බුදු හිමියන් අනුදැන වදාළ සුව පිළිවෙත්
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති, ශ්‍රී සද්ධර්ම වාගීශ්වර, ධර්ම විශාරද
නාලන්දේ විමලවංශ හිමි
මිනිසාට බලපාන අනේකවිධ ප්‍රශ්න අතර සෞඛ්‍ය ප්‍රශ්නය ද ප්‍රධාන තැනක්
ගනියි. එම ප්‍රශ්න වලට විසඳුම් සෙවීම රජයට මෙන්මැ ජනතාවටද තිබෙන
වගකීමකි. වර්තමානයේ මිනිසුන්ගේ ම ක්‍රියාවන්හි ඵලයක් වශයෙන් මිනිසා
විවිධාකාර රෝග වලට ගොදුරුවේ. සෞඛ්‍ය ප්‍රශ්නය ලෝකයේ බලවත් ප්‍රශ්නයක්
බවට පත්වැ ඇති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිහිටුවාගෙන තිබේ. ලෝක
සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවට ශ්‍රී ලාංකිකයකු පත්වීමේ පුවත නොබෝදා
අසන්නට ලැබිණි. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කාටත් ආඩම්බරයට කරුණකි.
වසර දෙදහස් පන්සියයකට පෙර අප ගෞතම බුදුහිමියන් මිනිසා විසින් අනුගමනය
කළ යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳ කරන ලද දේශනා ගැන සිත් සතන් යොමු කරන විට
වෙසෙසින්ම බෞද්ධ අපට ඇති වන්නේ උන්වහන්සේ පිළිබඳ අසීමිත ගෞරවයකි.
'මනෝ පුබ්බංගමා ධම්මා...' යනුවෙන් සියල්ලටම ප්‍රධාන වන්නේ 'සිත' බව
බුදුහිමියෝ දෙසූ හ. සිත රෝගි බවට පත් වුවහොත් කිසිවක් කැර කියා ගැනීමට
නොහැකි වෙයි. උම්මන්තකයකු වශයෙන් කටයුතු කරයි. සියලු පෘථග්ජනයන්
උන්මත්තකයන් වශයෙන් හඳුන්වා ඇත. 'සබ්බේ පුථජ්ජනා උම්මත්තකා' යන පාඨයෙන්
ඒ බව පැහැදිලි වෙයි. මෙම උමතු බව නිට්ඨාවට සුවකැර ගැනීමට නම්, නිවන
අවබෝධ කැර ගත යුතු ය. එහෙත් අප කවුරුත් පංච නීවරණයන්ගෙන් යුක්ත රෝගීන්
වශයෙන් සැළකීමෙහි වරදක් නැත. එම රෝගී තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ
යුතු අනුපුබ්බ ප්‍රතිපදා පිළිබඳ බුදුහිමියෝ දේශනා කළහ. කෙසේ වෙතත් සිත
නිරෝගීවැ තබා ගැනීමට නම් කය නිරෝගීවැ තිබිය යුතු ය. රෝගී කයක් ඇත්නම්
සිත ශක්තිමත් කැර ගැනීම අපහසු ය. ඒ නිසාම බෝසතුන් දුෂ්කර ක්‍රියාව
අත්හැර මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන්හ. එසේම 'ආරෝග්‍යාපරමා ලාභා' ආරෝග්‍ය
මිච්ඡේ පරමංච ලාභං..' ආදි වශයෙන් නිරෝගීකම පරම ලාභයක් බව දේශනා කළහ.
බවුන් වඩන යෝගාවචරයන් තම සිරුරෙහි අසනීප තත්ත්වයක් ඇත්නම් සියල්ලටම
පළමු එම අසනීපයට ප්‍රතිකාර ගෙන සුවපත් විය යුතු බව දේශනා කළහ. මෙකරුණ
අනුවැ පෙනී යන්නේ වැඩුණු සිතක් පිහිටන්නේ නිරෝගී සම්පන්න ශරීරයක බව
බුදු හිමියන්ගේ ඉගැන්වීම බවයි.
නිරෝගීකම උතුම් ලාභයක් වශයෙන් සැලකූ® බුදුහිමියෝ නිරෝගීකම උසස්
අන්දමින් පවත්වා ගැනීමට අවශ්‍ය අවවාද අනුශාසනා නොඅඩුව ලබා දුන්හ. එසේම
භික්ෂූන් වහන්සේ වෙසෙසින් පිළිපැදිය යුතු ශික්ෂා පද පවා පැනවූහ.
