Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

සැපත අගය කළ සත්‍යයේ දහම

නමෝ තස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

සුඛ කාමානි භූතානී

යො දණ්ඩෙන විහිංසති

අත්තනො සුඛ මෙසානො

පෙච්ච සො න ලභතෙ සුඛං


කාරුණික පින්වත්නි,

ඉහත දැක් වූයේ අද දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථා ධර්මයයි. එය අයත් වන්නේ ධම්මපදයේ දණ්ඩ වග්ගයට යි.

මෙම ගාථා ධර්මයෙන් සැප ලැබීමේ මාර්ගය පිළිබඳ වැදගත් අදහසක් ඉදිරිපත් කර ඇත. මෙහි සරල සිංහල අර්ථය වනුයේ, සියලු සත්ත්වයෝ සැප කැමති වෙති. සැප සොයන කිසිවෙක් සත්ත්වයන්ට හිංසා කරත් ද, ඔහුට මෙලොව හෝ පරලොව සැපයක් නො ලැබේ යනුයි.

මිනිසුන්ගේ මූලික ස්වභාවයන් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. මාතෘකා කරගත් ගාථාවේ සඳහන් පරිදි “සුඛ කාමානි භූතානී” යනු ඉන් පළමුවැන්නයි. එනම් “සියලු සත්ත්වයෝ සැප කැමැත්තෝ ය” යන්නයි.

දෙවැන්න වනුයේ “දුක්ඛ පටික්කුලානි” හෙවත් “දුක පිළිකුල් කිරීමයි” ලෝකයේ සදාකල්හි ම පවත්නා ස්වභාවය මෙයයි. මිනිසා සැමවිටම උත්සාහවත් වන්නේ සැප සෙවීමටයි.

බුදු දහමෙහි සැපය ඉතා උසස් කොට සලකනු ලැබේ. උසස්ම සැපය ලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ නිර්වාණාවබෝධය යි. “නිබ්බාණං පරමං සුඛං” යනුවෙන් උගන්වා ඇත්තේ එයයි. බුදුරදුන් ප්‍රථම ධර්ම දේශනාවෙන් ද ලෝකයාට දේශනා කළේ භාරතීය ජනතාව අනුගමනය කළ අන්ත දෙකම සේවනය නොකළ යුතුය කියා යි.

එම අන්ත දෙකම එදා සැප සෙවීමට අනුගමනය කළ මාර්ග දෙකයි. “අත්තකිලමථානුයෝගය” හෙවත් දුකෙන් සැප සෙවීම එක් පිළිවෙතක් වූ අතර “කාමසුඛල්ලිකානුයෝගය” හෙවත් සැපෙන් සැප සෙවීම අනෙක් පිළිවෙත විය.

මේ දෙකම බැහැර කළ බුදුරදුන් පෙන්වා දුන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. එහෙත් මිනිසුන් බලාපොරොත්තු වන්නේ පංචේන්ද්‍රියන් පිනවමින් සැප ළඟා කර ගැනීම ය. පංචේන්ද්‍රියන් පිනවීමෙන් ලබන්නේ තාවකාලික සුවයක් බව බුදුසමය දක්වන අදහසයි.

එහි ඇත්තේ අසතුට හා තැවීම මිශ්‍ර සැපතකි. මේ නිසා සුඛ, දුක්ඛ හා උපේක්‍ෂා වශයෙන් ලෞකික සැපයෙන් ඇති වන වින්දනය ත්‍රිවිධාකාර වේ.

අංගුත්තර නිකායේ ගිහි සැප, පැවිදි සැප ආදී සුඛ නාමාවලියක් ඉදිරිපත් කර තිබේ. සමහරු සැපය ලැබීමට නම් ධනය තිබිය යුතු යැයි, කල්පනා කරති. එහෙත් උසස්ම සැපත ලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ නිවන් සැපත යි.

“සම්බාධොයං ඝරාවාසො රජස්සායතනං ඉති” යනුවෙන් බිම්බිසාර රජුට වදාළේ ගිහිගෙය නිවනට බාධාකර බවත්, කෙලෙස් වැඩීමේ මුල්ම ආයතනය වන බවත් ය. පැවිදි වනු රිසි සෑම කෙනෙක්ම මහා සංඝයා වහන්සේගෙන් පැවිද්ද ඉල්ලන්නේ “සියලු දුක්වලින් නිදහස්ව පරම සැපත වූ නිවන පසක් කරගනු සඳහා” පැවිද්ද ලබා දෙන ලෙස යි.

බුදු දහමින් මෙලොව ජීවිතයේ දී සැප ළඟා කරගත හැකි බව සඳහන් කර තිබේ. එබඳු සැප ලැබීමක් පිළිබඳව “අණන” සූත්‍රයේ සඳහන් වේ.

1. අත්ථි සුඛ – තමා සතුව තම ශ්‍රමය මෙහෙයවා දැහැමින් සපයාගත් ධනයක් තිබීමෙන් ලබන සුවය.

