Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දිවි මඟ සැනසුම හා සනාතන සුවය ගෙනෙන ත්‍යාග ගුණය

අකුසල් මූල වන ලෝභය, දෝසය, හා මෝහය යන කෙලෙසුන් නිවාරණය කොට, කුසල් සම්පත්තිය වර්ධනය කරන පරිත්‍යාගශීලීත්වය, අති උතුම් බෝසත් ගුණාංගයකි. තමා සතු දේවල් පූජා කිරීමේ අදහසින් හෝ අනුනට උපකාරයක් කිරීමේ අදහසින් දීම පරිත්‍යාගය ලෙස සරලව දැක්විය හැකිය. බුදු දහමේ පරිත්‍යාගය, දානය යන පුළුල් අරුතින් හඳුන්වා දෙනු ලැබ ඇත. මෛත්‍රීය, දයාව, කරුණාව, පෙරටු කරගත් සිතින් කැරෙන පරිත්‍යාගය උතුම් වන අතර, මහත්ඵල මහානිශාංස ලබාදෙයි. පරිත්‍යාගය තුළින් අනුන්ට යහපතක් වන අතර තමන්ගේ සිත තුළ වූ තෘෂ්ණාව, ක්ලේශ අඩු කරයි. අලෝභ, අදෝස, අමෝහ යන කුසල් මුල් සිත් පහළ වෙයි. පුද්ගල අභ්‍යන්තර සංවරය වඩවා, මෙලොව පරලොව හිත සුව සලසා යහපත් විපාක ගෙන දෙනු ඇත. දානය බෝධිසත්ව (බුද්ධ කාරක) ධර්මයක් වන අතර, සිත දමනය සඳහා එමඟින් පදනම වැටෙනු ඇත. දානය, පිළිබඳ බුදුරජාණන් වහන්සේ නිරතුරු වර්ණනා කළහ.

බුදුරජාණන් වහන්සේ තරම් පරිත්‍යාගශීලී උතුමෙක් මෙතෙක් ලොව පහළ වී නැත. උන්වහන්සේ ලොවුතුරා බුද්ධත්වය පතා පිරූ ගුණධර්ම (බුද්ධකාරක ධර්ම) අතර පරිත්‍යාගයට, දානයට ප්‍රමුඛස්ථානයක් ලබා දුන්හ. උන්වහන්සේ තුළ පැවැති පරිත්‍යාගශීලිබව ආශ්චර්යජනකයි. පරිත්‍යාගය, දානය පිණිස නොදුන් දෙයක් නොවීය. තමන්ගේ කාලය, ධනය ශ්‍රමය සැප සම්පත් අඹුදරුවන් ආදියෙහි සිට දීමට අතිශයින් දුෂ්කර ඇස්, ඉස්, මස්, ලේ ජීවිතය පවා දන් දුන්හ. වෙස්සන්තර රජුව ඉපිද තම ආදරණිය දරුවන් වූ ජාලිය ක්‍රිෂ්ණජිනා පූජක බමුණා වෙත දන් දුන් අන්දම ප්‍රකට ය. මින් බාහිර වස්තු පරිත්‍යාගය මනාව පිළිබිඹු වන අතර, දාන පාරමී අවස්ථාව සම්පූර්ණ කළහ. ඉන් සෑහීමකට පත් නොවූ බෝධිසත්වයෝ ඇස්, ඉස්, මස්, ලේ ආදී ශාරීරාංග පරිත්‍යාගය මගින් දාන උප පාරමිතා අවස්ථාවද සපිරූහ. එයිනුදු සෑහීමට පත් නොවූ බෝධිසත්වයෝ ස්වකීය ජීවිතය ද පරිත්‍යාග කරමින් දාන පරමත්ථ පාරමී අවස්ථා ද සම්පූර්ණ කළ අන්දම සස ජාතකයෙන් අපට මනාව පැහැදිලි වෙයි.

මෙසේ පන්සිය පනස් ජාතක කතා තුළින් බුදුරජාණන් වහන්සේගේ පරිත්‍යාගීලීබව අවබෝධ කර ගත හැකි ය. තපස් බවට පත්වීමට පෙර, සුමේධ තාපසයා මහා ධනවත් සිටුවරයෙකු විය. එම අවස්ථාවේ ස්වකීය පරම්පරාවෙන් උරුම වූ මහා ධනස්කන්ධය දුගී ජනතාවට රිසි සේ ලබා ගැනීමට සැලැස් වූ අන්දම පරිත්‍යාගශීලිත්වයට අතිශය ප්‍රසාදජනක ය. පරම්පරා කීපයක වැඩහිටියෝ තෘෂ්ණාවෙන් ධන ධාන්‍ය මිල මුදල්, වතුපිටි ඉඩ කඩම් ආදිය රැස් කරනු ලැබූවත් ඒ කිසිම කෙනෙක් ඒවා ජීවිතය අවසානයේ පරලොවට ගෙන නොගියහ. නමුත් තෘෂ්ණාව දුරු කොට ඒවා යහපතට යෙදවීමේ ක්‍රමවේදයක් පරිත්‍යාගශීලිත්වය තුළින් සම්පාදනයකර ගැනීමට සුමේධ තාපසයෝ කල්පනා කළහ. ඒ අනුව සුමේධ පවුලේ සියලු ධන ධාන්‍ය මිල මුදල් වතුපිටි ඉඩකඩම් දේපොළ ආදිය රටවැස්සන්ට අත්පත් කර ගන්නා ලෙසට නුවර පුරා අණබෙර යැවීය. එසේ කොට සිටු මැදුරේ සියලු දොර ජනෙල් විවෘත කර තබා ගෙමිදුල තුරු සෙවණේ් සිට ඒ ධන ධාන්‍ය, මිල මුදල් වතුපිටි ඉඩකඩම් ආදි දේ දුගී දුප්පතුන් සන්තක කර ගන්නා අන්දම බලමින් ජීවිතයේ පරම ධනය වූ සතුට (සත්තුට්ඨි පරමං ධනං) අත්පත් කර ගත්හ. මෙසේ යහ ක්‍රියාමාර්ග ඔස්සේ ගුණ දහම් පුරමින් සුමේධ තවුසාණෝ තමන් මතු බුදු වන බවට නිශ්චිත ප්‍රකාශය වූ 'නියත විවරණය' දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත්හ.

