Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම පවසන දේශපාලනය

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුමන් පුරා බෝසතාණෝ බුද්ධත්වයට පත් වූහ. ඒසා දීර්ඝ කාලයක් දුෂ්කරවූ සමතිස් පෙරුමන් පුරා පැමිණි උන්වහන්සේ ගේ මූලික අරමුණ වූයේ සසර දුකින් පෙළෙන සත්වයා ඉන් මුදවා ගැනීමයි. සිද්ධාර්ථ කුමාරයා තමනට උරුම වූ පාලන බලයත් සියලු ලෞකික සැපතත් අතහැර මහබිනික්මන් කළ නිසාම බුදුදහම සමග දේශපාලනය ගැන කථාකිරීම උචිත ද යන්න ගැටලුවක් බව කෙනෙක් සඳහන් කරන්නට පුළුවන. එහෙත් ඒ පිළිබඳව අප ගැඹුරින් සිතීමට අවැසි කාලය එළඹ ඇතැයි කිව හැකිය.

පාලන සංකල්ප පිළිබඳව විමර්ශනය උපදේශනය වැනි කරුණූ එකකි. පෞද්ගලිකව පාලන තන්ත්‍රයේ සාමාජිකත්වය දරමින් කටයුතු කිරීම අනෙකකි. ඒ අතර අතීතයේදී දේශපාලකයන් ජනතා සුබ සිද්ධිය උදෙසා බොහෝ දේ කැපකළ බවත්, අද එලෙස අවංක හැඟීමෙන් දේශපාලනයට පිවිසෙන්නෝ දුලබ බවත් මැසිවිලි ද ඇසෙයි. සාමානයෙන් රටක දැයක මුරදේවතාවුන් පූජ්‍ය පක්‍ෂය යැයිද පිළිගැනීමකි. එසේ නම් මුරදේවතාවුන් හා රජවරුන් (පාලකයන්) අතර ඇති සම්බන්ධය කුමක්ද? මේ සියල්ල සමඟ ඇති බැඳීම කුමක්ද?

ඒ සඳහා මුලින්ම අප බුදු දහමේ ස්වභාවය තේරුම් ගත යුතුය. බුදු දහම සන්නිවේදනය අරමුණු කරගත් දහමකි. එම සන්නිවේදන කටයුතු දියත් කළ යුත්තේ කවර හෝ පාලනයකට අයත් දේශයක් තුළය. උන්වහන්සේට සවන් දුන් පිරිස සිටියේ කවර හෝ පාලන තන්ත්‍රයකට ඇතුළත්වය. එදා මෙන්ම අදත් ඒ තත්ත්වය ආගමික සන්නිවේදනය වෙත බලපාන බව නම් නොරහසකි. ඒ අනුව අප සිතිය යුත්තේ බුදුසමයේ, බුද්ධ භාෂිතයේ මේ විෂය හා ඇති සම්බන්ධතාවන්ය. බුදු දහමේ යතුර ලෙසින් සැලකිය හැකි හේතුඵල න්‍යාය ආශ්‍රයෙන් මෙම විෂයයද විනිවිද දැකිය හැකිවේ.

ඒ අනුව සමාජය හා පාලන තන්ත්‍රය නිර්මාණය වූ කථාව අග්ගඤ්ඤ සූත්‍රයෙන් හෙළිවෙයි.එහිදී එකිනෙක මානුෂික හැඟීම්වලට දක්වන ප්‍රතික්‍රියාවන් පාදක කොට විවිධ සමාජ සංස්ථාවන්හි අවශ්‍යතාවන් මතුවෙන අයුරු පෙනේ. මෙය හුදෙක් පුරාණ කතාවක් ලෙස සැලකීමට වඩා මේ සූත්‍රයෙන් යථාවාදී පාලන මූලධර්මයන් කීපයක් හෙළිකර ගත හැකිවේ.

