නමස්කාරය නිවැරැදිව තේරුම් ගනිමු
වජිරාරාම ආරණ්‍යවාසී
බලන්ගොඩ සුමංගල
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ නමෝ - නමස්කාරය වේවා!, තස්ස
භගවතෝ- ඒ භගවත් අහරතෝ- අර්හත් වූ, සම්මා සම්බුද්ධස්ස, සම්මා සම්බුදු
රජාණන් වහන්සේට යනු එහි වචනාර්ථයයි. අපි එය සරලව භාවිතා කරන ආකාරයට ‘ඒ
භාගවත් අර්හත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
වෙයි. මෙලෙස කුඩා වචන තුනකින් කියවෙන බුදුගුණ අනන්තයි, අපරිමිතයි.
අපරිමිතව පැතුරුණු පුළුල් අරුතක් ඒ වචන තුනෙහි අඩංගු වේ. බොහෝ විට බොහෝ
බොදුනුවෝ මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නැතුව පුරුද්දට නමස්කාර පාඨය
ප්‍රකාශ කරති.
මෙහි පළමුවෙන් සඳහන් බුදුගුණ කියවෙන වචනය ‘භගවා’ වේ. අකුරු තුනකින්
සැදුම්ලත් මේ වචනයේ අදහස ඇති සැටියෙන් ම අපට තේරුම් ගැනීමට හෝ කියා
නිම කිරීමට අපට ශක්තියක් නැත. ගුණයෙන් විශිෂ්ට, උතුම්, ගෞරවාර්හ යන
අරුත එයින් ප්‍රකාශ වේ. එය හඳුන්වා දීම මෙලෙස සඳහන් වෙයි.
භගවාති වචනං සෙට්ඨං - භගවාති වචනමුත්තමං
ගරු ගාරව යුත්තෝ සෝ - භගවාති තේන වුච්චති
භගවා යන වචනය ශ්‍රේෂ්ඨය උතුම් ය. ගරුකළ යුතු අරුතෙහි යෙදෙයි. එබැවින්
භගවා යැයි කියවේ.
කෙනකු හඳුන්වන ක්‍රම කිහිපයකි. ඇතැම් කෙනකුගේ වයස්සීමා අනුව යෙදෙන්නේ
වේ. ඒ අනුව වෙනස් වීම්ද වේ. ළදරුවා, ළමයා, තරුණයා, වැඩිහිටියා, මහල්ලා,
ආදී වශයෙන් අපට ඒව හඳුනා ගත හැකිය. ඒවා ආවත්ථික නාම වේ. ලිංග නාම යනු
තවත් වර්ගයකි. පුද්ගලයා සහ ඔහු ඇතැති දේ අනුව යෙදෙන නම් මේ නමින්
පෙන්වා දෙයි. පිරිමියා, ගැහැනිය දණ්ඩී, ඡත්තී ආදී නම් මෙම වර්ගයට අයත්
වේ. ත්‍රිවිද්‍යා ඇති බැවින් තේවිජ්ජ නම් වෙයි. ෂට් අභිඥා ඇති බැවින්
ෂඩ්භිඥා වෙයි. මෙලෙස අධ්‍යාත්ම ගුණ දියුණුව හේතුවෙන් ප්‍රකාශ වන නම්
නේමිත්තක නාම වර්ගයට අයත් වේ. වචනාර්ථය නොසලකා යොදන නම් ද තිබේ. ඒවා
අධිච්ච සමුප්පන්න නම් ලෙස හඳුන්වයි.
සිදුහත් තාපසයාණෝ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීණකර උතුම් වූ බුද්ධ
රාජ්‍යය දිනූ බැවින් ඊට අනුව විවිධ නම් භාවිත කරයි. ‘භගවා’ යනු ඉන් එක්
නාමයකි. එය නේමිත්තක නාම ගණයට අයත් ;ව්. එය මාපිය හිතවතුන් විසින් හෝ
වෙනත් ශ්‍රමණ බමුණු ආදීන් විසින් තබන ලද නමක් නො වේ. භගවා යන වචනය
කෙටියෙන් මෙලෙස විස්තර කර දෙයි.
