බෝධි පූජාව එදා සහ අද
විශ්‍රාමික ගුරු උපදේශක,
ඒ.එම්. ප්‍රේමරත්න
සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සේවිත
වෘක්‍ෂය වූයේ අස්වත්ථ (ඇසටු) වෘක්‍ෂය නිසා සියලු ඇසටු ගස් බෝ ගස් නමින්
අප රටේ හැඳින්වෙති. අන් කිසිදු බුදුවරයකු අස්වත්ථ වෘක්‍ෂය
සම්බෝධිප්‍රාප්ත පාදක වෘක්‍ෂය කර ගත්තේ නැති බව සඳහන් වේ. සාරාසංඛ්‍ය
කල්ප ලක්‍ෂයක කාලය තුළ ප්‍රධන් වීර්යය වඩා සාක්ක්‍ෂාත් කරගත්, ප්‍රඥාවේ
අග්‍ර ඵලය වූ, සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමේ දී වැඩ සිටි තැනට සෙවණදුන්
එකී අස්වත්ථ වෘක්‍ෂය දෙස බුද්ධත්වයෙන් දෙවැනි සතියේ දී, බලා සිටිමින්
දක්වන ලද කෘතවේදී පූජාව, ප්‍රථම බෝධි පූජාව ලෙස ගෞතම බුද්ධ
චරිතාපදානයෙහි දැක්වේ. මෙහිදී උන්වහන්සේ ද්‍රව්‍යමය කිසිවක් එම
වෘක්‍ෂයට පූජා කළේ නැත.
ඉන්පසු බුදුරදුන් ගේ ජීවමාන කාලය තුළ එම බෝධි වෘක්‍ෂය උදෙසා කවර
ආකාරයෙන් ජනතාව ක්‍රියා කළේ ද යන්න ගැන පැහැදිලි තොරතුරු නොදැක් වේ.
වනස්පති වෘක්‍ෂ වන්දනාව එකල ප්‍රචලිතව පැවති එකකි. එම පිළිවෙත
පුද්ගලයාගේ විමුක්තිය සඳහා පිටිවහලක් නොවන බව බුදුරජාණන් වහන්සේ
පැහැදිලිව ම දේශනා කළ නිසා බුද්ධ ශ්‍රාවක සංඝ සමූහයා ද ඒ අනුව ක්‍රියා
කළ බැවින්, මුල් බෝධි වෘක්‍ෂය උදෙසා වන්දනීය පිළිවෙතක් අනුගමනය
නොකළාවිය හැකි ය. එකල ජනතාව වනස්පති වෘක්‍ෂ වන්දනාව කළේ එමගින් ඔවුන්
තුළ ජනනය කෙරුණු කිසියම් අවිනිශ්චිත බිය නිසා ය.
බුදුරදුන්ට කරනු ලබන පූජාවක් ලෙස බෝධි වෘක්‍ෂයකට සාමාන්‍ය ජනතාව පිදුම්
කරන්නට ආරම්භ කෙරුනේ ආනන්ද බෝධි රෝපණයේ පටන් බව දැක්වේ. එය බුද්ධ
අනුජානනය අනුව ම සිදුවූවකි. තව ද එය සම්බුද්ධ ප්‍රාප්තියේ දී
බුදුරජාණන් වහන්සේ සේවනය කළ ගයා බෝධි වෘක්‍ෂයේම ඵල රුකක් වීම විශේෂ
කරුණකි. ඊට පෙරාතුව එවැනි බෝධි පූජාවක් නොතිබූ බවට එමඟින් පැහැදිලි
වෙයි. අනෙක් අතට එය වෘක්‍ෂ්‍ය වන්දනාවක් නොව බුදුරදුන් නොසිටි
අවස්ථාවලදී පමණක් බුදුරදුන්ට කෙරෙන පූජාවක් ලෙසම කළ බව දැක්වේ. එහෙත්
අවශේෂ ඇසටු වෘක්‍ෂ අරබයා එවැනි පූජා පිළිවෙතක් තිබූ බවට සාක්‍ෂය
නොලැබේ.
