහම අනුමත නොකරන අතර බුදු දහම
පිළිගන්නේ කරුණු විපරම් කර බැලීමකින් පසු ඇති කරගනු ලබන ආකාරවතී
ශ්‍රද්ධාවයි. බෞද්ධයා තෙරුවන් කෙරෙහි ඇතිකරගත යුත්තේ ආකාරවතී
ශ්‍රද්ධාවයි. හොඳ නරක ප්‍රතිඵල කලින් විනිශ්චය කරගත් නිසා ආකාරවතී
ශ්‍රද්ධාව වෙනස් නොවේ. ආකාරවතී ශ්‍රද්ධාව ඇතිකරගත් පුද්ගලයා ආමිස
පූජාවට වඩා මුල්තැන දෙන්නේ ප්‍රතිපත්ති පූජාවටය. බුදුරදුන් වදාලේ ආමිස
පූජාවෙන් තමන් වහන්සේ පූජාවට ලක් කරන පුද්ගලයා නියම ලෙස තමන් වහන්සේ
නොපුදන බවයි. එහෙත් මෙයින් ආමිස පූජාව අවශ්‍ය නොවන බව අදහස් නොවේ.
ප්‍රතිපත්ති පූජාවට ගමන් කළ හැක්කේ ආමිස පූජාවෙනි. නමුත් මුල්තැන දිය
යුත්තේ ප්‍රතිපත්ති පූජාවටය.
බෞද්ධයෙකු සතුවිය යුතු දෙවැනි ගුණාංගය වන්නේ ශීලයයි. බෞද්ධ ගිහියාට
බුදුරදුන් වදාළ නිත්‍ය ශීලය වන්නේ පංචශීලයයි. පන්සිල් තම නිවසේ සිටම,
තම කාමභෝගී ජීවිතයට බලපෑමක් නොවන අයුරින් පිළිපැදිය හැකිය. පන්සිල් පද
බෞද්ධයන්ට පමණක් ආවේණික වූවක් නොවේ. මෙම සිල් පද පහ කඩ කරන පුද්ගලයන්ට
නීති මගින් ද දඬුවම් ලැබේ. නමුත් එයට වඩා වැදගත් වන්නේ අධ්‍යාත්මික
ශික්ෂණයයි. මෙම කරුණු පිළිබඳව යථාර්ථවාදිව සිතා බලා බෞද්ධයා තමා තුළ
අධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගත යුත ªය. එමෙන්ම කුඩා පවද පවක් ලෙස දැක
බැහැර කළ යුතු ය.
පරිත්‍යාගයද බෞද්ධයෙකු ළඟ තිබිය යුතු ගුණාංගයකි. මෙය පාලි භාෂාවෙන්
හඳුන්වන්නේ 'චාග' යනුවෙනි. පරිත්‍යාගයක් සිදු කළ යුත්තේ පරිත්‍යාග කරන
දෙය තමාට පාවිච්චි කිරීමට නොහැකි නිසාවත්, අනවශ්‍ය නිසාවත් නොවේ. එය
නිර්ලෝභීව, ප්‍රසන්න සිතින් කළ යුතුය. පරිත්‍යාග කිරීමෙන් සිදුවන්නේ
අත් හැරීමකි. අත් හැරෙන්නේ තෘෂ්ණාවයි. පරිත්‍යාග කිරීමෙන් අනතුරුව දෙව්
ලොව සැප සම්පත් හෝ වෙනත් ලෞකික දෑ බලාපොරොත්තු නොවිය යුතුය. පරිත්‍යාග
කරන්නාට එම සැප සම්පත් නිරායාසයෙන් ම ලැබේ. එහෙත් අවධානය යොමු කළ
යුත්තේ එම ලෞකික සැප සම්පත්වල ඇලි ගැලී සිටිනවාට වඩා තම අධ්‍යාත්මික
තත්ත්වය දියුණු කර ගැනීමටයි.
ප්‍රඥාව බෞද්ධයෙකු ළඟ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයකි. එහෙත් ප්‍රඥාව
තිබිය යුත්තේ ශ්‍රද්ධාව හා සමානවය. එසේ නොවුනොත් ඔහු කපටි පුද්ගලයෙකු
බවට පත්වේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ එය අසා, කියවා
තේරුම් ගත හැකි නුවණක් තිබෙන පුද්ගලයන්ටය. එම නිසා බෞද්ධයාට ප්‍රඥාව
අවශ්‍යම ගුණාංගයකි. ප්‍රඥා සම්පන්න පුද්ගලයා බුදු දහමේ අගය වටහා ගනී.
විචාරශීලීව ඒ පිළිබඳව කළකිරීමට පත්නොවී යථාර්ථවාදි ජීවිතයකට ඔහු යොමු
වෙයි. මේ කරුණු ඔබ තුළ ඇති කරගෙන සැබෑ බෞද්ධයෙකු බවට පත්වීමට
උත්සාහගන්න. ඔබේ සැබෑ බෞද්ධකම, ඔබට මෙන්ම රටට සුවිසල් සෙතක් සලසන බව නො
අනුමාන යි.
ඔබ සැමට තෙරුවන් සරණයි. |