Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම සන්නිවේදකයාණන් වහන්සේ සතු භූමිකාව

සමාජ විද්‍යානුකූලව විග්‍රහ කරන විට ධර්ම දේශනයක් සිදු කිරීම සමාජ අන්තර් ක්‍රියාවක් (Social Interaction)  ලෙස අර්ථ දැක්විය හැකි ය. එහිදී ක්‍රියා  (Action) සහ අන්තර් ක්‍රියා  (Interaction) සිදුවේ. පුද්ගලයා හුදකලාව සිදු කරන ක්‍රියාවකුත්, සමූහය සමඟ සිදු කරන ක්‍රියාවකුත් එහිදී දැකගත හැකි ය. මෙහි ක්‍රියා හා අන්තර් ක්‍රියා සිදුවන්නේ දේශක - ශ්‍රාවක යන දෙපිරිස අතර ය. ඒ නිසා මෙම දෙපිරිස සතුව තත්ත්ව (Status) සහ කාර්යභාරයක් (භූමිකාවක්) (role) ඇත. ධර්ම දේශනාවකින් අපේක්‍ෂිත අභිලාෂය මුදුන්පත් වන්නේ තත්ත්වයන් සතු භූමිකාවන් නිශ්චිත සේ ඉටුකළහොත් පමණි. දේශක - ශ්‍රාවක දෙපිරිස අතර සුසංවිධිත බවක් ගොඩනැගීමට නම් තම තමන්ට හිමි කාර්යය කොටස මැනවින් ඉටු කළ යුතු වේ.

මෙහිදී උත්සාහ කරන්නේ ධර්ම සන්නිවේදකයකු (ධර්ම දේශකයකු) සතු භූමිකාව ඉටු කිරීමේ දී එම තත්ත්වයට හිමි වගකීම් කොටස කවරේ ද යන්න විග්‍රහ කිරීමයි. ධර්ම දේශනාවක් සිදු කිරීම එක්තරා ආකාරයකින් වගකිවයුතු කාර්යභාරයකි. ඒ සඳහා ධර්ම සන්නිවේදකයා තමා සතුව ගොඩනඟා ගත යුතු ආකල්ප සමුදායක් වේ. මේ නිසා ධර්ම දේශනාවක් සිදු කිරීම භික්‍ෂුවක් වූ පමණින් කළ හැකි ක්‍රියාවක් නොවේ. අන් අයට යමක් කියා දීමෙහි හැකියාව පමණක් එහිදී වැදගත් නොවේ. දේශනා කරන ධර්මයෙහි තමා පිහිටීමත්, ඉතා හොඳ ආකල්ප සම්පත්තියකින් යුක්ත වීමත් අත්‍යවශ්‍ය වේ.

ධර්ම දේශනා පිළිබඳව සාකච්ඡා කරන විට “ධම්ම” යන සංකල්පය ද විග්‍රහ කර ගත යුතු වේ. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දේ (බුද්ධ භාෂිතය) මූලික වශයෙන් ධම්ම යන්නෙන් අදහස් වේ. පැහැදිලි ලෙසම නිර්වාණය අරමුණු කරගෙන ඉදිරිපත් වන බුද්ධ වචනය ප්‍රකාශ කිරීම ඉන් අපේක්‍ෂිතයි. අටුවාවට අනුව ධම්ම යන්න මගින් චතුරාර්ය සත්‍ය යන අදහසත් තථාගත දේශනාවට අනුව ධර්මය අසා එයට යෝග්‍ය පිළිවෙත් සපුරා මාර්ග ඵල සාක්ෂාත් කර ගැනීමත් අදහස් වේ.