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව සමාජයක් පිවිතුරු නම් පුද්ගල පාලනයක් අවශ්‍ය නොවේ. ධර්මයම සෑහේ. පාලනය සමග ධර්මය යන්න නිර්වචනය වන්නේ පිළිවෙත් පද්ධතියක් ලෙසයි. වර්තමාන ස්වරූපයට යාව නීති රීති ව්‍යවස්ථා ආදියද දක්නට තිබේ. සමාජයේ පිවිතුරු බව වැනසී දූෂිත වේ නම් ඒ ගැන කටයුතු කිරීමට පුද්ගල පාලනයක අවශ්‍යතාව මතුවේ. ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නේද ජනතාවගේම සම්මතයෙනි. එය සාර්ථක වන්නේ ජනතා අභිවෘද්ධිය පිණිස ද කටයුතු කිරීමෙනි. සංයුක්ත නිකායේ මාර සංයුක්තයට අනුව වරක් බුදුන් වහන්සේ කෝසල ජනපදයේ වනගත පෙදෙසක විවේකයක් කල්ගත කළහ. එහිදී ජනතා අභිවෘද්ධියට ම පාලකයන්ට කටයුතු කිරීමට ඇති හැකියාව ගැන ඇතිවූ සිතිවිලි හා මාරයා සමග ඇතිවූ සංවාදයට අනුව යමක් හරිහැටි කරන කැමැත්ත (ඡන්ද) , ඒ සඳහා උකටලී නොවී දැඩි අදිටනින් (විරිය) , දියුණුකළ සිතුවිලි සහිතව (චිත්ත) හරිහැටි විමසීමේ නුවණින් (විමංසා) යන ගුණාංග වලින් යුතු කෙනකුට ඒ හැකියාව ලැබෙන බව පැහැදිලිවේ. එය දැහැමි පාලකයකු පිළිබඳ හුදු සිතුවිල්ලක් හෝ මනඞකල්පිතයක් හෝ නොවේ. ක්‍රියාත්මක කළහැකි දෙයකි.

අතීතයෙන්ද එයට නිදසුන් ලැබෙන අයුරින් එහි හේතුඵල සම්බන්ධතාවන්හි අනුපිළිවෙළ බුද්ධ දේශනාවන් තුළින්ම හමු වෙයි. චක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව දල්හනේමි රජු නිසිකල සිය පුතුට තම දැහැමි රාජ්‍ය පවරා දෙයි. සුළු කලෙකින් ධාර්මික රාජසංකේතය වූ චක්‍ර රත්නය අතුරුදන් විය. එවිට එම රජකුමරු ඒ ගැන උපදෙස් පතන්නේ නිසි වයස් පුරා පාලනය සම්පූර්ණ කළ තම පියාණන් වෙතිනි. දල්හනේමි රජු පුතුට දෙන අවවාද පාලන ක්ෂේත්‍රයේ ධාර්මික මූලධර්මය හදුන්වා දීමයි. එහිදී (චක්‍ර රත්නය ) රජකම පියාගෙන් හිමිවන උරුමයක් නොව උතුම් සක්විතිවත් රැකීමෙන් එය තහවුරු කරගත යුතු බව පවසයි.

දහම (යහපත් පිළිවෙත් පද්ධතිය) ගරුකොට එහිම පිහිටා කටයුතු කිරීම, අඹුදරුවන් ගුණවත් කොට ඔවුන් සුරැකීම , බල සේනාව ක්ෂත්‍රියන් බමුණන් නියම්ගම් හා ජනපද වාසීන් හා මරණ බමුණන්ට අවශ්‍ය සංග්‍රහ පවත්වමින් ඔවුන් රැකගැනීම, ස්වකීය දේශයෙහි අධර්මය නොපවතින ලෙස කටයුතු සැලැස්වීම, ආත්ම දමනය කළ බමුණන් වෙත ගොස් අනුශාසනා ලැබ දහමෙහි පිහිටීම යන මේවා දස සක්විත් වත් සපුරා නිසි රජ උරුම ළඟාකරගත් රජුගේ කීර්තිය පැතිරී වෙනත් දිශාවන්හි පාලකයෝද ඔහුට අවනතව ඔහුගෙන් අනුශාසනා ලැබූහ. සක්විති රජු ඔවුනට පංචශීලය පැවසීය. අන්‍යයන් නොනසමින්, නොනස්වමින්, ශෝක නොකරමින් නොකරවමින් පාලනය ගෙන යාහැකි බව මෙයින් පෙනේ. කූටදන්ත සූත්‍රයට අනුව ජනතා සුබසාධනය හා සාමය ආරක්‍ෂා කිරීමට අනුගමනය කළයුතු වෙනත් පිළිවෙත් සොයා ගිය තැන් ද හමුවේ. “ මහා විජිතාවී “ නම් රජු දෙලොව හිතසුව පිණිස මහා පුණ්‍යකර්මයක් (යාගයක්) කිරීමට සැරසේ. උපදේශක මඬුල්ල විමසයි. ඔවුහු එයට කල් නොවන බව පවසති. ඊට හේතු ද දක්වයි. රටේ සොරුන් මංපහරන්නෝ සිටිති. ඔවුන් නැතිකළ යුතුය. එහෙත් ඔවුන් සමූල ඝාතනය කිරීම නොව එසේ වීමට බලපෑ හේතුව සොයා බැලීමයි. ඔවුන්ට ධනය නොමැති කමින් එසේ කරන්නේ නම් සපයා දිය යුත්තේ ධනෝපායන මාර්ගයන්ය. ගොවිතැන් කිරීමට හැකි කැමැති පිරිසට බීජ ආහාර කැති උදලු නගුල් ආදිය සපයාදිය යුතුය. වෙළෙඳාමට කැමැති පිරිසට සහන මිලට භාණ්ඩ සපයා දිය යුතුය. රාජ සේවයෙහි යෙදෙන්නට කැමැති පිරිසට සුදුසු බත් වැටුප් දිය යුතුවේ. එසේ වූ කල ජනතාව සිය වෘත්තීන්හි යෙදෙනු විනා රටට හානි නොකරති. ධන ධාන්‍ය වලින් පිරෙන අතර බිය නැතිව සතුටින් රාජ්‍යය පවත්වාගත හැක. එවැනි පාලනයක් ගෙන යාමට යහපත් මව්පියන් ඇති පරිසරයක ඇතිදැඩිවූ, නිකැලැල් චරිතයක් ඇති, දුරදිග සිතිය හැකි ක්‍ෂණික වැටහීම් ඇතිව සිටීම වැනි ලක්‍ෂණ වලින් යුතු පාලකයන් අවශ්‍ය බව කූටදන්ත සූත්‍රයට අනුව තවදුරටත් පැහැදිලි වේ.

