ශ්‍රී සර්වඥ
කේශ ධාතූන් වහන්සේ
සිරිලකට වැඩම කරවීම
ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ඇස්.ඩී. බණ්ඩාරනායක
ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේ හුණුපිටිය ශ්‍රී ගංගාරාමයේ ප්‍රදර්ශනය
සඳහා තැන්පත් කොට තිබූ අයුරු. |
'කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ - දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ' ලෝ
වැඩ සඟරා කතුවර වීදාගම මහනෙත් පාමුල මහතෙරුන් වහන්සේ ස්වකීය රසභාව
පූර්ණ කාව්‍යමය බසින් ප්‍රකාශ කළහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ
වීම අත්‍යන්තයෙන්ම විරල සිදුවීමකි. ගෞතම ශාක්‍යමුනින්ද්‍රයන් වහන්සේ
මෙයට අවුරුදු දෙදහස් පන්සිය පනස් දෙකකට පෙර පිරිනිවන් පා වදාළහ. එතෙක්
මෙතෙක් උපදින කිසි සත්ත්වයකුට උන්වහන්සේ සිය නෙතින් දැක වන්දනාමාන කර
කුසල් උපදවා ගැනීමේ භාග්‍යය නොලැබෙන්නේම ය. එහෙත් බොදු නුවනට උන්වහන්සේ
දැක වැඳ පුදාගෙන සිත් පහදවාගෙන කුසල් රැස්කර ගත හැකි ආකාර තුනක් ගැන
තමන් වහන්සේ ජීවමාන සමයෙහිදීම අනුදැන වදාළහ. ශාරීරික, උද්දේසික,
පාරිභෝගික යනාදී වශයෙන් එය විස්තර කොට ඇත.
මෙම ත්‍රිවිධ අංගයන්ගෙන්, ශාරීරික ධාතු වන්දනා කිරීම බෞද්ධ ජනතාව අතර
මහත් සේ ජනපි‍්‍රය පූජා විධියකි. සර්වඥ ධාතුන් වහන්සේ මහත් ගෞරවයෙන්
වඩා හිඳුවා ජීවමාන බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවයෙන් සැදැහැ සිතින්
යුක්තව පුදපූජා කිරීම සම්බුද්ධ පරිනිර්වාණයේ සිටම ඉතා ගෞරවනීය පූජා
විධියක් ලෙස බොදු ජනතාව සැලකූ®හ.
බෞද්ධ ශිෂ්ටාචාරය ශ්‍රී ලංකාවේ ආරම්භ වූ මුල් අවධියේ සිටම සර්වඥ ධාතුන්
වහන්සේ නිදන් කළ මහා ස්ථූප තනා වැඳපුදා ගැනීම මහත්ඵල මහානිශංස ලබන
පුණ්‍ය කර්මයක් ලෙස සැලකීමට ද බෞද්ධාගමිකයෝ හුරු වූහ. එය ශ්‍රද්ධාව හා
බුද්ධ ප්‍රමුඛ ත්‍රිවිධ රත්නය කෙරෙහි භක්තිය වර්ධනය කර ගැනීමේ ක්‍රම
වේදයක් වූවා නිසැක ය. මිනිසුන් පමණක් නොව දෙව් බඹුන් ඇතුළු අනෙක්
ලෝකවාසී සත්ත්වයෝද සර්වඥ ධාතු වන්දනාමානයෙහි සුවිශේෂි ප්‍රසාදයක්
දැක්වූ බව බෞද්ධ සාහිත්‍යයේ නොයෙක් තැන්හි දක්වා තිබේ.
මහාභිනිෂ්ක්‍රමණයේ දී කපා අහසට දැමූ කේශ ධාතුන් වහන්සේ රැගෙන ගිය
දිව්‍ය පුත්‍රයන් විසින් තැනූ තිව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය, දිව්‍ය
ප්‍රජාවගේ අභිවන්දනයට ලක් වූ බව පැවසෙන සිද්ධිය, ඉන් එක් නිදසුනකි.
පසුකාලීනව කළිඟු රට රජුගේ පුත් දන්ත කුමරු සහ හේමමාලි කුමරිය ශ්‍රී
දළදා වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ අනන්ත
පූජෝපහාරයට ලක්වන ආකාරය දක්නට ලැබේ. එවැනි පුද සිරිත් පවත්වමින් ශත
වර්ෂ 25 කට අධික කාලයක් ශාසනයටත් එහි චිරාගත සම්ප්‍රදායනුත් ආරක්ෂා කර
ගැනීමට ගරුතර මහා සංඝයා වහන්සේට මහත් සහයෝගයක් දෙමින් ක්‍රියාකළ ගිහි
දායක කාරකාදීන් වෙතින් ඉෂ්ඨ සිද්ධ වූයේ ද මහඟු කාර්ය භාරයකි. එයට හේතු
වූවා යැයි සැලකිය හැකි තවත් ඓතිහාසික සාධකයක් ද වෙයි.