“සසුන” හඳුනාගැනීමට සමාජයට අවකාශය සලසන්නේ ධර්ම දේශනාවයි. “සසුන” යනු බුදුන් වහන්සේගේ පණිවිඩයයි. එනම් බුදුදහමයි. ඒ අනුව ධර්ම දේශනාවකින් සිදු කරන්නේ බුදුන් වහන්සේගේ පණිවිඩය (බුද්ධ ධර්මය) සමාජයේ සාමාජිකයන් වෙත සන්නිවේදනය කිරීමයි. මේ නිසා ධර්ම දේශනා කිරීමක් යනු උත්කෘෂ්ට ක්‍රියාවලියකි. දේශනා කරන ධර්මය, දේශකයා හා ;ද්ශිත ස්ථානය ශුද්ධ වස්තූන් ය. දේශිත ධර්මය උතුම් ශ්‍රී සද්ධර්මය ලෙස හඳුන්වන්නේ, දේශකයාණන් උඩට උඩුවියන් හා පයට පාවාඩ සහිතව ගෞරවයෙන් වඩම්මවන්නේත්, ධර්ම ශාලාව වෙත හිස්වැසුම් පාවහන් ගලවා ඇතුළු වන්නේත් දේශකයා උස් ආසනයක වඩා හිඳුවා ශ්‍රාවකයන් බිම වාඩි වී ධර්මය ශ්‍රවණය කරන්නේත් මේ පාරිශුද්ධ භාවය නිසයි. මේ නිසා ධර්ම දේශකයකු පළමුව ධර්ම ගෞරවයත්, දෙවනුව දේශක ගෞරවයත්, තෙවනුව ශ්‍රාවක ගෞරවයත් මනාව ආරක්‍ෂා කළ යුතු වේ.

මූලිකවම ධර්ම සන්නිවේදකයකු දහමට ඇති වටිනාකම තේරුම් ගත යුතු වේ. සියලු දානයන් අතර ධර්ම දානය ජයගනී. (සබ්බ දානං ධම්ම දානං ජිනාති) සියලු රස අතර ධර්ම රස ජය ගනී. (සබ්බ රසං ධම්ම රසං ජිනාති) තෘෂ්ණාව ක්ෂය කිරීම තුළින් සියලු දුක් ජය ගනී. (තණ්හක්ඛයෝ සබ්බ දුඛං ජිනාති) යන කාරණා පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතු වේ. එයින් තමා දේශනා කරන ධර්මය පරම පූජනීය දෙයක් බව අවධාරණය කරගත යුතු ය.

දේශනා කරන ධර්මයෙහි , පද – ව්‍යඤ්ජන (පෙළ - අටුවාව) මැනවින් අධ්‍යයනය කර ඒවා මැනවින් විස්තරකිරීමට හැකි කුසලතා වැඩි දියුණු කර ගැනීම ඊළඟ කාරණය ලෙස දැක්විය හැකි ය. ධර්ම සන්නිවේදකයෙකු ධර්මය ප්‍රගුණ කළ යුතු ය. ධර්මය ප්‍රගුණ නොකිරීම ධර්මය අතුරුදන් වීමටත්, ප්‍රගුණ නොකළ ධර්මය අනුනට දේශනා කිරීම හා ප්‍රගුණ කළ ධර්මය අනුනට දේශනා නොකිරීම ධර්මය අතුරුදන් වීමටත් හේතුවන බව අංගුත්තර නිකායේ සද්ධම්ම සම්මෝහ සූත්‍රයේ දැක්වේ. අංගුත්තර නිකායේ දුක නිපාතයේ අධිකරණ වග්ගයේ වැරදියට ගත් අර්ථ අවබෝධය සද්ධර්මය විනාශ කරන බවත්, නිවැරදිව ගත් අර්ථ අවබෝධය සද්ධර්මයේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස පවතින බවත් සඳහන් වේ.

සද්ධර්මය දේශනා කිරීම මහානිසංස දායක කුසලයක් බව ධර්ම සන්නිවේදකයකු අවබෝධකර ගත යුතු ඉතා වැදගත් කාරණයකි. ලක්‍ෂ ගණන් බුදු, පසේ බුදු මහ රහතන් වහන්සේලාට දන්දීමකට වඩා දහස් ගණන් වෙහෙර විහාර ගොඩ නැංවීමකට වඩා එක ගාථාවකින් කරන දේශනාව උසස් බව ප්‍රත්‍යක්‍ෂ කරගත යුතු වේ.

එසේ වන්නේ මිනිසුන් මහා දන් දෙන්නේත්, ලොව්තුරු නිවන්සුව අවබෝධ කරගන්නේත් දහම් ඇසීම හේතුවෙන් නිසායි. මේ නිසා ධර්මදානය සියල්ල දීමක් ලෙස වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. ධර්ම සන්නිවේදකයකු තමා තුළ ගොඩ නංවාගත යුතු කාරණා 05 ක් පිළිබඳව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. එනම්,

01. අවුලෙන් තොරව පිළිවෙළක් ඇති කථාවක් කරමි’යි දහම් දෙසිය යුතු ය.