ගී භාජී භගී විභක්තවා ඉති
අකාසි භග්ගං ති ගරූ තී භග්‍යවා
බහූහි ඤයෙහි සුභාවිතක්තා
භවන්තගො සො භගවාති වුච්චති
භග ධර්මයෙන් යුක්ත බැවින් භගවා වෙයි. වන සෙනසුන් හා උතුම් දහම් ඇසුරු
කළ බැවින් භගවා වෙයි. අර්ථ ධර්ම, විමුක්ති, රස, භාග ඇති අරුතින් භගවා
වෙයි. ලෞකික ලෝකෝත්තර ආදී දහම් බෙද බෙදා වෙන්කොට දැක් වූ බැවින් භගවා
වෙයි. රාගාදී සියලු කෙලෙස් බිඳ ලු බැවින් භගවා වෙයි. කාය භාවනාදි අනේක
භාවනා ක්‍රමයෙන් වඩන ලද සිත් ඇති බැවින් භගවා වෙයි. භවයෙහි කෙළවරට
පැමිණි බැවින් භගවා වෙයි. මෙපරිදි කෙටියෙන් විස්තර වේ.
තවත් ආකාරයකට භගවා යන වචනය විස්තර කර දෙයි.
‘භාග්‍යවා භග්ග වා යුත්තෝ - භගෙහි ච විභත්තවා
භත්ත වා වන්න ගමනෝ - භවෙසු භගවා තතො’
භාග්‍ය වා ඉති භගවා - ලෞකික ලෝකෝත්තර සැප උපදවන දාන සීල භාවනාදී පාරමී
කුශල ශක්තිය මෙයින් අදහස් වේ. එයින් මාර්ග කුශල ශක්තිය ලෝකෝත්තර සැප
ලබාදීමටත් සෙසු කුසල ශක්තිය ලෞකික සැප ලබාදීමටත් ඉදිරිපත් වෙයි.
භග්ගවා ඉති භගවා.... ඒකක, ද්වික, ආදී විවිධාකාරයෙන් සඳහන් සියලු
ක්ලේශයන් බිඳ ලු බැවින්, ප්‍රහීණ කළ බැවින් භගවා නම් වේ. කෙලෙස් පුරුදු
සහිතවම සියලු කෙලෙසුන් වනසාලූ බැවින් භගවා නම් වේ. කෙටියෙන් දක්වන්නේ
නම් ක්ලේශ මාර ස්කන්ධමාර අභිසංස්කාර මාර දේව පුත්ත මාර, මෘත්‍යමාර,
වශයෙන් නම් කෙරෙන පස්මරුන් නසාලූ මෙයින් භගවා නම් වේ.
භග්ග රාගො භග්ග දොසො - භග්ග මොහො අනාස වො
භග්ගාස්ස පාපකා ධම්මා භගවා තෙන වුච්චති
රාගය ද්වේශය, මෝහය, ඇතුළු සියලු පවිටු ළාමක පාපයන් සිඳ දමා නිකෙලෙස්
බවට පැමිණි හෙයින් භගවා යන නම භාවිත වන බව මෙයින් හඳුන්වා දෙයි.
භගෙහි යුත්තෝ භගවා භාග දහමින් යුක්ත බැවින් භගවා නම් වේ. මෙහි භග දහම්
සයක් පෙන්වා දෙයි.
1) ඓශ්චර්ය භාග්‍ය ,ධර්ම භාග්‍ය, යසස් භාග්‍ය, ශ්‍රී භාග්‍ය, කාම
භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය යනු එම සය ය.
ඓශ්වර්ය භාග්‍ය නම්, ඊශ්වර බව හෙවත් අධිපති බවයි. මෙයද ක්‍රම කිහිපයකට
විස්තර කර දිය හැකි වේ. ඉන් පළමු වැන්න චිත්තේශ්වර බවයි. එහි අදහස
සම්පූර්ණ ලෙසම සිතෙහි අධිපති බව තමා සතු බව යි. රජ, සිටු, දේව,
බ්‍රහ්ම, සෘද්ධිමතුන් ආදී කිසිවෙකුට නො මැති රහත්මඟඵල ලැබූ උතුමනට
පමණක් ඇති සුවිශේෂි ගුණයකි. එයිනුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපරිම
වශයෙන් පිහිටා ඇත. සෝවාන්, සකදාගාමි, අනාගාමි මඟඵල ලද උතුමනට කෙලෙස්
ප්‍රහීණ වීමේ ප්‍රමාණය අනුව තම වසඟයෙහි සිත පවත්වා ගැනීමේ ශක්තිය
ලැබේ. සෙසු කෙලෙස් සහිත පුද්ගලයනට චිත්තේශ්වර බවක් නැත. තාවකාලිකව යම්
පමණට ඇති කරගත හැකි අවස්ථා පමණක් ඇත. ඔව්හු සිතට වසඟව ක්ලේශයනට වසඟව
ක්‍රියා කරති. සුක්කානම බිඳීගිය, හබලක පමණ ශක්තියක් නැති මුහුදු
යාත්‍රාව යම් සේ සුළඟට දියරළට හසුව ඒ මේ අත පාවී යන්නේ ද එපරිදි
පුහුදුන් සිත සෑම විටම ලාභ, අලාභාදි ලෝ දහමින් කම්පා වෙයි. සැලෙයි.