ගිලනුන්ට උවටැන් කිරීම සසර නිරෝගි බව ලබාදෙන උතුම් පින්කමකි. ගිලනුන්ට
උපස්ථාන කිරීමේ වැදගත්කම දේශනා කළා පමණක් නොව, ක්‍රියාවෙන් ද ඒ පිළිබඳ
ආදර්ශ ලබා දුන්හ. රෝගී තත්ත්වයට පත් භික්ෂුවක් වසන කුටියට වැඩම කැර,
සියතින්මැ උපස්ථාන කළහ. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේ අමතා 'නත්ථි වෝ
භික්ඛවේ මාතා නත්ථි, පිතායේ වෝ උපට්ඨහෙය්‍යුං තුම්හේ වේ භික්ඛවේ
අඤ්ඤමඤ්ඤං න උපට්හිස්සති, අථඛෝ චරහි උපට්ඨහිස්සති? යෝ භික්ඛවේ මං
උපට්ඨහෙය්‍ය, සෝ මං උපට්ඨහෙය්‍ය (මහාවග්ගය - චීවරක්ඛන්ධකය) මහණෙනි,
තොපට උපස්ථාන කිරීමට මවුපියන් නැත. ඔවුනොවුනට උපස්ථාන නොකරත්නම් කවුරු
උපස්ථාන කරත්ද? මහණෙනි, යමෙක් ගිලනන්ට උපස්ථාන කරයිද, හෙතෙම මාහට
උපස්ථාන කරන්නේ ය. යනුවෙන් දේශනා කළහ. ඇතැම් රෝගීන්ට උපස්ථාන කිරීම
පහසු නොවන බව ද එම සූත්‍ර දේශනාවේදීම පෙන්වා වදාළහ. තම රෝගි තත්ත්වයට
නොගැලපෙන අයුරින් කටයුතු කරන ගැලපෙන දේ වල ද ප්‍රමාණය නොසලකන, බෙහෙත්
නොගන්නා, තම රෝගයෙහි තොරතුරු උපස්ථායකයාට හෙළි නොකරන, ශාරීරික වේදනා,
නොඉවසන යන මෙකරුණු පහෙන්ම යුත් රෝගියකුට උපස්ථාන කිරීම, අපහසු බව
පෙන්වා වදාළහ.
එසේම රෝගියකුට ඉක්මන් සුවය ලැබීමට නම් යහපත් උපස්ථායකයකු සිටිය යුතු බව
බුදු හිමියෝ පෙන්වූහ. යහපත් උපස්ථායකයකුගේ ලක්ෂණ පහක් 'මහවග්ගයේ' සඳහන්
වෙයි. එනම්, හෙතෙම බෙහෙත් සකස් කිරීමට සමර්ථ වෙයි. රෝගියාට පථ්‍ය
අපථ්‍ය දෙය හොඳින් දනියි. ආමිස ලාභ, වැටුප්, දීමනා බලාපොරොත්තු නොවී,
කරුණා මෛත්‍රී සිතින් උපස්ථාන කරයි. රෝගියාගේ මළ, මුත්‍ර කෙළ, වමනය
ආදිය ඉවත් කිරීමට පිළිකුල් නොකරයි. එසේම රෝගියාගේ සිත දිරිමත් කිරීමට,
කුසල් සිතිවිලි ඇතිකිරීමට උත්සහවත් වෙයි. මෙකරුණු වලින් සමන්විත
උපස්ථායකයා හෝ උපස්ථායිකාව රෝගීන්ට උවටැන් කිරීමට සුදුසුකම් ලබයි.
