Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අවසන් මොහොතට මුහුණ දෙන හැටි

ඉපදීම සහ මරණ සත්වයා උරුම කොට ගත් සනාතනික ධර්මතාවයකි. මෙකී අවස්ථා දෙක අතර බාල, තරුණ, මැදි, මහලු වියට පත්වෙමින්, ජීවිතය පවත්වාගෙන යෑමට සෑම සත්වයෙක්ම ඉමහත් වෙහෙසක් දරයි. ඇති, නැති පරතරය අනුව, තරාතිරම අනුව ජීවන ප්‍රශ්න අඩු වැඩි වුවත් සැබැවින්ම සියලු සත්ත්වයෝ ජීවිත සටනක යෙදෙති. මුදල් අග හිඟ අයට දැඩි ආර්ථික අපහසුතා ඇති වූවත් මානසික ගැටලු බහුල නොවන්නට පුළුවන. අසීමිත ධනස්කන්ධයක් හිමි අයට ආර්ථික අපහසුතා නොමැති වූවත් දැඩි මානසික ගැටලු තිබෙන්නට පුළුවන. මෙනයින් බලන කල සැප, දුක, නින්දාව, ප්‍රශංසාව, යස, අයස, ලාභය, අලාභය යන අටලෝ දහම ජීවිතය පවත්වාගෙන යෑමේ දී ලබන විඳීම් සමූහයයි. අත්දැකීම් සමූහයයි. උපතේ දී පටන් මරණය දක්වා හොඳ, නරක වශයෙන් සිදුවන මෙම ක්‍රියාදාමය මරණින් පසු සත්ත්වයන්ගේ ඊළඟ භවය තීරණය කරයි. මෙම ජීවිතයේ දරා සිටින ශරීර කූඩුව උන් හිටි තැන්වල අතහැර දමා ගියත්, උපාදානස්කන්ධ පරම්පරාව භවයෙන් භවය දිගටම පවතියි. මෙලොව දී පින් කළ විට නිවන් අවබෝධ වනතුරු දෙව් මිනිස් සැප නිතර නිතර ලැබිය හැකි අතර, පව් කළ විට ඊට හාත්පසින්ම වෙනස් වූ තිරිසන්, ප්‍රේත, අසුර, නරකාදී, ලෝකවල උපත ලබා කල්ප ලක්‍ෂ ගණන් දුක් විඳීමට, නීරස අත්දැකීම් ලැබීමට සිදුවනු ඇත. එම භවයන්හි උපත ලදහොත් පින්කර ගැනීමට අවස්ථා ද නොලැබී යනු ඇත.

මරණය ක්ෂණික මරණය හා සම්මුති මරණය වශයෙන් දෙයාකාර වන අතර, ජීවත් වන කාලය තුළ සිතෙහි හා සිරුරේ ක්ෂණයෙන් ක්ෂණය සිදුවන වෙනස්කම් ක්ෂණික මරණය නම් වේ. හදිසියේ දී බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිදුවන මරණය ක්ෂණික මරණය ලෙස මෙහිදී වරදවා නොගත යුතු වේ. සම්මුති මරණය යනු අපේ ඇසට පෙනෙන කිසියම් නාමයක්, රූපයක් දරා සිටින පුද්ගලයෙකුගේ එම ජීවිතය නිෂ්ක්‍රීය වීමයි. මෙහිදී එතෙක් දරා සිටි ශරීර කූඩුව මෙලොව හැර ගියත් උපාදාන ස්කන්ධ යනුවෙන් ව්‍යවහාර කරනු ලබන ශක්ති විශේෂය දිගටම පවතියි. උපාදානස්කන්ධ වටා එක් භවයකදී අප විසින් ගොඩ නඟා ගනු ලබන ජීවිතය මම, මගේය කියා සිතා ගැනීම සිදුවෙයි. තණ්හා, දිට්ඨි, මාන වශයෙන් තදින් අල්ලා ගනියි. අන් අය විසින් ද මෙම ජීවිතය සමාජ ඒකකයක් ලෙස පිළිගනී. මමය මාගේ යැයි සිතා ගන්නා ජීවිතය, ඉන්පසු කවදා හෝ නිෂ්ක්‍රිය වූ විට එය ‘මරණය’ ලෙස සම්මුතියෙන් අන් අය හඳුනා ගනිති.