චිත්ත විපර්යාසයට පැමිණෙයි. උමතු වෙයි. ක්ලේශ වසඟයට පැමිණෙයි. පස්කම්
සැපතෙහි කිසිදු තෘප්තියකට කෙලවරකට නොපැමිණෙයි. එයින් මහා පව්කම් කිරීමට
පදනම් වෙයි. එයම ඔව්නට මහා දුක් කම්කටොලු වලට ගොදුරු වීමට නැවත නැවතත්
සසර දුකටම ගොදුරු වීමට හේතු වේ. එහෙත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට තම
වසඟයේ සිත පවත්වා ගැනීමේ හැකියාව උපරිම අයුරින් ඇත්තේ ය.
මේ යටතේ සුවිශේෂි පෙළහර කිහිපයක් සැකවින් මෙසේ සඳහන් ව ඇත.
‘අණිමා මහිමා පත්ති පාකම්මං ලසිමා තථා
ඊසතා ච වසිතාච යත්ථ කාමාව සායිතා’
‘අණීමා’ යනු ශරීරය කුඩා කිරීමේ හැකියාව ය. සම්මා සම්බුදු රජාණන්
වහන්සේට අට පිරකර සහිතව අබ ඇටයක පමණ වූ අවකාශයක සතර ඉරියව්වෙන් කල්
ගෙවීමට හැකියාව ඇති බවත්, මිනිස් ඇසිපියක සක්මන් කිරීමට හැකියාව ඇති
බවත්, පෙන්වා දෙයි. ‘මහිමා’ යනුවෙන් පෙන්වා දෙනුයේ ශරීරය විශාල කිරීමේ
හැකියාව ය. අපරිමාණ වශයෙන් තථාගත ශරීරය මවා පෙන්විය හැකිය. දිගින් සැට
යොදුනක් ද පළලින් පනස් යොදුනක් ද උසින් පසළොස් යොදුනක් ද වූ පාණ්ඩ
කම්බල ශෛලාශනයෙහි අසුන් ගත් බුදුරජාණන් වහන්සේ දෙවියනට පෙනුනේ ඉතා කුඩා
අසුනක විශාල පුරුෂයකු අසුන්ගත් ලෙසිනි. මෙයින් අපට පැහැදිලි වනුයේ
තථාගත ශරීරය අපරිමාණ වශයෙන් විශාල කර පෙන්වා දිය හැකි බවය.
‘පත්ති’ යනු කොතෙක් දුරට වුවද සැණෙකින් පැමිණිය හැකි බවය. දෙව්ලොවට,
බඹලොවට වැඩි ගමන් පිළිබඳ විමසීමේදී අපට මේ පිළිබඳව සිතා ගැනීමට හැකි ය.
‘පාකම්ම නමින් හඳුන්වනුයේ නානා රූප මැවීමේ ශක්තිය ය. යමක පෙළහර තුළින්
අපට මෙය මැනවින් පැහැදිලි වේ.
‘ලසිමා’ ලෙස දක්වන්නේ සිතට අනුව කය සැහැල්ලු කළ හැකි බවයි. පොළොවේ මෙන්
අහසෙහි සිවු ඉරියව් පැවැත්විය හැකියාව මෙනිසා ලැබී ඇත.
‘ඊසතකා’ යනු ඊශ්වර බව ය. තමනට අවශ්‍ය පරිදි සිත මෙහෙයවිය හැකි බවය.
‘වසිතා’ යනු ධ්‍යාන සමාපත්තිවලට අභිමත පරිදි සමවැදීමේ ශක්තිය ය.
‘යත්ථකාමාවසායිතා’ යනුවෙන් හඳුන්වා දෙන්නේ සෘද්ධි ප්‍රාතිහාර්ය
කිරීමේදී නියමිත ප්‍රදේශයේ නියමිත කාලයක් මුළුල්ලෙහි ප්‍රාතිහාර්යය
පැවැත්විය හැකි බවය.
ධ්‍යාන සමාපත්ති තම වශයෙහි පවත්නා බැවින් සමාධිසමාපත්තීශ්වර වේ.
අනේකාකාර සෘද්ධීන් පවත්නා බැවින් සෘද්ධීශ්වර ය.