බුදු දහමේ පෙන්වා දෙන පරිදි පරිත්‍යාගය, දානය - පුදුම බලයක්, ශක්තියක් ලබාදෙන උතුම් චාරිත්‍රයකි. පරිත්‍යාගය තුළින් කළ නොහැකි හපන්කමක් නැත. ලැබිය නොහැකි ශ්‍රේෂ්ඨත්වයක් නැත. පරිත්‍යාගය මිනිස් සිත් සතන් තුළ ඇති දරුණුම ක්ලේශය වූ තෘෂ්ණාව අවම කරවන අතර අනුන්ටද යහපතක්ම සලසාලයි. ධනවත්ව කෝටි ගණන් මුදල් ධන ධාන්‍ය, දේපොළ, වතුපිටි ගොඩ ගසා ගැනීම බුදුදහම ගැන අවබෝධයක් නැති ආඥානයාගේ ස්වභාවයයි. නුවණැති පරිත්‍යාගශීලි පුද්ගලයා තමා සතුව පවත්වා ධනයෙන් තම අවශ්‍යතා සපුරා ගන්නා අතරම මවුපිය ඥාති මිත්‍රාදීන් සේවක සමූහයා අසරණ පුද්ගලයන් ආදීන් දෙස බලා මෛත්‍රී කරුණා දයාවෙන් ඔවුනට යහපත සලසයි. බුදුදහම පිළිබඳ අවබෝධය ඇති ඔහු බුදු ඔවදන් පිළිපදිමින් දෙලොවම සැපවත් කර ගනියි. තෘෂ්ණාව දුරු කොට ගනියි. වරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදරුවන් සමඟ මහ මඟ වඩිද්දී මසුරන් පොදියක් දැක ආනන්දය සර්පයා දුටුවෙහිදැයි විමසති. එයින් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවේ තෘෂ්ණාවේ ඇති රුදුරු විපාකය. යම් පුද්ගලයකු ධනවත් වන තරමට පරිත්‍යාගය කෙරෙහි ද අවධානය යොමු විය යුතු ය. එසේ නොවුණහොත් තෘෂ්ණාව වර්ධනය වී සසර ගමන දිගු වී දුක් විඳීමට සිදු වන බව පැහැදිලි ය. පරිත්‍යාගශීලී නොවන්නෝ තෘෂ්ණාවට වහල් වූ අවාසනාවන්තයෝ ය.

තෘෂ්ණාවෙන් විශාල ධනස්කන්ධයක් ගොඩ ගසාගෙන ජීවත්වන මසුරු පුද්ගලයෝ බොහෝ වෙති. ඔවුන්ගේ එකම අභිප්‍රාය තම ධනස්කන්ධය තව තවත් වර්ධනය කර ගැනීම ය. දිවා රෑ නොතකා අනේක දුක් විඳිමින් ඒ සඳහා ඔවුහු වෙහෙසෙති. ඉන් සුළු වේලාවකට හෝ මිදී කුසට අහරක් නැති හිසට සෙවණක් නැති, අහිංසක මිනිසුන්ට සුළු පරිත්‍යාගයක් හෝ කර කිසියම් සහනයක් උදාකර දෙන්නට සිතන්නේ නම්, කොතරම් අගේද? ආශාවේ ඇලී ගැලී මසුරුකමින් කල් ගෙව ගෙවා තෘෂ්ණාවෙන් පිරි සිතින් විඳින දුක් කන්දරාව කොපමණද? මෙසේ තෘෂ්ණාව මසුරුකම මිනිස් ජීවිතය අඳුරු කොට සසර ගමන දිගු කරවන අන්දම බුදු දහමෙන් පෙන්වා දී ඇත. ඇතැම් දුප්පත් මිනිස්සු තමන් දුප්පත් නිසා කළ නොහැකි යැයි සිතා පරිත්‍යාගයට, දානයට,පසුබට වෙති. තමන් සතු ඉතා ස්වල්ප දෙය පවා තෘෂ්ණාවෙන් තොරව පරිත්‍යාග කිරීම තුළින් ලැබිය හැකි සතුට මොනතරම් ද?