මරණයට භීතියට පත් වීමට හේතුවන කරුණු කිහිපයකි. මැරෙන මොහොතේ දී හටගත හැකි කායික වේදනා සිහි වීමෙන් ඇතිවන බිය, මරණින් පසු ලබන ඊළඟ ජීවිතය කුමක් විය හැකිදැයි පවතින සැකය, පාපකාරී ජීවිතයක් ගත කර තිබීම, තමන් ඇලුම් කරන අයගෙන් වෙන්වීමට ඇති අකැමැත්ත සහ තණ්හාව නිසා අත්පත් කරගෙන ඇති දේපල අහිමි වනවාට ඇති බිය ආදී කරුණු මේ අතර වේ. මෙම කරුණු වලින් එකක් හෝ කිහිපයක් මරණය පිළිබඳ බිය ඇති කිරීමට කෙනෙකුට බලපානු ලැබූවද ජීවිතයේ අවසන් මොහොතේදී හෝ මෙම මායාකාරී තත්ත්ව තේරුම් ගෙන සිත හඳුනාගැනීමට හැකි වුවහොත් භව තණ්හාව නිසා මරණින් පසු ඔබට ඇතිවිය හැකිව තිබූ දුක් සහිත ජීවිතය වෙනුවට, යහපත් ජීවිතයක් ලබා ගත හැකි වෙයි.

කිසියම් පුද්ගලයෙකු ජීවිත කාලයෙන් වැඩි හරියක් ක්ෂණික මරණයෙන් පීඩාවට පත්වුවහොත් සම්මුති මරණය ඔහු කරා ඉක්මනින් ළංවීමට එය ප්‍රබල හේතුවක් වනු ඇත. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පසිඳුරන්ට වහල් නොවී එහි ඇලී ගැලී නොසිට කෙනෙකුට ජීවත්විය හැකි නම්, ක්ෂණික මරණයට පත්වීමේ වාර ගණන අවම කර ගෙන ජීවිතය දිගු කලක් පවත්වාගත හැකි ය.

මෙසේ මැරෙමින්, ඉපදෙමින් අප යන මේ සසර ගමන ඉතා දීර්ඝ එකක් වන බැවින් බොහෝ වාර ගණනක් උපත ලබා ඇත්තේ හොඳ ස්ථානවල වලට වඩා නරක ස්ථාන වල විය හැකි ය. මිනිසකුව, දෙවියකුව ආදී ලෙස උපන් වාර ගණන අපමණ වූවත්, ඊටත් වඩා වැඩි වාර ගණනකදී ප්‍රේතව, තිරිසන්ව, අපාගතව උපත ලබන්නට ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ එනම් ලොව උත්තරීතර පදවිය ලබාගත් උතුමාණන් පමණක් ඒ සඳහා බ්‍රහ්මදේව නම් බුදුරදුන් ඉදිරියේ බෝධි චිත්ත පිරීමට විවරණ ලබාගෙන ගත කළ කාලය, අසංඛ්‍ය කල්ප ලක්‍ෂ 16 කි. දීපංකර බෝධි මූලයේ නියත විවරණ ලබා තවත් අසංඛ්‍ය කල්ප ලක්‍ෂ හතරක් බුද්ධත්වයට පෙරුම් පිරූ සේක. ඒ අනුව බෝධි චිත්තය වැඩීමට පෙර උන්වහන්සේට ද සසර පැවැත්මක් තිබූ බැව් ඉන් පැහැදිලි ය. එය එසේ නම් පුහුදුන් පුද්ගලයෙකුගේ සසර ගමන මොනතරම් දීර්ඝ විය හැකිදැයි වටහා ගත හැකි ය. පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ (පුබ්බේ නිවාසානුස්සති ඤානය) පහළ කර, ගත් මුගලන් මහ රහතන් වහන්සේ සත්ව සන්තතියේ මූලාරම්භය සෙවීම සඳහා ගත් උත්සාහයේ දී අතීතය කෙතරම් ආවර්ජනය කළත් මුල නොපෙනෙන බැවින් එය නිශ්ඵල ක්‍රියාවක් වන බැව් බුදුන් වහන්සේ උන් වහන්සේට පැහැදිලි කර දුන්හ.