ලංකාවේ බෝධි වෘක්‍ෂ පූජාව ඇරඹෙන්නේ දුමින්දාගමනයේ දී මෙරටට වැඩමවන ලද,
ගයාවේ ශ්‍රී මහා බෝධි වෘක්‍ෂයේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙවුනාවේ
රෝපණය කරනු ලැබීමෙන් පසුවය. එතැන් පටන් එය වටා මහා සංස්කෘතියක් මෙරට
බිහි විය. ජනතාව ගේ සන්තානයට එය කෙතරම් බලපෑවේ ද යත්, රටේ සියලුම
විහාරාමවල බෝධි වෘක්‍ෂ ඉදි කෙරුණි. මහමෙවුනාවේ බෝධි වෘක්‍ෂය “විජය
ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ” යන ගෞරව නාමයෙන් පිදුනි. එයින් ලත්
ඵල වෘක්‍ෂ දෙතිසක් දිවයිනේ විවිධ තැන්වල රෝපණය කරන ලදී. සුවිසල් බෝධි
ප්‍රාකාර, බෝධි ඝර ඉදිවීමෙන් එකල බෝධි වෘක්‍ෂයට කරන ලද උතුම් ගෞරවය
දක්වන ලද බව පෙනේ. විශේෂයෙන් ජය සිරි මහා බෝ සමිඳුන්ටත් අනෙකුත් බෝධි
වෘක්‍ෂවලටත්, කෙරුනු පුද පූජා විධි අදට වඩා වෙනස් වූ අතර ඉන් සමහරක් අද
ද අඛණ්ඩව කෙරේ. එය ජාතියේ සෞභාග්‍යයේ සංකේතයක් ලෙස පිළිගැනුණි. එහි
ආරක්‍ෂාව සඳහාත් පුද පූජා සඳහාත් රාජ්‍ය නියමය යටතේ පත් කරන ලද තනතුරු
ලාභීන් විශාල සංඛ්‍යාවක් ද වූහ. කොතැනක හෝ ඇති ඇසතු වෘක්‍ෂයක් කපා
දැමීම පවා ඉමහත් පාපයක් කොට සැලකෙන තරමට ජන විඥානය හැඩ ගැසුනි.
ඉකුත් සියවස මුල් භාගයේ දී මේ සිද්ධස්ථාන නැවත හඳුනාගෙන බෞද්ධ ජනතාව ගේ
පුද පූජාවලට යළි විවෘත වීමත් සමඟ යටගියාවෙන් වැසී තිබුණු වන්දනීයත්වය
නැවත ඒවාට ලැබිණි. බොහෝ විහාරාරාමවල ඇසටු වෘක්‍ෂ අලුතෙන් රෝපණය කෙරිණි.
එමගින් බෝධි වන්දනාවේ නව උදාවක් ඇති වූ නමුත්, මුල් ම යුගයේ පූජා
වන්දනාවලට වඩා බොහෝ වෙනස්කම් සහිතව, නව සංකල්ප එකතුවෙමින් පෙළ ගැසෙන්නට
පටන් ගත් බව පෙනේ.
අද පවතින බෝධි පූජාව සමග සසඳන විට ඒ පරිණාමය පහසුවෙන් වටහා ගත හැකි ය.
මීට දසක තුන හතරකට පමණ පෙර කාලයේ දී බොහෝ විහාරස්ථානවල මල් පහන් පූජා
ආදී සියලු බුද්ධ පූජාවන්ට කේන්ද්‍රස්ථානය වූයේ පිළිම ගෙයයි. බෝධි පූජා
යන වචනයද අසන්නට ලැබුනේ විරලව ය. පූජාර්හ වස්තු අතුරින් ශාරීරික ධාතු
සහිත චෛත්‍යය ප්‍රථම තැනට ද, පාරිභෝගික වස්තුවක් ලෙස ගැනෙන බෝධි
වෘක්‍ෂය දෙවැනි තැනට ද, උද්දේසික පිළිමගෙය තෙවැනි තැනට ද දමා ත්‍රිවිධ
චෛත්‍ය වන්දනාවක් අපට හඳුන්වනු ලැබ ඇත. එහෙත් බෝධි පූජා සංකල්පය ඉතා
තදින් බෞද්ධ පූජාව වෙතට ප්‍රවේශ වීම නිසා පිළිම ගෙයත් චෛත්‍යයක් යන දෙක
වැදගත්කමින් දෙවැනි තැනට පත්වී ගිය ආකාරය අද තත්ත්වය දෙස බලනවිට පෙනේ.
අනුරාධපුරයට ගිය කෙනකුට මේ ස්වභාවය පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි ය.
පෙර යුගයේ මල් පහන් පූජාව යන්න වෙනුවට අද නිතැතින්ම කියැවෙන්නේ බෝධි
පූජව යන්නයි.