රාජාණ්ඩු පාලන ක්‍රමය පමණක් නොව සමූහාණ්ඩු පාලන ක්‍රමය තුළදී ද සමෘද්ධිය ළඟාවෙන පාලන විධි පිළිබඳව කළ විමසීම් හෙළිවෙයි. පරිණිර්වාණ සූත්‍රයට අනුව ලිච්ඡවී රජවරුන් ගැන අජාසත් රජු වස්සකාර බමුණා ලවා බුදුරදුන් විමසූ කළ පෙන්වාදුන් සප්ත අපරිහානිය ධර්ම මේ සඳහා ඇති හොඳම උදාහරණය වේ. සාමූහිකව සමඟිව කටයුතු කිරීම, වනිතා නිදහස, සදාචාරය ආරක්‍ෂාව පිළිබඳව කටයුතු කිරීම, සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කොට ඒවාට ගරුකිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ එදා මෙන්ම අදත් හෙටත් පාලන තන්ත්‍රයට නොතකා හැරිය නොහැකි කරුණු වනවා පමණක් නොව ඒවා පිළිපැදීමෙන් සමෘද්ධිය අත්වන බවද පිළිගත යුතුව ඇත.

බෞද්ධ දසරාජ ධර්ම විග්‍රහයෙන් පැහැදිලි වන්නේ රාජාණ්ඩු හෝ සමූහාණ්ඩු ඇසුරෙන් ගෙන යන පාලනයකදී අවශ්‍ය තවත් වැදගත් කරුණු දහයකි. තනිව යමක් කරගත නොහැකි අයට දීම (දානය) කායිකව නිවැරැදි වීම (සීලය) ජනතාවගේ ආර්ථික තත්ත්වය නගාසිටුවීම පිණිස අවස්ථානුකූලව දෙන ධනය (පරිත්‍යාග) පක්‍ෂග්‍රාහී බවින් අගතියෙන් තොරවීම (ඍජුබව) යුක්තිය හා ධර්මය ඉදිරියේ නැමෙනසුලු බව ජනතා දුක දැනෙන බව (මුදුබව) ආත්ම දමනයෙන් මානසික සංවර බවින් කටයුතු කිරීම (තපස) දරුණු ක්‍රෝධ සහගත සිතුවිලි වලින් යුතු නොවීම (ක්‍රෝධ නොකිරීම) නිකරුණේ මිනිසුන් හිංසාවන්ට බඳුන් වන්නට ඉඩ නොහැරීම (අවිහිංසා) ඉවසීමෙන් සවන්දීම (ඉවසීම) අනුන් හා ගැටුම් ඇති නොවනසේ කටයුතු කිරීම හා පලි නොගැනීම (අවිරෝධතා) යන කරුණු දහයයි. මේවා අද දවසේ ලෝක ප්‍රජාවට අභිවෘද්ධියට සම්මත කරගෙන ඇති විවිධ අණ පනත් වලද ඇතුළත්ව ඇති බව පෙනී යයි.