මෙසේ සිදුකැරෙන සියලු පරිත්‍යාග දාන යහපත් ලෙසම සිදුවිය යුතු ය. ඒ සඳහා පූර්ව චේතනාව, මුඤ්චන චේතනාව හා අපර චේතනාව යන ත්‍රිවිධ චේතනාවට යහපත්වීම අවශ්‍ය ය. පූර්ව චේතනාව යනු පරිත්‍යාගය සඳහා වූ වස්තු සම්පාදනය, ඒවා පිළියෙළ කිරීම ආදී වශයෙන් පරිත්‍යාගය ලබන්නා අතට පත්වීමට පළමු ඇතිවන චේතනා රාශියයි. මෙහිදී මතු සැප සම්පත් ලැබීම, අනුන් දෙනවා වෙනුවට දීම මරණින් මතු සැප සම්පත් විඳීම, පෞද්ගලික ලාබ ප්‍රයෝජන ලැබීමේ අපේක්‍ෂාව ආදී ලාමක අදහස්වලින් වෙන්විය යුතු ය. මුඤ්චන චේතනාව යහපත්වීම සඳහා පරිත්‍යාගය ලබන්නාට පිරිනැමීමේ දී එසේම සලකා පිරිනැමීම ය. පරිත්‍යාගය අවසානයේ මෙපමණ මුදලක් වියදම් විය ආදී වශයෙන් සිතට අසහනය අසතුට ඇති කර නොගෙන තමා තුළ පරිත්‍යාගය ගැන නිරතුරුව සතුටු විය යුතු ය. එසේ, යහපත් ත්‍රිවිධාකාර චේතනාවලින් පරිපූර්ණ වූ පරිත්‍යාගය, දානය මහානුභාව සම්පන්න පුණ්‍ය කර්මයකි.

පරිත්‍යාගය දානය නිසා ඇතිවන්නේ පුදුම පුණ්‍ය බලයකි. පරිත්‍යාගයට යොමු වූ තැනැත්තාගේ සිත ප්‍රබෝධයට පත්වෙයි. නිවන් මඟ අහුරන දරුණුම ක්ලේශ වූ ලෝභ, දෝෂ, මෝහ එයින් අඩු වෙයි. පරිත්‍යාගය නිසා අනුන්ට ද යහපතක්ම සිදුවන අතර, පරිත්‍යාගශීලී පුද්ගලයා එයින් ආයු, වර්ණ, සැප, බල ප්‍රඥා ආදී ආනිශංස ලබයි. සමාජයේ බොහෝ දෙනාට පි‍්‍රය වී උසස් පිළිගැනීමකට ඔහු ලක් වෙයි. කීර්තිය දස අත පැතිරී යයි. සත්පුරුෂ ආශ්‍රයට යොමු වෙයි. නිර්භයව පිරිස් මධ්‍යයට යා හැකි වෙයි. අලෝභ අදෝස අමෝහ යන කුසල මූල තුළ ජීවත්වෙමින් පී‍්‍රතිමත් දිවි පෙවෙතක් ගත කිරීමේ භාග්‍යය ඔහුට උදාවෙයි.

පෘථග්ජන පුද්ගලයා පරිත්‍යාගය, දානය යන ගුණාංග තම ජීවිතය තුළ වගා කර ගැනීම සඳහා සෑම පියවරක්ම ගත යුතු ය. නමුත් එය එක් රැයකින් වැඩිය හැකි ගුණයක් නොවේ. ඒ සඳහා ආගමික පසුබිමක් තුළ ආගම පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙයි. පරිත්‍යාගයට යොමු නොවූ පුද්ගලයා වේගයෙන් දිවූ හාවකු ගැහෙන්නාක් මෙන් ලෝභකමින් ගැහි ගැහී සිටින්නේ යැයි බුදු දහමෙහි දැක්වෙයි. පරිත්‍යාගයේ දානයේ ආනිශංස වර්ණනා කරන බුදුරජාණන් වහන්සේ, ලෝකය පවතින්නේ ද ගෙන යන්නේ ද තණ්හාව බව පෙන්වා දී සියලු දෙනාම තණ්හාවට වසඟ වී පමා වී සිටින බව ද වදාළහ.


තණ්හාය නියතී ලෝකෝ

තණ්හාය පරිකස්සති

තණ්හාය ඒක ධම්මස්ස

සබ්බේව වසමංගුවං (සංයුක්ත නිකාය)

අති උතුම් බෝධිසත්ව ගුණයක් වූ පරිත්‍යාගශීලීභාවය වර්ධනය කර ගැනීම සෑමදෙනාගේම යහපතට සිදුවේ. දුන් දෙය සැප විපාක ගෙන දෙයි. නොදෙන ලද්ද, වැඩීමක් නොවී එහිම වැනසෙන්නේ ය. එය සොරු ද ගනිති. රජහුද ගනිති. ගින්නෙන් ද දවයි. විනාශයද සිදුවෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.