අපට මතක ඇති සැටියට නූතන බෝධි පූජා ප්‍රබෝධය අප රටේ මුලින්ම ඇති කළේ
පානදුරේ අරියධම්ම හිමියන් යැයි කීම නිවාරැදියැයි කියමි. උන්වහන්සේ අප
රටේ නොයෙකුත් ප්‍රදේශවලට වැඩම කොට බෝධි පූජා පවත්වන විට අතිවිශාල
ජනකායක් උන්වහන්සේ වටා එකතු වූහ.
උන්වහන්සේ එළි දැක් වූ බෝධි පූජා කවි මාලාව අදත් බොහෝ අයට කටපාඩම් ය.
නූතන බෝධි පූජා පවත්වන හිමිවරුන් ද ඒවා සජ්ඣායනා කරනු ඇසේ. කැසට් පටි,
මුද්‍රිත පත්‍රිකා මගින්ද ඒවා සීග්‍රයෙන් ප්‍රචලිත විය. උන්වහන්සේ ගේ
මාධූර්යවත් කටහඬත් සමඟ බැඳුනු සැදැහැවත්හු බෝධි පූජාවට අග්‍රස්ථානයක්
දීමට පෙළ ගැසුනහ. නවග්‍රහ ශාන්තියද කාව්‍යමය ස්වරූපයෙන් මෙයට එකතු
වීමෙන් බෝධි පූජාවට නව අරමුණු එකතු විය. මේ පූජාමය වැඩ සටහන ජනතාවගේ
සිත් බැඳගන්නා අයුරින් කිරීමට සමත් වූ තරුණ භික්‍ෂූන් වහන්සේලා ද බිහි
වූහ. ඒ උතුමන් බෝධි පූජා හාමුදුරුවන් ලෙස හැඳින්වෙනු අසන්නට ලැබේ. බෝධි
පූජාව ලස්සනට කරනු දැකීම හා දැනීම බෞද්ධ සැදැහැවතුන් බහුතරයේ
අවශ්‍යතාවක් ද විය.
නව තාක්‍ෂණික දියුණුවත් සමඟ බහු භාණ්ඩ පරිහරණයට නිතැනින්ම යොමු වූ
ජනතාව කාම සුඛල්ලියට දැඩිලෙස නැඹුරු විය. ඔවුන්ගේ ලෞකික අවශ්‍යතා අධික
වූයෙන් නොනිවුණු නොසන්සිඳුනු මනස් ඇත්තෝ වූහ.
ජීවන රටාවත් සොබාදහමත් අතර තිබූ සමතුලිත බව නැතිවීමෙන් නොයෙකුත් රෝග
පීඩා ආදිය ද ඔවුනට ඇතිවිය. පවුල තුළ අසහනකාරී තත්ත්වයන් උදාවිය. සැබෑ
හේතුව අනවබෝධ වූ බොහෝ අය අද්‍යශ්‍යමාන සාධක කෙරෙහි විශ්වාසය තමා
ඡ්‍යොතිෂය, නිමිති, පේන ආදියට ප්‍රසිද්ධ අය සොයා ගියහ. ඒ බොහෝ අවස්ථාවල
එකී උපද්‍රව වලින් මිදීමට බෝධි පූජා හතක් හෝ වැඩි ගණනක් කිරීමට නියම
කෙරිණි. ඒ අනුව හෝ වෙනත් පිළිගැනීම් අනුව මෑත භාගයේ දී බෝධි පූජාව
ස්වකීය සෙත් ශාන්තිය පතා, ලෞකික අවශ්‍යතා සපුරා ගැනීම් වස් කෙරෙන
ශාන්ති කර්මයක ස්වරූපය ගෙන ඇත. චෛත්‍යය හෝ පිළිම ගෙය සම්බන්ධ කර ගෙන ඒ
අරබයා කෙරෙන පූජාවන් නොකෙරේ.
මේ කටයුත්ත ඒ අයුරින් ම ඉටු කර දීමට ගරුතර ස්වාමීන් වහන්සේලා ද
ඉදිරිපත් වූහ. මල් වට්ටි, පැන් කළගෙඩි, ගිලන් පස, සමහර තැනක කාසි පඬුරු
ආදිය හත බැගින් වූ සංඛ්‍යාත්මක පරිමානයට ද සැකසීමට උපදෙස් දෙන අවස්ථා
නැතිවා නොවේ. ලෞකික සැප විහරණයෙහි ඕනෑකම කාම විතර්කයේ ස්වභාවයයි.