බුදු හිමියෝ මෙසේ රෝගීන් පිළිබඳව කරුණු දේශනා කළ අතර, රෝග වළක්වා
ගැනීමේ යහපත් පුරුදු ගැන ද පෙන්වා වදාළහ. බුදු දහමෙහි උගන්වන පංචශීලය
බොහෝ රෝග වළක්වා ගැනීමට ;බහෙවින් උපයෝගිවන ප්‍රතිපත්තියකි. මෙකල සුව කළ
නොහැකි රෝගයක් වශයෙන් සැළකෙන 'ඒඩ්ස්' මෙන්ම උපදංශ, ගොනෝරියා, සිපිල්ස්
වැනි සමාජ රෝගවලට ගොදුරු වන්නේ අයථා කාම සේවනය නිසා බව, රහසක් නොවේ. ඒ
නිසා කාමේසු මිච්ඡාචාරා ශික්ෂා පදය බුදුරදුන් වැඩ සිටි දවසටත් වඩා
වර්තමානයට ගැලපෙයි. රෝහල් ගතවැ සිටින රෝගින්ගෙන් සියයට හැටක් පමණ මත්
වතුර, මත්ද්‍රව්‍ය, නිසා රෝගීවූවන් හෝ අනතුරු වලට ලක් වුවන් බව සමීක්ෂණ
වලින් හෙළි වී ඇත. එසේ නම් රෝග වළක්වා ගත හැකි ප්‍රායෝගික පිළිවෙතක්
නම් පන්සිල් අනුවැ දිවිපෙවත ගෙන යාම ය.
පරිසරය පිළිබඳ බුදු හිමියෝ විශේෂ අවධානය යොමු කළහ. ඒ නිසාම භික්ෂූන්
වහන්සේට ආරණ්‍ය , සූන්‍යාගාර ජීවිතයෙහි වැදගත්කම පෙන්වා වදාළහ. වන
සෙනසුන්, ආරණ්‍ය වල පවතින නිහැඬියාවත්, සිසිල් සුළඟත් තුරුලතා වලින්
ලැබෙන සිසිල් සෙවණත්, නගරයේ ගොරහැඩි හඬට, දුගඳ හමන වාතයට, ඩහදිය, නැගෙන
දාහයට වඩා කොතරම් අගේද? රමණියානි අරඤ්ඤාණි යැයි දෙසූ සේම බුදු
හිමියන්ගේ ජීවිතයෙහි සුවිශේෂ අවස්ථා සියල්ල ද සිදු වූයේ ස්වාභාවික
පරිසරය ඇසුරු කැරගෙන බව, බුදු සිරිත මගින් පැහැදිලි වෙයි. ඇට්ටේරිය
වනය, පාරිලෙය්‍ය වනය හේසකලා වනය, අනුපිය අඹ උයන වැනි ස්ථාන උන්වහන්සේ
බෙහෙවින් අගය කළහ. සෞඛ්‍ය සංරක්ෂණය ගැන විශේෂ අවධානය යොමු කළ
බුදුරජාණන් වහන්සේ පිරිසිදුකම රැක ගන්නා මෙන් උපදෙස් දුන්හ. තමන් සිටින
ස්ථානය පිරිසුදුව තබාගත යුතු ය. කැලි කසළ දැක දැක බලා නොසිටිය යුතුය.
භෝජන ශාලාව පිරිසුදුව තබාගත යුතු ය. තමන් පරිහරණය කරන සිවුරු, කොට්ට,
මෙට්ට, ඇතිරිලි ආදිය අව්වෙහි දමා වියළා තැබිය යුතු ය. ගෙමිදුල ඇමද,
කුණු රොඩු ඉවත් කළ යුතු ය. 'වත්තං න පරිපූරෙන්ති, න සීලං පරිපූරති'
(වත්තක්ඛන්ධකය) යනුවෙන්, වත් පිළිවෙත් සම්පූර්ණ නොකරන පුද්ගලයාගේ් ශීලය
සම්පූර්ණ නොවන බව දැක්වූහ.