සම්බුද්ධ සස් වවෝ සුත්වා -
දේව රාජා සුජම්පති
උප්පලවන්නස්ස ආචික්ඛි දීපං ආරක්ඛ කාරණං
සක්කස්ස වචනං සුත්වා -
දේව පුතේතා මහිද්ධිකෝ
ලංකා දීපස්ස ආරක්ඛං -
සදා සෙං පච්චු පටිඨහි
යැයි මහාවංශයේ සඳහන් වන අයුරු.
ශක්‍ර දේවේන්ද්‍රය, ලංකාද්වීපය ආරක්ෂා කරවයි. බුදුරජාණන් වහන්සේ විසින්
භාරකොට වදාරන ලද සක්දෙව් රජුන්ගෙන් විධාන ලත් උපුල්වන් දෙව් රජුන්
විසින් ශ්‍රී ලංකා දේශය නිරන්තරයෙන් ආරක්ෂා කරනු ලබන බවට බෞද්ධ ජනතාව
තුළ ඇත්තේ, බලවත් විශ්වාසයකි. එසේ වීමට හේතු වූ බුද්ධ දේශනාව ඇතුළත්
ශ්‍රී සද්ධර්මය හා සංඝරත්නය පන්දහසක් කල් සුරැකී පවතිනුයේ, මේ රටෙහි යි
යන මතය ද මූලික වීම ය.
වෙසක් මස පුර පසළොස්වක දිනයෙහි බුද්ධ ගයාවේ මහ බෝ මැඩදී බුද්ධත්වයට පත්
වූ ශාන්ති නායකයාණන් වහන්සේ පුරා සති හතක් තමන් වහන්සේ විසින් අවබෝධ
කරගන්නා ලද ධර්ම මාර්ගය මෙනෙහි කරමින් එහි ගතකළ බව කියැවේ. එයින් සත්
වන සතිය රාජායතන බෝධියෙහි වැඩ වාසය කළ ඉක්බිති, අටවන සතිය ආරම්භ වන
දිනයෙහි අලුයම නැඟී සිට කිරිපළු නුගරුක මුලම වැඩ සිටිය දී ඒ අතරින්
මහාමාවතෙහි වෙළෙඳාමෙහි යන වෙළෙඳුන් දෙදෙනෙකු විසින් උන්වහන්සේ දක්නා
ලදහ. තපස්සු, භල්ලුක යන නම්වලින් හඳුන්වනු ලැබූ මෙම වෙළෙඳුන් දෙදෙනා
සොහොයුරෝ ද වූහ. එම වෙළෙඳ දෙබෑයෝ බුදුන් වහන්සේ දැක පැහැදී තමන් වෙත
තිබූ විළඳ සහ මී පිඬු පිළිගැන්වූහ. එම දානය සතර වරම් දෙව්වරුන් විසින්
පූජාකළ ශෛලමය පාත්‍රයට බුදුන් වහන්සේ පිළිගත් සේක. මෙය බුදු බව
ලැබීමෙන් පසු බුදුරජුන් විසින් පිළිගන්නා ලද ප්‍රථම දානය ද වූයේ ය.
ඉන්පසු බුදුරජාණන් වහන්සේගේ දානයේ අනුසස් දැක්වෙන ධර්ම දේශනයකට සවන්
දුන් ඔවුහු, බුදු සසුනේ පැහැදී බුදුන් හා දහම් සරණ ගිය ප්‍රථම උපාසකයන්
දෙදෙනා බවටද පත් වූහ. මෙම වාසනාවත් පුද්ගලයන් දෙදෙනා පසුව, තම ගම රටට
යෑමට සූදානම් වෙමින් සිහිවටනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව
බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතූන් ස්වල්පයක් ලබා දුන් බව,
බෞද්ධ සාහිත්‍යයෙහි කියැවෙයි.
එම මහා පූජා වස්තුව රැගත් වෙළෙඳ දෙබෑයෝ තම උපන් ගම වූ පත්‍රයන්ත ජනපදයට
ගොස් චෛත්‍යයක් නිමවා මෙම සර්වඥ ධාතුන් වහන්සේ නිදන් කර පූජෝපහාරයට
බදුන් කරන ලදී. මෙම චෛත්‍යය ගොඩනඟන ලද ස්ථානය ගැන විවිධ මත පළ වී ඇති
නමුත් එය එවකට වංග දේශය නමින්ද හැඳින් වූ වර්තමාන බංග්ලාදේශයට අයත්
චිතගොං නගරය අවට ප්‍රදේශයකයැයි සැලකීමට ඓතිහාසික සාධක පවති.
