ධර්ම දේශනාව:
ලොව උතුම් සිව් සැප
දෙහිවල, නැදිමාලේ,
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ
කිරම විමලජෝති හිමි
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
සුඛෝ බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛො
පින්වත්නි,
අද පොසොන් පුර පසළොස්වක දවසයි. පොසොන් පුර පසළොස්වක පිළිබඳව විස්තර
කරන්න මගේ අදහසක් නැහැ. පොසොන් පුර පසළොස්වක එහි අගය, එදින කළ යුතු දේ
ආදිය පිළිබඳව නිවැරැදි හැඟීමක් අවබෝධයක් අපේ බෞද්ධයන්ට තිබෙන නිසා.
උපන් දා පටන් ම මිනිසාගේ චාරිකාව සැප සොයා යෑමයි. දැනට තමන් සිටින තැන
කෙතරම් සැප තිබුනත් මිනිස් සිතට ඒ සැප මදි. ඊට වඩා වැඩි පුර සැප සොයන්න
ඕනෑ. බෞද්ධයන් දන් දී වෙනත් පින්කම් කර දිව්‍ය ලෝක සම්පත්තිය
ප්‍රාර්ථනා කරන්නේ දෙව් ලොව මිනිස් ලොවට වඩා සැප ඇති තැනක් කියා අසා
තිබෙන නිසයි. ඒ පරලොව වශයෙන්. මෙලොව වශයෙනුත් එහෙමයි. ලංකාවේ දී හොඳට
ඉගෙන ගෙන, හොඳ රැකියාවක් කරන කොට හෝ මොන ආකාරයකින් හෝ මුදල් ටිකක් අත
ගැවසෙන කොට හිතන්නේ ලංකාව සැප මදි කියා. ඒ නිසා ඕස්ට්‍රේලියාවට හෝ
කැලිපෝනියාවට යනව සැප සොයා. තවත් සමහරුන් ඒ ඒ රටවල් වලට නොගියත් ඒ
රටවල් වල තියෙනවායැයි අසා ඇති ලෞකික සැප මෙහෙදී ලබා ගන්න උත්සාහ කරනවා.
ඒ සඳහා නොයෙක් දේ කරනවා. යානවාහන සුඛෝපභෝගී නිවාස, සීත මාලිගා, තමන්
විසින්ම තනා ගන්නවා. මේ සියල්ල මිනිසා හිතන්නේ සැප කියායි. මේ ලෞකික
සැප සොයමින් තමයි මිනිසාගේ කාලය ගෙවෙන්නේ. එහෙත් මේ ලෞකික සැප සියල්ල
අනිත්‍යයි. යමක් අනිත්‍යය නම් එය දුකයි. මේ ලෞකික සැපයෙන් මත්වෙලා
පීඩිත වෙලා ඉන්න මේ පින්වතුන් අද මේ පසළොස්වක දවසේ බුදුහාමුදුරුවෝ
විසින් දේශිත සැප මොනවද කියල ටිකක් හිතල බලන එක යහපත් යැයි සිතනවා. මේ
තත්ත්වය අද අමුතුවෙන් ඇති වූ දෙයක් නොවෙයි. බුද්ධ කාලයේත් මේ තත්ත්වය
තිබුණා. ඒ කාලයේ පෘථග්ජන හැම දෙනාම සැප සොයමින් ධාවන තරගයක යෙදුනු බව
පේනවා. බුදුහාමුදුරුවන් වැඩ සිටි කාලයේ, රජ, සිටු, බමුණු ආදී නොයෙක්
කුලවලින් නොයෙක් සැප විඳපු පිරිස් මහණ වුණා. සමහරු කිව්වා තියන උතුම්ම
සැපය රජ සැප කියලා, තවත් කොටසක් කිව්ව තියෙන උතුම්ම සැපත කම් සැප
විඳීමය කියලා. තවත් පිරිසක් කියා සිටියා රස බොජුන් වැලඳීම උතුම්ම සැපත
කියා, ඉතින් මේ විධියට දැනට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට ;පරත් මේ සැපත
කුමක්ද කියා වාද විවාද උපන්නා, මේ පිළිබඳව නියම සැපත කුමක් ද යන්න
විග්‍රහ කරල පිළිතුරු වදාළෙ බුදු හාමුදුරුවො පමණයි. අන්න එදා
බුදුහාමුදුරුවෝ වදාළ පිළිතුර තමයි අද මේ පින්වතුන් අහන්නේ.
බුදුන් වදාළ සිවු සැපය නම් බුදුවරුන්ගේ ඉපදීම සැපය, බුදුබණ ඇසීම සැපය,
බුද්ධ ශ්‍රාවකයන්ගේ, සංඝයාගේ සමගිය සැපය, සමඟි වූවනට කෙලෙස් තැවීම
සැපය.