අභිනව සත්වයෝ ලොව නූපදින බැව් බුදුන් වහන්සේ බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇත. එසේ අභිනව සත්වයන් ලොව උපදින්නේ නම් ඔහුට සසර පැවැත්මක් තිබිය නොහැකි ය. අග මුල් නොපෙනෙන මේ සංසාර චක්‍රය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්වයෙකු අතීතයේ නූපන් ජාතියක් නැත. නූපන්, කුලයක් නැත. ඒ ඒ සත්ත්ව කුල වල සුර, අසුර නිකායවල නැවත නැවත උපත ලැබූ වාර අනන්ත ය. මේ මහ පොළොව මත එක් එක් සත්වයෙක් නූපන් තැනක්, නොසිටි තැනක් නැත. නොමළ තැනක් නැත. මිහිතලයේ නොයෙකුත් සත්ත්ව කුලවල අනේක වාරයක් ඉපිද මිය යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් මළ සිරුර නොදැමූ තැනක් නැත. බුදුන් දවස විසූ උපසාළ්හක නම් බමුණා ඔහු මිය ගිය විට මිහිදන් කිරීම පිණිස ඉන් පෙර කිසිවෙකුත් මිහිදන් කොට නොමැති තැනක් සළකුණු කොට ගෙන තිබිණි. මහා කරුණා සමාපත්තියට සමවැදි ලොව දෙස බලන බුදුන් වහන්සේ බමුණාගේ මෙම ක්‍රියාව දැක විමසා එම නිෂ්ඵල ක්‍රියාවේ තරම පැහැදිලි කර දුන්හ. ඔහු තෝරා ගත් ස්ථානයේ මින් පෙර එම නමින්ම තුදුස් දහසකගේ මළ සිරුරු මිහිදන් කොට ඇති බැව් අතීත කථා ප්‍රවෘත්ති ගෙනහැර දක්වමින් ඔහුට පැහැදිලි කර දුන් සේක. මේ දීර්ඝ සසර ගමනේ හමුවන සියලු දෙනාම අපට මව වූ පියා වූ, සහෝදරයා වූ, සහෝදරිය වූ, දුව වූ, පුතා වූ, බිරිය වූ, ස්වාමියා වූ, සහෘදයා වූ අන්තේවාසිකයා වූ වාර ගණන් අනන්ත ය. එපමණක් ද නොව අපට පෙනෙන්නට තිබෙන තිරශ්චීන ලෝකයේ ජීවත්වන සතා සිවුපාවා පවා ඉහත කී පරිද්දෙන්ම අපගේ පියා, මව ආදී වශයෙන් වී අප හා අතීත සබඳකම් පවත්වන්නට ඇත. කරුණු මෙසේ හෙයින් සියලු සත්වයන් කෙරේ දිනපතා මෙන්ම නිතර මෛත්‍රීය පැතිරවීමේ පරම යුතුමකම, අප වෙත ඇත.

මිනිසත් බව ලබා තිබෙනුයේ පෙර පින් බලයෙන් නිසා, ගත කරන මෙම තාවකාලික ජීවිතය කිසිවකුටත් කරදරයක්, හිංසාවක් නොමැතිව සාධාරණව, සාමකාමීව ගත කරනු ලබන්නේ නම් යහපත් තැනක උපත ලැබීමේ හැකියාව අප සතුව පවතී. නිවන් අවබෝධ වන තුරු දෙව් මිනිස් සැප ලැබිය හැකිය. එහෙත් අපේ කල්ක්‍රියාව අයහපත් නම් පාපකාරී ක්‍රියා සිදුකොට ඇත්නම් පමණක් අප සතුව තිබෙන පෙර පින් බලය යටපත් වී ඊළඟ භවයේ දී අයහපත් තැනක උපත ලබනු ඇත. ප්‍රේත භවයක, භූත භවයක, නිරයේ උපත ලැබුවහොත්, ඉන් ගැලවීමට කල්ප ගණනක කාලයක් ගත විය හැකි ය. පින් කළ නොහැකි කල අටක් ක්, බුදු දහමේ ඉගැන්වෙයි.

ඒ අපාගතව සිටීම, ප්‍රේතව ඉපදීම, තිරිසන්ව ඉපදීම, සිත නැති කය පමණක් ඇති අසංඥ තලවල ඉපදීම, බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ පහළ නොවන ප්‍රත්‍යන්ත දේශවල ඉපදීම, මිථ්‍යාදෘෂ්ටිකව ඉපදීම, අබුද්ධෝත්පාද කාලයක ඉපදීම, මිනිසකුව ඉපදුණත් අඥානවන්තයකු වීම යන අවස්ථා ය. එහෙත් ඔබ දැන් ලබා සිටිනුයේ සියලුම අඟ පසඟ වලින් සැදුම් ලත් සිරුරක් සහිත ජීවිතයක් බැවින්, බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් ආලෝකයෙන් අඳුරට නොගොස් ආලෝකයෙන් ආලෝකයට යෑමට ඔබට හැකි බව තේරුම් ගෙන, බලවත් පාපකර්ම වලින් වැළකී ජීවත් වන්නට ඉටා ගන්න.