අගෞරවණීය අනුචිත ක්‍රියාවක් වන, බෝධි වෘක්‍ෂයේ අතුවල කොඩි එල්ලීමට බොහෝ
අය පුරුදු වූහ. එම කොඩිවල පුද්ගල නාමද කපුටන්ගේ රූපද සටහන් කෙරෙන
අවස්ථා ඇත. අන්ධගාමී වූ සමහරු දඹදිව ගයාවේ බෝධි වෘක්‍ෂය වටේ ද මෙකී
කොඩි රැගෙන ගොස් එල්ලන්නට පුරුදු වූහ. කපුරු පෙති පොල් තෙල් පහන්
දැල්වීම නිසාද, විළඳ ඉසීමෙන් කෘමීන්ගේ පැමිණිම නිසාද, මිටි ගණන්
හඳුන්කූරු දැල්වීමෙන් නිකුත්වන දුම නිසාද බෝධි වෘක්‍ෂවලට සිදුවන හානිය
වළක්වා ගැනීමට නොයෙකුත් උපක්‍රම යෙදීමට ද අද සිදුවී ඇත. ලෞකික ජීවිතය
හා සම්බන්ධ ප්‍රශ්න ගැටලු කෙතරම් සුලබ ද යන්න මෙයින් නිරූපණය වේ. බෝධි
පූජාවෙන් සෙතක් ශාන්තියක් වීම බැහැර කළ නොහැකි වෙනම කරුණකි. එය බෝධි
වෘක්‍ෂය අබියසදී කරන පූජාවේ උතුම් අරුත වටහාගෙන කිරීමෙන් ලැබෙන්නකි.
ඉහතින් දැක්වූයේ අද ප්‍රචලිතව ඇති බෝධි පූජාවේ එක් ස්වරූපයකි.
අටවිසි බෝධි පූජාව අද පැවැත්වෙන තවත් ස්වරූපයකි. මෙය නාමික වශයෙන්
දන්නා සියලුම බුදුවරයන් වහන්සේලා උදෙසා කෙරෙන්නකි. මේ සංකල්පය යටතේ එම
සියලුම බුදුවරු සංකේතවත් කෙරෙන පිළිම සහිත බෝධි ප්‍රාකාරද ඉදිවී ඇත.
මෙම පූජා ස්වරූපය මෑත භාගයේ ඇති වූවකි. විහාර චිරස්ථිය සඳහා
පුණ්‍යපරිත්‍යාග ලබා ගැනීමේ නිරවද්‍ය වක්‍ර උපක්‍රමයක් හැටියට මේ
අටවිසි බෝධි පූජා ක්‍රමය ආරම්භ වූයේ යැයි, මෙහි ආරම්භය අධ්‍යයනය කරන්නෝ
පවසති.
අනෙක් අතට ඇසටු වෘක්‍ෂයක් බෝධි පාදක වෘක්‍ෂය කොට බුද්ධත්වය ලැබුයේ ගෞතම
බුදුරජාණන් වහන්සේ පමණක් ම බැවින්, නුග, පලොල්, උණ, කුඹුක් ආදී වෙනත්
ගස් පාදක වෘක්‍ෂ කරගෙන බුද්ධත්වය ලැබූ අනෙකුත් බුදුවරයන් වහන්සේලා
උදෙසා ඇසටු වෘක්‍ෂය උද්දේසික නිමිත්ත ලෙස තබා පූජා පැවැත්වීම හා එම
සංකේත ප්‍රතිමා ඇසටු වෘක්‍ෂය වටා ඉදි කිරීම අනවබෝධාත්මක කාර්යයක් ලෙස ඒ
ගැන විමසුම් ඇසින් බලන විද්වත්හු දක්වන අදහස ද බැහැර කළ නොහැකි ය. කෙසේ
වෙතත් ඒ සියලු වෘක්‍ෂ බෝධි වෘක්‍ෂ නිසාත්, එම අනෙකුත් වෘක්‍ෂ වෙන වෙනම
ස්ථාපිත කිරීම දුෂ්කර නිසාත්, වෘක්‍ෂ වර්ගය නොසලකා “බෝධි” සංඥාව තබාගෙන
සියලුම බුදුවරයන් වහන්සේලා පිදීම සඳහා මෑත භාගයේ ඇති වූ මෙම අටවිසි
බෝධි පූජා ක්‍රමය අනර්ථවත් එකක් නොවේයැයි අදහස් දක්වන අය ද ඇත. මෙම
අටවිසි බෝධි පූජාව වටා අපේ බොහෝ සැදැහැවත්හු වැඩි කැමැත්තකින් පෙළ
ගැසෙන බව සත්‍යයකි. |