02. ඒ ඒ දෙය එසේ වීමට හේතු දක්වමින් සුදුසු කථාවක් කරමි’යි දම් දෙසිය යුතු ය.

03. දුකට පත් සත්වයින් දුකින් මුදවමි’යි කුළුණින් තෙත් හදවතින් දහම් ;දසිය යුතු ය.

04. සිවුපස හෝ කීර්ති ප්‍රශංසාදිය හෝ වෙනයම් ලාභයක් අපේක්‍ෂාවෙන් තොරව දහම් දෙසිය යුතු ය.

05. තමා හුවා ගැනීම හෝ අනුන් හෙළා දැකීම නැතිව අනුන් ගුණ නොනසන කථාවක් කරමි’යි දහම් දෙසිය යුතු ය.

ධර්ම සන්නිවේදකයකු මේ කරුණු මත පිහිටා ධර්මය දේශනා කළ යුතු වේ. එසේ නොවන විට දේශනාව අශුද්ධ වේ. එය දේශක, ශ්‍රාවක දෙපිරිසටම අවැඩ දායක කරුණකි. මේ නිසා ධර්ම දේශනා කිරීමේ දී ධර්ම සන්නිවේදකයා ශ්‍රාවකයා කෙරෙහි සානුකම්පිත මනසකින් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. ධර්ම දේශනයක ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රාවකයා අවබෝධයට පැමිණවීමයි. ඒ නිසා ධර්ම සන්නිවේදකයකු තමා තුළ ගොඩනංවා ගත යුතු ආකල්ප සමුදායක් දැකගත හැකි වේ. ඒ පිළිබඳව සංයුක්ත නිකායේ චන්දූපම සූත්‍රයේ කරණු 04 ක් සඳහන් වේ. එනම්,

01. ධර්මය මැනවින් අවබෝධ කරගෙන අනුනට දහම් දෙසිය යුතු ය.

02. කරුණාව පෙරදැරි කරගෙන අනුනනට දහම් දෙසිය යුතු ය.

03. දයාව පෙරදැරි කරගෙන අනුනට දහම් දෙසිය යුතු ය.

04. අනුකම්පාව උපදවමින් අනුනට දහම් දෙසිය යුතු ය.

යනාදියයි. එම සූත්‍රයේම බුදුන් වහන්සේ ධර්ම සන්නිවේදකයකු කවර තැනැත්තෙකු අනුගමනය කළ යුතු දැයි පෙන්වා දෙන සේක.

මහණෙනි කාශ්‍යප තෙමේ (මහා කාශ්‍යප හිමි) මෙබඳු සිත් ඇතිව මෙරමාහට දහම් දෙසයි.... මහණෙනි ඒ කාශ්‍යප හා සමාන වන්නට හෝ එවැන්නකු වන්නට ඒ නුඹලාට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ නුඹලා විසින් ඒ සඳහා පිළිපැදිය යුතු ය” යි වදාරති. මෙයින් ධර්ම සන්නිවේදකයකු කවර උතුමකු ගත් මගක් ගත යුතුදැයි අවධාරණය කරයි.

නියම ධර්ම සන්නිවේදකයකුගේ ස්වරූපයත්, දේශිත අරමුණත්, ධර්මය දේශනා කළ යුතු අන්දමත් අටුවාවෙන් පැහැදිලි කර ගත හැකි ය. එහිදී දැක ගත හැකි කාරණා කිහිපයකි. එනම්,

01. මුල, මැද, අග සම්බන්ධවන පරස්පර විරෝධී නොවන ධර්මය දේශනා කිරීමට දේශකයා දක්‍ෂ විය යුතු ය.

02. දේශනා කිරීමේ කාල පරාසය දැනගෙන ශ්‍රාවකයන්ගේ අදහස් සිරිත් විරිත් අවබෝධ කරගෙන දහම් දෙසීමට සූදානම් විය යුතු ය.

03. අර්ථය ගිලිහෙන්නට නොදී අසන්නන්ට පහසුවෙන් තේරුම්ගත හැකි පරිදි පැහැදිලි හඬින් දේශනා කළ යුතු ය.

04. ශ්‍රමණ ආකල්ප නොබිදෙන පරිදි දහම් දෙසිය යුතු ය.

05. ශිෂ්ට වචන කතා කළ යුතු ය.