සුඛෝ බුද්ධානං උප්පාදො, බුදුවරුන්ගේ ඉපදීම ලොවට සැපගෙන දෙන්නේ ය.
මෙහිදී අප බුදුරජාණන් වහන්සේ යනු කවරෙක් ද යන්න අවබෝධ කර ගත යුතු යි.
බුද්ධ යන්න අවබෝධය. තමන් වහන්සේ විසින් ම යම් සත්‍යය ධර්මයක් අවබෝධ
කරගත්තා. ස්වයංභූ ඥානයෙන් ලත් අවබෝධය තුළින් ලෝක සත්ත්වයන්ට නිවැරැදි
මාර්ගයක් පසක් කර දුන්නා. වල් බිහි වූ නගරයක නටබුන් සොයන්නා වූ
පුරාවිද්‍යාඥයකු සේ ලොවුතුරා බුදුරදුන් චතුරාර්ය සත්‍යය ලෝකයට ම පහදා
දුන්නා. මිනිසාගේ අවිදු අඳුර පලවා හැර නුවණැස ලැබ ගැන්මට ඒ පිවිතුරු
සත්‍යය තුළින් එදා භාරතීය ජනතාවට හැකි වී තිබුණාසේම අදත් හෙටත්
අනාගතයටත් එය එකසේ පිටුවහල් වනවා නොඅනුමානයි. සුඛෝ සද්ධම්ම දේශනා - මේ
දෙවෙනි සැපතයි, සද්ධර්මය නම් මිනිසාගේ මෙලොව පරලොව දෙක්හි ම යහපත් ජීවන
මාර්ගය සලසා දෙන උගැන්වීම් මාලාවයි. බුදුහාමුදුරුවෝ සියල්ල දත්
උත්තමයෙකි. එනිසා මිනිසාගේ මෙ ලොව දෛනික ජීවිතය හැඩ ගස්වා ගන්නා අයුරු
ධනය නිවැරදි උපයන පිළිවෙළ ඒ ධනය ක්‍රමනුකූලව වියදම් කරන පිළිවෙළ
ගොවිතැන් කරන පිළිවෙළ, ආහාර බුදින පිළිවෙළ, නිදාගන්නා පිළිවෙළ හා නිදි
වර්ජිත කිරීමේ පිළිවෙළ ආදිය ද උන්වහන්සේගේ ලෞකික අංශයේ සඳහන් වෙනවා. දූ
දරුවන් හදන වඩන පිළිවෙළ දරුවන් ආවාහ විවාහ කරන පිළිවෙළ පවා මේ බුදු
දහමේ සඳහන්, ලෝකෝත්තර පැත්තෙන් කමටහන් වඩන පිළිවෙළ ධ්‍යාන ලබන පිළිවෙළ
ධ්‍යාන සුවය විඳින පිළිවෙළ සසරින් එතෙර වී උත්පත්තිය නැති කරන පිළිවෙළ
මේ බුදු දහමේ සඳහන්. ඒ නිසා ඒ සද්ධර්මය දේශනා කිරීම ජනතාවට සෙත
සලස්සනවා. සද්ධර්මය දේශනා කිරීම සැපයක්, සුව ගෙන දෙන්නක්. ඒ සුව ගෙන
දෙන ධර්මය නො පිළිපදින නිසා සුවය ලබාගන්නට නුපුළුවන් වී තියෙනව. “ධම්මො
හවෙ රක්ඛති ධම්මචාරි” ධර්මය විසින් ආරක්‍ෂා කරන්නේ සුව සෙත සලසන්නේ
ධර්මය අහන කෙනාව නොවෙයි. ධර්මය පිළිපදින කෙනාව.සුඛා සංඝස්ස සාමග්ගි –
තුන්වන සැපත මහා සංඝයාගේ සමගියයි. ගිහියන්ට සැපත උදා කරදීම සඳහා බණ
කියන්නේ මහා සංඝයායි. ඒ මහා සංඝයාගේ සමගිය රටට ජනයාට සුවසෙත ගෙන දෙයි.
අප දන්නව බුදුන් වහන්සේගේ ඤාති සහෝදරයකු වූ දේවදත්ත බුදුන් ඝාතනයට ගල්
පෙරළූ බව, වෙනත් උත්සාහයන් ගත් බව. එවැනි පෞද්ගලිකව බුදුරදුන්ට කළ
අවහිරතා පිළිබඳව නොව බුදුන් වහන්සේ වඩා කල්පනා කළේ දේවදත්ත සංඝයාගේ
සමගිය නැසීම පිළිබඳවයි. භික්‍ෂූන් වහන්සේලා තම සමඟිය කෙතරම් සියුම්ව
ඕනෑකමින් සැලකුවේ ද යන්න පිළිබඳව හොඳ පුවතක් මජ්ඣිම නිකාය අටුවාවේ
ගොසිංග සාලවන සූත්‍රයේ සඳහන් වෙයි.