රෝග වළක්වා ගැනීම සඳහා වැසිකිලි භාවිතය බෙහෙවින් වැදගත් වෙයි. එබැවින්
තැන තැන මල මූත්‍රා කිරීම, කෙළ ගැසීම, සෙම් සොටු දැමීම භික්ෂූන්ට තහනම්
ය. 'න හරිතේ අගිලානෝ උච්චාරංවා පස්සාවංවා ඛේලං වා කරිස්සමිති සික්ඛා
කරණීයා' නොමළ තණ ආදිය මතුපිට කෙළ ගැසීම නොකළ යුතු ය. නොමළ ගසක මුලක් උඩ
වුව ද කෙළ ගැසීම, මළ මුත්‍ර සෙම් සොටු දැමීම නොකළ යුතු ය. 'න උදතේ
අගිලානෝ උච්චාරං වා පස්සාවං වා ඛේලංවා කරිස්සාමිති සික්ඛා කරණීයා'
(පාචිත්තිය පාලි) ගිලනකු නොවී පරිභෝගයට සුදුසු ජලයෙහි මළමුත්‍ර නොකළ
යුතු ය. කෙළ ගැසීම නොකළ යුතු ය. ගංවතුර වැනි අවස්ථාවන්හි දී එසේ කළ ද
ඇවැත් සිදු නොවේ. මෙවැනි නීති රීති පැනවූවේ පරිසර දූෂණය වැළැක්වීම
මෙන්මැ ජලය රෝග වාහකයක් ද වන බව සැලකිල්ලට ගැනීමෙනි. අපිරිසුදු ජලය
පරිභෝග කිරීම නිසා සීග්‍රයෙන් රෝග ව්‍යාප්ත වෙයි. භික්ෂූන් වහන්සේ
පරිභෝග කරන ප්‍රධාන පිරිකර අටට පෙරහන් කඩක් ද අයත් වෙයි. එයින් කරන්නේ
පැන් පෙරා ගැනීමයි. එමගින් ජලයෙහි ක්ෂුද්‍ර ජීවින් ඉවත් කැර ගැනීමත්,
විෂබීජ වැනි දැය ඉවත් කැර ගැනීමටත් හැකියාව ලැබෙයි.
යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදෙසා, ආහාර පාන ගැනීමේදී සැළකිලිමත් විය යුතු
බව බුදු හිමියෝ පෙන්වූහ. අළුයම් වේලෙහි කැඳ වැළදීම සුදුසු බව අනුදත්හ.
කැඳ වල ගුණ පහක් අංගුත්තර නිකායෙහි පංචක නිපාතයෙහි දක්වා ඇත. සාපිපාසා
දුරුවීම , වාතය සමනය වීම මුත්‍රාශය පිරිසුදු වීම ආහාර දිරවීමෙහි පහසු
බව, යන මේවාය. මහාවග්ග පාලියෙහි එහි අමතර ගුණ පහක් දැක්වෙයි. ආයුෂ,
වර්ණය, නිරෝගිකම, බලය සහ නුවණ වැඩීම, යන කරුණු පහයි. දවසට දෙවරක් ආහාර
ගැනීම සුවදායක වන බැවින් භික්ෂූන්ට රාත්‍රී ආහාරය අකැප බව, දැක්වූහ.
වර්තමානයේ නිරෝගී වූ අයට වෛද්‍යවරු උපදෙස් දෙන්නේ රාත්‍රියට සැහැල්ලු
ආහාරයක් ගන්නා ලෙසයි. ආහාර අනුභවයේදී ද යම් යම් නීති පනවා ඇති බව
පෙනෙයි. බත් පිඬු මහත් කොට ගෙන වැළදීම නොකළ යුතු ය. ඉඳුල් තැවරුණු අත්
වලින් භාජන නොඇලිය යුතුය. බත්හුලු සහිත පාත්‍රය සේදූ ජලය තැන තැන
නොදැමිය යුතුය.
අද මෙන් පුරාණයේ භික්ෂූන් අතර විවිධ ගිලන්පස වර්ග වැළඳීමේ සිරිතක්
නොතිබිණි. පැණි රස බීම පානය නිසා රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීමෙන්
ප්‍රතිකාර ලබන බොහෝ පිරිස් ඇත. පිපාසය සන්සිඳවා ගැනීමට ඉතා සුදුසු පානය
වන්නේ පිරිසුදු ජලයයි. ආගන්තුකයකු පැමිණි කල්හි බීම සඳහා ජලය
පිළිගැන්විය යුතු බව 'වත්තක්ඛන්ධකයෙහි ' සඳහන් වෙයි. පිළිගැන්වූ පැන්
සියල්ල පානය කර අවසන් වුවහොත් යළිත් පැන් අවශ්‍ය දැ'යි විමසිය යුතු බව,
විනය අටුවාවෙහි දක්වා ඇත. ආහාර ගැනීමේදී 'චත්තාරෝ පංච ආලෝපේ - උදකංපිචේ
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුණෝ, ආමාශයෙහි සතර පස් පිඩකට හිස්වැ
තබා ඉතිරිය ජලය පානය කරන්න මෙය යහපත් සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කැර ගැනීමට
ඉවහල් වෙයි. මහාවග්ගයට අනුවැ ' ත්‍රිකෝටික පාරිශුද්ධ ' මාංශය වැළඳීම
අකැප නැත. එහෙත් එවැනි මාංශ සොයා ගැනීමට නොහැකිය. එසේමැ මාංශ වලින් ලබා
ගත හැකියි පවසන විටමින්, පෝෂක පදාර්ථ වෙනත් ආහාර වලින් ලබා ගත හැකිය.