06. අඟ පසඟ විකාර කිරීමෙන් තොරව බුද්ධ ලීලාවෙන් නිර්වාණය අරමුණු කරගෙන දහම් දෙසිය යුතු ය.

මේ කරුණු වලින් අදහස් වන්නේ මෙවැනි දේ පිළිබඳව අවබෝධයකින් තොරව ධර්ම සන්නිවේදකයකු ධර්මාසනාරූඪ නොවිය යුතු බවයි. අනිත් අතට ධර්මාසනය විහිළු කරන, විකාර කරන තැනක් නොව පූජනීය ස්ථානයක් බවද අවධාරණය කරගත යුතු බවයි.

එසේම එය රඟමඩලක් හෝ වේදිකාවක් නොවන බවද සිහිතබා ගත යුතුවේ. ධර්ම සන්නිවේදකයකු දහම් දෙසීමේ දී දික් වූ ගීතයෙන් ඇද ඇද උස්කොට නගන පහත් කොට හෙලන හඬින් ලෙලව ලෙලවා දහම් නොදෙසිය යුතුයැයි ශික්‍ෂා පදයක් බුදුන් වහන්සේ විසින් පනවා ඇත. (න භික්‍ඛවේ ආයතකෙන ගීතස්සරෙන ධම්මො භාසිතබ්බ්) ඒ තුළින් උන්වහන්සේ ධර්මයෙහි පූජනීය බව ආරක්‍ෂා කිරීමට කටයුතු කර ඇත්තාහ.

ධර්ම සන්නිවේදකයකු දහම් දෙසීමේ දී දානකථා, සීලකථා, සග්ග කථා, ආදී අනුපිළිවෙළ ක්‍රමයකට දේශනාව ආරම්භ කළ යුතු ය.

පුද්ගලයා අනුව ගැඹුරු දහම් කරුණු අවබෝධ කර දිය යුතු වේ. තමන් වෙත පැමිණෙන ශ්‍රාවකයන්ට පළමුව දහම් කරුණු ඉදිරිපත් කොට දෙවනුව ඒ කරුණු පිළිගත්තකු කොට අනතුරුව ඒ කරුණු භාවිතයට උත්සාහවත් කොට අවසානයේ නිවනට පත් කළ යුතු ය. ඒ අනුව ධර්ම සන්නිවේදකයකු ශ්‍රාවකයන්ගේ ප්‍රජානන (දැනුම), ආවේදන (ආකල්ප) හා මනෝචාලක (කුසලතා) වර්ධනය කිරීම අරමුණු කරගෙන ක්‍රියා කළ යුතු වේ. එය උන්වහන්සේ සතු ප්‍රධානතම භූමිකාවක් ද වේ.

මේ අනුව ධර්ම දේශනා කරන ධර්ම සන්නිවේදකයකු තමන් තුළ ඡෙ18ටඵඵ94 නන

ගාඩ නංවා ගත යුතු ගුණාංග රැසක් ඇති බව වටහා ගත යුතු ය.

ඒවාගේම ධර්ම දේශනාවක් සිදු කිරීම ස්වයං අභිමතය මත පමණක් සිදු කළ හැකි ක්‍රියාවක් නොවන බවද ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතුමය.

හුදු ජනපි‍්‍රය වීමේ අරමුණින් හෝ ලාභ ඉපයීමේ අරමුණින් හෝ තවකෙකු හෙලා දැකීමේ අපේක්‍ෂාවෙන් හෝ එය සිදු කිරීම බුදුන් වහන්සේට කරන්නා වූ මහත් නිගාවක් බවද සිතිය යුතුමය.

ඒවගේම තමා දේශනා කරන්නේ බුදුන් වහන්සේ කල්ප ලක්‍ෂ ගණනක් පාරමී ධර්ම පුරා ප්‍රත්‍යක්‍ෂ කරගත් උතුම් දහමක් බවත්, ඒ දහම සසර කතරින් ජනයා එතෙර කිරීම පිණිස උපයෝගී කර ගත් අතිශය පූජනීය වටිනා ධර්මයක් බවත් නිරන්තර ප්‍රත්‍යවේක්ෂණය කළ යුතු ය. මෙකී කාරණා චිත්තාභ්‍යන්තර ගතකර ගත නොහැකි තැනැත්තන් කොපමණ දැන උගත් වූවද ධර්ම සන්නිවේදන කාර්ය භාරයට සුදුසුස්සන් නොවන බවද පෙන්වා දිය යුතුමය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.