දහමට අධිපති බැවින් ධර්මේඝ්වර ය.
සංඝයාට අධිපති බැවින් සංසේශ්වරය.
ගණයාට අධිපති වන හෙයින් ගණේශ්වර ය.
ලෝකයාට අධිපති වන බැවින් ලෝකේශ්වර ය.
ලෝකෝත්තර ධර්ම හා උත්තරීතර සීලාදී ගුණ ඇති බැවින් ධර්ම භාග්‍ය වේ. එහි
ලෞකික ධර්ම අතර ධ්‍යාන අභිඥා උසස් ය. අර්හත් ඵලය, නිවන්සුව ලොකෝත්තර
දහම් අතර ශ්‍රේෂ්ඨ වෙයි. සියලු බුද්ධ ඥාන හා ඒ අතර පවත්නා සයාකාර
අසාධාරණ ඥාන ධර්ම පැවැතීම ධර්ම භාග්‍ය වේ.
‘යස භාග්‍ය’ මහ පිරිවර ඇති බවත්, ඉමහත් කීර්තියක් ඇති බවත් මෙයින්
අදහස් වේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට මහ පිරිවර සම්පතත්, ඉමහත්
කිර්තියත් ඇත්තේ ය. බෝසත් උපතේ සිටම මෙම ස්වභාවය පැවැතියේ ය.
බුද්ධත්වයෙන් පසු එය සිය දහස් ගුණයෙන් වැඩි විය. භික්ෂු භික්ෂුණී උපාසක
උපාසිකා යන සිව් පිරිසේ ප්‍රමාණයක් නැත. අද දක්වා ම එය නෙසිඳී පවතී.
‘ශ්‍රී භාග්‍ය ය’ දර්ශනීය ශෝභන ශරීරයක් ඇති බව මෙහි අදහස ය. දෙතිස් මහා
පුරුෂ ලක්ෂණයෙන්, අසූවක් අනුලක්ෂණයෙන්, එකසිය අටක් මංගල ලක්ෂණයෙන්
යුක්ත වූ බුද්ධ ශරීර ය ජටුවන්ගේ නෙක් සිත් පිනවන ස්වභාවයෙන් යුක්ත ය.
ගමන, ඉරියව් පැවැත්ම, කථාව, බැල්ම, සිනාසීම ආදී ක්‍රියාවන් ශෝභනව සිදු
කිරීමෙන් බුදුරජාණන් වහන්සේ ගේ අලංකාරය ශ්‍රී දේහයේ අලංකාරය අනේක
ගුණයෙන් වැඩි වන්නේ ය. සවනක් ගණ බුද්ධ රශ්මිය පැතිරීමෙන් බුද්ධ ශරීර
අලංකාරය අපරිමිත වේ. දේව බ්‍රහ්මාදීන්ගේ ශරීර ප්‍රභාශ්වරය අභිභවනය කර
පවතී. වක්කලී තෙරුණුවන් බුද්ධ ශරීරය දෙසම නෙත යොමු කොට බලා සිටීමට
පි‍්‍රය කිරීමෙන් මෙය වඩාත් ප්‍රකට වේ.
‘කාම භාග්‍ය ය’ ස්වර්ථ පරාර්ථ සාදනයෙහි අභිමත පරිදිම සියල්ල සිදුකිරීමේ
හැකියාව මේ කරුණින් පෙන්වා දෙයි. දීපංකර පාද මූලයේදී යම් ආකාරයට බුදුබව
පැතුවේ ද එය ඒ ආකාරයෙන් ම සියල්ල මුදුන් පමුණුවා ගැනීමට සමත් වීමත්
බුද්ධත්වයෙන් පසු සිව්සස් දහම් අවබෝධ කරවා ලෝක සත්ත්වයාට සෙත සැලසීමට
යම් ආකාරයට අදහස් කළසේක් ද එය එලෙසින් ම ඉටු කිරීමට හැකිවීම කාම භාග්‍ය
වේ. නිසි දේ පැතුමත් එය මුදුන් පමණුවා ගැනීමට නිසි නොවරදින පිළිවෙත
අනුගමනය කිරීමටත් බුදුරජාණන් වහන්සේ බෝසත් අවධියේ සිටම සමත් වූ හ.
කිසිවිටෙක හුදු පැතුමට පමණක් වහල් නොවූ හ.
