UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමුනිච්චිය ශ්‍රී රතනචේතියාරාමය


අකුරුගොඩ
දේවානන්ද හිමි

රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ දහදියෙන් කඳුලෙන් ලෙයින් පෝෂණය වූ පුරාණ අනුරාධපුර රාජධානියට නෑකම් කියන්නා වූ ප්‍රදේශයක පිහිටි කැකිරාව ගලෙන්බිඳුනුවැව මාර්ගයේ ගනේවල්පොල නගරයේ සිට කි.මී. 4 ක් පමණ ගමන්ගත් පසු හමුවන නා ඇල හන්දියෙන් වමට හැරී තවත් කි.මී. 2 ක් පමණ වැව් බැම්ම දිගේ ගිය විට නිල් වන් වන රොදකින් වටවූ නිසංසල පරිසරයක සිසිල් පවන් රොදින් නිරන්තරයෙන් සුවපත් වන අමුනිච්චිය නම් වූ සුන්දර ගම් පියස හමුවෙයි.

මෙය තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.

ගම ආරම්භයේ පිහිටි අමුනිච්චිය වැව් දිය තලයත් සිසිල් සුළං රැලත් සමග සිලි සිලියේ නැලවෙන බෝ පත් තදින් සැනහෙන ශ්‍රී රතන වේතියාරාම විහාරස්ථානය මෙම ගම් බිමට ප්‍රාණය දෙන්නා වූ මහා සම්පතක් යයි කිවහොත් නිවැරදි ය.

රිටිගල කඳු මුදුනට මුවා වී හිරු මල පිබිදෙන විට වැව් දිය තලය රිදී වතින් සැරසෙන අසිරියත් ඒ හා යාබද නිල්වන් කෙත් යායේ කරල් රන් පාටින් දිලෙන අපූරුවත් කියාපානුයේ ගොවිතැන ජීවනෝපාය කරගත් ගම් වැසියන්ගේ දෑතේ හා හදවතේ ඇති නිබඳ ශක්තියයි.


දර්ශනීය වාහල්කඩ


පැරැණි බෝධීන් වහන්සේ

පවුල් 150 කට ආසන්න සංඛ්‍යාවකට සීමා වූ මෙම ගමෙහි 30 කට අධික තරුණ පිරිසක් යුද හමුදා හා පොලිස් සේවයේ යෙදෙන අතර 25 කට ආසන්න පිරිසක් ගෘහ සේවය සඳහා විදේශ ගතව ඇත. දැනට 5 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වන අමුනිච්චිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා රජයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි රැකියා ලබාගත් පිරිසක් ද ගම තුළ සිටියි.

ජනප්‍රවාද වලට අනුව මෙම ගමට අමුනිච්චිය යයි නම් ලැබීමට හේතුවූ කරුණු දෙකකි. ගමට නැගෙනහිරින් පිහිටා ඇති රිටිගල කන්දේ ජයසේන නම් රජකෙනෙක් මහා සේනාවකින් වැඩගත් නිසා මහසෙන් නමින් ප්‍රකටව රජකම් කළේය.

ඒ රජු විසින් කළුගලින් තනවන ලද මාලිගා හා විහාර නටඹුන් අදටත් දක්නට ලැබෙන අතර නා උයනක් සාදා එයට නා මළුව යයි නම් කොට එහි නා වෙහෙර නමින් චෛත්‍යයක් කරවූ බවත්, මළුවේ, සිට විශාල ඇළක් තිබූ බවත් එම ඇළ නා ඇළ නමින් හඳුන්වන බවත් ප්‍රකට කියමනකි.

මෙම කන්ද පාමුල මහරාජ ඇළ නමින් ඇළක්ද තිබූ අතර මෙම මහරාජ ඇළෙන් නා ඇළෙන් ජලය ඒරුවැව නම් වැවට ගෙනයෑම සඳහා මහසෙන් රජතුමා විසින් අමුනක් සාදවා තිබේ.

පසුව රජතුමා විසින් තම වැසියන්ට එහි ගොස් එම ගම දියුණු කරගෙන වාසය කරන ලෙස කී විට එම ගමට පැමිණීමට නොදන්නා බව වැසියෝ රජුට කීහ.

