Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යුරෝපයේ බොදු පුබුදුව

මාස ගණනක් පුරා එක කොළයක් වත් නොවූ තුරු ලතා සූර්යාලෝකයෙන් හිනැහෙන්නේ ගතටත්, හිතටත් චමත්කාරයක් නංවමිනි. ගසක් යට ඉපදී, ගසක් යට බුදු වී, ගසක් යට පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේගේ මුළු මහත් ජීවන ප්‍රතිපදාවම මේ මනරම් ස්වභාව ධර්මය සමඟ කෙතරම් අපූරුවට සම්මිශ්‍රණය වී තිබෙන්නට ඇතිද. ආසියාතික කලාපයේ ආලෝකය, බුදු දහම වූවත්, යුරෝපාකරයට බුද්ධ (BUDDHA) වචනය අලුත් වචනයකි. එය දැන් දැන් ඉතා සීඝ්‍රයෙන් ජනපි‍්‍රය වෙමින් පවතී. එම නිසාම මේ වන විට යුරෝපයේ බුද්ධ යන වචනය වටා ඒකරාශී වන ජනී ජනයා ගේ සංඛ්‍යාව, දිනෙන් දින ඉහළ යනු පෙනෙයි.

වෙසක් සඳ උදාවත් සමඟ යුරෝපීය අහස්කුස දිස් වන චමත්කාරය අති සුන්දර ය. මාස ගණනාවක් තිස්සේ පාළුවට ගිය සොහොන් පිටි සේ තිබුණු පරිසරය එකවර මල් සහ පත්‍ර වලින් පිරී ගන්නා අසිරිය, වසන්ත සමය මොනවට කියාපාන්නකි. සතියට දෙකට මුළු රටම නිල්පැහැ ගන්වී වෙසක් සඳ පිළිගන්නට සූදානම් වීම, යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයාට නම් බුද්ධාලම්බන පී‍්‍රතිය උතුරා යන්නට හේතුවකි. ඒ අතරම වෙසක් මස ආරම්භයත් සමඟම යුරෝපීය අහසෙහි තැනින් තැන ෂඩ් වර්ණ රශ්මි විහිදී බෞද්ධ ධජ ලෙළ දෙන්නට පටන් ගනී. එයට හේතුව තවමත් යුරෝපීය කැලැන්ඩරයේ වෙසක් දින නිවාඩු දිනයක් සේ සටහන් නොවීමයි. එම නිසා බොහෝ දෙනාට පහසුවන පරිදි එම මාසයේ සෙනසුරාදා ඉරිදා දිනයන්හි වෙසක් පුන් පොහෝ දිනය සැමරෙයි.

විශේෂයෙන් ස්කැන්ඩිනේවියා රටවල ථෙරවාදී බෞද්ධ කේන්ද්‍රස්ථානය වන ස්වීඩනයේ සිටොක්හොල්ම් බෞද්ධ විහාරයේ ද, අනෙක් තායිලන්ත හා සෙසු විහාරස්ථාන වල ද ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරයේ ද, නෝර්වේ තිසරණ බෞද්ධ සංගමයේ ද මහත් උත්කර්ෂවත් අන්දමින් බුදුරජාණන් වහන්සේ ගේ උතුම් තෙමඟුල සැමරෙයි. වරෙක මා සිතට නැගෙන්නේ, බුදුන් වහන්සේ විසින් දේශිත මේ නිවැරැදි දහම ගැලපෙන්නේ යුරෝපීයයන්ට බවයි. චාම් සරල දිවියට පුරුදු වූ මොවුන්ට බුදු දහමේ උගන්වන සල්ලහුකවුත්ති හෙවත් සැහැල්ලු දිවි පැවැත්ම කදිමට ගැලපෙනු ඇත. භෞතික උපකරණ වලින් කිසි අඩුවක් නැති යුරෝපීය ජන දිවියට අවශ්‍යව ඇත්තේ, කායික සුවය නොව, මානසික සුවයයි. ඔවුන්ට එම මානසික සුවය ලබා ගන්නට ඇති එකම මූලස්ථාන වී ඇත්තේ බෞද්ධ ෂහාරය. එම නිසා, මානසික සුවය සොයා ශ්‍රී ලාංකික හා සෙසු බෞද්ධ විහාරස්ථාන වලට ඇදෙන මහජනයා ගේ වැඩිවීමක් පෙනෙයි.

එංගලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, සයිප්‍රස්, චෙකෙස්ලොකියාව, බ්‍රසීලය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, ආදී සෑම රටකම මේ වන විට ශ්‍රී ලාංකික බෞද්ධ මධ්‍යස්ථාන බිහි වී තිබීම, ශ්‍රී ලාංකික බෞද්ධයාට මහත් අභිමානයකි. ශ්‍රී ලාංකික විහාරස්ථාන පමණක් නොව තායිලන්ත, ලාවොස්, බුරුම, ජපන්, වියට්නාම්, තායිවාන්, ටිබෙට් ආදී විවිධ සම්ප්‍රදායයන්ට අයත් විහාරස්ථාන ද මෙම කාර්යයෙහිලා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරයි. යුරෝපීය බොහෝ ජනයාට අවශ්‍යව ඇත්තේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය ප්‍රගුණ කිරීමටයි. එදිනෙදා ජීවිතයට බුදු දහම සමීප කර ගැනීමට යුරෝපීය සමාජය එක් අතකින් ඉඩ හරසර ලබා දී ඇත.මන්ද, භෞතික සම්පත්වලින් සමලංකෘත නිසා මානසික සුවය උදාකර ගැනීමට පහසුවන බැවිනි. ඔවුන් ඒ සඳහා දරන වෙහෙස අතිප්‍රශංසනීය ය. පැය දෙකක කාලයක් වුව එකම ඉරියව්වෙන් වාඩි වී සිටිමින් සිත සමාධියට නැඹුරු කර ගැනීමට ඔවුහු වෙහෙස දරති. එහෙත් දාන, ශීල, භාවනා, යන ත්‍රිවිධ පුණ්‍ය කටයුතුවලින්ම මෙහි වෙසක් උත්සව ද අලංකාර වෙයි. එමෙන්ම දන්සැල්, තොරණ, මල් බඳුන්, වෙන්දේසි ද, ඇතැම් රටවල සංවිධානය කැරෙති.

එමෙන්ම ඔවුන්ට අපේ සජ්ඣායනා Chanting පිළිබඳවද මහත් විශ්වාසයක් ඇත. මේ වසරේ මුල් කාර්තුවේ දී නිදහස් දින වෙනුවෙන් පැවැත් වූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයේ දී රාතී‍්‍ර පහන්වන තුරුම ජර්මන් ජාතිකයින් හාරසියයක් පමණ පිරිත් ශ්‍රවණය කළ අපූර්වත්වය, මේ සඳහා කදිම උදාහරණයකි.

මුළු මහත් යුරෝපාකරයටම ශ්‍රී ලාංකීය මහා සංඝරත්නය විසින් අමිල සේවාවක් ඉටු කරනුයේ මහත් දුෂ්කරතා මධ්‍යයේ බව ද සිහි කළ යුතු ය. බොහෝ පිරිස් සිතනුයේ යුරෝපයේ වෙසෙන ලාංකික ජනයාත් භික්‍ෂූන් වහන්සේත් අති සුඛෝපභෝගී දිවි පෙවතක් ගෙවන බවයි. අසීරු වූ කාලගුණ දේශගුණ විපර්යාස වලට මුහුණ දෙමින්, ආර්ථික ගැටලු වලට ද මුහුණ දෙමින් ඔවුන් ඉතා අමාරු කාර්යයක නියැළෙන බව, මෙහි පැමිණ ගිය බොහෝ උදවිය දනිති. එයට හේතුව මෙහි නිවාසවල පවත්නා අධික මිල ගණන් නිසා ය. ඇතැම් විහාර කුලියට ද, බද්දට ද, දී ඇත්තේ, ඒ නිසා ය.

විශේෂයෙන්ම අප සතු සංස්කෘතික වටිනාකම් වලට මේ ජනයා දක්වන්නේ මහත් කැමැත්තකි. ඇතැම් රටවල සංස්කෘතික ප්‍රසංගවලදී ශාලා පිරී යන්නේ, ඒ නිසා ය. එම නිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතික අමාත්‍යාංශ හා ආගමික අමාත්‍යංශ මේ රටවල් අතර සංස්කෘතික සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මැදිහත් විය යුතු යැයි මම අදහස් කරමි.

එය එහි හිමිවරුන් ගෙන යන සේවාවලට මහත් රුකුලක් වනු ඇත. එම නිසා ඒ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ ආගමික අමාත්‍යාංශයේ හා සංස්කෘතික අමාත්‍යාංශයේ අවධානය, මේ උතුම් වෙසක් සමයේ යොමු කරනු කැමැතිවෙමි.

ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි උතුම්ම පණිවිඩය, නිර්මල බුදු දහමයි. බුදු දහමට සීමා බන්ධන නැත.

ඒ වටා විවිධ ජාතීන් හා විවිධ සම්ප්‍ර‍්‍රදාය වලට අයත් ජනයා ඒකරාශී වන විට, එදා බුදුරදුන් වැඩ සිටි සමය ජීවමානව මැවී පෙනේ. ඔවුන් තුළ ඇති මිත්‍රශීලී බව, දයාව, කරුණාව හා උතුරා යන මෛත්‍රීය අති සුන්දරයි.

එම නිසා මෙම උතුම් පණිවිඩය ලොවට දීමට නම්, ශ්‍රී ලංකාව තුළ විනය ගරුක, ශික්‍ෂාකාමී, ධර්ම ඤාණයෙන් පිරිපුන්, ජාත්‍යන්තර භාෂා දැනුමෙන් පෝෂිත මහා සංඝරත්නයේ අවශ්‍යතාව පිළිබඳ සංඝ සංස්ථාවේ බලධරයින් වහන්සේගේ හා රාජ්‍ය තන්ත්‍රයේ ද අවධානය යොමු විය යුතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.