මේ ගෝසිංගසාලවනයෙහි භික්‍ෂූන් වහන්සේලා තුන් නමක් ඉතා හොඳ සමඟියෙන් කල්
ගත කළා. දවසක් බුදු හාමුදුරුවෝ මේ භික්‍ෂූන් තෙනම හමුවීම සඳහා ඒ ගෝසිංග
සාල වනයට වැඩියා.
එහි සිටි මුරකාරයා බුදුහාමුදුරුවන්ව හඳුනා ගත්තෙ නැහැ. ඒ නිසා
දොරටුපාලකයා බුදු හාමුදුරුවන්ට කිව්වා මෙහි භික්‍ෂූන් වහන්සේලා
තුන්නමක් වැඩ ඉන්නව. ඒ අයගෙ අවසරයක් නැතිව උයන ඇතුළට යන්න එපා කියල.
බුදු හාමුදුරුවන්ගේ හා දොරටුපාලකයාගේ කථාව එක භික්‍ෂුවකට ඇහුණා. ඒ
භික්‍ෂුව ඇවිත් බැලුව මේ කථා කරන්නේ කවුද කියල. එවිට බුදු හාමුදුරුවන්ව
දැක්ක. එහෙම දැකලත් ඒ භික්‍ෂුව බුදු හාමුදුරුවන් වෙත පෙර ගමන් වැඩියෙ
නැහැ. උන්වහන්සේ සිතුවේ අප තිදෙනෙක් මෙතන ඉන්නවා. අප තුන්දෙනාම
බුදුහාමුදුරුවන්ගෙ ශිෂ්‍යයෝ. මා පමණක් තනිව බුදුන් වෙත පෙර ගමන් යෑම අප
තුන්දෙනාගේ සමගියට බාධාවක් කියා. ඒ භික්‍ෂුව අනික් දෙනම කරා ගොස්
තුන්දෙනාම එකට පැමිණ බුදුහාමුදුරුවන් පිළිගත්තා. බලන්න පින්වතුනි
භික්‍ෂූන්ගේ සමගිය කෙතරම් දුරට ආරක්‍ෂා කළා ද කියා. බුදුහාමුදුරුවෝත් ඒ
තුන්දෙනාගේ සමගිය පිළිබඳව බොහෝම වර්ණනා කර වදාළා.
සමග්ගානං තපො සුඛො - සමගිය ඇතිව එක්සිත් ඇතිව සිටින අයට තපස කෙලෙස්
මැඩීම ඉතාම පහසුයි. බුදු සමය පළමුවෙන් ම ඉතිහාසයේ දැක්වෙන්නේ තවුස්
පිළිවෙතක් හැටියටයි. තපස ගිහි පැවිදි කාටත් සැපතකි. තපස රැකීමෙන් මාර්ග
ඵල වලට පැමිණීම තමන්ට සැපතකි. එසේ මාර්ග ඵල ලාභීන් වැඩි වැඩියෙන් සිටීම
ජනයාට සැපතකි. ඒ සැපත ලබා ගත හැක්කේ සමගිය පැවැත්වීමෙනි. ඊර්ෂ්‍යාව
තරහව අමනාපකම් ඇතිවීම තපසට බාධාවකි. තපසට බාධාවීම කෙලෙස් මුල දුරු
කිරීමට බාධාවකි. එය නිවනට බාධාවකි. සමගි බව හොඳ හිත සාමය පැවතීම සංවරයට
ද තපසට ද යහපත් මාර්ගය තනයි. සැවැත් නුවර දෙව්රම් වෙහෙර බුදුරදුන් වැඩ
සිටිය දී භික්‍ෂූන් පන්සියයක් පමණක් දෙනා අතර යහපත් සැපත කවරේදැයි ඇති
වූ ප්‍රශ්නයක දී කරුණු පැහැදිලි කිරීම සඳහා මේ කරුණු සතර සිවු සැපය
පිළිබඳව දේශනා කළා. මේ අනුව, සද්ධර්මය දේශනා කිරීම මෙන් ම ඒ බණ
පිළිපැදීම ද, භික්‍ෂූන් අතර භේද ඇති නොකර භික්‍ෂූන්ගේ සමගියට උදව් දීම
ද, ගිහි දායක පක්‍ෂය විසින් සිදු කොට සැපත ලබා ගැනීමට අදිටන් කරගත යුතු
යි. නිවන් මඟින් අවතැන් නොවී නිවන් මඟට පිළිපන්ව, තම තපස බ්‍රහ්මචරියාව
දියුණු කර ගනිමින් ජනයාට සුව සෙත සැලසීමට භික්‍ෂූන් වහන්සේලා ද
අධිෂ්ඨාන කර ගනිත්වා.
චිරං තිට්ඨතු ලොකස්මිං
සම්මා සම්බුද්ධ සාසනං
ඔබ සැමට
නිවන් සුව අත්වේවා |