කන්දෙන් බැස බස්නාහිර දෙසට ටික දුරක් යන විට නිච්චියටම අමුනක් හමුවේවි යයි රජු කී සළකුණු ඔස්සේ ගිය වැසියන් නිච්චියටම අමුනක් ඇති පෙදෙස සොයාගෙන එම පෙදෙස අමුනිච්චිය නමින් නම් කොට වාසය කළ බවත් රජතුමා මොවුනට වැදුම් පිදුම් කිරීමට රත්රන් නිදන්කොට විහාරස්ථානයක් කරවා දුන් බවත් රත්රන් නිධන් කොට තැනූ නිසා රත්ත චේතියාරාමය ලෙස නම් කළ බවත් නිච්චියටම එහි රන් අමුනක් නිදන් කළ නිසා නිච්චියටම රන් අමුන අමුනිච්චිය නමින් අදටත් ප්‍රකටව පවතින බවත් ජනප්‍රවාදයේ කියැවේ.

ජනප්‍රවාද කුමක් වූවද අමුනිච්චිය ශ්‍රී රතනචේතියාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන ගම්මු විවිධ කරුණු කාරණා උදෙස් විවිධ ලෙස භාරහාර වෙති.

ගොවිතැන් කටයුතු නිමාවූ කළ ගොවීහු බෝධීන් වහන්සේ ඉදිරිපිට ඉමහත් භක්තියෙන් කිරි ඉතුරුම් මංගල්ලය පවත්වති.


නව ඝන්ඨාර කුළුණ

ඉතා පැරණි සෙල් ලිපියක්ද ටැමිපිට විහාර ගෙයක සළකුණු සහිත ගල්කණු හා නටඹුන් ද පැරණි ශෛලමය බුද්ධ ප්‍රතිමාවක ශේෂද අදටත් මෙම විහාරස්ථානයේ දී දැකගත හැක.

බොහෝ කලක් වල් වැදී විවිධ උපද්‍රව වලට ලක්වී මෑත යුගයේ දී ගම් වැසියන්ගේ උත්සාහයෙන් පිලිසකර කරගත් බුදු මැදුරත්, බෝධි කොටුවත් ආවාස ගෙයත් මෙම විහාරස්ථානය සතු අනෙක් සීමිත සම්පත් ය.

ස්වාමීන් වහන්සේලා කිහිප පලක්ම කඩින් කඩ මෙම විහාරස්ථානයේ විසූවද ස්ථිර ලෙසම වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමකගේ තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.

ටික කලක් ස්වාමීන් වහන්සේලාගෙන් හිස් වී පාලු වී ගිය මෙම විහාරස්ථානයට නැවත ආලෝකය ලබාදී, විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා ඉමහත් වෙහෙසක් දරන පාසල් දරුවන්ගේ හා වැඩිහිටි ගම්වැසියන්ගේ ආධ්‍යාත්මීය ගුණය වැඩි දියුණු කිරීම උදෙසාත් ශිෂ්ඨ සම්පන්න දරු පිරිසක් බිහි කිරීම සඳහාත් ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කරන දැනට විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩ වසන පලුගොල්ලාගම ශ්‍රී ඤානිස්සර පරිවේණාධිපති ශාස්ත්‍රවේදී අකුරුගොඩ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව මෙම විහාරස්ථානය ආශි‍්‍රතව පවත්වාගෙන යන ශ්‍රී ගුණරතන දහම් පාසල සිසු දරු දැරියන් 80 දෙනෙකුගෙන් පමණ හා ආචාර්ය වරැන් දස දෙනෙකුගෙන් පමණ සමන්විතය.

තවද ළදරු පාසල, ශාසනාරක්‍ෂක සමිතිය, උපාසක සමිතිය, කාන්තා සමිතිය, ළමා සමාජය, අවමංගල්‍යාධාර සමිතිය ආදී විවිධ සමිති සමාගම් රැසක් ද විහාරස්ථාන කේන්ද්‍ර කොට ගෙන පවත්වනු ලබයි.

ගොවිතැන ජීවනෝපාය කරගත් ගැමි සිරිතට විරිතට මුල්තැන දෙමින් ආගමට දහමට නැඹුරු වී ජීවත්වන ගම් වැසියන්ගේ දහදිය මහන්සියෙන් හා දානපතින්ගේ කාරුණික පරිත්‍යාගයෙන් ගම්වැසියන්ගේ මුදුන් මල්කඩ බඳු මෙම විහාරස්ථානයේ දැනට ඉදිකරන ලද බුද්ධ මන්දිරය නොබෝදා විවෘත වූ අතර දාන ශාලාවට හා බෝධි ප්‍රාකාරයට මුල්ගල් තැබීමද සිදුවිය.

ඉතා ශාන්ත වූ සුන්දර ගැමි පරිසරයකට උරුමකම් කියන්නා වූ මෙවන් පැරැණි බෞද්ධ උරුමයන් මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම අප කාගේත් වගකීමකි.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]