ජම්බුද්වීපයේ අබෞද්ධ රාජ්‍ය යුග ඇති වී, බොදු සසුන පිරිහීමට පටන්
ගැනුණේ, පර සතුරු ආක්‍රමණ හා වෙනත් සාධක ද නිසා වෙහෙර විහාර නටබුන් වී
සංඝයා වහන්සේ විරලව ගියේ ය. මෙම තත්ත්වය තුළ චෛත්‍ය ආදිය ද ගරා වැටී,
ඒවායේ නිදන් කරනු ලැබූ අතිවන්දනීය ශාරීරික ධාතුන් වහන්සේද මිහිගැබ තුළට
වැදිණි. පසු කලක පුරාවිද්‍යාත්මක කැණීම් වලදී මෙම චිතගොං පෙදෙස
ආශි‍්‍රතව කැරුණු ගවේෂණ වලදී හමු වූ පූජා භාණ්ඩ, ඉහත කී සර්වඥ කේශ ධාතු
ලෙස හඳුනා ගන්නා ලදී.
එසමයෙහි ශ්‍රී ලංකාවේ මහෝපාසක බෞද්ධ ප්‍රභූවරයකු වූ හලාවත මාදම්පේ
ප්‍රදේශයේ වාසය කළ මා හිතවත් වාසල මුදලි ඩී.ඩබ්ලිව්. සේනානායක මැතිතුමා
එතුමාගේ පවුලේ අයගේ ද සහාය ඇතිව 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය
නිමිතිකොට ගෙන නිර්මාණය කරන ලද මාදම්පේ සේනානායකාරාමයේ නිදන් කිරීම
පිණිස ඉහත කී කේශ ධාතූන් වහන්සේගෙන් කොටසක් ලබා ගැනීමට සමත් වූයේ ය.
එය සාර්ථක කර ගැනීම පිණිස එම වකවානුවේ චිතගොං ප්‍රදේශයේ පාලනය ගෙන ගිය
පකිස්තානු රජයේ ආධාරය ද ලැබුණු බව කෘතඥතාවයෙන් සිහිපත් කළ යුතුය.
මුළුමනින්ම ගලෙන් නිමවන ලද ශ්‍රී‍්‍ර ලංකාවේ ඇති එකම චෛත්‍ය රාජයාණන්
වහන්සේ වන මාදම්පේ සේනානායකාරාමයේ පිහිටි වෛත්‍යයේ නිදන් කර ඇත්තේ
අතිපූජනීය කේශ ධාතුන් වහන්සේගෙන් කොටසකි.
මෙයින් තවත් කොටසක් වර්තමාන බංග්ලාදේශය යැයි හැඳින්වෙන රාජ්‍යයෙහි
චිතගොං ආශි‍්‍රත විහාරස්ථානයක වැඩ සිටි බව දැන සිටි ඉහත සඳහන් කළ වාසල
මුදලි සේනානායක මැතිතුමාගේ ඥාති පුත්‍ර කීර්ති සේනානායක මහත්මා වසර
ගණනක් තිස්සේ එම මහානාර්ඝ වූ පූජා වස්තුව ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස
අප්‍රමාණ වෙහෙසකර ප්‍රයත්නයක යෙදුණේය. අතිගරු ජනාධිපතිතුමාගේ කාරුණික
අවධානය ද මෙම සද්ව්‍යාපාරය කෙරෙහි යොමුවීම නිසා, එයද ශක්තියක් වූයේ ය.
ගරුතර මහානායක අනුනායක වර ප්‍රමුඛ මහා සංඝ රත්නයේ පූර්ණ ආශිර්වාදයද
සහිතව ආගමික කටයුතු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක හා විදේශ කටයුතු අමාත්‍ය
රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙන් නියෝජිත පිරිසක්
බංග්ලාදේශයට පිටත්ව ගොස්, එම කේශ ධාතුන් වහන්සේ මෙරටට වැඩමවා ගෙනැවිත්
මහජනතාවගේ පූජෝපහාර පිණිස අවස්ථාව සකසා දෙන ලදී. මෙයට ජනාධිපතිතුමාගේ
පුත්‍ර නාමල් රාජපක්ෂ තරුණ මහතා ද සහභාගි විය.
ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක වන්දනා කර පින් රැස් කර ගැනීමේ අවස්ථාව
අහිමි වූ එහෙත් පුණ්‍යකාමී ජනතාවට ඒ හා සමානවම පූජා විධියක් සලසා දීමට
සිය ධනය හා පරිශ්‍රමය නොමසුරුව කැප කළ පින්වත් කීර්ති සේනානායක මහතා
දැක්වූ උනන්දුව කෙරෙහි සකල ලංකාවාසී ජනතාවගේ නොමඳ උපහාරය එතුමාට හිමි
විය යුතුම ය. ඈත අතීතයේ සිටම මා පෞද්ගලිකව දැන හැඳුනුම්කම් ඇතිව සිටින
ඒ මහතා සහ පවුලේ අය මෙරට ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ ප්‍රභූවරුන් වනවා
මෙන්ම එතුමා මාදම්පේ සේනානායකාරාමයේ සහ මහත් අනුසස් ඇතැයි සැලකෙන
මාදම්පේ තනියවැල්ල, දේවාලයේ භාරකාර ධූරය ද දරයි. |