Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - “දිට්ඨ ධම්ම හිතාය” ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. මේ පිළිබඳ ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර - “ මෙලොව හිත සුව පිණිස පවත්නා” යන්න එහි සරල අදහස ය. ඒ සඳහා ජීවන මාර්ග හතරක් ධර්මයෙහි සඳහන් වෙයි. 1. උට්ඨාන සම්පදා, 2. ආරක්‍ඛ සම්පදා, 3. කල්‍යාණ මිත්තතා, 4. සමජීවිකතා

ප්‍රශ්නය - ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වන පරිදි පරලොව මනුෂ්‍යයාගේ ජීවිතය සැපවත් කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.

පිළිතුර - පරලොව හිත සුව පිණිස පවත්නා ධර්මයෝ සතර දෙනෙක් වෙති. එනම් 1. සද්ධා සම්පදා 2. සීල සම්පදා 3. ත්‍යාග සම්පදා, 4. ප්‍රඥා සම්පදා යන මේවා ය.

ප්‍රශ්නය - “අජද්ධු මාරිතං” මෙය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්මානුකූල ව පැහැදිලි කරන්න.

පිළිතුර - සම්පත් අනුභව නොකොට මරණයට පත්වන තැනැත්තා “අජද්ධු මාරික” නම් වෙයි. අනාථ මරණය යන නමින් ද මෙය හඳුන්වයි.

ප්‍රශ්නය - සිත පිරිසුදු ව තබාගෙන කරන හැම ක්‍රියාවක්ම කුසල් බව ධර්මය හැදෑරීමෙහි දී අප ඉගෙන ගෙන තිබේ. එසේ නම් පිරිසුදු සිතක ස්වභාවය පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර - ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි එන “මනසා චේ පදුට්ඨෙන මනසා චෙ පසන්නේන” යන පාඨ දෙක කෙරෙහිත් අවධානය යොමු කරන්න. පදුට්ඨෙන හා පසන්නේන යන පද දෙකෙන් ගම්‍ය වන්නේ අපිරිසුදු හා පිරිසුදු සිතක ස්වභාවයයි. “භවාංග චිත්ත” යයි නම් කරන භවයාගේ නොසිඳ පැවැත්මට හේතුවන සිත පිරිසුදු ය. මඩ බොර නැති ප්‍රසන්න පිළයක් සේ පිරිසුදු ය. මේ පිරිසුදු සිත ඇස්කන් නාස ආදී වූ දොරටු මගින් ඇද බැඳ ගන්නා අරමුණු නිසා උපදනා ලෝභ, ද්වේශ, මෝහ ආදී වූ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වේ. “පභස්සර මිදං භික්‍ඛවෙ චිත්තං තං බො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපකිලිට්ඨං” ආදී දේශනාවට අනුව වඩාත් පැහැදිලි වනු ඇත.

ප්‍රශ්නය - මෙහි පහත සඳහන් වන්නේ ධම්මපද ග්‍රන්ථයෙන් උපුටාගත් ගාථා ධර්මයකි. අදහස කෙටියෙන් පැහැදිලි කර ධර්මානුකූල විවරණයක් සපයන්න. “සුභානුපස්සිං විභරන්තං ඉන්ද්‍රයෙසු අසංවුතං භොජනම්භි අමත්තඤ්ඤං කුසීතං හීන විරියං තං වෙ පසහති මාරො වාතො රුක්ඛං ව දුබ්බලං”

පිළිතුර - රූපාදී වූ අරමුණු ශුභයයි දකිමින් වාසය කරන ඇස් කන් නාසාදී වූ ඉඳුරන්හි සංවර නැති අහරෙහි දී පමණ නොදත් අලස වූ වීර්ය රහිත ඒ පුද්ගලයා දුබල රුකක් සුළඟින් උදුරා දමන්නාක් මෙන් මරු වසඟයට යේ.

සුභානුපස්සිං විහරන්තං පුහුදුන් මිනිසුන් විසින් දිවා රෑ දෙක්හි ශුභ වශයෙන් දකින සිතන අරමුණු සයෙක් වේ.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යනුවෙන් ඒ සය නාමිකව සඳහන් වෙයි. මේ රූපාදී අරමුණු දුබල මිනිසෙකු සැරයටියක ආධාරයෙන් එල්බගන්නා සේ චිත්ත, චෛතසික ධර්මයන්හි එල්බගනු ලැබෙයි. ඒවාට අරමුණු යැයි කියන්නේ ඒ නිසා ය.

ප්‍රශ්නය - සූත්‍ර හා අභිධර්ම පිටක දේශනා අනුව ක්ලේශ ධර්ම දසයකි. පැහැදිලි කරන්න.

පිළිතුර - ලෝභ, ද්වේශ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්චා, ථීන, මිද්ධ, අභිරික, අනොත්තප්ප යනුවෙනි.

ප්‍රශ්නය - විදර්ශනා භාවනාව පිළිබඳ ව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර - සංස්කාරයන් කෙරෙහි වු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ සිතට නගාගෙන සිත එහි පුරුදු කිරීමෙන් භවත්‍රයෙහි කිසිවක සිත නොඇලෙයි. කිසිවිටෙකත් සංස්කාර ධර්ම ශුභවාදීව පිළිනොගනී. සංස්කාර ධර්ම පිළිබඳව නැවත වැඩීමෙන් බලවත් ව ගිය විදර්ශනාව උත්ථාන ගාමිණී විදර්ශනා යනුවෙන් නියත වශයෙන් ම නිර්වාණාවබෝධය සඳහා ම සිත යොමු කරන බව සඳහන් වෙයි.