සෝවාන් ඵලයට පත් වූ තැනැත්තා ඉන් පසුව අපාගත නොවන බව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇත. එහෙත් උන්වහන්සේගෙන් පවු සිදු වන්නේ නැතැයි දේශනා කොට නොමැත. ඒ අනුව සුළු පවක් නිසා මරණින් මතු අපායට යෑමේ නීතිය සාධාරණ නොවන බව ඔබට වැටහෙනු ඇත. එහෙත් එසේ අපාගත නොවූවාට එම ජාතියේ දී හෝ පසුව ලබන ජාතියකදී සුළු පව පවා අහෝසි කර්මයක් බවට පත් නොවුණහොත් විපාක දීමේ ශක්තිය ඇත. සුළු පවකින් විපාක නැතැයි අදහස් නොකරන අතර, ඊළඟ භවයේ උපත පිළිබඳ එවැනි දෑ හේතු නොවන බව පමණක් තේරුම් ගත යුතු ය.

ඕනෑම පුද්ගලයකු ස්වකීය ජීවිත කාලය තුළ සිදු කරනු ලැබූ හොඳ වැඩ කිහිපයක් හෝ තිබිය හැකි ය. චුති චිත්තය පහළ වන මරණාසන්න මොහොතේ එසේ සිදු කළ හොඳ වැඩ සිහිපත් කිරීම හෝ සිහිපත් කරවීම සඳහා කල් තියා වැඩ පිළිවෙළක් සකස් කර තැබීම, සුදුසු ය.

ඊළඟ භවය යහපත් වීමට මරණාසන්න මොහොතේ මෙම යහපත් කටයුතු සිහි කිරීම, ප්‍රතිසන්ධි ආසන්න සිතට ප්‍රබල ලෙස බලපායි. අතීතයේ බොහෝ බෞද්ධ නිවාස වල පින් පොත මේ සඳහා භාවිතා කොට ඇත. එකල මිනිස්සු සිදු කළ පින්කම් හෙවත් හොඳ වැඩ එහි ලියා තැබූහ. එසේ කළේ ඉහත කී පරිදි ජීවිතයේ අවසන් මොහොතේ දී ඒවා සිහි කිරීමට හෝ සිහිපත් කරවීමට ය.

1978 වසරේ ඔක්තෝම්බර් මස කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පැවැති වෛද්‍යවරුන්ගේ රැස්වීමකදී දේශනයක් පැවැත් වූ සිල්වියා ක්‍රැන්ස්ටන් නැමැති විද්‍යාඥවරිය ප්‍රකාශ කොට තිබෙනුයේ මරණය විවේකයක් හා අලුත් වැඩියාවක් වශයෙන් සිට ඊළඟ භවයේ උපත ලබා දෙන බවයි. විසිවැනි සියවසේ මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ ඇමෙරිකාවේ ඉතා සාර්ථක ලෙස සිදු කොට ඇත. ඒ අතර මානසික වෛද්‍යවරුන් විසින් පුද්ගලයින් මෝහනයට පත් කොට ඔවුන්ගේ අතීත අත්දැකීම් හාරා අවුස්සා බැලීමේ දී මරණය සිදු වූ මොහොත පිළිබඳව සිදුකොට තිබෙන ප්‍රකාශ තුළ ගැබ්ව ඇත්තේ එය ඉතා සැහැල්ලුවෙන් සිදු වී ඇති බවකි. නැතහොත් මරණ මංචකයේ සිදුවන වේදනා මඟ හැරී යෑම සඳහා සිහි නැතිවීමක් ඉබේම සිදුව ඇති බවකි. ප්‍රාණය නිරුද්ධ වෙන රෝගියෙකු දිහා බලා සිටින ඔහුගේ ළඟම ඥාතීන්, මිතුරන් “සුවාසේ අදිනවා” යනුවෙන් පියවි ඇසට දකින්නේ සමහර විට මෙම සැහැල්ලු තත්ත්වය විය හැකි ය. මෝහනයට පත් කරනු ලබන ඇතැම් අය මරණාසන්න මොහොත මෙසේ සැහැල්ලුවෙන් විග්‍රහ කළ ද උපන් මොහොත ඉතා වේදනාකාරී අප්‍රසන්න මොහොතක් ලෙස කරුණු දක්වා ඇත.

යම් යම් අවස්ථාවල බහුජන සුබ සිද්ධිය උදෙසා ප්‍රාණඝාතය සිදුවන හා සිදුකිරීමට නියෝග දෙන නිත්‍යානුකූල අවස්ථා සමාජයේ දක්නට ඇත.