2. භෝග සුඛ – තමා විසින් දැහැමින් උපයා ගත් වස්තුව දානාදී පරිත්‍යාග සිදු කරමින් පරිභෝග කිරීමෙන් ලබන සුවය.

3. අණන සුඛ – ණය නොවීම නිසා ලබන සුවය.

. අනවජ්ජ සුඛ - ශ්‍රමය මෙහෙයවා නිවැරැදිව ජීවත්වීම නිසා ලබන සුවය.

ගිහි ජීවිතය සම්බන්ධයෙන් මේවා සැප වුවත් පැවිදි ජීවිතය සම්බන්ධයෙන් මේවා පැවිදි සැප නොවේ. ගිහි ජීවිතයේ දී මුදල් සුවයක් ලෙස සැලකේ. එහෙත් පැවිදි ජීවිතයට එය අදාළ නොවේ.

වරක් මුදල් මල්ලක් ආනන්ද හිමියන්ට පෙන් වූ බුදුරජාණන් වහන්සේ ආනන්දය, සර්පයා දුටුවෙහිද? යනුවෙන් විචාලේ ඒ නිසා යි. දුප්පත්කම සැපයක් යැයි බුදු සමය කිසිතැනක දක්වා නැත. එය දුකක් ලෙස බුදු සමය දකියි. එහෙත් එය දුකක් ලෙස දක්වා ඇත්තේ ගිහියාටයි. කාමභෝගියාටයි.

දීඝජානු කෝලිය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ මෙලොව සැපතට හේතුවන කාරණා හතරක් පැවසූ හ. එනම්,

1. උට්ඨාන සම්පදා (උත්සාහ සම්පත්තිය)

2. ආරක්‍ඛ සම්පදා (ආරක්‍ෂා සම්පත්තිය)

3. කල්‍යාණ මිත්තතා (කළණ මිතුරන් ඇති බව)

4. සමජීවිකතා (සමතුලිත ජීවිතය )

යන කරුණු ය.

ආලවක සූත්‍රයේ දී ආලවකයා විසින් බුදුරදුන් ගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ මනුෂ්‍යයාගේ සැපතට හේතු වන ධනය කුමක්ද? යන්නයි. එයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ, ශ්‍රද්ධාව මනුෂ්‍යයා ගේ සැපයට හේතුවන ධනය වන බවයි.

මේ අනුව බුදුරදුන් පැහැදිලි කරන ලද්දේ ලෞකික - ලෝකෝත්තර සියලු සැප ලැබීමට ශ්‍රද්ධාව නමැති ධනය ඉවහල් වන බවයි.

ලෞකික සැපය තාවකාලික වූවත් ලෝකෝත්තර සැපය යනු ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සියලු දුක්වලින් සදාකාලිකව නිදහස්වීමයි.

එසේ සාංසාරික පැවැත්මට හේතු වන සියලු දුක්වලින් සදාකාලිකව නිදහස්වීම නිසා ඇතිවන අසීමිත සැනසීම “නිවන” යි රහතන් වහන්සේ ලබන මෙම සැපය “නොවිඳිනා” සැපතකි.

විඳීමක් නොමැති වීමම එහි ඇති සැපතයි. එසේ රහතන් වහන්සේ ලබන නිවන් සැපත අවස්ථා දෙකකින් දක්වා තිබේ.

පංචස්කන්ධය තිබිය දී රහත්වීමෙන් ලබන සැපය එකකි. එය “සෝපදිසේස” නම් වේ. පරිනිර්වාණයෙන් පසු ලබන සැපය “අනුපාදිසේස” නම් වේ.

ධම්මපදයේ අත්ත වග්ගයේ සඳහන් “අත්තූපනායික” ධර්මතාවයේ ලක්‍ෂණයක් වන්නේ ද තමන් හා අනුන් සසඳා බලා තමන්ට මෙන්ම අනුන්ටත් සැපය අවශ්‍ය බව වටහා ගැනීමයි.

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යනුවෙන් “සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා” යි සිදු කරන පැතුම සැපත අරමුණු කරගෙන සිදු කරන්නකි.

මෙසේ විමසා බැලූ කල සැප විඳීමේ අයිතිය අර්ථාන්විතව භුක්තිවිඳීමට බුදු සමයෙන් ඉඩ ලැබෙන බවත්, එය මනුෂ්‍යයාගේ සැපතට මුල් කරගෙන දෙසූ දහමක් බවත්, පෙනී යයි.

එම නිසා බෞද්ධ පරමාර්ථයට එකඟව සැප විඳීමේ අයිතිය අර්ථාන්විතව භුක්ති විඳිමින් ඉතා අපහසුවෙන් ලද මිනිසත් බවින් මෙලොව හා පරලොව සුගතිය සලසා ගැනීමට අප සැවොම උත්සාහවත් විය යුතු ය.

තෙරුවන් සරණයි!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.