ප්‍රශ්නය - පින් කළ අය සුගතිගාමී වෙති. ධර්මයට අනුව සුගති යන්න පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර - කාමාවචර, රූපාවචර, අරූපාවචර යයි මූලික අවස්ථා තුනකි. කාමාවචර සුගති මනුස්ස, චාතුම්මහාරාජික, තාවසිංසයාම, තුසිත, නිම්මාණ රති, පරනිම්මිත වසවත්ති යනුවෙන් සත්වැදෑරුම් වෙයි.

ප්‍රශ්නය - මිනිස් ලොව උපත ලද අයෙක් තමන් කළ කුසල කර්මයන්ගේ විපාක වශයෙන් මහා සම්පත් ඇති මහා සාර කුලවල උපත ලබන බව බෞද්ධ පොත පතෙහි සඳහන් වෙයි. මෙම මහාසාර කුල කීයක් තිබේද? ඒවා පිළිබඳ ව ඔබ උගත් යමක් සඳහන් කරන්න.

පිළිතුර - මහාසාර කුල 05 කි.

1. ගෘහපති මහාසාර සම්පත්තිය
2. බ්‍රාහ්මණ මහාසාර සම්පත්තිය
3. ක්‍ෂත්‍රිය මහාසාර සම්පත්තිය
4. ප්‍රදේශ මහාසාර සම්පත්තිය
5.චක්‍රවර්ති මහාසාර සම්පත්තිය යනුවෙනි.

ප්‍රශ්නය - විනය පිටකය ග්‍රන්ථ වශයෙන් ගත් විට 5 කි. පරිවාර පාලි එක ග්‍රන්ථයකි. පරිවාර පාලි ග්‍රන්ථයට අයත් ධර්ම කොටස් පැහැදිලි කරන්න.

පිළිතුර - පඤ්ඤාත්ති, ආපත්ති, විපත්ති, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත, ධම්ම, වේදල්ල වශයෙනි.

ප්‍රශ්නය - නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය යනුවෙන් ධර්මයට පර්යාය (විස්තර) සටහනක් ධර්ම ග්‍රන්ථවල අපට බෙහෙවින් දක්නට ලැබේ. පැහැදිලි කරන්න.

පිළිතුර - සෝවාන් මඟ, ඵල, සකදාගාමි මඟ, ඵල, අනාගාමි මඟ, ඵල, අර්හත් මඟ, ඵල, නිර්වාණය යනුවෙන් එය දැක්වේ.

ප්‍රශ්නය - තෙළෙස් ධූතාංග මොනවා ද? බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ තෙළස් ධූතාංග පිළිබඳ ව සටහනක් කරන්න.

පිළිතුර - පංසුකුලිකංග, තෙචිචරිකාංග, පිණ්ඩපාතිකංග, සපදාන චාරිකංග, ඒකාසනිකංග, පත්ත පිණ්ඩිකංග, බලුපච්ඡා භන්ති කංග, ආරඤ්ඤකංග, රුක්ඛ, මූලිකංග, අඛිභොකාසිකංග, සොසාතිකංග, යථාසන්තිතිකංග, සොසජ්ජිකංග ලෙස ය.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි දී බෞද්ධ ජීවන මාර්ගයට සුදුසු වෘත්තීන් කිහිපයක් ඉදිරිපත් කළහ. ඒ මොනවාද?

පිළිතුර - කෘෂිකර්මය – කසියා වෙළඳාම, වණිජ්ජා, ගවපාලනය, හොරක්ඛෙත්ත, රාජ්‍ය සේවය, රාජපොරිසෙන, වෙනත් කිසියම් ශිල්පයක්, සිරිපඤ්ඤනරෙන.

ප්‍රශ්නය - සත්වයා ස්කන්ධ හෙවත් කොටස් 05 කට බෙදනු ලැබේ. මේ බෙදීම පිළිබඳව ධර්මානුකූල ව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - සත්වයා පළමු කොට නාම හා රූප වශයෙන් කොටස් දෙකකි. නාමය ස්කන්ධ 04 කට බෙදනු ලැබේ. එවිට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් පහ ලැබේ.

ප්‍රශ්නය - ලංකා ශාසන ඉතිහාසයෙහි ඉතා සුවිශේෂ පුවතක් වංස කථාවල මෙසේ සඳහන් වෙයි. මේ ප්‍රකාශය ඇතුළත් එම පුවත ගැන විස්තරයක් සපයන්න.

“අහං බුද්ධංච ධම්මංච සරණං ගතො උපාසකත්තං - දෙසෙසිං සක්‍ය පුත්තකස්ස සාසනෙ ත්වාම්පිමානි රතනානි උත්තමානී නරුත්තම චිත්තං පසාදයත් වාන සද්ධාය සරණංවජ” මම තෙරුවන් සරණ යමි, බුද්ධ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමයාණනි, ඔබ ද සිත් පහදවන ඒ තෙරුවන් සරණ යන්න.

පිළිතුර - අශෝක මහ රජතුමන් විසින් මසකට පමණ කළින් ලක් රජු වෙත එවන ලද මෙම දහම් පණිවිඩය, මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත පිරිසේ කාර්යභාරය පිළිබඳ කළ පෙර වදනක් ලෙස සැලකිය හැකි ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.