දරුණු අපරාධ කරුවෙක්, මිනී මරුවෙක් එල්ලා මැරීමට නියෝග කිරීමට රටේ පාලකයිනට සිදුවන අවස්ථා ඇත. එවැනි අයෙකුට එම දඬුවම නොදුනහොත් බොහෝ දෙනා මැරීමට ඔහු පෙළඹෙන බැවින් මරන චේතනාවක් නොමැති වූවත් වැඩි දෙනාගේ යහපත උදෙසා එම දඬුවම ක්‍රියාත්මක කරයි. බුදු දහමේ ආභාෂය ලැබීමෙන් පසු දැහැමෙන් සෙමෙන් මහා භාරතය පාලනය කළ ධර්මාශෝක රජු පවා මරණ දණ්ඩනය ඉවත් නොකළේය. බොහෝ දෙනාගේ ශුභ සිද්ධිය පතා කෙනෙකුගේ ජීවිතය නැති කිරීමට තමාට තීරණයක් ගැනීමට සිදුවීම පිළිබඳව කණගාටු වන බවත් ඔහු වෙනුවෙන් නොයෙකුත් පින් දහම් කොට ඔහුගේ පරලොව ශුභසාධනය පිණිස කටයුතු කරන ලෙසත් දඬුවමකට ලක් වූ පුද්ගලයාගේ ඥාතීනට රජතුමා පණිවිඩ යැවූහ. අංගුලිමාල අහිංසක කුමරුව සිටියදී ගුරු පූජාව සිතේ රඳවාගෙන දහස් ගණන් මිනිසුන් ඝාතනය කළත් එම ජීවිතයේදීම රහත් බව ලැබූහ. බොහෝ දෙනාගේ හිත සුව පිණිස සහ ශාසනයේ ආරක්‍ෂාව පිණිස සතුරන් සමඟ යුධ වැදුණු දුටුගැමුණු රජතුමා එම හේතුව නිසා අපාගත නොවීය. බුදු දහමේ ඉගැන්වීමට අනුව ප්‍රාණඝාත අකුසල කර්මය සම්පූර්ණ වීමට,

1. පණ ඇති සතකු වීම
2. පණ ඇති සතකු බව දැන සිටීම
3.මරනු කැමති සිත
4.මරණය සැලසුම් කිරීම
5. ඒ උපක්‍රමයෙන් මරණය සිදු කිරීම

යන කරුණු පහම සම්පූර්ණ විය යුතු ය. අහිංසක කුමරුට මිනිසුන් මැරීමට කිසිදු වුවමනාවක් සිතක් නොතිබිණ. ඔහු තම ගුරුවරයාට (දිසාපාමොක් ඇදුරුතුමාට) මහත් භක්තියක්, ආදරයක් දැක් වූ බැවින් සියලුම කරුණු අභිබවා ගුරු පූජාව පෙරටුවට පැමිණියේ ය. මෙහිදී ඔහු වෙත මරණ ;ච්තනාවක් නොවූ බැවින් අංගුලිමාල තෙරුන් වහන්සේ රහත් බවට පත් වීම වැළක්වීමට තරම් එය හේතුවක් නොවන්නට ඇතැයි සිතාගත හැකි ය.

එපමණක් ද නොව උන් වහන්සේගේ පෙර ආත්මවල කරන ලද බලවත් කුසල් බලයද රහත් බව ලැබීමට හේතු වන්නට ඇත.

පෙර කරන ලද පින් ඇතිව සම්පූර්ණ වූ අඟ, පසඟ සහිතව මිනිසකුව ඉපිද සිටින ඔබ මේ භවයේ දී සිදු කරනු ලබන යහපත් අත්දැකීම් සම්භාරය ද එකතු කරගෙන තවත් යහපත් ජීවිතයකට යෑමට සුදුසුකම් ලබයි. එසේ නොමැතිව ඉන් පහළට යෑමක් සිතා ගත නොහැකි ය.

මිනිසත් බව ලැබ සිටින ඔබ බලාපොරොත්තු වන්නේ මරණින් මතු යහපත් භවයකට යෑම වේ. මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා විශ්ව ධර්මතාවයනට පටහැනිව කටයුතු නොකොට සිටියහොත් ඔබ විශාල වශයෙන් පින් දහම් නොකළත් පෙර පින් බලය ද මතු වී මරණින් මතු නියත වශයෙන්ම යහපත් තැනක උපත ලබනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.