එය බුදු හිමියන් වදාළ මෛත්‍රී සංකල්පයට ද එකඟ වන බව පෙනෙයි. චතු මධුර,
පළතුරු යුෂ, කොළ තැම්බූ වතුර විකාලයෙහි වුව ද වැළඳීම අනු දැන වදාළේ,
එයින් නීරෝගී බව සුරැකීමත්, ශරීරයෙහි පැහැපත් බව ඇතිවීමත් සැළකීමෙනි.
චීනය වැනි මහායාන බෞද්ධ රටවල භික්ෂූන් වහන්සේ ශාරීරික ව්‍යායාම කරති.
කුංෆු වැනි ව්‍යායාම බහුල වශයෙන් දැකිය හැකිය . හින්දු යෝගීහු ද
ව්‍යායාම කරති. එහෙත් බෞද්ධ භික්ෂූන්ට විශේෂිත ව්‍යායාම නොතිබිණි. ඒ
වෙනුවට උන් වහන්සේගේ සියලු කටයුතු ශාරීරික ව්‍යායාමය ලැබෙන අයුරින්
සකස් වී තිබිණි. සක්මන් කිරීම, පිඬු සිඟායෑම, වත් පිළිවෙත් කිරීම මගින්
ව්‍යායාම ලැබුණි. පාවහන් පැළදීම අනු දැන වදාළ නමුත් එහිදී ඇතැම් නීති
රීති වලට යටත්වැ ඒවා පැළඳිය යුතුය. පහසුවෙන් ගැලවිය හැකි, විලුඹ
නොවැසෙන වටිනාකමෙන් අඩු, සිංහ ආදී සතුන්ගේ සමින් නොකළ පාවහන් පැළදීම
සුදුසුය. මෙකල පාවහන් නොපළඳින භික්ෂූන් වහන්සේ සිල්වත් කමෙන් වැඩි බව
ඇතැම් අය සළකති. එහෙත් පාවහන් නොපැළදීම වැඩි සිල්වත්කමක් හෝ, ඒවා
පැළඳීම දුස්සීලකමක් වශයෙන් සැළකීම සුදුසු නොවේ. සෞඛ්‍යය රැක ගැනීමට
පාවහන් අත්‍යවශ්‍ය දෙයකි. භික්ෂූන් වහන්සේ චීවර දැරීමේ පරමාර්ථය වූයේ
මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම, විළි වසා ගැනීම යන කරුණුය. මැසි
මදුරුවන්ට අපි‍්‍රය වර්ණයක් චීවර සඳහා යොදා ගැනීමට අනු දැන ඇත. එසේ කැර
ඇත්තේ රෝග වළක්වා ගැනීමේ පරමාර්ථයෙනි.
දුම් පානය බුදු හිමියන් අනුමත කැර ඇත්තේ අසනීප වලට ප්‍රතිකාරයක් වශයෙන්
පමණකි. බුලත් දුම්කොළ සැපීම වුවද සෞඛ්‍යය රැක ගැනීමට බාධාවකි. පිළිකා
වැනි රෝගවලට එයින් පහසුවෙන් ගොදුරු වෙයි. අංග විකල වූවන්, ක්ෂය රෝගීන්
, ලාදුරු රෝගීන් , කුෂ්ඨ රෝගීන් පැවිදි කිරීම හා උපසම්පදා කිරීම
නුසුදුසු බව, පෙන්වා දුන්හ. භික්ෂුව සමාජයේ පිළිකුලට ලක්වීම අනුමත
නොකිරීමත්, බෝවන රෝග පැතිරවීම සමාජ ද්‍රෝහී ක්‍රියාවක් වශයෙන් සැළකීමත්
නිසා බුදු හිමියෝ මෙබඳු නීති රීති පැනවූහ. |