බුද්ධ දේශනාවලින් නිර්දේශිත දැහැමි පාලනයකට අවශ්‍ය උපදෙස් පුරාණයේ ක්‍රියාත්මක වී ඇත. එසේම වැඩි කලක් බුදු ඇසුරෙහි සිටි කොසොල් ආදී රජවරුද යම් පමණකට දැහැමි පාලනයක් ගෙනගිය බැව් පෙනේ. පාලන තණ්ත්‍රය ආශ්‍රයෙන් ඔවුහු නැගූ විවිධ පැණවලට දුන් පිළිතුරු වලින් යහපත් ප්‍රතිඵල ලත් අයුරුද පෙනේ.

එසේම බුද්ධ කාලයේ ප්‍රතිෂ්ඨාපිත සංඝ සමාජ සංස්ථාවේ ස්වභාවයද අනියම් ලෙසින් හෝ යහපත් මෙන්ම සාමූහික පාලනයට ආදර්ශ සපයාගත හැකි සංස්ථාවකි. එහි ඇති දඬුවම් ක්‍රම, සාමූහිකව කටයුතු කිරීම හා නිරවද්‍යතාවට ම මුල්තැන දීම උදාහරණයන්ය. ධර්මාශෝක රජුගේ මහා සන්නිවේදන ජාලයෙන් උපුටා ගත හැකි සෙල්ලිපි , ටැම්ලිපි , පුවරුලිපි ආදියෙන් පෙනීයන්නේ එතුමා දසසක්විති වත්, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු, අපරිහානීය ධර්ම ආදී සියලුම ධර්මයන්ගෙන් යහපත් දේ උපුටා තමන්ටම ආවේණික ධර්ම මාර්ගයක් අනුගමනය කළ ආකාරයයි. ඔහුගේ අණපනත්, නියෝග, අවවාද අනුශාසනා, සියල්ල සංක්‍ෂිප්තයන් ගෙන සලකන කල මුලින් තමා දැහැමි ඍජු පාලකයකු වී තම දහමට අනුව අන්‍යයන් නතුකර ගැනීමේ සාමකාමී ප්‍රයත්නය පැහැදිලි වෙයි. එම ධර්මයන් අතර ආරක්‍ෂාව , ආර්ථික ශක්තිය සැපයීමට අමතරව ආගමික සහනශීලි බව, මිනිසා සුරැකීම යනු පරිසරය හා සම්බන්ධ සිව්පාවන් පක්‍ෂීන් හා ගහකොළ ද සුරැකීම බව පෙන්වාදීම, සියල්ලන්ගේම ගරුත්වය රැකීමේ උතුම් ක්‍රියාවලිය පාලකයකු වශයෙන් මනාසේ අනුගමනය කළ අයුරු පෙනේ. සිදුහත් කුමරු සිය රජකම අත්හළේ එය ස්වකීය කර්තව්‍යයන්ට අදාළ නොවන නිසාය. එහෙත් දේශපාලනය ව්‍යුහයෙ පිටත එම කාර්යය ඉටුකළ නොහැකි බව පැහැදිලිව වටහාගෙන ඇති බව පෙනේ. එනිසායි සුදුසු පාලන තන්ත්‍රයකට අවශ්‍ය යහපත් පාලන ක්‍රම ගැන බුද්ධ දේශනා තුළින් නිර්දේශ කරන ලද්දේ. එම කරුණු හුදෙක් අවවාද අනුශාසනා කතාවන්ට සීමා වී නැත. මුළු සමාජ ව්‍යුහයම යහපත් පාලනයක අවශ්‍යතාව පසක් කරගත් අයුරු නිරීක්‍ෂණය කොට ඇත.

බුදු ඇසින් ලොව දැක විශ්ලේෂණය කළ හේතුඵල වාදයම මිනුම් දඬුව ලෙස පරිහරණය කොට ඇත. අතීතයෙන්ද උදාහරණ ගෙන දැක් වූ කරුණු යම් පමණකට හෝ බුද්ධ කාලීනවද රජවරුන් පිළිගත් බව පෙනේ. එසේම ඒවා අදත් බෞද්ධ මෙන්ම අබෞද්ධ වූත් සමස්ත මානව සංහතියේම යහපතට සම්මත කොට ඇති බෞද්ධ රාෂ්ට පාලන ධර්මතා ලෙසින් පිළිගෙන ඇති අයුරු පැහැදිලි වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.