‘ප්‍රයත්ත භාග්‍ය ය’ ස්වාර්ථ - පරාර්ථ සාදනයෙහි ඇති නොවරදින නිවැරැදි
ප්‍රයත්නය හෙවත් උත්සාහය මෙපරිදි විස්තර වේ. ලොව්තුරු බුදුබවට පත්වීමට
නිවැරැදිව කළ අතිමහත් උත්සාහයක් එලෙසින්ම එය මුදුන් පමුණුවා ගැනීමත්
ප්‍රයත්න භාග්‍ය හේතුවෙන් සිදුවිය.
විභක්ත වා ඉති භගවා, ක්‍රමානුකූ®ලව දහම් කරුණු බෙදා දහම් දෙසූ බැවින්,
භගවා යන නම යෙදෙයි. දහම් කරුණු එක දෙක, තුන ආදී වශයෙන් ද, කුසල් අකුසල්
වශයෙන් ද ස්කන්ධ, ආයතන ධාතු, වශයෙන් ද බෙදා වෙන්කර ශ්‍රාවකයාගේ වඩා
පැහැදිලි අවබෝධය පිණිස දේශනා කළ වදාළහ. එහිදී කරුණු අඩු වීමක් හෝ
වැඩිවීමක් දක්නට නැත. එක් කිරීමට හෝ කරුණු අඩු කිරීමට කිසිවකුට නොහැකි
ය. එය සුවිශේෂ ලක්ෂණයකි.
භත්තවා ඉති භගවා භජනය කළ බැවින් භගවා වේ. දිව්‍ය විහරණ, බ්‍රහ්ම විහරණ,
ආර්ය විහරණ යන ත්‍රිවිධ විහරණයෙන් ඇසුරු කළ බැවින් ද කාය විවේක, චිත්ත
විවේක, උපාධි විවේක, ඇසුරු කළ බැවින් ද, සුඤ්ඤතා, අප්පණිහිත, අනිමිත්ත
යන ත්‍රිවිධ විමොක්ෂයන් හා අන්‍ය වූ ලෞකික ලෝකෝත්තර ගුණ භජනය කළ
බැවින් ද ආරණ්‍ය ශූන්‍යාගාර රුක්මුල් ආදී සෙනසුන් ඇසුරු කොට විසූ
බැවින් ද භගවා නම් ;වයි.
“භවේසු වන්ත ගමනෝ ඉති භගවා’ බුදුරජාණන් වහන්සේ කාම, රූප අරූප යන
භවත්‍රයේ ම උපතට හේතුවන සියලු කෙලෙස් වමාල බැවින්ද භවයේ කෙළවරකට පැමිණි
බැවින් ද මෙලෙස හඳුන්වනු ලැබේ
. මෙලෙස කෙටියෙන් සරලව විස්තරවන භගවා ගුණය පිළිබඳව තවදුරටත් විස්තර
විමසා දැන සිහිනුවණින් නමස්කාර කිරීම වඩා යහපත් වනු නියත ය.
කෙලෙස් පුරුදු සහිතවම සියලු කෙලෙසුන් නැසූ බැවින් ද සියලු කෙලෙසුන්ගෙන්
දුරු වූ බැවින්ද, සංසාර චක්‍රයාගේ අවිද්‍යා තෘෂ්ණාදි කෙලෙස් සිඳ ලු
බැවින් ද. සියලු ලෝ වැසි දනන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට උපරිම
සුදුසුකම් ඇති බැවින්ද, සිතිවිලි මාත්‍රයනින්දු රහසින් වුවද පව් නොකළ
බැවින් ද අරහත් නම් වේ.
ගුරු උපදේශ හෝ පරෝපදේශ රහිත ව ම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කළ
යුතුතාක් සියලු දහම් අවබෝධ කළ බැවින් ද ප්‍රහීණ කළ යුතුතාක් සියලු
යම්තාක් ක්ලේශයන් පැවතියේ ද ඒවා ක්ලේශ පුරුදු සහිතවම ප්‍රහිණ කළ බැවින්
ද භාවිත කිරීමට යම්තාක් දහම් පැවතියේද ඒ සියලු දහම් මැනවින් භාවිත කළ
බැවින් ද, සම්මා සම්බුදු නම් වන සේක.
වෙසෙසින් සියල්ල දත් නුවණ පහළ වීම මෙහිදී අදහස් කරයි.
මෙපරිදි නමස්කාර පාඨයේ අරුත සැකවින් සරලව හඳුනාගෙන විස්තරාර්ථ වශයෙන්
තව තවත් මැනවින් විමසා දැන උගෙන බුදුගුණ භාවනාවේ යෙදෙන්නේ නම් ඉතා උසස්
වන්නේ ය. |